භච්චන්ගේ මන්දිරය ගංවතුරට හසු වෙයි | සිළුමිණ

භච්චන්ගේ මන්දිරය ගංවතුරට හසු වෙයි

නොකඩවා ඇද හැළෙමින් පැවතුණු වර්ෂාව නිසා මුම්බායි නුවර ජලයෙන් යටවී ගිය අයුරු පසුගිය සතියේ ලොවම දුටුවා. උස් - මිටි කම්, ඇති - නැති කම් නොසලකා කාටත් වදදෙමින් පැතිරී ගිය මේ ගං වතුර බොලිවුඩ්පුරයේ සුපිරි නළු නිළි කැලටත් ඇති කළේ සුළු පටු බලපෑමක් නොවෙයි.

සුපිරි නළු අමිතාබ් භච්චන්ගේ සුවිසල් බංගලාවත් මේ ජලගැල්මට හසු වුණා. ජල්සාහි පිහිටි අමිතාබ් ගේ ‘ප්‍රතීක්ෂා’ නිවෙස අවට වැසි ජලය ගැලුවේ පුද්ගලයෙකුගේ වළලුකරටත් මඳක් ඉහළින්. තතු දන්නා අය පවසන්නේ සෑම වසරක් පාසාම මුම්බායි නුවර මෙවැනි ජල ගැල්මක් සිදුවන බවයි.

ඉතින්, අමිතාබ් භච්චන්ගේ බංගලාව මේ ජල ගැල්මෙන් ආක්‍රමණය කළ ස්වරූපයක් දකින්න ලැබුණා.

නමුත්, වැහි පිට වැහි කෙතරම් ඇද හැලුණත් අමිතාබ් ගේ ප්‍රියාදර රසික රසිකාවන් නම් සිරිත් පරිදි ඔහුව දැක බලා ගන්නට එන ගමන අතපසු කළේ නැහැ. ධාරානිපාත වැසි ඇද හැළුණු ඉරිදා උදේ වරුවේත් මේ රසික පිරිස ප්‍රතීක්ෂා මන්දිරය අබියසට පැමිණියා. එදිනත් විශාල රසික ජනතාවක් එක්රොක්වී සිටියේ වර්ෂාවද නොතකමින් අමිතාබ්ව යන්තමින් හෝ දැක ගන්නයි. අමිතාබ් ද සුපුරුදු ලෙස සදලුතලයට පැමිණ රසික ජනතාවට ආචාර කළා. ඉන්පසුව ට්විටර් සටහනක් තැබූ ඔහු, ඇද හැළෙන වර්ෂාවත් සමඟම රසික රසිකාවන්ගේ ආදරයත් නොඅඩුව තමන් වෙත ඇද හැළුණු බව ප්‍රකාශ කළා. මේ අයුරින් රසික ප්‍රතිචාරය තමන් වෙත ල‍ැබෙද්දී ප්‍රතීක්ෂා මන්දිරය වට කරමින් මඩ සහිත වැසි ජලය රැඳී ඇති බවවත් අමිතාබ්ට සිහිපත් වුණේ නැතිලු.

 

Comments