වාහන විකුණන ‘තිත්ත ඇත්තේ, | සිළුමිණ

වාහන විකුණන ‘තිත්ත ඇත්තේ,

“ලොවෙන් එකෙක් එක් දෙය­කට වෙයි සමත” කියලා කිව්වට, ඇය ක්ෂේත්‍ර කිහි­ප­ය­කම හපනි­යක්. ගීත රච­නය, ගීත ගාය­නය, රංග­නය, අලෙවි ප්‍රව­ර්ධ­නය වගේ ම මාධ්‍ය කලා­ව­ටත් ඈ දක්ෂයි. සන්ධ්‍යානි දෙල්වල විවිධ ක්‍ෂේත්‍ර­වල රැකියා කිහි­ප­යක නියැ­ළුණු කෙනෙක්. ඇය රැකි­යාව වශ­යෙන් කරන්නේ අලෙවි ප්‍රව­ර්ධ­නය. ඒ අයි­ඩි­යල් මෝටර්ස් ආය­ත­නයේ. චයි­නීස් ලොරි තමයි ඇය මුලින් අලෙවි කළේ. ඇත්ත­ටම කීවොත් ඇය තමයි ලංකාවේ පළමු හා එකම ලොරි අලෙවි නිල­ධා­රි­නිය. ඇයට තියෙන්නේ පිලි­පීන කාන්තා­ව­කගේ රුව ගුණ. අධ්‍යා­ප­නය ලැබුවේ රත්න­පු­රයේ. අම්මාගේ ගම කොළඹ නිසා මහ­ර­ගම පදිං­චි­යට ඇවිත්.

අම්මා ගෘහ­ණි­යක්. තාත්තා රැකි­යාව කරන්නේ ඇමෙ­රි­කාවේ. අම්මයි තාත්තයි සංගී­ත­යට සම්බ­න්ධයි. ඇගේ නංගියි, මල්ලියි දෙන්නත් කලා­වට සම්බ­න්ධයි. වාණිජ විෂය ධාරා­වෙන් උසස් පෙළ සම­ත් වෙලා පිළි­ගැ­නීමේ නිල­ධා­රි‍නි­යක ලෙස මුල් ම රැකි­යාව ලබ­නවා.

සන්තුෂ ලිය­නගේ මහතා ජාතික රූප­වා­හි­නිය වෙනු­වෙන් නිර්මා­ණය කළ සුදු සැර­යටි වෙළෙඳ දැන්වී­මෙන් ඇය රංග­න­යට යොමු වුණා. ඉන්පසු රූප­වා­හිනි වැඩ­ස­ට­හ­න්වල ගීත ගය­න්නත් ඉඩ ලැබුණා. මාධ්‍ය­වේ­දි­නි­යක ලෙස, ජන­යු­ගය, බිරිඳ, සඳ­කි­රණ, පුව­ත්ප­ත්වල සේවය කළා. සන්ධ්‍යා­නිට ඒ හරහා කලා ලොවේ මෙන් ම දේශ­පා­ලන, ක්‍රීඩා සහ ව්‍යාපාර ක්ෂේත්‍ර­යන්හි ප්‍රබ­ල­යින් හඳුනා ගන්නට ලැබුණු අතර ඒ හරහා ලැබුණු අත්දැ­කීම් ද බොහෝ ය.

ප්‍රීති­රාජ් වීර­ර­ත්නගේ ‘තිත්ත ඇත්ත’ චිත්‍ර­ප­ටයේ රූප­වා­හිනී නිවේ­දි­කා­ව­කගේ චරි­තය රඟ­පාමින් ඇය සිනමාවට එක් වූවාය.

වෘත්ති­යෙන් ඔබ ලොරි අලෙවි කර­න්නි­යක් ලෙස රැකියාව කළා. කාන්තා­ව­කට ටිකක් නුහුරු රැකි­යා­වක් නේද?

ඔව්; ගැහැනු කෙනෙ­කුට අමා­රුයි තමයි ලොරි, ජිප් විකු­ණන එක. මට හොඳ බොස් කෙනෙක් හිටියා නානා­ය­ක්කාර කියලා. එයා මාව ‍උනන්දු කෙරෙව්වා; ඔයා තමයි ලංකාවෙ ඉන්න එකම කෙල්ල ලොරි විකු­ණන කියලා. මට ඒක ලොකු අභි­යෝ­ග­යක් වුණා. මමත් පිරිමි ළමයි වගේ හරි හරි­යට වැඩ කළා‍. කෲ කැබ්, ඩබල් කැබ්, අඩි 10 ½ ලොරි. හුඟාක් විකු­ණුවා. ඒ කාලේ මම ලොරි ගැනම තමයි කතා ක‍ළේ. රෝද හතරේ කාර් පේන්නේ නැහැ. ක්ෂේත්‍ර­යට ගිහින් ලොරි­වල ප්‍රමෝ­ෂන් කළා. වාහ­න­වල හැම අංශ­යක් ගැනම දැනු­වත් වුණා.

දැන් යුරෝ­පීය වාහන අලෙ­විය අඩුයි. ෆොක්ස්වැ­ගන්, චයි­නීස් වාහන, ලොරි මිලට ගන්නේ සුළු ව්‍යාපා­රි­කයෝ. ෆුල්බොඩි අඩි 14 ½ වැඩි­පුර විකි­ණෙ­නවා. කොළ­ඹින් ඈත පාර­ව­ලට ඔරොත්තු දෙන කාර් තිය­නවා. යුරෝ­පීය කාර්ව­ලට වෙනම Customer base එකක් තිබෙනවා. හුඟාක් කාන්තා­වන් ඔටෝ ගිය­ර්ව­ලට තමයි කැමැති. ජපන් චීන වාහන පාවිච්චි කරන කෙනා අහන්නේ තෙල් කොච්චර වැඩ කර­න­වද? කියලා. ඒ ලංකාවේ මිනි­සුන්ගේ ආර්ථි­ක­යත් සමඟ. යුරෝ­පීය වාහන ගැන උනන්දු කෙනා අහන්නේ වග­කීම කොප­මණ ද? සර්විස් එක කොහො­මද කියලා. විය­දම් දරන්න පුළු­වන් අය, යු‍‍රෝප‍ීය වාහ­න­ව­ලට ප්‍රිය කරන අය. ගාල්ල, මාතර, යාප­නය වගේ පිට පළා­ත්ව­ලත් ඕනෑ තරම් ඉන්නවා. ඒත් සම­හර වාහන ඒ ඒ පාර­ව­ල්ව­ලට ඔරොත්තු දෙන්නෙ නැහැ. ඈත දුෂ්කර පළා­ත්වල අය වැඩි­පුර ගන්නේ ජපන් වාහන. යුරෝ­පීය මාකට් එකට වෙනම ක්‍රවුඩ් එකක් ඉන්නවා.

යහ­පත් වාහන අලෙ­වි­ක­රු­ව­කුට හොඳ ඉව­සී­මක් තියෙන්න ඕනෑ‍. විස්තර කරන දෙය Customers ලට තේරෙන්න ඕනෑ. කාර්මික අංශය ගැනත් දැනු­වත් විය යුතුයි.

ඔබට තියෙන්නේ ලාංකික කාන්තා­ව­කට අනන්‍ය නොවූ මුහු­ණක්?

ඔව්. ඒ ගැන තවත් අය කියලා තිය­නවා. මම පොඩි කාලේ අම්ම­ටත් ඒ ගැන හුඟාක් අය කීවලු. මම ලංකාවෙ ලොරි අලෙවි කරලා අබු­ඩාබි ගියා ෂැංගිලා හෝට­ලයේ guest relation Officer කෙනෙක් විදි­යට‍. හෝටල් ක්ෂේත්‍රය වෙනස්. එහේ බංග්ලා­දේශ්, සිංග­ප්ප‍ූරු, යුරෝ­පීය ආදී විවිධ රට­වල අය සේවය කර­නවා. Customers ලත් විවිධ රට­ව­ලින් එනවා. එයා­ලගේ අද­හස්, සිතුම් පැතුම් ආකල්ප, සිරිත් විරිත් වෙනස්. සම­හර වෙලා­වට බැණුම් අහන්න වෙන වෙලා­ව­ලුත් තිය­නවා. සම­හර කස්ට­මර්ස්ලා අහ­නවා මම මොන රටේ ද කිය­ලත්. දව­සක් ඩුබායි ෂොපින් මෝල් එකක මම බඩු තෝරද්දි සිංහල පිරිමි ළමයි දෙන්නෙක් කතා වෙනවා මට ඇහුණා “පිලි­පීන කෑල්ලක් බං අපි ට්‍රයි එකක් දෙමුද?“ කියලා. එයාලා මාව follow කළා. ඒ වෙලාවේ මට අම්ම­ගෙන් කෝල් එකක් ආවා. මම සිංහ­ලෙන් කතා කරද්දී එයා­ලට ලජ්ජා හිතුණා. ලංකාවෙ අයත් මගෙන් අහ­නවා ඔයා පිට­ර­ට­කට සම්බන්ධ ද කියලා.

මොන­වද අනා­ගත බලා­පො­රොත්තු එහෙම...

හරිම සර­ලව සැහැ­ල්ලු­වෙන් ඉන්න මම කැමැ­තියි. ලියන දේවල් කරන්නේ රෑට. ඉන්ට­වීව් ගන්නේ වාහනේ යන ගමන්. ඉඩ ලැබෙන වෙලා­වට රඟ­පා­නවා. මම කාල­යක් මහණ වෙන්න කැමැ­ත්තෙන් හිටියා. මෙහෙ­ණි­ය­කගේ චරි­ත­යක් කළෙත් ඒකයි. මම කැමැති නැහැ නීති­රී­ති­ව­ලට කොටු­වෙලා ජීවත් වෙන්න. මගේ බැඳීම් තියෙන්නේ මගේ පවුලේ අයත් එක්ක විත­රයි. සම­හරු කිය­නවා අව­සාන කාලේ වතුර පොදක් හරි දෙන්න කෙනෙක් ඕන නේද කියලා. ඒත් මේ අස්ථිර ලෝකේ ස්ථිර දේවල් හොයන්නෙ නැහැ. ඒත් ආදරේ නම් හරි පුදු­මයි.

විලා­සිතා කරන්න, විවිධ කෑම වර්ග හද­න්නත් මම ආසයි. මම විනෝ­දාං­ශ­යට රඟ­පෑ­වත් ජීවි­තය ජීවත් කර­වන්න රඟ­පෑ­මෙන් බෑනේ. ජීවි­තය කිය­න්නෙත් එක්තරා රඟ­පෑ­මක් තමයි. මේක මගේ ගැන ලිය­වෙන පළමු ලිපිය. සිළු­මිණ වගේ දැවැන්ත පුව­ත්ප­තක මගේ ලිපිය පළ­වීම අභි­මා­න­යක්. හැම­ටම ස්තුතියි. කවදා හරි දව­සක මගේ ම කියලා වාහන අලෙවි හලක් පව­ත්වා­ගෙන යන්න මම ආසයි. මොකද මම ආසම ක්ෂේත්‍රය වාහන අලෙ­වි­ක­ර­ණය නිසා.

සේයාරූ - ටෙනි­සන් එදි­රි­සිංහ

 

Comments