ආධ්‍යා­ත්මික බල­යෙන් පම­ණක් ලෙඩ සුව­පත් වෙනවා කියලා බුදු දහමේ කොතැ­න­ක­වත් නෑ | සිළුමිණ

ආධ්‍යා­ත්මික බල­යෙන් පම­ණක් ලෙඩ සුව­පත් වෙනවා කියලා බුදු දහමේ කොතැ­න­ක­වත් නෑ

 

නු­රා­ධ­පුර හොරො­ව්පො­තන ප්‍රදේ­ශයේ පැවති ආධ්‍යා­ත්මික බල­යෙන් ලෙඩ සුව කිරීමේ වැඩ­ස­ට­හ­න­කට සහ­භාගී වී සිටි­යදී අසාධ්‍ය රෝගීන් දෙදෙ­න­කුගේ සිය රෝගය උත්සන්න වී පසු­ගිය සැප්තැ­ම්බර් 07 වැනිදා ජීවි­ත­ක්ෂ­යට පත් විය. රෝගීන් 18 දෙනකු ප්‍රති­කාර සඳහා රෝහල් ගත කෙරිණ. මෙම වැඩ­ස­ට­හ­නට රට­පු­රාම විසිරී සිටින ජන­තා­ව­ගෙන් රෝගීන් දහස් ගණ­නක් සහ­භාගී වී තිබිණ. සෞඛ්‍ය සේවා­වෙන් නොම්මර එකේ රටක් ලෙස නම් දරා සිටින රටක රෝගීන් ලෙඩ සුව­පත් කර ගැනීම සඳහා මෙවැනි පිළි­වෙත් අනු­ග­ම­නය කිරීම ප්‍රශ්න රාශි­යක් මතු කර­න්නකි. සමා­ජයේ පව­තින සෑම ආග­ම­කම නාම­යෙන් සුව­පත් කිරීමේ ස්ථාන පව­ත්වා­ගෙන යන්නේ අදක ඊයෙක් පටන් නොවේ. එම මධ්‍ය­ස්ථා­න­වල සහය පත­න්නට ගොස් ජීවි­ත­ව­ලට අන­තුරු සිදුවූ පළමු වැනි අව­ස්ථා­වද මෙය නොවේ. උත්තර නොසො­යන ප්‍රශ්න­වල කෙල­වර තිබෙන්නේ ඛේද­වා­ච­ක­යයි. මෙවැනි පිළි­වෙත් සම්බන්ධ බෞද්ධ ආගමේ දැක්ම කුමක්ද පිළි­බඳ කති­කා­වක් ගොඩ­නැ­ඟී­මට සිළු­මිණ අපි සිතු­වෙමු. ඒ අනුව මේ පිළි­බඳ කැල­ණිය විශ්ව­වි­ද්‍යා­ලයේ පාලි හා බෞද්ධ අධ්‍ය­යන පශ්චාත් උපාධි ආය­ත­නයේ මහා­චාර්ය රළුවේ පද්ම­සිරි හිමි සමඟ සිදු­කළ සාක­ච්ඡාව මෙසේ සට­හන් කරමු.

 

* බුදු හාමු­දු­රු­වන් පහළ වෙන කාලය වන විට ඖෂධ වෙනු­වට වෙනත් පිළි­වෙ­ත්ව­ලින් ලෙඩ සුව­පත් කර­නවා යැයි කියන ක්‍රම අදට වඩා ප්‍රබ­ලව තිබුණා. බෞද්ධ අධ්‍ය­ය­නය හෝ සමාජ විද්‍යාව තුළ ‘අභි­චාර’ හෝ ‘පූජා චාරිත්‍ර’ වැනි වච­න­ව­ලින් හඳු­න්ව­නවා. වර්ත­මා­න­යේදී මේ මෙවැනි ක්‍රම ‘සුව­පත් කිරීම’ (healing) වැනි වච­න­ව­ලින් හඳු­න්ව­නවා.

බුදු සමය තුළ එවැනි පිළි­වෙත් පැවති බවට නිද­ර්ශන කිහි­ප­යක් මෙසේයි. කර­ණී­ය­මෙත්ත සූත්‍රයේ ඉති­හා­ස­යෙන් ඊට උදා­හ­ර­ණ­යක් ගන්න පුළු­වන්. භාවනා කිරී­මට යෑමේදී භූත බල­වේග වැනි දේ නිසා සමා­ධිය පව­ත්වා­ගෙන යෑමට නොහැකි වූ හාමු­දු­රු­ව­රුන් සඳහා බුදු­ර­ජා­ණන් වහන්සේ වික­ල්ප­යක් ලබා දෙනවා. ඒ ආකා­ර­යට භාව­නා­වට අස­මත් වූ භික්ෂූන්ට මෛත්‍රී වඩ­වන ලෙස උප­දෙස් දීම එම වික­ල්ප­යයි. මෛත්‍රී කිරීමේ ප්‍රති­ඵ­ල­යක් විදි­හට එම භික්ෂූන් භාවනා කරන විට ඇති කළ බාධා නැව­තුණා. අපගේ පිටත තියෙන ශක්ති­යක් අප සමඟ සම්බන්ධ වීමේ ඉඩක් කියෙන බව එහිදී එක් විදි­හ­කට මතු කර­නවා. බුදු­ද­හ­මේදී ‘ධර්මතා’ නමින් හඳු­න්වන්නේ එකී අපෙන් පිටත තියෙන ශක්ති­යයි. මේ ධර්මතා කළ­ම­නා­කා­ර­ණය කර ගැනීම සම්බ­න්ධ­යෙන් බුදු­ර­ජා­ණන් වහන්සේ දේශනා කළේ මාන­සික බලය යෙද­වී­මක් පිළි­බ­ඳ­වයි.

දෙවැනි උදා­හ­ර­ණය මා ඉදි­රි­පත් කරන්නේ රතන සූත්‍ර­යෙන්. සූත්‍ර­වල විස්තර තියෙන තැන වන්නේ ‘අටු­වාව’යි. තුන් බිය තියෙන වෙලා­වේදී බුදු­ර­ජා­ණන් වහන්සේ ආනන්ද හාමු­දු­රු­වන් සමඟ වැඩ­ම­වලා, සමූහ වශ­යෙන් මිනි­ස්සුන්ගේ බිය සුව­පත් කිරීම සඳහා ශාන්ති කර්ම කළ බවට ඒ අටු­වාවේ කතා­වක් තියෙ­නවා. මේ අටුවා කතා සමාජ විද්‍යා­වට හා මානව විද්‍යා­වට අනු­කූ­ලව ‘දේව­පු­රාණ’ ගණ­ය­ටයි අයත් වෙන්නේ. දේව­පු­රා­ණ­යක් කියන්නේ ඇත්ත හා ඇත්ත නොවන යන අංග දෙක එකතු වෙන තැනක්.

රහ­තන් වහ­න­සේලා ලෙඩ වුණාට පසු­වත් පිරිත් කීම් වැනි දේ කෙරිලා තියෙ­නවා. බොජ්ජංග සූත්‍ර තුනක් තියෙ­නවා. බොජ්ජංග සූත්‍රයේ දෙකක් කියන්නේ රහ­තන් වහ­න්සේලා දෙන්න­කුට.මහා චුන්ද සූත්‍රය කියන්නේ බුදු­ර­ජා­ණන් වහ­න්සේට. බුදු­ර­ජා­ණන් වහ­න්සේට ශරීර ආබා­ධ­යක් ඇති වුණාම සත්ත බොජ්ජං­ගය මතක් කරන්න කියලා උන්ව­හන්සේ චුන්ද හාමු­දු­රු­වන්ට වදා­ර­නවා. බොජ්ජංග දේශ­නා­වව අව­සා­න­යේදී තමන්ගේ රෝගී බව සුව­පත් වුණා කියලා බුදු­ර­ජා­ණන් වහන්සේ වදා­ර­නවා. බුදු­ර­ජා­ණන් වහන්සේ දේශනා කළ බොජ්ජංග ධර්ම නැවත අනු­ස්ම­ර­ණය කර­වීම තුළින් උන්ව­හන්සේ සුව­පත් වෙනවා. අංගු­ලි­මාල සූත්‍රය එවැ­න්නක්. මජ්ජිම නිකායේ එය සඳ­හන් වෙන්නේ. අංගු­ලි­මාල හාමු­දු­රු­වන්ගේ සංවේ­දී­තාව තුළින් උන්ව­හ­න්සේගේ මෛත්‍රිය නිසා දේශනා කරන පිරිත් මව නිරෝ­ගිව දරුවා බිහි කළ බව සඳ­හන්.

 

බුදු දහමේ පව­තින ඉඩ

 

අප­යෝ­ජ­නය කිරීම

 

 

දහම කිය­වලා, එය මැන­වින් ඇහු­ම්කන් දීලා, ආධ්‍යා­ත්මි­කව තමන් උප­ද­වන බල­යත් තුළින් තමයි මේ සුව­ප­ත්වීම වෙන්නේ කියන එක මේ හැම උදා­හ­ර­ණ­ය­ක­දීම පැහැ­දිලි වෙනවා. පිටින් ලැබෙන බල­ය­කින් සුව­පත් වන බවක් එහි සඳ­හන් වෙන්නේ නෑ.

ඒ කාලය තුළ සුව­පත් කිරීම සඳහා ධර්මය සිහි­පත් කිරීම මෛත්‍රිය සිහි­පත් කළ බවට පැහැ­දිලි සාක්ෂි තියෙ­නවා. ශ්‍රී ලංකාවේ සුව­පත් කිරීම සඳහා ප්‍රබ­ලව භාවිත වෙන්නේ ‘පරිත්ත’ කියන දේ. ආර­ක්ෂාව සම්බන්ධ පරිත්ත දේශ­නාවේ අව­සා­න­යේදී “ඒතේන සච්ච වජ්ජේන සොත්ති තේ හෝතු සබ්බදා ” එනම් මේ සත්‍ය චව­නයේ බල­යෙන් සුව­පත් වේවා කියලා ආශි­ර්වාද කර­නවා. බුදු­ර­ජා­ණන් වහන්සේ දේශනා කළ ධර්මය සත්‍ය­යයි, සත්‍යයේ ආශි­ර්වා­ද­යෙන් සුව­පත් වේවා කියලා තමයි පැහැ­දිලි කරන්නේ. ලෝක ධර්ම හෝ මාන­සික ධර්ම­වල තියෙන ධනා­ත්මක අංශය මඟින් අන් අයට උදව් කිරීම සඳහා අවශ්‍ය බල­යක් නිර්මා­ණය කිරී­මයි සඳ­හන් වෙන්නේ.

මේ ආකා­ර­යට බෞද්ධ සම්ප්‍ර­දායේ බුදු­ර­ජා­ණන් වහ­න්සේගේ චරි­තය තුළත්, රහ­තන් වහ­න්සේ­ලාගේ චරි­තය තුළත්, සාමාන්‍ය මිනිස්සු තුළත් සුව­පත් කිරීම කියන දේට යම් ඉඩක් ලැබිලා තියෙ­නවා. ඒ විදි­හට ‘යම් ඉඩක් තියෙ­නවා’ කියන එකම තමයි අද අප­යෝ­ජ­න­යට ලක් වෙන්නේ.

 

බුදු සම­යේත්

ජීවක වෛද්‍ය­ව­ර­යෙක් සිටියා

 

මේ අභි­චාර ක්‍රම සඳහා වර්ත­ම­නයේ බෞද්ධ­යන් යොමු­වෙ­නවා නම් ඔවුන් ඒ අභි­චාර ක්‍රම­වල යොමු­වීම සම්බ­න්ධව සංකී­ර්ණව කියවා ගත යුතුයි. අපි තව­දු­ර­ටත් ඉන්නේ ඉතා පැරණි සමා­ජ­යක නෙවෙයි. නව තාක්ෂ­ණය සහිත නූතන යුග­යක ඉන්නේ. එදා මිනි­සාට තිබුණු වෛද්‍ය ක්‍රම­ව­ලට සාපේ­ක්ෂව එදා තත්ත්වය විමසා බැලිය යුතුයි. බෙහෙත් කිරීම, බෙහෙත් ඇසීම, බෙහෙත් සොයා ගැනීම පිළි­බඳ වෙන­මම විනය පිට­කයේ කොට­සක් තියෙ­නවා. වා, පිත්, සෙම් ආදි විවිධ රෝග සම්බ­න්ධ­යෙන් වෙන වෙනම සඳ­හන්. ඉන්දි­යාවේ පැවති ආයු­ර්වේද ක්‍රම හා බුදු­ර­ජා­ණන් වහ­න්සේම ඉදි­රි­පත් කළ ක්‍රම­වේ­ද­යන් ආදිය මෙහි සඳ­හන්. ‍මනෝ විද්‍යා­ත්ම­කව සුව­පත් වීම සඳහා ධර්මය ප්‍රති­කා­ර­යක් වශ­යෙන් බුදු­ර­ජා­ණන් වහන්සේ විසින් යොදා ගත්තා.

බුදු­ර­ජා­ණන් වහන්සේ ඇතුළු රහ­තන් වහ­න්සේලා අත­රත් මේ සුව­පත් කිරීම් සඳහා ඉඩ ලැබී තිබුණා. ඒ අතර අප අම­තක කරන්නේ හොඳ නෑ ජීවක වෛද්‍ය­ව­ර­යා­ගෙ­නුත් බුදු­ර­ජා­ණන් වහන්සේ ප්‍රති­කාර ගත්තා කියලා. බුදු­ර­ජා­ණන් වහ­න්සේට බඩේ රෝග­යක් හැදු­ණාම ජීවක ඊට ප්‍රති­කාර කළා. සිය­ලුම භික්ෂුන් වහ­න්සේ­ලාට ප්‍රති­කාර කිරීම සඳහා රජ­තුමා විසින් ජීවක වෛද්‍ය­ව­රයා නිද­හස් කළා.

ශාරි­රික ලෙඩ පැවති අව­ස්ථාවේ එම ලෙඩුන්ව සුව­පත් කරන්න බුදු­ර­ජා­ණන් වහන්සේ කට­යුතු කළේ නෑ. මාන­සික තත්ත්ව­යත් සම්බන්ධ බිඳ වැටී­ම්ව­ලදී තමයි උන්ව­හන්සේ විසින් ඔවුන්ව සුව­පත් කරන්න කට­යුතු කළේ. එක්තරා අව­ස්ථා­වක එක් භික්ෂු­ව­කට ආවේ­ශ­යක් වෙනවා. එහිදී ඔහුට රුධි­රය බීමට උව­ම­නා­වක් ඇති වෙනවා ඒ භික්ෂු­වට. මේ අව­ස්ථාව බුදු­ද­හ­මට ප්‍රති­වි­රු­ද්ධයි. මේ භික්ෂුව සුව­පත් කිරී­මට තියෙන එකම ක්‍රමය රුධි­රය බීම නම් එය ප්‍රති­ක්ෂේප කරන්නේ නෑ. බුදු­ර­ජා­ණන් වහන්සේ ශාරි­රික මෙන්ම මාන­සික ප්‍රති­කර්ම දෙක­ටම ඉඩ දීලා තියෙ­නවා කියලා ඉන් පැහැ­දිලි වෙනවා.

 

වික­ල්ප­ව­ලට විත­රක්

රෝග සුව­පත් කරන්න බෑ

 

බෞද්ධ­යන් වන අපට දැන් ගුරු­ව­රයා වශ­යෙන් තියෙන්නේ ධර්ම­යයි. බුදු­ර­ජා­ණන් වහන්සේ ගිහි පැවිදි දෙපා­ර්ශ­ව­ය­ටම දේශනා කළේ තමන් ඉන්න තැන තමන් විසින් තක්සේරු කර ගත යුතුයි කියලා. එනම් තමන් සිටින්නේ ශ්‍රාව­ක­යකු වීමට පෙර සිටින අන්ධ දෘෂ්ටි­යේද නැත්නම් ශ්‍රාව­ක­යෙක් වෙලාද ශ්‍රාව­ක­යකු වෙලා නම් කොත­නද ඉන්නේ කියලා තක්සේරු කර ගත යුතුයි. සුව­පත් කිරීම සම්බ­න්ධව කැප­වන ප්‍රමා­ණය, ඒ සඳහා ලබා දෙන ඉඩ අනුව ශ්‍රාව­ක­ත්ව­යෙන් ප්‍රමා­ණය තීර­ණය වෙනවා. ධර්ම­යට අනුව මෙවැනි අභි­චාර විධි පසු­පස යන ප්‍රමා­ණය කොයි­ත­රම්ද කියලා මැන ගන්න ඕන. වෛද්‍ය­ව­රයා ප්‍රති­කාර ගන්නා අතරේ වෛද්‍ය­ව­ර­යාම වික­ල්පය විදි­හට සුව­පත් කිරීමේ මධ්‍ය­ස්ථාන පිළි­බඳ සොයා බලන්න කියන්න පුළු­වන්. නමුත් එය වික­ල්ප­යක් පම­ණයි. වෛද්‍ය ප්‍රති­කා­ර­ව­ලින් තොරව රෝග සුව­පත් කිරී­මට විකල්ප ක්‍රම­ය­කට පම­ණක් හැකි­යා­වක් නෑ. එවැනි විකල්ප ක්‍රම­ව­ලට බුදු­ද­හ­මෙන් ඉඩක් ලැබෙන්නේ නෑ. එය මිත්‍යා­දෘ­ෂ්ටි­කයි.

අප දන්නා ඉති­හා­සය පුරා­වට මෙවැනි සුව­පත් කිරීමේ ස්ථාන­ව­ලට මිනි­සුන් යනවා. කාල­යක දොළු­කන්දේ ගියා; අලුත් බෝධීන් වහ­න්සේලා කර­ලි­යට එනවා; නාගස් හඳුන්වා දෙනවා; ඒ නාග­සට ගිහි­යෙක් ආවේශ වෙනවා; මේ ආදී වශ­යෙන් අභි­චාර ක්‍රම­වල නැව­තු­මක් නෑ. ඒ වගේම එවැනි තැන්ව­ලට ගිය රෝගීන් මිය ගිය අව­ස්ථාව තියෙ­නවා. නමුත් එවැනි තැන් හෝ පුද්ග­ල­යන් වෙනස් වුණාට ක්‍රමය දිග­ටම පැව­තුණා.

බෞද්ධ සම්ප්‍ර­දාය තුළ මෙවැනි සුව­පත් කිරීම් සඳහා මෙත­රම් සංකීර්ණ විදි­හට, බහු­ත­ර­යක් සම්බන්ධ වුණේ නෑ. මජ්ජිම නිකායේ වත්ථූ­පම සූත්‍රයේ ඉතා පැහැ­දි­ලිම එය සඳ­හන් වෙනවා. ගංගා­ව­ලට ගිහින් ආධ්‍යා­ත්මි­කව පිරි­සුදු වීම නිර්දේශ කර­න­වාද කියලා පුද්ග­ල­යෙක් බුදු­හා­මු­දු­රු­ව­න්ගෙන් විම­ස­නවා. ඒ ප්‍රශ්න­යට දෙන උත්ත­ර­යයි මේ සූත්‍රයේ තියෙන්නේ. සිත කය පිරි­සුදු නම් කුමන රෝගය තිබුණු කෙන­කුට වුණත් හැම­දාම පොහො­යක් දින­යක්, අමු­තු­වෙන් පිරි­සුදු වෙන්න දෙයක් නෑ කියලා උන්ව­හන්සේ දේශනා කර­නවා. ධර්මය තුළ මෙවැනි පිළි­වෙත් ඔස්සේ යෑමට දිරි­දීම ඉතා අව­මයි. නමුත් සංස්කෘ­තිය තුළ යම් ප්‍රමා­ණ­යක් ඉඩක් තියෙ­නවා. මෙහිදී ධර්මය තුළ මේ සඳහා පව­තින පිළි­වෙත් අප­යෝ­ජ­නය වීමක් තමයි වෙන්නේ.

 

ආශි­ර්වා­ද­ව­ලින් ලෙඩ සුව කිරීම

 

රෝගි­ය­කුට ආශි­ර්වාද කිරී­මෙන් සුව වෙනවා කියලා බුදු­ද­හමේ කොත­න­ක­දී­වත් කියන්නේ නෑ. ශාරී­රි­කව අඩු­පා­ඩු­වක් සම­ඟින් ඉප­දුණු දරු­ව­කුට පිරිත් කීමෙන් ඔහු නිරෝගී වෙනවා කියලා බුදු­ද­හමේ කොහෙ­වත් සඳ­හන් නෑ. සල්ලේඛ සූත්‍රයේ කෙනෙක් ලෙඩක් වැනි පීඩා­කාරී තත්ත්ව­ය­කට පත් වුණොත් පළ­මුව කළ හැකි ප්‍රති­කර්ම කළ යුතුයි කියලා කිය­නවා. අද ප්‍රති­කාර අම­තක කරලා අධි­භෞ­තික සුව­පත් කිරීම් සඳහා යෑමට පටන් අරන්. අධි­භෞ­තික දෑව­ලට යොමු­වීම පිළි­බඳ බුදු දහමේ සඳ­හන් වෙලා තියෙ­නවා කියලා වැරදි විදි­හට අර්ථ­ක­ථ­නය කර­නවා. බුදු­ර­ජා­ණන් වහන්සේ වදාළ ධර්මය නෙවෙයි මේ පිළි­වෙත් ව්‍යාපෘ­ති­වල තියෙන්නේ.

 

ජීවිත රකින්න නීති­යක්

 

බුදු දහමේ නව ගුණ විශ්වාස කර­නවා නම් සුව­පත් වීමට උද­ව්වක් ලබා ගැනී­මට කවු­රුත් ළඟට යන්න ඕන නෑ කියලා බුදු­ර­ජා­ණන් වහන්සේ දේශනා කරන්නේ. තමන් ආධ්‍ය­ත්මි­කව දියුණු වෙනවා කියන කාර­ණය අනුව කායි­කව හෝ මාන­සි­කව ලෙඩ වෙන­වද සනීප වෙන­වද කියලා තීර­ණය වෙන්නේ කියලා උන්ව­හන්සේ කියන්නේ. අංගු­ත්තර නිකායේ රෝග දෙකක් ගැන සඳ­හන් කර­නවා.

ඒවා නම් කායික රෝග හා මාන­සික රෝග. එහිදී කායික රෝග වැළ­ඳු­ණොත් ටික කලක් හරි සැන­සිල්ලේ ඉන්න පුළු­වන්, ඒත් මාන­සික රෝග හැදු­ණොත් ඒ විදි­හට කට­යුතු කරන්න බෑ කියලා උන්ව­හන්සේ දේශනා කර­නවා.

ශ්‍රී ලංකාවේ මේ තරම් නිද­හසේ මෙවැනි අභි­චාර විධි ක්‍රියා­ත්මක වෙන්න තියෙන ඉඩ මොකක්ද කියලා ඇසිය යුතුයි. ඉන්දි­යාව, බංග­ලා­දේ­ශය වැනි ඇතැම් රට­වල ඔවැනි පිළි­වෙත් තියෙ­නවා, නමුත් එහිදී කෙන­කුට අන­තු­රක් වුණොත් වග­කිව යුතුයි. මෙවැනි කාරණා සම්බ­න්ධව ශ්‍රී ලංකාවේ නීති පද්ධ­තියේ තියෙන ඉඩ ඉතා­මත් ලිහිල්. එය ආග­මික ප්‍රශ්න­යක් නෙවෙයි එත­කොට. නීතියේ ප්‍රශ්න­යක්.

බෞද්ධ ආග­මික සම්ප්‍ර­දාය තුළින් මේ පිළි­වෙත් සඳහා ලබා­දෙන ඉඩ පිළි­බඳ සළ­කන විට පේන්නේ මහා සම්ප්‍ර­දා­යෙන් ඊට ඉඩ නොදෙන බවයි. ඉතා සුළු පිරි­සක් වන භික්ෂුන්ලා මේ වගේ කට­යු­තු­වල යෙදී ඉන්නවා. එසේ භික්ෂූන් වහ­න්සේලා පිළි­වෙත් කළත් විශාල පිරි­සක් එකට රැස් කර­ගෙන ඔවුන් සඳහා සිදු කරන්නේ නෑ. මෙවැනි දෙයක් භික්ෂු­වක් අතින් වුණා නම් භික්ෂු සමා­ජය එය බාර ගත යුතු වෙන­වානේ. එසේ නොවී­මත් ගැට­ලු­වක්. මෙහිදී නීතිය මෙවැනි සිදු­වීම් වළ­ක්වා­ගන්න මැදි­හත් විය යුතුයි.

බෞද්ධ­යන් නම් ඔවුන්ට ආධ්‍ය­ත්මික දියු­ණු­වත් තියෙ­නවා නම් ඒ දේවල් පස්සේ යන එකේ කිසිම ප්‍රති­ඵ­ල­යක් නෑ. මනෝ විද්‍යා­වේදී මෙවැනි දේ අයත් වෙන්නේ එක්තරා විදි­හට උප­දේ­ශ­න­ය­කට. සියල්ල බුදු­ර­ජා­ණන් වහ­න්සේට හෝ ධර්ම­යට හෝ සංඝ­යාට කරන්න පුළු­වන් කියන ආකා­රයේ පටු කිය­වී­මක් බුදු දහමේ නෑ. එය ඉතා පැහැ­දි­ලියි.

මිනි­සුන් දුර්වල වෙන වෙලා­වට නැවත ප්‍රකෘති වීම­ටයි ධර්මය අවශ්‍ය වෙන්නේ. බෞද්ධා­ගමේ හැටි­යට ඒක හේතු­වා­දීව ලෙඩ­කට උත්තර සොය­නවා කියන එකම මිත්‍යා­දෘ­ෂ්ටි­කයි. කෙන­කුට ලෙඩ වෙන­කොට ලෙඩාගේ ඥාතී­නුත් ලෙඩ වීමෙන් වැළැ­කී­මෙන් මෙවැනි පිළි­වෙත් උත්ත­ර­ව­ලට යෑම වැළ­කෙ­නවා. ලෙඩාගේ ඥාතියා ලෙඩ නොවී­මට කළ හැකි වන්නේ කුමක්ද? ඒ සඳහා තිබෙන ළඟම උත්ත­රය කල්‍යාන මිත්‍ර­ත්වය. මජ්ජිම නිකායේ ධන්ත­භූමි සූත්‍රයේ මේ බව සඳ­හන්. මිත්‍රයා යෑමට ප්‍රිය නොක­රන එහෙත් ඉතා අලං­කාර කන්දක් මතට ඔහුව ක්‍රම­යෙන් රැගෙන යන මිත්‍ර­යෙක් ගැන මෙහි සඳ­හන්.

ඒ කන්දේ අලං­කා­රය හොඳම මිත්‍ර­යාට පෙන්ව­න්නයි අනික් මිත්‍ර­යාට ඕන වුණේ. ඒ වගේ හොඳ මිත්‍ර­යකු තමාට සිටී­මත් ඒ වගේ හොඳ මිත්‍ර­යකු වීමේ වැද­ග­ත්ක­මත් තමයි මෙහිදී ඉස්මතු වෙන්නේ.

 

ආරුඪ වෙන්නේ සිහිය නැති අය

 

දෙවි­යන්, මළ ගිය පුද්ග­ල­යන් ආරූ­ඪ­යෙන් ප්‍රති­කර්ම කිරී­මත් සමා­ජයේ තියෙ­න­වානේ. අරූ­ඪ­යෙන් ලෙඩ සුව කිරී­මක් ගැන බෞද්ධ­ගමේ මුල් සම්ප්‍ර­දායේ නෑ. ආරුඪ වෙනවා කිය­න්නෙම ලෙඩක්. බුදු­ර­ජා­ණන් වහන්සේ නිත­රම ‘සිහිය’ ගැන කතා කර­නවා.

සිහිය නැති කෙන­කුට තමයි ආරුඪ වෙන්නේ. ආරු­ඪ­යෙන් වැඩ කිරීම බුදු­ද­හ­මට ගෝචර නෑ. බෞද්ධ නොවන සම්ප්‍ර­දා­යන් බෞද්ධ සංස්කෘ­ති­යට රිංගීමේ ප්‍රති­ඵ­ල­යක් තමයි ඒක. ආරූඪ වෙන්නෙම මිථ්‍යා­දෘ­ෂ්ටි­ක­යන්. ලෙඩ තියෙ­න­වා­නම් ප්‍රති­කාර ගත යුතු බව බුදු දහ­මෙන් කිය­වෙන්නේ. බෙහෙත් නොබී පිරිත් ඇසී­මෙන් පම­ණක් ලෙඩ සුව වෙන්නේ නෑ.


පිදු­රු­ගහේ එල්ලී දිව්‍ය­ලෝකේ ගිය ලෙඩ්ඩු

“මට බර­ප­තළ රෝග­යක් නැහැ. නමුත් මේ ස්ථානයේ සිදු වන දේ සත්‍ය අසත්‍ය දැන­ගැ­නීමේ වුම­නා­වක් මට තිබුණා. ඒ නිසා එදින දහ­වල් දෙක පමණ වන විට හොරො­ව්ප­තාන ක්‍රීඩාං­ග­ණ­යට මා ගියා. ඒ වන විටත් එහි සෑහෙන පිරි­සක් රැස් වී සිටියා. මම හිටියේ වේදි­කා­වට මීටර් 50ක් පමණ දුර­කින්. ඒ ස්ථානයේ හිට­ගෙන හෝ සිටි­න්නට අමා­රුයි. ඒත­රම් තද­බ­ද­යක් තිබුණා. අපි එසේ පසුදා පහන් වන තුරුම රැඳී සිටි­යෙමු.

අාධ්‍ය­ත්මික ශක්තිය මුදා හරි­මින් එම භුමිය ආරක්ෂා කිරිම කළා. ස්වල්ප වේලා­ව­කින් තැනින් තැන යටි­ගි­රි­යෙන් කෑග­ස­මින් කිප­දෙ­නකු කල­බල කර­න්නට වුණා. ඒ අයගේ ඥාතීන් ඔවුන් දැඩිව අල්ලා ගෙන සිටියා.

ටික වේලා­කට පස්සේ එතැන සන්සුන් වුණා. එතුමා රෝගීන් අත­රින් යමින් අාධ්‍යා­ත්මික ශක්තිය මුදා හරි­මින් පැය කීප­යක් ගත කළා. ඔහු කන් නොඇ­සෙන විශාල පිරි­සක් පැය භාග­යක පමණ කාල­ය­කින් සුව­පත් කළා. භික්ෂූන් වහන්සේ දෙතුන් සිය­ය­කට වැඩි පිරි­සක් එහි වැඩ සිටියා.

⁣ඇත්ත­ටම සිදු වුණේ මොකක්ද කියලා හිතා­ගන්න බැහැ. එතු­මා­ගෙන් ආශි­ර්වා­දය ගන්න ඇවිල්ලා හිටිය බොහෝ අය පැය ගණන් පෝලිමේ ඉඳලා යන්න ගියා. ඔහුට කිට්ටු වෙන්න­වත් ඉඩක් නැති නිසා මමත් ආවා. “ අනු­රා­ධ­පු­රයේ ජොනි පෙරේරා පව­සන්නේ පසු­ගි­යදා හොරො­ව්ප­තානේ ලෙඩ සුව කිරීමේ වැඩ­ස­ට­හ­න­කට සහ­භාගී වීමෙන් ලද අත්දැ­කීම්ය.

මීට පෙර එවැනි වැඩ­ස­ට­හ­න­කට සහ­භාගී වූ අයෙ­කුගේ ජීවි­තය අහිමි වූ කතා­වක් ද මාධ්‍ය වාර්තා කර තිබිණි.

රෝග­යක් වැල­ඳුණු අයෙක් තම රෝගය සුව කර­ගැ­නී­මට ඕනෑම ප්‍රති­ක­ර්ම­යක් වෙත යොමු වීමට පෙල­ඹෙයි. රෝග­යෙන් විඳින පිඩාවේ තරම දන්නේ රෝගියා පමණි. වෛද්‍ය ප්‍රති­කාර ගත්තද රෝගය සුව කර­ග­න්නට හැකි­යැයි කවු­රුන් හෝ කියන ඕනෑම දෙයක් කිරී­මට ඔවුහු පෙල­ඹෙති. ඇතැම් විශ්වා­ස­යන් පසු­ප­සද, වෙනත් ඇඳ­හි­ලි­ව­ලට ද යොමු වන්නේ නිර­න්ත­ර­යෙනි.

එක එල්ලේම වර­දක් කිව නොහැක්කේ කවු­රුත් කැමති මේ මිහි­මත තවත් දව­සක් හෝ වැඩි­යෙන් ජීවත් වීමට නිසාය. පසු­ගිය දා රටේම කතා බහට ලක්වූ සිදු වීම වූයේ ඉකුත් හත්වැ­නි­දාය. ස්ථානය හොරො­ව්ප­තාන මධ්‍ය මහා විද්‍යා­ල­යයි. දිව­යිනේ විවිධ ප්‍රදේ­ශ­ව­ලින් පැමිණි විසි පන්ද­හ­සක පමණ ජන­තා­වක් හොරො­ව්ප­තාන මධ්‍ය විද්‍යා­ලය ක්‍රිඩාං­ග­ණ­යට ඇදි එන්නේ ආධ්‍යා­ත්මික බල­යෙන් ලෙඩ සුව කිරිමේ වැඩ­ස­ට­හ­න­කට සහ­භාගි වීම­ටය.

එහිදී වූ අවා­ස­නා­වන්ත සිද්ධිය ඊට සහ­භාගි වී සිටි කීප දෙන­කුගේ රෝග තත්ත්වය උත්සන්න වීමයි. එහිදී රෝගීන් දෙදෙ­නෙකු ජිවි­ත­ක්ෂ­යට පත් වූ අතර තවත් දහ­අට දෙනෙකු ප්‍රති­කාර සඳහා එදින රාත්‍රි රෝහල් ගත කරනු ලැබූහ.

පසුව අනු­රා­ධ­පුර ශික්ෂණ රෝහලේ ප්‍රති­කාර ලබ­මින් සිටි පනස් දෙහැ­වි­රිදි පුද්ග­ල­යෙ­කුද මිය­ගියේ සිද්ධිය වී දින දෙක­කට පසු­වය.

පසු­ගිය හත් වැනිදා දහ­වල් 2.00කට පමණ ආරම්භ වී ඇති ආග­මික වැඩ­ස­ට­හන පසුදා පෙර­වරු 11.45 පමණ වන තුරු පැවැ­ත්විණි. ඒ සඳහා දිව­යිනේ විවිධ ප්‍රදේ­ශ­ව­ලින් නොයෙක් රෝගා­බා­ධ­ව­ලට ලක් වූ රෝගින් පැමිණ සිටි අතර ඉන් කිහිප දෙනෙ­කුම අාධ්‍යා­ත්මික බල­යෙන් සිය රෝගය සුව කර­ගෙන එතැ­නින් පිටව යන අයුරු දුටු අයද අපට හමු වූහ.

එදින සිදු වුයේ කුමක්ද යන්න පිළි­බඳ හොරො­ව්පො­තාන පොලි­සිය විශේෂ විම­ර්ශ­න­යක්ද ආරම්භ කර තිබේ. එදින සිය ‍රෝගි තත්ත්වය උත්සන්න වීමෙන් හොරො­ව්ප­තාන රෝහ­ලට ඇතු­ළත් කර සිටි රෝගීන්ද ප්‍රති­කාර ලබා රෝහ­ලෙන් නික්ම ගොස් ඇතැයි පොලි­සිය පව­සයි.

එම වැඩ­ස­ට­හන හොරො­ව්ප­තාන ප්‍රාදේ­ශිය සභාව මඟින් සංවි­ධා­නය කළ බවට ලද ආරං­චිය අනුව අපි ඒ පිළි­බඳ හොරො­ව්ප­තාන ප්‍රාදේ­ශිය සභාවේ සභා­පති ඩබ්ලිව්.එම් චාරික උද­යංග විජේ­රත්න මහ­තා­ගෙන් විමසා බැලු­වෙමු.

“මේ වැඩ­ස­ට­හන අප සංවි­ධා­නය කළේ නෑ. එම වැඩ­ස­ට­හන හොරො­ව්ප­තාන ප්‍රදේ­ශයේ පුද්ග­ල­යෙ­කුගේ මුලි­ක­ත්ව­යෙන් පැවැ­ත්වුණා. ඒ සඳහා අවශ්‍ය පහ­සු­කම් ලබා දෙන මෙන් අපෙන් ඉල්ලා සිටියා. ඒ අනුව ආර­ක්ෂාව, ජලය, සනි­පා­ර­ක්ෂක කට­යුතු ඇතුළු පහ­සු­කම් ලබා­දී­මට ප්‍රාදේ­ශීය සභාව කට­යුතු කළා“

අමිල ප්‍රභාත් වන­සිංහ

(අනු­රා­ධ­පුර අති­රේක)

 

 

Comments