බහමාස් ආපදාව අසා රිහානා කඳුළු සලයි | Page 2 | සිළුමිණ

බහමාස් ආපදාව අසා රිහානා කඳුළු සලයි

මුළු ලෝකයෙන්ම ධනවත්ම ගායිකාව කවුරුයි කියලද ඔබ හිතන්නෙ? ඇය තමයි මේ පින්තූරයෙ ඉන්නෙ. ඇගේ සම්පූර්ණ නම තමයි, රොබින් රිහානා ෆෙන්ටි. කවුරුත් ඇය හඳුනන්නෙ රිහානා කියලයි. ඇය ගායිකාවක විතරක් නොවෙයි. ගීත රචිකාවක්. ගී තැටි නිෂ්පාදිකාවක්. මෝස්තර නිර්මාණකාරියක්. නිළියක්. ඒ වගේම මානව හිතවාදීව කටයුතු කරන පරිත්‍යාගශීලී කාන්තාවක්. රිහානා ඉංග්‍රීසි ගීත ගැයූවත් ඇය උපන්නේ බටහිර ඉන්දීය කොදෙව් දූපත්වලට අයත් බාබඩෝස් හිදීයි.

 

ඇගේ පියා (රොනල්ඩ් ෆෙන්ටි) වෙ‍ෙළඳ සලක කළමනාකරුවෙක්. මව (මොනිකා) ගණකාධිකාරීවරියක්. කුඩා කාලයේදී සොහොයුරු සොහොයුරියන් පස් දෙනෙකු මැද ජීවිතය ගත කළ රිහානාට වැඩිපුරම සිදුවුණේ මව සහ පියා අතර ඇතිවූ රණ්ඩු දබර බේරන්නයි. ඇගේ පියා මත්පැන් සහ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීම නිසයි ඇයට එවැනි කටුක අත්දැකීම් ලැබුණේ.

මේ කලහකාරී පරිසරය මැද දිවි ගෙවූ නිසාම කුඩා රිහානාට දරුණු හිසරදයක් පවා වැලඳුණා. වෛද්‍යවරු සැක කළේ ඇගේ හිස තුළ ගැටිත්තක් (Tumour) හටගෙන ඇති බවයි. ඒ නිසාම ඇය කිහිප වරක්ම ස්කෑන් කිරීමකටත් ලක් කෙරුණා.

කොහොම වෙතත් ඇයට වයස 14 ලබද්දී මවු පිය දෙදෙනාගේ දික්කසාදයත් සමඟම ඇගේ හිසරදයත් සුව වුණා!

එවැනි අමිහිරි අත්දැකීම් ලද රිහානා අද ලොව ධනවත්ම ගායිකාව බවට පත්ව සිටිනවා. ඇගේ මුළු වත්කම ඩොලර් මිලියන 600ක්. ඇය මෙතරම් ධනස්කන්ධයක් උපයාගත්තේ මුලින් සඳහන් කළ විවිධ ක්ෂේත්‍රවල නිරත වීමෙන්. නමුත් ඇගේ ධනවත් බව තවමත් රැඳී පවතින්නේ ගායිකාවක ලෙස සුපිරි තත්ත්වයේ රැඳී සිටීම නිසයි. රිහානාගේ සංගීත දිවිය තුළ ඇගේ ගැයුම් ඇතුළත් වූ ගීත ඇල්බමවලින් පිටපත් මිලියන 60කට වැඩි සංඛ්‍යාවක් අලෙවි වීමෙන්ද මේ බව තහවුරු ‍කරනවා.

මෑතක් වන තුරු ලොව ධනවත්ම ගායිකාව ලෙස වැජඹුණු මැඩෝනාව පරදා මුල්තැන ගත් රිහානා, තමන් ඉපයූ ධනයෙන් සැලකිය යුතු ප්‍රමාණයක් සමාජ සත්කාරක කටයුතු වෙනුවෙන් යොදවන්න අමතක ක‍ෙළ් නැහැ.

සමාජ සේවය සඳහා ම කැප වූ ක්ලාරා ලයනල් පදනම 2012 දී රිහානා විසින් අරඹන ලද්දේ ඒ සඳහාමයි. තමන්ගේ සීයා සහ අත්තම්මාට ගෞරවයක් ලෙස පිහිටුවන ලද මේ පදනමෙන් පසුගියදා තවත් උතුම් කාර්යයක් සිදු වුණා.

ඒ, බහමාස් දූපත හරහා හමාගිය චණ්ඩමාරුතයෙන් විපතට පත් වූ ජනතාවට සහන සැලසීමයි. තමන් උපන් දේශයට සිදු වූ ආපදාව සැලවූ මොහොතේ රිහානාගේ හදවත කම්පනයට පත් වුණා. ‘ඇත්තට ම මේ අනතුර දැනගත්තාම මගේ හදවතට ලොකු වේදනාවක් දැනුණා. ක්ලාරා ලයනල් පදනමෙන් අපට හැකි උපකාර කරන්න මම උත්සාහ ගන්නවා.’ රිහානා පසුගිය සැප්තැම්බර් 2 දා ප.ව. 4.59ට එම ට්විටර් සටහන තැබුවේ දැඩි සංවේගයකින්.

 

Comments