හෘදය සාක්ෂිය පිළි­තුරු ඉල්ලා සිටින ප්‍රශ්නය! | සිළුමිණ

හෘදය සාක්ෂිය පිළි­තුරු ඉල්ලා සිටින ප්‍රශ්නය!

ශ්‍රී ලංකාවේ හත්වන ජනා­ධි­ප­ති­ව­රයා තෝරා පත් කර ගැනීම හා සම්බන්ධ ජනා­ධි­ප­ති­ව­ර­ණය පිළි­බඳ නිල නිවේ­ද­නය දැන් ප්‍රකා­ශ­යට පත්ව තිබේ. ඒ අනුව ලබන ඔක්තෝ­බර් 07 වනදා නාම යෝජනා පත්‍ර භාර ගැනී­ම­ටත්, නොවැ­ම්බර් 16 වනදා ජනා­ධි­ප­ති­ව­ර­ණය පැවැ­ත්වී­ම­ටත් නිය­මිත ය. වේලා­ස­නින් ම සිය ජනා­ධි­පති අපේ­ක්ෂ­කයා නම් කළ පොදු ජන පෙර­මුණ හෙවත් පොහොට්ටු පක්ෂය මේ වන විටත් ජනා­ධි­ප­ති­ව­රණ මෙහෙ­යුම ආරම්භ කර තිබේ. එක්සත් ජාතික පෙර­මුණ තවම සිය අපේ­ක්ෂ­කයා ප්‍රකා­ශ­යට පත් කර නැත. ඒ පිළි­බඳ ව එ.ජා.ප.යේ මුල් පෙළ පම­ණක් නොව පසු පෙළ ද පුන පුනා ප්‍රකාශ කරන්නේ තම පක්ෂය තුළ තිබෙන ප්‍රජා­ත­න්ත්‍ර­වාදි අව­කා­ශය තුළ සංවා­ද­යෙන්, පොදු එක­ඟ­තා­වෙන් නියම අපේ­ක්ෂ­කයා ඉදි­රි­පත් කෙරෙන බව ය. කුමක් වුවත් එ.ජා.ප.යේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේම­දා­සට මෙවර ජනා­ධි­පති අපේ­ක්ෂ­ක­ත්වය හිමි­වනු ඇතැයි සජිත් පාර්ශ්වය විශ්වා­සය පළ කර ඇත. එසේම පක්ෂ නායක රනිල් ද ඒ සඳහා උන­න්දුව පළ­කර ඇතැයි වාර්තා වේ. මේ දෙදෙ­නාට ම අම­ත­රව කරු ජය­සූ­රි­යට අපේ­ක්ෂ­ක­ත්වය ලබා දීමේ ප්‍රය­ත්න­යක් ද දැක ගත හැකිය. එ.ජා.ප. මන්ත්‍රි­ව­රුන් හා කෘත්‍යා­ධි­කාරී මණ්ඩ­ලය කැඳවා ඉක්ම­නින්ම පක්ෂයේ අපේ­ක්ෂ­කයා තෝරා ගත යුතු බව සජිත් සිය නාය­ක­යාට දන්වා ඇතැයි ද වාර්තා වේ.

මේ අතර පොදු ජන පෙර­මුණ හා ශ්‍රී.ල.නි.ප.ය සන්ධාන ගත­වීමේ සාක­ච්ඡා­වල අව­සා­න­යට එළැඹ ඇතැයි දෙප­ක්ෂයේ ම නාය­කයෝ සඳ­හන් කරති. ශ්‍රී ල.නි.ප. මහ ලේකම් දයා­සිරි ජය­සේ­කර නිබඳ ව ම අව­ධා­ර­ණය කරන්නේ සිය පක්ෂයේ අන­න්‍ය­තාව රැක­ගෙන පොදු ජන පෙර­මුණ සමඟ සන්ධාන ගත විය යුතු බව ය. සැබැ­වින් ම ජනා­ධි­ප­ති­ව­රණ සටනේ ප්‍රධාන කඳ­වුරු දෙක වන්නේ එ.ජා.ප.ය හා පොදු ජන පෙර­මුණ බව ඒ පක්ෂ දෙකෙහි සම­හ­රුන් බර­ප­තළ ලෙස තේරුම් ගෙන තිබේද යන්නත් ඒ ඒ පක්ෂ ක්‍රියා­කා­රීන්ගේ හැසි­රීම් දෙස බලන විට මතු­වන තවත් පැන­යකි. මේ කිසිදු අවු­ලක් ජ.වි.පෙ.ට නැති බවද නිසැ­කව ම කිව හැකිය. ජ.වි.පෙ. වේදි­කා­වෙන් රාජ­පක්ෂ කඳ­වු­රට මෙන්ම එ.ජා.ප.ය ප්‍රමුඛ ආණ්ඩු­වට එල්ල වන්නේ බර­ප­තල චෝදනා ගොන්නකි. ජනා­ධි­ප­ති­ව­රණ සටන ක්‍රම­යෙන් උණු­සුම් වන විට ඒ ඒ දේශ­පා­ලන වේදි­කා­ව­ලින් කෙබඳු විස්මය ජනක කතා ඇසෙනු ඇද්ද යන්නත් මොන ආකා­රයේ දේශ­පා­ලන පෙරළි සිදු­වනු ඇද්ද යන්නත් කියනු තබා සිතී­ම­ට­වත් නොහැ­කිය. එහෙත් දේශ­පා­ලන පොරොන්දු, අනා­ගත සිහින අපේක්ෂා පිළි­බඳ ව දැඩි විශ්වා­ස­යක් සාමාන්‍ය ජන­තාව තුළ නැති බව අපට හැඟේ.

මෛත්‍රී­පාල ජනා­ධි­ප­ති­ව­රයා නිබ­ඳව ම අව­ධා­ර­ණය කරන ආකා­ර­යට දූෂ­ණ­යට, වංචා­වට, අල්ල­සට, මැර බල­යට නොගෑ­වුණු පිරි­සිදු දෑත් අපේ දේශ­පා­ල­න­ඥ­යන් ගෙන් කීදෙ­නෙ­කුට තිබේද? අද මේ රට නතර වී තිබෙන්නේ යහ­පත් තැනක නොවන බව පසක් කර ගැනී­මට තරම් දේශ­පා­ලන විඥා­න­යක් ජන­තා­ව­ගෙන් වැඩි දෙනෙ­කුට තිබෙන බව අපගේ අද­හස ය. මේ ආණ්ඩුවේ සිව් වස­රක දේශ­පා­ලන ශේෂ පත්‍රය ද නරක ම හා දූෂිත ම එකක් බව රට ම දනී. හොරුන්, දූෂි­ත­යන්, ඝාත­ක­යන් ඇල්ලී­ම­ටත් විධා­යක ක්‍රමය අහෝසි කිරී­ම­ටත් මේ ආණ්ඩුව විසින් දෙන ලද ප්‍රතිඥා සියල්ල ම උඩු සුළ­ඟට හසු වී ගසා ගෙන ගිය ආකා­රය කාටත් පෙනුණි. ආණ්ඩු­ක්‍රම ව්‍යව­ස්ථාව රටට නිර්මා­ණය කර දී තිබෙන යහ­පත් දේ ගැන ප්‍රශං­සා­වක් තිබු­ණත් එම­ඟින් ජනා­ධි­ප­ති­ව­ර­යාගේ හා අග­මැ­ති­ව­ර­යාගේ ආණ්ඩු දෙකක් ගොඩ­නැ­ඟීම රට අරා­ජික කර­න්නක් බව දැන් කවු­රුත් කියති. ජනා­ධි­ප­ති­ව­රයා අබි­බවා යෑමට අග­මැ­ති­ව­ර­යාට තිබෙන දොළ දුක මේ අර්බු­දය උත්සන්න කළ බව ද කිව යුතුය. ආණ්ඩු­ක්‍රම ව්‍යවස්ථා සංශෝ­ධන කළ අය තමන්ගේ ආර­ක්ෂාව සළසා ගැනී­මට ගත් සට කපට පිය­වර වූයේ පාර්ලි­මේ­න්තුව විසු­රුවා හැරීමේ ජනා­ධි­පති බල­යත් උදුරා ගැනීම ය. මේ අනුව 19 වැනි ව්‍යවස්ථා සංශෝ­ධ­නය 2015 ජන­ව­ර­මෙන් ප්‍රජා­ත­න්ත්‍ර­වාදී ව රිංගා යෑමක් නොවේද යන ප්‍රශ්නය සාධා­රණ සමා­ජ­කා­ර­යන් හැර අන් බොහෝ දෙනෙකු තුළ ස්වභා­වි­කව නැගෙන ප්‍රශ්න­යකි. 19 වැනි සංශෝ­ධ­නය ප්‍රජා­ත­න්ත්‍ර­වාදී වෙස් මුහුණු පැළඳ සිදු කළ දේශ­පා­ලන මංකො­ල්ල­යක් ලෙස හඳු­න්වන අය ද සිටිති. මෑත­කදී සිට ප්‍රජා­ත­න්ත්‍ර­වා­දය භාවිත වී තිබෙන්නේ අධි­රා­ජ්‍ය­වා­දයේ උපාය මාර්ග­යක් ලෙස බවට ජාත්‍ය­න්ත­රයේ ද දේශ­පා­ලන චෝද­නා­වක් ඇත. ඇමෙ­රි­කාව මෙයට සාක්ෂි සප­යන බවද ඒ චෝදනා නගන අයම සඳ­හන් කරති. ලිබි­යාව, ඉරා­කය, සිරි­යාව වැනි රට­ව­ලට අත් වූ ඉර­ණම ඒ ප්‍රජා­ත­න්ත්‍ර­වා­දයේ කළු පාට ලොවට ප්‍රද­ර්ශ­නය කර තිබෙන බවද ඔවුහු කියති.

කෙසේ හෝ ජනා­ධි­ප­ති­ව­ර­ණ­යක් අබි­යස නතර වී සිටින රටක සමාජ, දේශ­පා­ලන, ආර්ථික යනාදී බොහෝ කේෂ්ත්‍ර පිළි­බඳ ව ඇත්තේ යහ­පත් විවේ­චන නොවන බව ද අපි දනිමු. මේ ආණ්ඩු­වට එරෙ­හිව අද එල්ල­වන ප්‍රධාන චෝද­නාව වන්නේ ද ජන­තා­වට සේවය කිරීම පසෙක දමා තම දේශ­පා­ලන ගජ මිතු­රන් පින­වී­ම­ටත්, තම තමන්ගේ සනු­හ­රය පර­ම්පරා ගණ­නා­ව­කට අවශ්‍ය පරිදි ගොඩ දා ගැනී­මට ක්‍රියා කරන බවත් ය. මෙය අපේ කලා­පයේ දේශ­පා­ලන කේෂ්ත්‍රය තුළ බහු­ලව දැකිය හැකි විෂ­මා­චා­ර­යකි. වැඩි දෙනෙක් අයුතු ලෙස ධනය උප­යන්නෝ ය. මැර බලය, දූෂ­ණය ඔවුන් බොහෝ දෙනෙ­කුගේ සම්මු­තිය බවට ද පත්වු­වකි.

අපේ අසල් වැසි ඉන්දි­යාවේ ප්‍රධාන දේශ­පා­ලන පක්ෂ වලට වුවද දුෂණ චෝදනා නැගෙයි. එහෙත් ඒ අතර අර­වින්ද් කජ්රි­වාල් වැනි උදාර අර­මුණු සහිත දේශ­පා­ලන චරිත ද මතු­වෙයි. දූෂ­ණය පිටු දැකී­මට මෙන්ම, පොදු ජන ජීවිත සුරැ­කී­මට ඔහු විසින් දෙන ලද ප්‍රතිඥා වලට අද දිල්ලි ප්‍රාන්ත­යෙන් ලැබී තිබෙන ප්‍රති­චා­රය ඉම­හත් ය. සැබැ­වින් ම අපේ රටේ දේශ­පා­ලන අලං­කා­ර­වා­ද­යට මේ ආද­ර්ශ­වත් චරි­ත­යෙන් ලබා ගත හැකි පාඩම් ද බොහෝය. 2015 බල පෙර­ළිය සමග මතු වූ මෛත්‍රි­පාල සිරි­සේන චරි­තය ද මෙවන් යහ­පත් දේශ­පා­ලන ප්‍රති­සං­ස්ක­රණ ක්‍රියා­ව­ලි­යක් උදෙසා කැප වූ නාය­ක­යෙකි. ඔහුගේ දේශ­පා­ලන භාවි­තය දූෂිත එක­කැයි කිසි­වෙ­කුට කිව නොහැ­කිය. එහෙත් කුමන හෝ අභාග්‍ය සම්පන්න ශාප­යක් පල­දු­න්නාක් මෙන් මෛත්‍රී ජනා­ධි­ප­ති­ව­රයා මැදි වූයේ ද ශූර චෞර­ව­යන් පිරි­ස­කට ය. හොරුන් ඇල්ලී­මට බාර වූ ආණ්ඩුව හොරුන් විසින් අල්ලා ගනු ලැබ ඇතැයි කියන්නේ ද මේ පසු­බිමේ ය.

මෛත්‍රී ජනා­ධි­ප­ති­ව­ර­යාට සිදු වූයේ පසු­ගිය පාලන සමයේ පැවති දුෂණ, භිෂණ සෙවීම නොව තමන් නාය­ක­ත්වය දෙන ආණ්ඩුවේ දූෂණ හොර මගඩි වලට එරෙ­හිව සටන් කිරී­මට ය. ආර්ථික හා සංස්කෘ­තික වශ­යෙන් මෙන්ම දේශ­පා­ලන වශ­යෙන් ද කිසිදු සමා­න­ත්ව­යක් නැති ආණ්ඩු­වක හිතු­ව­ක්කාරී ආර්ථික පිළි­වෙ­තට එරෙ­හිව සට­නට එළ­ඹී­මට මෛත්‍රී ජනා­ධි­ප­ති­ව­ර­යාට සිදු විය. ආණ්ඩුවේ ආර්ථික මූලෝ­පාය මෛත්‍රීගේ දේශ­පා­ලන සමාජ දැක්ම සමග නොපෑ­හුණු අතර එයින් ඇති වු සමාජ ආර්ථික ප්‍රති­ඵල ද බර­ප­තළ විය. ආණ්ඩු­වට චෝදනා එල්ල වූ මහ බැංකු මංකො­ල්ලය යහ­පා­ල­නයේ ප්‍රථම දෙදරා යෑම විය. කුමක් වුවත් මහ දවල් සිදු වූ මහ බැංකු මංකො­ල්ලයේ දේශ­පා­ලන වන්දිය පම­ණක් නොව රටේ ජාතික සම්පත් විකුණා දම­මින් ජාතික සංස්කෘ­තික සාර­ධර්ම වලට උඩින් පැන ගිය දර­දඬු හිත­ව­ක්කාර ක්‍රියා­කා­ර­කම් වලට ගෙවිය යුතු දේශ­පා­ලන අලා­භ­යද සුළු පටු විය නොහැ­කිය. ආණ්ඩුවේ ම කාරු­ණික අනු­ග්‍ර­හය යටතේ රාජ්‍ය හා සංස්ථා, මුල්‍ය ආය­තන ඇතුලු බොහෝ තැන්වල මහ­ජන මුදල් කාබා­සී­නියා කළ ගජ­මි­තුරු ක්‍රියා­කා­රම් ද රටට හෙළි කිරී­මට සුනිල් හඳු­න්නෙත්ති මන්ත්‍රී­ව­ර­යාගේ සභා­ප­ති­ත්ව­යෙන් ක්‍රියා­ත්මක වූ කෝප් කමි­ටුව සමත් වී ඇත. මේ සියලු කරුණු විමසා බලද්දී දේශ­පා­ලන රැකි­යාව කරන බොහෝ දෙනෙ­කුට ‘ගරු’ යන විශේ­ෂ­ණ­යට වඩා ‘හොරු’ යන විශේ­ෂ­ණය වඩාත් ගැළ­පෙන බව කිව නොහැ­කිද? මෛත්‍රී ජනා­ධි­ප­ති­ව‍රයා විසින් පත් කරන ලද ජනා­ධි­පති කොමි­ෂන් අබි­යස මේ වන­විට හෙළි වී තිබෙන මුදල් අව­භා­විත කිරීම හා වෙනත් දුෂීත ගනු දෙනුද කීප­යකි. ආණ්ඩුවේ අග­මැ­ති­ව­ර­යාට ද උත්තර බැඳී­මට සිදු වූ සී.පී.ජේ. ගොඩ­නැ­ගිල්ල කුලි­යට ගැනීමේ ආන්දෝ­ල­නා­ත්මක ගනු­දෙ­නු­වට වග­කිව යුත්තෝ කව­ර­හු­දැයි අනා­ග­ත­යේදී හෙළි විය හැකිය. එහෙත් එයින් සිදු වූ ආර්ථික සමාජ විනා­ශ­යට අදාළ අයට දඬු­වම් ලැබේ ද යන්න දන්නේ දෙවි­යන් පමණි.

මේ සිය­ල්ලට අම­ත­රව තවත් බර­ප­තල දූෂණ ක්‍රියා­දා­ම­යක් පිළි­බඳ ආන්දෝ­ල­නා­ත්මක සංවා­ද­ය­කට දැන් රට යොමු වී තිබේ. ඒ පසු­ගිය දින­වල ජනා­ධි­ප­ති­ව­රයා විසින් නෙලුම් කුලුන විවෘත කිරීමේ උත්ස­ව­යේදී කරන ලද ප්‍රකා­ශ­යක් නිසා ය. මේ චෝද­නා­වෙන් නිද­හස් වීම මෙන්ම ඒ පිළි­බඳ සත්‍ය දැන­ගැ­නීම ද ඉතා වැද­ගත් ය. නෙලුම් කුලුන පසු­ගිය පාලන සමයේ ආරම්භ වු ව්‍යාපෘ­ති­යකි. එහි යහ­පත හෝ විප­තද එයින් රටට ලැබෙන ප්‍රති­ලාභ පිළි­බ­ඳ­වද විවිධ අද­හස් තිබිය හැකිය. එහෙත් මේ දූෂණ චෝද­නාව නිසා රටක් වශ­යෙන් අපට ලැබෙන අව­මා­නය සුළු පටු නැත. එම­ඟින් අපගේ මිත්‍ර­යකු වූ චීන රජය ද කම්පා­වට පත් විය හැකිය. ඒ චෝද­නා­වෙන් ප්‍රකාශ වන පරිදි නෙලුම් කුලුන ව්‍යාපෘ­ති­යට සම­දා­ය­ක­ත්වය සැපයූ ආය­තන තුනෙන් එකක් කිසි­යම් ව්‍යාජ ආය­ත­න­යක් බව ද කියති. අපේ විදුලි සන්දේශ නියා­මන කොමි­සම හා චීනයේ ආය­තන දෙකක් ඒ අතර විය. එහෙත් එයට සම්බන්ධ එලිට් නමැති ආය­ත­න­ය­කට ශ්‍රී ලංකා රජය විසින් ගෙවන ලද මුදල අතු­රු­දන් වී ඇති බව ඒ චෝද­නාව ය.

මේ රටේ මහා පරි­මාන ව්‍යාපෘති සම්බ­න්ධ­යෙන් තිබෙන අතීත කතාව මෙන්ම වර්ත­මාන කතාව ද අති­ශය දුෂිත එකකි. ඒ බොහෝ ව්‍යාපාර වලට මැති ඇම­ති­ව­රුන් සම්බන්ධ වී සිටින අත­රම, ඔවුන්ට එල්ල වී තිබෙන චෝදනා ද අපුල දන­වයි. එහෙත් ඒ දූෂි­ත­යන්ට නිද­හසේ වැජ­ඹිය හැකි රටක් අද වන­විට නිර්මා­ණය වී තිබේ. කුමක් වුවත් නෙලුම් කුලුන සම්බන්ධ ක්‍රියා­දා­මය පැහැ­දිලි කිරීම රටට පම­ණක් නොව චීන­යට ද වැද­ගත් වනු ඇත.

මේ සියල්ල දෙස විම­සි­ල්ලෙන් බලන කව­ර­කුට වුවද එක් වරම හැඟී යන්නේ අද මේ රට තිබෙන්නේ දේශ­පා­ලන වශ­යෙන් නර­කා­දි­යක බවය; ආර්ථික වශ­යෙන් මුළා­වක බව ය. මානව බන්ධු­ත්ව­යෙන් හීන සාර­ධර්ම වශ­යෙන් ද පරා­භ­ව­යට ගිය රටක ජන­තාව අපේ­ක්ෂා­භං­ග­ත්ව­ය­කට පත්ව සිටින බව ය. සමාජ, ආර්ථික, දේශ­පා­ලන ප්‍රති­ලාභ යනාදී සියල්ල අහිමි වු ජන­තා­වට ඒවා භුක්ති විඳින සීමිත ගජ­මි­තුරු සමාජ පම­ණක් නොව දේශ­පා­ලන චරි­තද තිත්ත වී තිබේ. එහෙත් ඔවුහු හෙට අලුත් උදැ­ස­නක් එළ­ඹෙනු ඇතැයි යන සිති­වි­ල්ලෙන් පසු­වෙති.

මේ ලිපිය අව­සන් කිරී­මට පෙර පසු­ගිය දිනක මෛත්‍රි ජනා­ධි­ප­ති­ව­රයා විසින් කරන ලද අගනා අනා­ව­ර­ණ­යක් පිළි­බ­ඳව ද වච­න­යක් කිව යුතුය. ඒ එදා මේ රටට ආද­රය කළ මහ­ජන සේවය උතුම් කොට සැලකූ පිරි­සක් අපට සිටි බවය. දේශ­පා­ල­න­ඥ­යන්ට මඟ පෙන්වූ විද්ව­තුන්, බුද්ධි­ම­තුන් එදා මෙරටේ ක්‍රියා­කා­රීව සිටි බවය. පරා­ක්‍ර­ම­බාහු රජු විසින් ජාති­යට පිරි­න­මන ලද මහා පරා­ක්‍රම සමු­ද්‍රය වසර සිය ගණ­න­කට පසු යළි ප්‍රති­සං­ස්ක­ර­ණය කරන ලද්දේ මුස්ලිම් ජාතික වාරි­මාර්ග ඉංජි­නේ­රු­ව­ර­යකු විසිනි. එදා ඒ ප්‍රති­සං­ස්ක­රණ කට­යුතු සිදු­වන අත­ර­තුර ඒ ඉංජි­නේ­රු­වාට තම දරුවා අස­නීප බවට කොළ­ඹින් පණි­වු­ඩ­යක් ලැබී ඇත. එහෙත් සිය රාජ­කා­රි­යට ප්‍රමු­ඛ­තාව ලබා දුන් ස්මයිල් නමැති ඉංජි­නේ­රු­ව­රයා වැව් බැම්ම වහාම බැඳී­මට අවශ්‍ය බව කිය­මින් එහි රැදී ඇත. දින දෙක­කට පසු ඔහුට විදුලි පුව­තක් ලැබුණි. එහි සඳ­හන් වූයේ පුත්‍රයා මිය ගිය බව ය.

මෛත්‍රී ජනා­ධි­ප­ති­ව­රයා එයින් අව­ධා­ර­ණය කළේ රට වෙනු­වෙන්, ජන­තාව වෙනු­වෙන් උදාර කැප කිරීම් කළ නිල­ධා­රීන් එදා මේ රටේ සිටි බව ය. එබඳු උතුම් ඉංජි­නේ­රු­වන් නිසාම මෑත යුගයේ මොර­ග­හ­කන්ද ජලා­ශය වැනි ව්‍යාපෘ­තීන් නිම කළ හැකි වූ බවද ජනා­ධි­ප­ති­ව­රයා පවසා තිබුණි. සැබැ­වින් ම මේ රට පළමු තැනට දැමූ වෘත්ති­ක­යන්, නිල­ධා­රීන් අපට සිටි බව අපි දනිමු.

ස්වාර්ථය දුරලූ පරා­ර්ථය උදෙසා අවං­ක­වම කැප වූ ඒ උතුම් මිනි­සුන්ට අපි සදා ණය ගැති නොවෙ­මුද? විද්ව­තුන්ගේ සේවය බුද්ධි­ම­තුන්ගේ දාය­ක­ත්වය අද රටට අත්‍යා­වශ්‍ය බව ද මෛත්‍රී ජනා­ධි­ප­ති­ව­ර­යාගේ අව­ධා­ර­ණ­යයි. දැනුම, බුද්ධිය රට වෙනු­වෙන් යෙදීම වෘත්ති­ක­යන්ගේ වග­කී­මක් බව ද ජනා­ධි­ප­ති­ව­රයා පෙන්වා දෙයි. එහෙත් මෙරටේ තිබෙන ප්‍රජා­ත­න්ත්‍ර­වාදී අව­කා­ශය මෙන්ම ව්‍යව­ස්ථා­වෙන් ලබා දී තිබෙන නිද­හස වැනි හිමි­කම් යොදා ගනි­මින් රට හැර යන වෘත්ති­කයෝ හා බුද්ධි­මත්හු කොප­මණ සිටිත් ද? මහ­ජන මුද­ලින් නිද­හස් අධ්‍යා­ප­නය ලබ­මින් ගොදුරු ලොබ නිසාම රට හැර යන එබඳු අය තම හෘදය සාක්ෂි­යෙන් ඇසිය යුතු පැන­යක් ද ඇත.

එනම් මේ සියල්ල ඔබට ලැබුණේ රටින් ය; මේ මව්බි­මෙන් ය. එහෙත් ඔබ ඒ වෙනු­වෙන් රටට දුන්නේ කුමක්ද? යන ප්‍රශ්න­යට රට හැර යන අය තම හෘදය සාක්ෂි­යට පිළි­තුරු බැඳිය යුතු නොවෙත්ද? විද්ව­තුන් බුද්ධි­ම­තුන් පම­ණක් නොව මහ­ජන සේවය සඳහා දේශ­පා­ල­න­යට එන සියලු දෙනාම ද ඒ ප්‍රශ්න­යට තම හෘදය සාක්ෂි­යට පිළි­තුරු දිය යුතු වෙති. එළැ­ඹෙන ජනා­ධි­ප­ති­ව­ර­ණ­යෙන් ජන­තාව තෝරා ගත යුත්තේ එබඳු හෘදය සාක්ෂි­යක් සහිත නාය­ක­යකු බව පම­ණක් අපි කියමු.

Comments