බාල වියේ පටන් දරුවන් සතු හැකියා බොහෝය. එමෙන්ම දරුවන් ලෝකය හඳුනාගන්නේ නිවෙස සහ ඒ අවට පරිසරයෙනි. ජීවිතය විඳින්නට ද අනෙකාගේ දුක හඳුනාගන්නටද ඒ දුකට යම් පිහිටක් සොයන්නට හෝ ඊට උදව් කරන්නට ඉගෙන ගන්නේ ද නිවෙසේ ගෙවන ජීවිතයේ ලබන අත්දැකීමෙනි. අන් දුක හඳුනාගන්න වෙහෙසෙන්නෝ දවසක අනුන් වෙනුවෙන් කුමක් හෝ යහපත් දෙයක් කිරීමට සමත් වෙති. එවැනි තරුණයකු අපට අහම්බෙන් මෙන් හමු වූ බැවිනි. අන් දුක හඳුනාගන්න වෙහෙසෙන්නෝ දවසක අනුන් වෙනුවෙන් කුමක් හෝ යහපත් දෙයක් කිරීමට සමත් වෙති. එවැනි තරුණයකු අපට අහම්බෙන් මෙන් හමු වූ බැවිනි.
ඉකුත් දිනෙක මාධ්‍ය සගයකු අප කන්තෝරුවට කැඳවාගෙන පැමිණියේ තරුණයෙකි.
“මෙයා මෙහෙම හිටියට වැඩකාරයෙක්.“ ඔහු පැවැසුවේ ආඩම්බරයෙනි.
අප මාධ්‍ය සගයා තරුණයා කලක පටන් හඳුනන්නේ යැයි සිතුව ද ඔහු ද එම තරුණයා හඳුනාගෙන ඇත්තේ ඒ මොහොතේය.
කොළඹින් දුර බැහැර සිට පැමිණ සිටි තරුණයාගේ මුහුණේ තිබුණේ විඩාබර බවකි. එහෙත් තොරතුරු විමසන්නට වූ කල තරුණයා ප්‍රබෝධවත් විය.
ඔහු තම ගමන් මල්ලේ රැගෙන ආ අඩුම කුඩුම අප ඉදිරියේ දිග හරින්නට වුයේය.
ඒ අතර වුයේ කළු පැහැ පිරිමි සපත්තුවකි. අපට ඇති වූයේ කුහුලකි.
තරුණයා හඬ අවදි කරන්නට වුයේය.
“මගේ ගම කන්තලේ, අග්බෝපුර. මම සාමාන්‍ය පෙළ දක්වා ඉගෙන ගත්තේ ශ්‍රී බණ්ඩාරනායක මහා විද්‍යාලයේ. උසස් පෙළ හදාරන්න ගන්තලාව මහා විද්‍යාලයට ඇතුළත් වුණා. මෙවර මම දෙවන වරටත් ජීව විද්‍යා අංශයෙන් උසස් පෙළ විභාගයට පෙනී සිටියා. මම මුලින්ම නව නිපැයුම් විදිහට ගණිත ක්‍රම විසඳන්නේ කොහොම ද කියලා උපකරණ හැදුවා. ඒවාට මට සම්මාන ලැබුණා. ඇගයීමට ලක් වුණා.
ඉන් පස්සේ තමයි මම මේ නව උපකරණය හැදුවේ. මේක ජංගම දුරකතන චාජ් කරගන්න පුළුවන් චාජර් එකක්. මේ සපත්තුවට එය හයි කරලා තියෙනවා. ඇවිදින කොට කකුල චලනය වුණාම කුඩා මෝටරයකින් චාජරයට බලය සැපයෙනවා. මේ චාජරයෙන් ෆෝන් එක චාජ් වීමට පැය එකහාමාරක් විතර යනවා. කකුලේ තිබෙන චාජරය ගහලා තියෙන්නේ සාක්කුවේ තියෙන ෆෝන් එකට.
විසි හැවිරිදි කේ. ආර්. චතුර මධූමාල් පවසන්නේ තමන් විසින් නිර්මාණය කරන ලද නව නිපැයුම අපට පෙන්වමිනි.
ඕනෑ තරම් ජංගම දුරකතන උපාංග මෙන්ම විවිධ අන්දමේ ෆෝන් චාජර් තිබියදී සපත්තුවකට සවි කළ ෆෝන් චාජරයක් කුමකට දැයි කෙනෙකුට සිතෙන්නට පුළුවන.
“මගේ පවුලේ ඔක්කෝම හය දෙනයි. මල්ලියි මමයි නිවුන් සොහොයුරෝ. අපට නංගි කෙනෙක් ඉන්නවා. අම්මාට රස්සාවක් නැහැ. තාත්තා කරන්නේ කුලී වැඩ. තාත්තා දවසේ කුලියට වැලි ගොඩදාන්න යනවා. උදේ පාන්දර ගෙදරින් ගියාම තාත්තා එන්නේ මහ රෑ. නැති නම් පහු දාට එළි වෙලා. තාත්තා වැලි ගොඩදාන්න කින්නියා වගේ පැතිවලට වගේ ගමෙන් ඈත දුර යනවා.
තාත්තා නිතරම කියන දෙයක් තමයි එයාගේ ෆොන් එකේ බැටරිය බහිනවා කියලා. මඟදි ෆෝන් එක චාර්ජ් කරගන්න විදිහකුත් නැහැ. එහෙම වුණාම අපට තාත්තා ගැන ඔහු ගෙදර එන තුරු දැන ගන්න විදිහක් නැහැ. ඒ වගේම තමයි ගමේ ඉන්න මාමලා කුඹුරු කරන්න ගොඩක් දුර යනවා. ඒ ගියාමත් එයාලට ෆෝන් එකේ බැටරි බැස්සොත් ආයේ චාර්ජ් කරගන්න විදිහක් නැහැ. අපේ ගමේ අයට මේක මහ කරදරයක්. හදිස්සියට ගෙදරට පණිවිඩයක් දෙන්නවත් විදිහක් නැහැනේ. මට මගේ තාත්තා ගැන වගේ අපේ ගමේ අය ගැනත් දුක හිතුණා.
මම බැලුවා මොකක්ද මේකට කරන්න පුළුවන් විසැඳුම කියලා. ඒ නිසා තමයි මම දන්න දැනුම භාවිතා කරලා මේ චාජරය හැදුවේ. එය නව නිපැවුම්වලින් පළමු තැනට තේරුණා. ඒ වගේම ican 2016 අන්තර්ජාතික නව නිපැයුම් තරගයේදී මට රන් පදක්කමක් ලැබුණා. නමුත් ඒ රන් පදක්කම ගන්න මට කැනඩාවට යන්න අවස්ථාව ලැබුණේ නැහැ. මට පාස්පෝට් හදාගන්න වගේම ඒ ගමනට සුදානම් වෙන්න සර් කෙනෙක් සහ තවත් අය සහයෝගය දුන්නා. ඒත් මට කැනඩාවට යන්න වීසා ලැබුණේ නැහැ. ඒ රන් සම්මානය විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් ලංකාවට ගෙනැත් තියෙනවා.“
ඔහුට ජීවිතේ අරමුණක් ඇත. ඒ තම ගම්පළාතට සරිලන අයුරින් මේ නව නිපැයුම තවත් දියුණු කිරීමය. තමන්ගේ ගමේ ඇත්තන්ට පමණක් නොව දුර බැහැර බොහෝ ගම්මානවල වැසියන්ට මේ සපත්තු චාජරය අවශ්‍ය වන බවය. නමදු තරුණයාට එය වැඩි දියුණු කිරීමට තරම් ආර්ථික ශක්තියක් නැත.
2014/2015 නව නිපැයුම් සම්මාන දිනූ හොඳම 10 දෙනා අතර |
“අපේ තාත්තා අප ජීවත් කරන්න බොහෝ මහන්සි වෙනවා. ඔහුට ස්ථිර රැකියාවක් නැහැ. මගේ නංගිලා මල්ලිලා තවම ඉගෙන ගන්නවා. නමුත් මගේ අධිෂ්ඨානය කෙසේ හෝ මේ අභියෝග ජය ගැනීමටයි. මම ජයග්‍රහණය කළ රන්පවුම ජනාධිපතිතුමාගේ අතින් ලැබෙන බව දැනුම් දී තිබෙනවා. එය මට විශාල සතුටක්. “චතුර පවසන්නේ උද්යෝගයෙනි.
අපේ වැනි රටවලට අවශ්‍ය මෙවැනි තරුණයෝය. ඔවුන්ගේ දැනුම කුසලතාව රටේ සංවර්ධනය, කර්මාන්ත දියුණුව සඳහා යොදාගන්නේ නම් කොතරම් අගනේද?
ඡායාරූප - ගයාන් පුෂ්පික