පාකිස්තානය ආරක්ෂාව තහවුරු කරද්දී ශ්‍රී ලංකාව තරගාවලියට එක්වෙයි | සිළුමිණ

පාකිස්තානය ආරක්ෂාව තහවුරු කරද්දී ශ්‍රී ලංකාව තරගාවලියට එක්වෙයි

 ශ්‍රී ලංකා - පාකිස්තාන් එක්දින සහ විස්සයි 20 තරගාවලිය

තරග 06 කින් සමන්විත තරග සංචාරයක් සඳහා ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම ලබන 25 වැනිදා පාකිස්තානය බලා පිටත්ව යෑමට නියමිතය. ඊට එක්දින සහ 20 - 20 ජගත් තරග 03 බැගින් අයත්ය. මෙම සංචාරය සැප්තැම්බර් මස 27 වැනිදා සිට ඔක්තෝබර් 09 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතව ඇත.

කෙසේ වෙතත් මේ සංචාරය ඇරඹීමට පෙරම ඒ වෙත දැඩි අවධානයක් යොමු විය. ඒ ශ්‍රී ලංකා කණ්ඩායමට ත්‍රස්තවාදී ප්‍රහාරයක් එල්ල වීමට අවස්ථාව තිබෙන බවට වාර්තා වීම නිසාය. එමෙන්ම ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් 10ක්ම පාකිස්තාන සංචාරයට සහභාගි වීම ප්‍රතික්ෂේප කිරීම නිසාත්ය. තවද ඔවුන් මේ සංචාරයෙන් ඉවත් වීමටත් ක්‍රියා කළහ.

ඒ නිසාම ළහිරු තිරිමාන්න සහ දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් එක්දින සහ 20 - 20 කණ්ඩායම් 02 ක් පාකිස්තාන් සංචාරයට සහභාගි කරවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කළේය. ඉහත ඉවත් වූ පිරිසට ටෙස්ට්, එක්දින නායක දිමුත් කරුණාරත්න සහ 20 - 20 නායක ලසිත් මාලිංගත් අයත්ය. ඇන්ජලෝ මැතිව්ස්, ධනංජය ද සිල්වා, කුසල් පෙරේරා, සුරංග ලක්මාල්, දිනේෂ් චන්දිමාල්, අකිල ධනංජය, නි‍රෝෂන් දික්වැල්ල සහ තිසර පෙ‍රේරා සෙසු ක්‍රීඩකයෝය.

මේ සංචා‍රයේ එක්දින ජගත් තරග කරච්චි නුවර ජාතික ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. 20 - 20 තරග ලාහෝර් නුවර ගඩාෆි ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.

මෙසේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් පාකිස්තාන සංචාරයෙන් ඉවත්වීමට හේතු 03ක් බලපා තිබෙන බවට වාර්තා වේ. ඔවුන්ගේ පවුල්වල ඥාතීන් මෙම සංචාරයට සහභාගි නොවන ලෙසට ඉල්ලීම් කර තිබේ. එමෙන්ම මෙම සංචාරය තහවුරු කිරීමට පෙර ක්‍රිකට් බලධාරින් ක්‍රීඩකයන් සමඟ ඒ සම්බන්ධයෙන් කිසිඳු ආකාරයක හෝ සාකච්ඡාවක් නොකළ බවට ක්‍රීඩකයන් නගන චෝදනාවයි.

අනෙක් හේතුව වන්නේ ටෙස්ට් ක්‍රීඩා කරන අනෙක් ප්‍රධාන කණ්ඩායම් තවදුරටත් පාකිස්තානයේ සංචාරය නොකරන තත්ත්වයක් යටතේ 2009 දී ත්‍රස්ත ප්‍රහාරයට ලක්වූ ශ්‍රී ලංකා කණ්ඩායම මුලින් ම එහි සංචාරයක් සඳහා සහභාගි ‍වන්නේ කුමක් නිසාද යන්නයි.

මේ අතර ශ්‍රී ලංකා කණ්ඩායම පාකිස්තාන සංචාරයේ නිරත වුවහොත් එහිදී ඔවුන්ට ත්‍රස්ත තර්ජනයක් එල්ල විය හැකි බවට විශ්වාසදායක තොරතුරු අග්‍රාමාත්‍ය කාර්යාලයට ලැබී ඇති බවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉකුත් දිනවලදී ප්‍රකාශ කළේය.

එබැවින් සංචාරයේ යෙදීමට පෙර අතීශය සැලකිලිමත් වන ලෙසත් තත්ත්වය ගැන නැවත සොයා බලන ලෙසත් තමන්ට උපදෙස් ලැබී තිබෙන බවද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අදාළ නිවේදනය මගින් වැඩිදුරටත් දැන්වීය. මේ අතර සිය පවුල්වලින් තමන්ට මෙම සංචාරයට සහභාගි වීම සම්බන්ධයෙන් විරෝධයක් දැක්වූ බව ඇතැම් ක්‍රීඩකයන් බී.බී.සී. සේවයට පවසා තිබුණාහ.

පසුගිය දිනවලදී පාකිස්තානයේ ක්‍රියාත්මක වන ආරක්ෂක වැඩපිළිවෙළ ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ක්‍රීඩකයන්ට පැහැදිලි කර තිබේ. එම පැහැදිලි කිරීමෙන් පසුත් ක්‍රීඩකයන් පාකිස්තානයට යෑමට අකමැති නම් 2017 වසරේ මෙන්ම නවක ක්‍රීඩකයන්ගෙන් සමන්විත කණ්ඩායමක් පාකිස්තානය බලා පිටත් කිරීමට ශ්‍රී ලංකා ආයතනය තීරණය කර තිබිණි.

අවසානයේදී සිදු වූයේත් එයමයි. 2017 වසරේදී තිසර පෙරේරාගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායම පාකිස්තානයේ ලාහෝරයේදී තෙවන සහ අවසන් 20 - 20 තරගයට සහභාගි විය. එය 2009 වසරේදී ලාහෝර් නුවරදී බස් රථයක් තුළ සිටියදී ශ්‍රී ලංකා කණ්ඩායමට එල්ල වූ ත්‍රස්තවාදි ප්‍රහාරයෙන් අනතුරුව එරටට ගිය ප්‍රථම අවස්ථාවත් විය.

‍‍‍පාකිස්තාන තරග සංචාරයට සහභාගි වන ශ්‍රී ලංකා සංචිතයට නායකයෝ දෙදෙනෙකි. ඒ එක්දින ජගත් තරගමාලාවට ළහිරු තිරිමාන්න සහ 20 - 20 තරගමාලාවට දසුන් ශානක වශයෙනි. ශ්‍රී ලංකා සංචිතයට අයත් සෙසු ක්‍රීඩකයන් මෙසේය. මිනෝද් භානුක, අවිශ්ක ප්‍රනාන්දු, ඕෂද ප්‍රනාන්දු, ධනුෂ්ක ගුණතිලක, වනිඳු හසරංග, ෂෙහාන් ජයසූරිය, ළහිරු කුමාර, ඇන්ජලෝ පෙරේරා, නුවන් ප්‍රදීප්, කසුන් රාජිත, සධීර සමරවික්‍රම, ලක්ෂාන් සඳකැන්, ඉසුරු උදාන, ළහිරු මධුශානක, භානුක රාජපක්ෂ.

මේ අතරින් ළහිරු තිරිමාන්න එක්දින තරගමාලාවට පමණක් ක්‍රීඩා කරනු ඇත. එමෙන්ම භානුක රාජපක්ෂ සහ ළහිරු මධුශානක 20 - 20 තරගවලට පමණක් ක්‍රීඩා කිරීමට නියමිතය. 2009 ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව ශ්‍රී ලංකා කණ්ඩායමක් සම්පූර්ණ සංචාරයක් සඳහා පාකිස්තානයේ සංචාරයක නිරත වන ප්‍රථම වතාවත් මෙවර වේ. එමෙන්ම 2009 ප්‍රහාරයෙන් අනතුරුව ජගත් ක්‍රිකට් කණ්ඩායමක් පාකිස්තානයේ නිරතවන දීර්ඝතම තරග සංචාරයත් මෙවරය.

මේ වසරේ මැයි මාසයේදී ආසියනු ක්‍රිකට් සභාව (ඒ.සී.සී.) රැස්වීමක් පැවැත්වූයේ සිංගප්පූරුවේදීය. එහිදී පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ඉල්ලීමක් කර තිබේ. එනම් පාකිස්තානයේදී ටෙස්ට් තරග 02කට ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රීඩා කරන ලෙසටයි.

ඒ අනුව ජූලි මාසයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් ඇතුළු පිරිසක් පාකිස්තානය බලා පිටත් වූහ. ඒ එරටේ ආරක්ෂිත වාතාවරණය ගැන අවධානය යොමු කිරීමටයි. එය යහපත් බවට වාර්තා කර තිබුණි. ඒ ජනාධිපති ආරක්ෂාවට සමාන ආරක්ෂාවක් ශ්‍රී ලංකා කණ්ඩායමට ලබා දෙන බවට එර‍ෙට් ක්‍රීඩා බලධාරින් පොරොන්දු වීම හේතුවෙනි. කෙසේ වෙතත් ගත වූ සති කිහිපය තුළදී ශ්‍රී ලංකා කණ්ඩායම පාකිස්තාන සංචාරයක නිරත වීම සුදුසුදැයි විවිධ මත ඇති විය. මේ තත්වය යටතේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පාකිස්තානය බලා පිටත් වීමට පෙර එරටේ ආරක්ෂක මට්ටම පිළිබඳ නැවත තක්සේරු කිරීම පිණිස ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරිහු ශ්‍රී ලංකා රජයේ සහාය පැතූහ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රකාශ කළේ ක්‍රීඩා අමාත්‍යාංශය තුළින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට අග්‍රාමාත්‍ය කාර්යාලයෙන් ලැබුණු අනතුරු ඇඟවීමකින් පසුව ඉහත තීරණයට එළඹුණු බවයි. මේ අතර ඉන්දියාවේ බලපෑම මත ශ්‍රී ලංකා ජ්‍යෙෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩකයන් මෙම තරග සංචාරයට එක් නොවන බවට පාකිස්තාන ඇමැතිවරයෙක් චෝදනාවක් කර තිබුණි.

“ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයෝ පාකිස්තානයේ සංචාරය කළහොත් අයි.පී.එල්. තරගාවලියට සහභාගි කර නොගන්නා බවට ඉන්දියාව ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ට තර්ජනය කර තිබෙන බවට ක්‍රීඩා විචාරකයන් මට පැවසුවා.” එසේ ප්‍රකාශ කර තිබුණේ පාකිස්තාන විද්‍යා සහ තාක්ෂණ කටයුතු ඇමැති ෆවාඩ් හුසේන්ය.

මෙය සත්‍ය වශයෙන්ම පදනම් විරහිත ප්‍රකාශයකි. ඒ මන්ද යත් පාකිස්තාන සංචාරයට සහභාගි වීම ප්‍රතික්ෂේප කළ ක්‍රීඩකයන් අතරින් පසුගිය වසර කිහිපය පුරාවටම අයි.පී.එල්. තරගවලට සහභාගි වූයේ එක් ක්‍රීඩකයෙක් පමණකි. ඒ ලසිත් මාලිංගයි. මේ අතර ශ්‍රී ලංකා ක්‍රීඩක‍යන් පාකිස්තානයේ සංචාරය නොකිරීමට හේතුව 2009 එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය බවත් ඊට වෙනත් කරුණක් අදාළ නොවන බව හරින් ප්‍රනාන්දු ක්‍රීඩා ඇමැතිතුමා පවසයි.

“අපි ක්‍රීඩකයන්ට අවස්ථාව ලබා දුන්නා තීරණයක් ගන්න. මොකද ඇතැම් අයගේ පවුල්වල අය කැමැති වුනේ නැහැ. ඔවුන් මේ සංචාරයේ යනවාට. අපි ඔවුන්ගේ තීරණයට ගරු කරනවා. ඒ ගැන විවේචන එල්ල කිරීම අසාධාරණයි.” ක්‍රීඩා ඇමැතිතුමා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.

2009 ත්‍රස්ත ප්‍රහාරයට ලක්වූ ක්‍රීඩකයන් අතරින් තවමත් ජාතික කණ්ඩායමට ක්‍රීඩා කරන්නේ සුරංග ලක්මාල් පමණි. ඔහු මෙවර පාකිස්තාන සංචාරයට යෑම ප්‍රතික්ෂේප කළ ක්‍රීඩක පිරිස අතර සිටියි. ඇන්ජලෝ මැතිව්ස් ඒ වන විට ටෙස්ට් වරම් ලබා සිටියේ නැත. කෙසේ වෙතත් 2009 ටෙස්ට් තරග ඇරඹීමට පෙර එක්දින තරග පැවැත්විණි. මැතිව්ස් එම එක්දින කණ්ඩායමට ඇතුළත්ව සිටියේය.

මෙවර පාකිස්තාන සංචාරයට සහභාගි වීම ප්‍රතික්ෂේප කළ ක්‍රීඩකයන් අතරින් බොහෝ දෙනාගේ අවධානය යොමු වූයේ තිසර පෙරේරා වෙතටයි. ඒ හෙතෙම මීට පෙර අවස්ථා දෙකකදී එරටේදී ක්‍රීඩා කර තිබෙන බැවිනි. ඔහු 2017 වස‍ෙර්දී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා ලෙසට එරටේදී ක්‍රීඩා කළේය. අනෙක් අවස්ථාව ලෝක කණ්ඩායම නියෝජනය කරමිනි.

තිසර ඉකුත් දිනවලදී බටහිර ඉන්දීය කොදෙව් දූපත් හී පැවැති කැරිබියානු ලීග් (සී.පී.එල්.) 20 - 20 තරගාවලියට ක්‍රීඩා කරමින් සිටියේය. කෙසේ වෙතත් පාකිස්තාන සංචාරයට සහභාගි නොවන්නේ නම් සී.පී.එල්. තරගාවලියටත් සහභාගි නොවන ලෙසට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් තිසරට මෙන්ම නිරෝෂන් දික්වැල්ලටත් දැන්වීය.

ජාතික කණ්ඩායමේ තරගාවලියක් ක්‍රීඩා නොකර එයින් ඉවත් වී වෙනත් තරග සඳහා ක්‍රීඩා කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ට අවසර නොදීමේ ප්‍රතිපත්තිය මත එම තීරණය ගත් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රකාශ කළේය.

පාකිස්තානයේ ක්‍රිකට් තරග සංචාරයක නිරත වීමට නියමිත ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට එරටේ ආරක්ෂාව ගැන සෑහීමකට පත් විය හැකි බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ආරක්ෂක උපදේශක එයාර් චිෆ් මාෂල් රොෂාන් ගුණතිලක මහතා පැවසීය.

“පාකිස්තානයේදී අපේ ක්‍රීඩකයන්ට ලැබෙන ආරක්ෂාව පිළිබඳ අප සොයා බැලුවා. අපට සෑහීමකට පත්විය හැකි ආකාරයේ ආරක්ෂක වැඩපිළිවෙළක් එරටේ ආරක්ෂක අංශ විසින් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙනවා.” ගුණතිලක මහතා තවදුරටත් පැවසීය.

පාකිස්තානයේ ප්‍රතිචාර

ශ්‍රී ලංකා කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් 10 දෙනෙක් මේ පාකිස්තානු සංචාරයෙන් ඉවත් වීම ගැන එරටේ හිටපු ක්‍රීඩකයන් කිහිපදෙනෙක් ම විවේචනයන් කර තිබුණි. ඒ අතරින් සුපිරිතම තරු යුගලයක් වන ජාවෙඩ් මියැන්ඩාඩ් සහ ෂොයිබ් අක්තාර් වඩාත් කැපී පෙනෙති. හිටපු නායකයකු මෙන් ම විශිෂ්ටතම පිතිකරුවකු වන මියැන්ඩාඩ් පවසන්නේ ඉහත ක්‍රීඩකයන් 10 දෙනාට එරෙහිව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් දඬුවම් කළ යුතු බවය.

“මම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ‍යෝජනාවක් කරනවා. එනම් පාකිස්තාන සංචාරයෙන් ඉවත් වූ ක්‍රීඩකයන්ට දඬුවම් කළ යුතුයි කියලා. ඒ වගේම පාකිස්තාන කණ්ඩායමටත් මම යමක් පැවසිය යුතුයි. එනම් සංචාරයට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායමේ මට්ටම කුමක් වුවත් පාකිස්තානය ඔවුන්ගේ උපරිම දක්ෂතාව දැක්විය යුතුයි.” මියැන්ඩාඩ් පැවසීය.

ෂොයිබ් අක්තාර් ක්‍රිකට් ක්‍රීඩා ඉතිහාසයේ බිහි වූ විශිෂ්ටතම එමෙන්ම වේගවත්ම පන්දු යවන්නෙකි. හෙතෙම පවසන්නේ පාකිස්තානය සෑම විටම ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවට විශාල සහයෝගයක් ලබාදීමට ක්‍රියා කළ බවය. ‍එමෙන්ම පාකිස්තාන සංචාරයෙන් ඉවත් වූ ශ්‍රී ලංකා ක්‍රීඩකයන් ගැන තමාගේ බලාපොරොත්තු සුන් වූ බවයි.

“අපේ ජාතික කණ්ඩායම සැමවිටම ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට විශාල සහයෝගයක් ලබා දීමට කටයුතු කළා. සංචාරයෙන් ඉවත් වූ ශ්‍රී ලංකා ක්‍රීඩකයන් 10 දෙනා ගැන මගේ බලාපොරොත්තු සුන් වුනා. පාස්කු ඉරු දින ප්‍රහාරයෙන් පසුව ශ්‍රී ලංකාවේ ස්වේච්ඡාවෙන් සංචාරය කළ ප්‍රථම ජගත් කණ්ඩායම වුණේ අපේ වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායමයි.” අක්තාර් පැවසීය.

එමෙන්ම ශ්‍රී ලංකාව ලෝක ශූරයෝ වූ 1996 ලෝක කුසලාන තරගාවලිය සමයේ සිදු වූ විශේෂ සිදුවීමක් යළි මතක් කිරීමටත් අක්තාර් අමතක නොකරයි. ඒ ඉන්දීය - පාකිස්තාන ඒකාබද්ධ කණ්ඩායම ශ්‍රී ලංකාවේදී විශේෂ තරගයකට සහභාගි වීමයි.

“ඔව්. කාටද 1996 ලෝක කුසලාන තරගාවලිය අමතක කරන්න පුළුවන් වෙන්නේ. ඔස්ට්‍රේලියාව සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත් කණ්ඩායම් ශ්‍රී ලංකාවේ සංචාරය කිරීම ප්‍රතික්ෂේප කළා. ඒ අවස්ථාවේදී පාකිස්තාන් ඉන්දීය ඒකාබද්ධ කණ්ඩායම කොළඹදී සුහද තරගයකට ක්‍රීඩා කළා.” අක්තාර් වැඩිදුරටත් පැවසීය.

මේ අතර පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති ඊහ්ෂාන් මානි කුමන හේතුවක් නිසාවත් මෙම සංචාරයේ තරග වෙනත් රටක පැවැත්විය නොහැකි බවට අවධාරණය කළේය.

“නියමිත පරිදි තරග පැවැත්වෙනවා. වෙනත් ස්ථානයක තරග පවත්වන්න බැහැ. ඊට අවශ්‍ය කාලයත් නැහැ.” මානි පැවසීය. හෙතෙම අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ (අයි.සී.සී.) හිටපු සභාපතිවරයෙකුත් වේ.

අයි.සී.සී. තීරණය

අන්තර්ජාතික ක්‍රිකට් සභාව (අයි.සී.සී.) විසින් ද පාකිස්තානයේ ආරක්ෂිත බව ගැන විශේෂ අවධානයක් යොමු කිරීමට ඉකුත් දිනවලදී තීරණය කළේය. ඒ මෙම තරග සංචාරය සඳහා විනිසුරුවන්, ප්‍රධාන තරග තීරකවරයා පත් කිරීම ඔවුන්ගේ වගකීම වන බැවිනි.

කිසියම් හෙයකින් පාකිස්තානය විසින් සකස් කර තිබෙන ආරක්ෂිත වැඩපිළිවෙළ ගැන අයි.සී.සී. විසින් සෑහීමට පත් වූයේ නැතිනම් ඔවුන් විනිසුරුවන් හෝ ප්‍රධාන තරග තීරකවරයා පත් නොකරනු ඇත. එසේ වුවහොත් එහි වගකීම දෙරටේ ක්‍රිකට් බලධාරීන් විසින් ලබා ගත යුතුය. 2015 වසරේදී සිම්බාබ්වේ ජාතික කණ්ඩායම පාකිස්තාන තරග සංචාරයක නිරත වූයේය. එහිදී. අයි.සී.සී. විසින් විනිසුරුවන් පත් කළේ නැත. එම කටයුත්ත සිදු කළේ දෙරටේ ක්‍රිකට් බලධාරින් විසිනි.

එහිදී එක්දින තරග 03 කින් සමන්විත තරගමාලාවක් පැවැත්විණි. ඊට පසුව එරටේදී පැවැත්වෙන ප්‍රථම එක්දින ජගත් තරගමාලාවත් මෙවර ශ්‍රී ලංකාව සහභාගි වන තරගමාලාවයි.

 

Comments