වසර අටකට පසු රාජකීයන්ට රාජකීය ජයක් ගෙනා කමිල් මිෂාර | සිළුමිණ

වසර අටකට පසු රාජකීයන්ට රාජකීය ජයක් ගෙනා කමිල් මිෂාර

හතළිස් එක් වසරක දිගු ඉතිහාසයකට උරුමකම් කියන ඔබ්සර්වර් - මොබිටෙල් පාසල් ක්‍රිකට් කුසලාන සම්මාන උලෙළේ සමස්ත වීරයා ලෙස මෙවර සියලු ගෞරව දිනාගැනීමට සමත් වුයේ කොළඹ රාජකිය විද්‍යාලයේ කමිල් මිෂාරයි. පාසල් ක්‍රිකට් ක්‍රීඩකයෙකු ලෙස තම ක්‍රීඩා කෞශල්‍යය මැනැවින් විදාලමින් සිටින කමිල් රාජකිය විද්‍යාලය නියෝජනය කරමින් 2018 වසරේදී පිතිකරුවෙකු ලෙස ලකුණු 850ක් කඩුලු රකින්නෙකු ලෙස දවාලීම් 70ක් ලබාගනිමින් කැපීපෙනෙන දක්ෂතා ප්‍රදර්ශණය කිරිමට සමත්ව ඇත. 2019 පාසල් ක්‍රිකට් කාර්තුව කඩින් කඩ නියෝජනය කරමින් ලකුණු 500ක් ලබාගනිමින් දවාලීම් 25ක් ලබාගැනීමට සමත් වන කමිල් පසුගිය ආසියානු කුසලාන තරගාවලියේදි 19 පහළ ජාතික කණ්ඩායමේ උපනායකයා ලෙස කණ්ඩායම නියෝජනය කිරීමේ භාග්‍ය ලද ක්‍රීඩකයෙකි.

මෙරට නියෝජනය කරමින් විදෙස් සංචාර ගණනාවකට දායකත්වය සපයා ඇති කමිල් 2016 වසරේදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මැලේසියාවට යන කණ්ඩායමේ නායකයා ලෙස කටයුකු කළේය. 19න් පහළ ජාතික කණ්ඩායමේ නායකයා ලෙසද කටයුතු කිරිමට වාසනාව ලද ක්‍රීඩකයෙක් වන කමිල් මිෂාර අතීත උරුමයකින් ගොඩ නැගෙනා අද්විතිය කුසලානයක වත්මන් හිමිකරුවා වෙයි. ඔබ්සර්වර් - මොබිටෙල් විශිෂ්ටම පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානය මෙවර කමිල් මිෂාර රාජකීයන් වෙත තිළීණ කරන්නේ 2010 -11 වසරවලදී අඛණ්ඩව මෙකී සම්මානය රාජකීයන් වෙත ගෙන යාමෙන් වසර අටකට පසුව විමද විශේෂත්වයකී. ඔබ්සර්වර් සම්මාන උලෙළේ විශිෂ්ට ක්‍රීඩකයා සම්මානය හාපුරා කියා රාජකියන්ට තිළිණ කළේ පළමු සම්මාන උලෙ‍ළේදීම රන්ජන් මඩුගල්ලෙයි. ඉන් පසු රොෂාන් ජුරම්පති 1986 දී එකී සම්මානය රාජකීය පාසලට රැගෙන යාමෙන් පසු 2010 – 2011 භානුක රාජපක්ෂ දිනාගන්නා තෙක්ම වසර 23ක කාලයක් වසරේ විශිෂ්ට ක්‍රීඩකයා සම්මානය රාජකීයන් සතු නොවීය.

භානුක රාජපක්ෂ 2010 සහ 2011 වසර දෙකෙදී අඛණ්ඩව මෙකි සම්මානය දිනා ගැනීමත් සමගම දෙවතාවක් මෙයට උරුමකම් කියු ප්‍රථමයා වන්නට ද හෙතෙම සමත් විය. ඔබ්සර්වර් මොබිටෙල් වසරේ විශිෂ්ටම ක්‍රීඩකයා සම්මානය රාජකීය විද්‍යාලය වෙත ගෙන ගිය කමිල් මිෂාර සමග ක්‍රීඩා කළ සංවාදයයි මේ.

 කොහොමද? ඔබේ වැඩකටයුතු? මේ ලද කුසලානය ගැන ඔබ සතුටින්ද සිටින්නේ.

හොඳයි. හොඳින් එදිනෙදා වැඩකටයුතු කරමින් පුහුණු විම් වල නිරතව සිටිනවා.ඒ වගේම ජාතික මට්ටමින් මාගේ දක්ෂතා හඳුනාගෙන මෙවැනි ඇගැයිමක් කිරීම ඉතාමත් වටිනවා. පාසල් සිසුවකු ලෙස මම ඇත්තෙන්ම ඉතාමත් සතුටුවනවා. මේ ලද ඇගැයීම පිළිබඳව හැම ක්‍රිඩකයෙකුටම පුංචි කාලේ එක එක හීන තියෙනවා. ක්‍රිකට් ක්‍රීඩාවට තිබුණු ආශාව නිසා මට තිබුණේ ක්‍රිකට් හීනයක්. එය සැබෑවුණා කියා සිතනවා. හැබැයි ඒ එක් හීනයක් පමණයි.

ඔබ රාජකීය විද්‍යාලය නියෝජනය කරන්නේ 13න් පහළ කණ්ඩායමේ සිටද?

නෑ. මම පසුගිය වසරේ සිට තමයි රාජකීය විද්‍යාලීය කණ්ඩායම නියෝජනය කරන්නේ. මම මුලින්ම අධ්‍යාපනය හැදැරුවේ පාණදුර මහානාම විද්‍යාලයේ. මගේ මුල් ක්‍රිකට් ගුරුතුමා තමයි දිනේෂ් චන්දිමාල්. ඔහුගේ ගුරුහරුකම් සමගින් තමයි මම ක්‍රිකට් ක්‍රීඩාවට අවතීර්ණය වන්නේ. ඉන්පසුව බැසිල් ගුරුතුමා ද මගේ පුහුණු කරුවෙකු ලෙස ක්‍රියා කළා. පාණදුර මහානාම විද්‍යාලයේදී පාසල් මට්ටමින් කැපීපෙනෙන ක්‍රිකට් ක්‍රීඩකයෙකු ලෙස දක්ෂතා අතර සිටියා.13න් පහළ කණ්ඩායම නියෝජනය කරමින් ලකුණු 1000ක් ලබාගැනිමට මම සමත් වුණා. එය වාර්තාවක්. ඒ වගේම ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මැලේසියා තරගාවලියට දෙපාරක් ගියා. පළමු තරගාවලියේදී පළමු තරගයේ වීරයා කුසලාන දිනාගැනිමට සමත් වුණා. දෙවන තරගාවලියේදී දක්ෂතම පිතිකරුවා ලෙස කුසලානය දිනාගැනිමට සමත් වුණා. 2016 වසරේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළේ මමයි. එම තරගාවලියේදී දක්ෂතම පිතිකරුවා ලෙස කුසලාන දිනාගත් අතර සමස්ත තරගාවලියම මගේ නායකත්වය යටතේ ජයගැනීමට හැකිවුණා.

පාණදුර මහානාම විද්‍යාලය නියෝජනය කරමින් ක්‍රීඩා කළ රාජකීය විද්‍යාලයට පැමිණෙන්නේ කොහොම ද?

පාණදුර විද්‍යාලයේදි පෑ දක්ෂතා දැකලා මට අවස්ථාවක් හිමිවනවා රාජකිය විද්‍යාලයට ඇතුළත් වන්න ඒ වන විට රාජකීය විද්‍යාලයේ ක්‍රිකට් පුහුණුකරු ලෙස කටයුතු කරමින් සිටින්නේ තිළිණ කණ්ඩම්බි මහතා. ඔහු ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයෙක්. ඔහු මගේ දක්ෂතා හඳුනාගෙන රාජකීය විද්‍යාලයේ නිත්‍ය කඩුලු රකින්නා ලෙස මට අවස්ථාව ලබා දෙනවා. ඒ වගේම රාජකීය විද්‍යාලයේ චුලක ගුරුතුමා, අනුර ගුරුතුමා මෙන්ම සූගී ගුරුතුමා මට මේ ගමන ඉදිරියට එන්න විශාල පිටුවහලක් වුණා.

පාණදුර මහානාම විද්‍යාලයෙන් රාජකීය විද්‍යාලයට ආවට පස්සේ ඔබේ ක්‍රිකට් වල දියුණුවක් ඇති වුණයි කියලා හිතෙනවද.?

ඇත්තෙන්ම ඔව්. ශ්‍රී ලංකා 19න් පහළ ජාතික කණ්ඩායම නියෝජනය කිරිමේ අවස්ථාව මට හිමි වුණේ රාජකීය විද්‍යාලයට ආවට පස්සේ. ඒ වගේම පාසලේ විදුහල්පතිතුමාගේ සිට ගුරුවරුන්ගෙන් ශිෂ්‍යාන්ගෙන් මෙන්ම රාජකීය විද්‍යාලයේ ශිෂ්‍ය නායකයන්ගෙන්ද මට හොඳ සහයෝගයක් හිමිවුණා. මට මගේ දක්ෂතා වර්ධනය කර ගැනිමට එය මනා පිටුවහලක් වුණා.

ඔබ මුලින්ම 19න් පහළ කණ්ඩායම නියෝජනය කරන්නේ මොන අවුරුද්දේ ද?

මම මුලින්ම 19න් පහළ ජාතික කණ්ඩායම නියෝජනය කරන්නේ 2017දි නිත්‍ය කඩුලු රකින්නා ලෙසයි. ඒ වගේම පළමු පෙළ පිතිකරුවෙකු ලෙසත් කටයුතු කරනවා. මේ වසරේදී පාකිස්තාන් සංචාරයේදී 19න් පහළ කණ්ඩායම් නායකයා ලෙස කටයුතු කළා. පසුගිය ආසියානු කුසලාන තරගාවලියේදී උප නායකයා ලෙස කටයුතු කළා.

ඔබ දෙවන වසර වර්ණ ලාභියෙකු ලෙසයි රාජකීය විද්‍යාල නියෝජනය කරන්නේ. මේ වසරේ ඹබේ දක්ෂතාවන් කොහොමද?

මට මේ වසරේදී ඉතා හොදීන් දක්ෂතා ප්‍රදර්ශනය කිරීමේ හැකියාවක් ලැබුණේ නෑ. නමුත් රාජකීය විද්‍යාලය හා ශාන්ත තෝමස් විද්‍යාලය අතර පැවති එක් දින තරගයේදී ලකුණු 60ක් ලබාගනීමින් රාජකීය විද්‍යාලයේ ජය තාහවුරු කිරිමට සමත් වුණා. මේ වන විට විදේශීය සංචාර 05කට රට නියෝජනය කරමින් සහභාගී වි තිබෙනවා. ඒ වගේම රට නියෝජනය කළ නිසා මේ වසරේදි පාසල් ක්‍රිකට් කාර්තුවේදී තරග 7කට පමණයි සහභාගී වීමට හැකි වුණේ. එහිදී ලකුණු 520ක් ලබාගැනීමට සමත් වුණා. ඒ වගේම දවාලීම් 25ක් ද ලබා ගනීමින් රාජකීය විද්‍යාල කණ්ඩායමට දායකත්වය සැපයුවා. පසුගිය වසරේදි ලකුණු 850ක් සමග දවාලීම් 70ක් ලබා ගැනීමට සමත් වුණා.

ඔබ උසස් පෙළ හදාරමින් සිටින්නේ කිනම් විෂය ධාරාවක් ඔස්සේද?

මම වාණිජ්‍ය විෂය ධාරාව ඔස්සේ තමයි උසස් පෙළ හදාරමින් සිටින්නේ. 2020 දි උසස් පෙළට පෙනී සිටිමට නියමිතයි. මගේ අධ්‍යාපන කටයුතුවලට රාජකීය විද්‍යාලයේ ගුරුවරුන් ඉතාමත් උනන්දුවෙන් සහයෝගය දෙනවා. විදේශිය සංචාර නිසා අතපසු වුණු පාඩම් පවා මට ලබාදෙමින් මගේ අධ්‍යාපනයට විශාල රුකලක් වී සිටිනවා.

ඔබේ පවුලේ උදවිය ගැන සිහිපත් කළොත්.

මම පදිංචි වෙලා සිටින්නේ පාණදුරේ. මට නංගියෙක් ඉන්නවා. මගේ මව ගෘහණියක් ලෙස මගේත් නංගිගේත් වුවමනා සපුරමින් සිටිනවා. ඒ වගේම මගේ පියා ව්‍යාපාරිකයෙක්. ඔහු තමයි අපගේ ජීවන බරට උරදෙන්නේ. හැම විටම මගේ සෙවණැල්ල වගේ මවත් පියාත් සිටිනවා. මේ ආ ගමන් මගේදි ඔවුන් තමයි වැඩි බර දැරුවේ.

වර්තමාන ඔබේ පුහුණුකරුවන් ගැන ඔබ තෘප්තිමත්ද?

ජෙහාන් මුබාරක් තමයි රාජකීය විද්‍යාලයේ වත්මන් ප්‍රධාන පුහුණුකරු ලෙස ක්‍රියා කරන්නේ. සහායක පුහුණුකරු ලෙස කැලුම් කටයුතු කරනවා. ඒ වගේම වේගපන්දු පුහුණුකරු ලෙස නුවන් කුලසේකර මහතා කටයතු කරනවා. ජාතික තලයේදී මට මුලින්ම හමුවුණේ ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක රෝයි ඩයස් මහතායි. ඔහුගෙන් මගේ ක්‍රීඩා දිවියට විශාල රුකුලක් වුණා. ඒ වගේම වත්මන් පුහුණුකරු හෂාන් තිලකරත්න මහතා මගේ වර්තමාන ගමන් මගේ සන්ධිස්ථානයක්. ඔහු මගේ ක්‍රීඩා විලාසයට නව අරුතක් එකතු කිරිමට ඉවහල් වුණා. එතෙක් මා පැමිණි ගමන සහමුලින්ම වෙනස් මාවතකට යොමු කිරිමට හෂාන් තිලකරත්න මහතා සමත් වුණා. ඒ සමග මගේ පිතිකරණය වේගවත්ව හා තාක්ෂණිකව ගොඩනගා ගැනිමට හැකි වුණා. එය මට මගේ දෙවන පරිච්ඡේදයේදී විශාල පිටුවහලක් වුණා. ඒ වගේම දර්ශන මහතා හා සංජිව මහතා භෞතචිකිසකයන් ලෙස ශාරීරික ආබාධ දුරුකරගෙන ක්‍රීඩාවේ නියැලීමට මට පිටුවහලක් වෙනවා. ඒ වගේම උපුල් චන්දන සර් තමයි අපේ පන්දු රැකීමේ පුහුණු කරු. එමෙන්ම කඩුලු රැකීමේ පුහුණුකරුලෙස ප්‍රසන්න සර් අපට නිරන්තරයෙන් පුහුණු වීම්වලදී උපදෙස් ලබාදෙනවා.

අනාගත බලාපොරොත්තු ?

මගේ එකම බලාපොරොත්තුව තමයි. 2020දී පැවැත්වීමට නියමිත 19න් පහළ ලෝක කුසලානය නියෝජනය කරමින් එම කුසලානය දිනා ගැනීම. ඒ වගේම හැකි ඉක්මනින් ජාතික කණ්ඩායමේ ස්ථානයක් හිමිකරගැනීම. ඒ වෙනුවෙන් කැපවීමෙන් කටයුතු කරනවා.

2020 දී පැවැත්වීමට නියමිත 19න් පහළ කණ්ඩායමේ සමාජිකයකු ලෙස කටයුතු කරනවාද?

තවම කණ්ඩායම තෝරාගෙන නෑ. නමුත් සංචිතයේ සාමාජිකයෙකු ලෙස පුහුණු වීම්වල නිරතව සිටිනවා. මගේ එකම අරමුණ තමයි හොඳින් පුහුණු වීම් වල නිරතව කණ්ඩායමේ සාමාජිකයෙකු ලෙස ස්ථානයක් හිමිකරගෙන කුසලානය ලංකාවට ලබාගැනීම.

ඔබ මේ ලබපු ජාතික ඇගැයිමට අමතරව මීට පෙර ක්‍රිකට්වලින් ඇගැයීමක් හිමිව තිබේනවාද?

මේ මගේ දෙවන ඇගයීම. 13න් පහළ ලකුණු 1000ක් සම්පුර්ණ කිරීම වෙනුවෙන් සිංගර් අනුග්‍රහකත්වය දැක්වු පාසල් ක්‍රිකට් කුසලාන ප්‍රදානයේදී මට පළමු වරට කුසලානයක් හිමිවුණා.

අවසාන වශයෙන් පැවැසීමට යමක් ඇති.

ඇත්තෙන්ම ඔව්. මට මගේ ක්‍රිකට් දිවියට විශාල රුකුලක් වු පාණදුර මහානාම විද්‍යාලයට හා වර්තමානයේ මගේ ගමන් මඟේ මා සමඟ සිටින රාජකීය විද්‍යාලයටත් දෙ විදුහලේම විදුහල්පති තුමන් ඇතුළු ආචාර්‍ය මණ්ඩලයටත් මම මගේ කෘතවේදීත්වය පිරිනමනවා. ඒ වගේම මගේ ක්‍රිකට් දිවිය ගොඩනගපු පාණදුර මහානාම විද්‍යාලයේ දිනේෂ් චන්දිමාල් පුහුණු කරුටත් ඒ වගේම තිළිණ කණ්ඩම්බි, ජෙහාන් මුබාරක්, රෝයි ඩයස්ට මෙන්ම හෂාන් තිලකරත්න පුහුණුකරු ප්‍රධාන මට මගේ ගමනේදි වචනකින් හෝ උපකාර කළ හැමටත් මගේ ප්‍රණාමය පුද කර සිටින අතර මා හැදූ මගේ මවුපියන් හා මගේ නංගීටත් මගේ කෘතවේදීත්වය පිරිනමනවා.

ඔබ්සර්වර් - මොබිටෙල් විශිෂ්ටම පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානය මෙවර කමිල් මිෂාර වෙත තිළිණ කරන්නේ 2010 –11 වසරවලදී අඛණ්ඩව මෙකී සම්මානය රාජකීයන් වෙත ගෙන යෑමෙන් වසර අටකට පසුව වීමද විශේෂත්වයකී. ඔබ්සර්වර් සම්මාන උලෙළේ විශිෂ්ට ක්‍රීඩකයා සම්මානය හාපුරා කියා රාජකීයන්ට තිළිණ කළේ පළමු සම්මාන උලෙළේදීම රන්ජන් මඬුගල්ලෙයි.

Comments