ශ්‍රී ලාංකික විචි­ත්‍ර­ත්වය ඇමෙ­රි­කා­වට ගෙන යන The Beauty Of Sri Lanka | Page 2 | සිළුමිණ

ශ්‍රී ලාංකික විචි­ත්‍ර­ත්වය ඇමෙ­රි­කා­වට ගෙන යන The Beauty Of Sri Lanka

ශ්‍රී ලාංකික විචි­ත්‍ර­ත්වය ලොවට කියා­පාන හා දේශීය අන­න්‍ය­තාව ලොවට ප්‍රද­ර්ශ­නය කෙරෙන “The Beauty Of Sri Lanka -2019” ඡායා­රූප ප්‍රද­ර්ශ­නය සහ ප්‍රව­ර්ධන වැඩ­ස­ට­හන ඇමෙ­රි­කාවේ ලොස්ඇ­න්ජ­ලීස් නුවර කැලි­ෆො­නියා විශ්ව­වි­ද්‍යා­ල­යේදී මේ 21 සිට 27 දක්වා පැවැ­ත්වෙයි. ඇමෙ­රිකා ශ්‍රී ලංකා ඡායා­රූප කලා සංග­මය ප්‍රද­ර්ශ­නය සංවි­ධා­නය කරයි.

දේශී­ය­ත්වය ලෝක­යට....

වසර 2500කට වඩා ඉති­හා­ස­ය­කට හිමි­කම් කියන ශ්‍රී ලංකාව පෞඪ ඉති­හා­ස­යක් මෙන් ම සුවි­ශේෂී ස්වභාව සෞන්ද­ර්යක් සහිත දිව­යි­නකි. එකී දිව­යිනේ සුන්ද­ර­ත්වය මෙවර ප්‍රද­ර්ශ­න­යෙන් ලොවට ප්‍රද­ර්ශ­නය කරයි.

ශ්‍රී ලංකා­වට අවේ­ණික සුවි­ශේෂී සත්ත්ව හා ශාක රැසක් ඇති තෙත් සදා­හ­රිත වනා­න්ත­ර­යක් වන සිංහ­රාජ වනා­න්ත­රය, දිය­ලුම, දුන්හිඳ වැනි මන­ස්කාන්ත දිය­ඇලි, උඩ­ව­ලව, යාල වැනි සුන්දර අභ­ය­භූමි, සුන්දර මධ්‍යම කඳු­ක­රය, අලං­කා­ර­වත් තේ වතු, මන්දා­රම් නුවර වැනි කදු නිම්න තැනි­ත­ලා­ව­ලින් සම­න්විත, මහ­වැලි, කළු වලවේ යන මහා ගංගා­ව­න්ගෙන් පෝෂිත කෙත් යායෙන් පිරි පරි­ස­රය, මහා රජ දරු­වන් ඉදි කළ අභය වැව, තෝපා­වැව, කලා­වැව යන වාරි සංස්කෘ­ති­යෙන් ආඪ්‍ය වූ කෘෂි­ක­ර්මා­න්තය, හික්ක­ඩුව, ආරු­ගම්බේ, නිලා­වේලි, මාබල් බීච් වැනි අති සුන්දර රම­ණීය වෙරළ තීර ශ්‍රී ලංකාව ලෝකයේ තිබෙන මන­ස්කාන්ත දිව­යින බවට සාක්ෂි සප­යයි. එවන් සුන්ද­ර­ත්වය සහිත දිව­යි­නක තෙවැනි ඇසක සට­හන් එම ඡායා­රූප ප්‍රද­ර්ශ­නය මඟින් ඔබ සමී­ප­යට ගෙන එයි.

ඡායා­රූප කලා­වෙන් ලොව දිනුවෝ

ප්‍රද­ර්ශ­නය සඳහා ශ්‍රී ලංකාව නියෝ­ජ­නය කර­මින් ඡායා­රූප ශිල්පීහු 06 දෙනෙක් ඇමෙ­රි­කාව බලා පිටත්ව යෑමට සූදා­න­මින් සිටිති. කේ.ජී.කීර්තිර්ත්න , යමුනී රශ්මිකා පෙරේරා ,රංජනී පෙරේරා, විකුම් සේනා­නා­යක, රෝහිත ගුණ­ව­ර්ධන, කුමාර කරු­ණා­රත්න යන විශිෂ්ට ඡායා­රූප ශිල්පීන් එසේ සහ­භාගී වන අතර යමුනි රශ්මිකා පෙරේරා ,රංජනී පෙරේරා යන කාන්තා ඡායා­රූප ශිල්පි­නි­යන් දෙදෙ­නෙකු එක් වන්නේ ප්‍රථම වර­ටය.

මේ ඡායා­රූප ප්‍රද­ර්ශ­නයේ දී ශ්‍රී ලංකාවේ වන­ජීවී, ස්වාභා­වික සෞන්දර්ය, නාග­රික සංව­ර්ධ­නය, සංස්කෘ­තික වටි­නා­කම්, කලාව, ආදී සංචා­රක ආක­ර්ෂ­ණය ඇති කර­වන කෘති රැසක් ප්‍රද­ර්ශ­න­යට එක් කර ඇත. එහි ප්‍රද­ර්ශ­නය කෙරෙන ඇතැම් කෘති අන්ත­ර්ජා­තික වශ­යෙන් සුවි­ශේෂී සම්මා­න­යන්ට පාත්‍ර වූ නිර්මා­ණයි.

තෙවැනි ඇසක අත්දැ­කීම් හුව­මා­රුව

ශ්‍රී ලංකාව නියෝ­ජ­නය කර­මින් එක්වන ඡායා­රූප ශිල්පීන්ට අම­ත­රව ඇමෙ­රි­කාවේ සිටින ප්‍රවීණ ඡායා­රූප ශිල්පීන් රැසක් මේ ඡායා­රූප ප්‍රද­ර්ශ­නය සඳහා එක්වීම ද සුවි­ශේෂී වෙයි.

දෙරටේ සිටින ඡායා­රූප ශිල්පීන් සිය ක්ෂේත්‍රයේ අත්දැ­කීම් හුව­මාරු කර­ගැ­නීම සඳහා දැනු­වත් කිරීමේ වැඩ­මුළු ද එම ප්‍රද­ර්ශ­න­යට සම­ගා­මීව පව­ත්වනු ලබයි.

මෙම ඡායා­රූප ප්‍රද­ර්ශ­නය පිළි­බ­ඳව අද­හස් දක්වන ලොස් ඇන්ජ­ලීස් නුවර කොන්සි­යු­ලර් කාර්යා­ලයේ අධ්‍යක්ෂ ජන­රාල් ස්වර්ණා ගුණ­රත්න මහ­ත්මිය සඳ­හන් කරන්නේ, ශ්‍රී ලාංකික අන­න්‍ය­තාව කියා­පාන ඡායා­රූප රැසක් සහිත ප්‍රද­ර්ශ­න­යක් ඉහළ මට්ට­මින් පැවැ­ත්වී­මට හැකි වීම පිළි­බඳ සතු­ටට පත් වන බවය. එමෙන් ම මෙවැනි ප්‍රද­ර්ශන මඟින් ශ්‍රී ලංකාවේ සංචා­රක ව්‍යාපා­ර­යට ධනා­ත්මක සහ­යෝ­ග­යක් ලබා­දී­මට හැකි­වන බව ද ඇය ප්‍රකාශ කරයි.

ඇමෙ­රිකා ශ්‍රී ලංකා ඡායා­රූප කලා සංග­මයේ සභා­පති සූරිය පෙරේරා එම කාර්ය වෙනු­වෙන් සුවි­ශාල දාය­ක­ත්ව­යක් ලබා­දෙයි. 2018 වසරේ ලෝක පරි­සර දිනය වෙනු­වෙන් ලොස් ඇන්ජ­ලීස් නුවර සෙපු­ල්වෙදා වන­ජීවී කලා­ප­යේදී පැවැත්වු කුරු­ල්ලන් නැර­ඹිම, චිත්‍ර ඇඳීම හා ජායා­රූ­ප­ක­ර­ණය වැඩ­මු­ළු­වට සහ­භා­ගිවු දරු­දැ­රි­යන්ට සහ­තික පත්‍ර ප්‍රදා­න­යද එදින සිදු වේ.

ශ්‍රී ලංකාව පිළි­බ­ඳව ඇතැම් තැන වැරදි ප්‍රචාර වැරදි ප්‍රති­රූප ගොඩ­නැ­ඟෙන අව­ධි­යක ශ්‍රී ලංකාවේ කීර්තිය කියා­පෑ­මට ශ්‍රී ලාංකික ඡායා­රූප ශිල්පීන් කීප­දෙ­නෙකු මේ සඳහා දරන්නා වූ කැප­වීම මෙහිදී අගය කළ යුතු වෙයි.

ඇමෙ­රි­කාවේ සිටින අපේම ජන­තා­වට ද තම මවු රටේ සුන්ද­ර­ත්වය දැක­බ­ලා­ගැ­නී­මට මෙය කදිම අව­ස්ථා­වක් වී තිබේ. එමෙන් ම එරට සිටින දරු පර­ම්ප­රා­වට ශ්‍රී ලංකාවේ අසි­රිය දැක බලා­ගැ­නී­මට එම­ඟින් අව­ස්ථා­වක් උදා වී තිබේ.

 

Comments