මලල ක්‍රීඩා පිටියේ වලල සලකුණ | සිළුමිණ

මලල ක්‍රීඩා පිටියේ වලල සලකුණ

ලාංකේය පාසල් මලල ක්‍රීඩා කෙත නිරන්තරයෙන්ම පෝෂණය කරන වලල ඒ. රත්නායක මධ්‍ය විද්‍යාලය 89 වැනි ජ්‍යෙෂ්ඨ සර් ජෝන් ටාබට් මලල ක්‍රීඩා තරගාවලියේ බාලිකා ශූරතාව 21 වැනි වතාවටත් දිනා ගනිද්දී පිට පළාත් බාලක ශුරතාව ද දිනා ගැනීමට මෙවර සමත් විය. පසුගිය වසර කිහිප‍යේම බාලක ශූරතාව හිමිකර ගත් මීගමුව මාරිස්ස්ටෙල්ලා විද්‍යාලය මෙවර දැඩි පසුබෑමකට ලක් වූ අතර, බම්බලපිටිය ශා. පීතර විද්‍යාලය මෙවරත් බාලක ශූරතාව දිනා ගැනීමට සමත් විය. මෙවර බාලක අනුශුරතාව හිමි වූයේ මීගමුව ශා. බෙනඩික්ට් විද්‍යාලයටයි.

මෙවර වලල රත්නායක බාලිකාවන් ලබා ගත් ලකුණු 304 බාලක - බාලිකා දෙඅංශයෙන්ම වාර්තාකර ගත් ඉහළම ලකුණු සංඛ්‍යාව වීම ද විශේෂත්වයකි. දින තුනක් පුරා පැවැති තරගාවලියේ ක්‍රීඩක - ක්‍රීඩිකාවන් දැක් වූ සියලු දක්ෂතා හමුවේ දක්ෂතම ක්‍රීඩකයාට හිමි සම්මානය දිනා ගැනීමට ප්‍රසාද ලකුණු 1014 ක් හිමි කර ගත් හලාවත ශා. මරියා විද්‍යාලයේ චමෝද් යෝධසිංහ සමත් විය. ඒ වයස අවුරුදු 20න් පහළ දුර පැනීමේ ඉසව්වට මීටර් 7.43ක දක්ෂතාවක් ප්‍රදර්ශනය කරමින්ය. දක්ෂතම ක්‍රීඩිකාවට හිමි සම්මානය දිනා ගැනීමට රාජගිරිය ගේට්වේ පාසලේ ෂෙලින්ඩ‍ා ජැන්සන් සමත්වූවාය. ඒ වයස අවුරුදු 20න් පහළ මීටර් 200 ඉසව්ව තත්පර 24.69 ක කාලකින් නිමා කරමින් දැක්වූ දක්ෂතාවටයි. පිට පළාත් බාලක ශුරතාව වලල බාලකයන්ට හිමි වන විට බාලිකා ශුරතාව ගම්පහ සිරිකුරුස විද්‍යාලයට හිමි විය. එමෙන්ම සමස්ත බාලිකා අනුශූරතාවද සිරිකුරුස විද්‍යාලයට හිමි විය.

වයස අවුරුදු 16-18-20 න් පහළ බාලිකා ශුරතා තුනම සහ සහාය දිවිමේ ශුරතාව දිනා ගැනීමට වලල බාලිකාවෝ සමත් වූහ. එම වයස් කාණ්ඩ තුනේ බාලක ශුරතාවන් දිනා ගැනීමට පිළිවෙළින් කුරුණෑගල ශ්‍රීමත් ජෝන් කොතලාවල, බම්බලපිටිය ශා. පීතර සහ මීගමුව මාරිස්ස්ටෙල්ලා විද්‍යාල සමත් විය. බාලක සහාය දිවීමේ ශුරතාව ද ශා. පීතර විද්‍යාලයට හිමි විය.

සර් ජෝන් ටාබට් ජ්‍යෙෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේ පමණක් නොව, ලාංකේය පාසල් මලල ක්‍රීඩා පිටියේ විශිෂ්ට දස්කම් දක්වන වලල ඒ. රත්නායක විද්‍යාලය 1998 ශ්‍රීමත් ජෝන් ටාබට් ජ්‍යෙෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේ පටන් ගෙවී ගිය තරගාවලිය දක්වා බාලිකා ශුරතාව 21 වතාවක් සහ බාලක ශුරතාව 8 වතාවක් දිනා ගෙන තිබේ. ඒ අනුව එතෙක් මෙතෙක් ශ්‍රීමත් ජෝන් ටාබට් මලල ක්‍රීඩා ජ්‍යෙෂ්ඨ තරගාවලි ඉතිහාසයේ 29 වතාවක් වලල නාමය ඉහළින්ම සටහන්ව තිබේ.

1998 සිට 2011 දක්වා අඛණ්ඩව ශ්‍රීමත් ජෝන් ටාබට් ජ්‍යෙෂ්ඨ මලල ක්‍රීඩා බාලිකා ශුරතාව දිනා ගන්නා මොවුන් 2013 සිට 2019 දක්වා ද ශුරතාව දිනා ගෙන තිබේ. මෙකී ඉතිහාසයේ ඔවුන්ට බාලිකා ශුරතාව අහිමිව ඇත්තේ 2012 දීය. බාලක ශුරතාව ද 2001 සිට 2003 දක්වාද, 2006 සිට 2008 දක්වාද, 2011 සහ 2012 දී දිනාගෙන ඇති වලල රත්නායක විද්‍යාලය බාලක - බාලිකා ද්වී ශූරතා 2001 – 03 දක්වා ද, 2006 -08 දක්වා සහ 2011 දී වශයෙන් පස් වතාවක් දිනා ගෙන තිබීමද විශේෂත්වයකි.

---------------

එක ළමයෙක් එක්ක ආපු දුරක්

සුසන්ත ප්‍රනාන්දු

පුහුණුකරු වලල සහ වත්තේගම අධ්‍යාපන කලාපයේ ශාරීරික

අධ්‍යාපන සහ ක්‍රීඩා විෂයබාර සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ

අවසන් පුහුණුවීම් ඉවර වුණාට පස්සේ ළමයින්ට කතා කරලා ඔවුන්ව ධෛර්ය මත් කරලා ආවාට පස්සේ තරග ඉවර වෙනකම්ම මම ඔවුන් දිහා බලන්නෙවත් නෑ. මම ඒ වෙන කොට ඔවුන්ව සම්පුර්ණයෙන්ම තරගාවලියට ඕනෑ කරන විදියට කායිකව සහ මානසිකව ගොඩනගලා තියෙන්නේ. හදිසි අවස්ථාවකදි ළමයකුට මොකක් හරි ගැටලුවක් මතු වුණොත් බලනවා මිසක් නැත්නම් තරගාවලිය අවසන් වන තෙක්ම ඔවුන් එක්ක ගනුදෙනුවක් කරන්නේ නෑ.

අපි මේ ළමයි අන්තර්ජාතික මට්ටම ඉලක්ක කර ගෙන ගොඩනගන්නේ. අපිට එතැනදී වුණත් හැම දෙයකට ම මැදිහත් වෙන්න බෑ. මම හැම වෙලාවෙම ළමයාගේ මනසට අවශ්‍ය හැම දෙයක් ම හදලා තමයි තරගයකට යවන්නේ.

අවුරුදු තිහක් පමණ වන මගේ පුහුණු ඉතිහාසය ඇතුළේ ශූරතාව හෝ අනුශුරතාව දිනලා තිබෙනවා. තෙවැනි තැනටත් පත්වෙලා තියෙනවා. ශුරතා දින්නට පස්සේ අභියෝගය වැඩියි. ඒ දිනපු ශුරතා රැක ගන්න ඕනෑ. ඒක හරිම අමාරු දෙයක්. අපි දිනුවොත් අවුලක් නෑ. පැරදුණොත් කියන්නේ වලල වැටිලනේ කියලයි. මේ හැම දෙයක්ම තරගාවලියකට කලින් ළමයින්ට මතක් කරලා දෙනවා.

මොන පීඩනයක් තිබ්බත් මම ළමයින්ට මේ දේ දැනෙන්න දෙන්නේ නෑ. ළමයෙකුට කතා කරන්න ම ඕනෑ කියන හිතුණොත් විතරයි කතා කරන්නේ. සමහර අවස්ථාවලදී අවාසනාවත්ත, අනපේක්ෂිත අවස්ථාවන්ට මුහුණ දෙන්න වෙනවා. ඒවා මඟ හරවා ගෙන යන්න තමයි හැම වෙලාවෙම උත්සාහ කරන්නේ.

1990 දී. තමයි සමස්ත ලංකා තරගාවලියකට එක් ළමයෙක් එක්කර ගෙන ආවේ. මුලික තරගයෙන් ම ඒ ළමයා එළියට ගියා. විශේෂයෙන් ඒ දවස්වල බාලක බාලිකා අංශ දෙකෙන් ම නාගරික පාසල් තමයි ඉදිරියෙන් හිටියේ. ඇයි අපිටත් බැරි කියන දේ තමයි මම එදා හිතා ගත්තේ. රට දිනන්න කලින් පළාත, ඒ කියන‍්නේ මධ්‍යම පළාත දිනන්න ඕනෑ කියලා හිතුවා. ත්‍රිත්ව, ශාන්ත අන්තෝනි, ධර්මරාජ, මහාමායා, උසස් බාලිකා මේ ඉස්කෝල තමයි මධ්‍යම පළාතේ මලල ක්‍රීඩාවෙන් ඉදිරියෙන් හිටියේ.

 

1990 දි මම වලල ළමයින්ට කිව්වෙත් තව අවුරුදු තුනක් යන කොට මධ්‍යම පළාත අපි ජය ගන්න ඕනෑ කියලා. 93 දී මධ්‍යම පළාතේ ශූරතාව දිනා ගත්තා. ඊට පස්සේ සමස්ත ලංකා තරගාවලිය සැලසුම් කළේ. 1995 -98 වන කොට අපි ක්‍රමයෙන් ඉදිරියට ඇවිත් 98 දී සමස්ත ලංකා ශුරතාව දිනා ගත්තා. ඒ අවුරුදු අටකට පස්සේ. 2000 ඉඳලා බාලක බාලිකා ශුරතා ද්විත්වය ම අවස්ථා 19 කදී දිනා ගෙන තියෙනවා. සමස්ත ශුරතා බාලක - බාලිකා වශයෙන් ගත්තම වලල දැනට 75 කට වඩා දිනා ගෙන තියෙනවා. වලල සහාය පුහුණු කරුවන් හතර දෙනාත් මගේ ගෝලයෝ. ඔවුන් විද්‍යාපීඨ උසස් අධ්‍යාපනයෙන් පස්සේ එකතු වෙලා ඉන්නේ.

මේ ගමන සුන්දර නෑ. තාඩන - පීඩන - හැල හැප්පිලි එක්ක ආපු ගමනක් තියෙන්නේ. මගේ වලල ළමයින්ට විවිධ අවස්ථාවලදී ඕනැ තරම් අසාධරණකම් සිද්ධ වෙලා තියෙනවා. මේ කිසිම දේකදි මමවත් ළමයින්වත් වැටුණේ නෑ. එහෙම එක පාරක් හරි වැටිලා තිබුණා නම් අපිට මේ ගමන මෙච්චර දුර එන්න වෙන්නේ නෑ. අපි මේවා අවියක් කරගෙන ඉදිරියට ආපු නිසා තමයි මේ ගමන මෙච්චර දුර ආවේ. අපේ දක්ෂතා ගැන විශ්වාසයක් තියෙන තාක් කල් අපිට අනවශ්‍ය දේවල් එළියේ තියලා එන්න පුළුවන්. වලල ක්‍රීඩා පිටිය මීටර් 200 යි. ඒකත් ප්‍රමිතියකට නෑ. මීටර් 150 ක කවාකාර විදියට තියෙන්නේ. ක්‍රීඩකයෙක් මීටර් 400 තත්පර පනහට ආවට පස්සේ මේකේ දුවන එක හරිම අවදානම්. අපි ඒ නිසා පුහුණු සැලසුම් පවා සීමා සහිතව කරපු අවස්ථා ඕනෑ තරම් තියෙනවා. මේ හැම දෙයක්ම අභියෝග තමයි. හැබැයි පසුගිය අවුරුදු විස්සම ගත්තොත් මේ අභියෝග ජය ගෙන තියෙනවා. දැනට සතියකට දින 2-3 ක් දිගන ක්‍රීඩාංගණයේ පුහුණුවීම් කරනවා. අපේ දක්ෂතා වර්ධනයට ඒක ලොකු පිටිවහලක් වෙලා තියෙනවා. අනූව දශකයේ මුල් භාගයේ තමයි ක්‍රීඩා පාසල් ආරම්භ කළේ 1995 තමයි පළාත් සභාව හරහා වලල ක්‍රීඩා පාසල ආරම්භ කළේ. අනෙක් ක්‍රීඩා පාසල් (රේඛීය) අධ්‍යාපන අමාත්‍යාංශය හරහා ආරම්භයේ මේ හැම පාසලක් ම හුඟක් ඉදිරියෙන් හිටියා. කොළඹ අබිබවා යන්න ඒ පාසල්වලට මලල ක්‍රීඩාවෙන් පුළුවන් වුණා.

පසුකාලීනව ක්‍රීඩා පාසල්වල දුර්වලතා නිසා පසු බැස්මක් තියෙනවා. ක්‍රීඩා පාසල් අසාර්ථක වන බවක් පැහැදිලිව පෙන්න තියෙනවා. අපේ පාසල හා මධ්‍යම පළාත් සභාව අතර තිබෙන චක්‍රලේඛනය ජාතික පාසල් අතර තියෙන

චක්‍රලේඛනයට වඩා වෙනස්.

ක්‍රීඩා පාසල්වල කෑම බීම නෑ, පහසුකම් නෑ ඒ නිසා අසාර්ථකයි කියනවාට එකඟ වෙන්න බෑ. මේ ගමන විධිමත් පුහුණුව, අධ්‍යයනය, ප්‍රගතිය මඟින් යන්න ඕනෑ එකක්. ක්‍රීඩා පාසල් නගා සිටුවන්න පුළුවන් නම් දක්ෂ ළමයි ඉදිරියට ගන්න පුළුවන්. අධ්‍යාපන අමාත්‍යාංශයේ දැනුම් තේරුම් ඇති දක්ෂයෝ මේ වැඩේට නැවතත් අත ගහනවා නම් ගොඩ යන්න පුළුවන්.උපදේශකයෝ පවා දක්ෂයෝ වෙන්න ඕනෑ.

Comments