කැලණි පාලමේ සිට විනාඩි 4න් කොටු­වට එන නව ගුවන් අධි­වේ­ගය | සිළුමිණ

කැලණි පාලමේ සිට විනාඩි 4න් කොටු­වට එන නව ගුවන් අධි­වේ­ගය

 

කොළ­ඹට ඇදී එන වාහන සංඛ්‍යාව දිනෙන් දිනම වැඩි­වෙ­මින් පව­තින හෙයින් ඒ ගැට­ලු­වට කාලා­න්ත­ර­යක් තිස්සේම විස­ඳුම් සොය­න්නට කට­යුතු කරන ලදී. ඒ සඳහා විවි­ධා­කාර යෝජනා වරින් වර ඉදි­රි­පත් විය. එහෙත් ඒ කිසිදු යෝජ­නා­වක් හරහා මාර්ග තද­බ­දය නම් අඩු වූයේ නැත.

 

දශක කිහි­ප­ය­කට පෙර ‘කළම්ඹු මෙට්‍රො­පො­ලි­ටන් ප්ලෑන්‘ යටතේ කොළඹ පිටත වට­ර­වුම් මාර්ගය තන­න්නට යෝජනා වූයේ ඒ අනු­වය. කොළඹ පිටත වට­ර­වුම් මාර්ගය හරහා කොළඹ නග­ර­යට ඇතුළු නොවී බාහිර ප්‍රදේශ කරා ගමන් කර­න්නට හැකි­යාව ලැබු­ණද නග­රය කරා ඇදී එන වාහන තද­බ­දය මෙන්ම කොළඹ සිට දුර බැහැර ප්‍රදේශ කරා ගමන් ගන්නා මඟීන්ට මෙන්ම මහ ජන­තා­වට නම් එත­රම් විශාල සෙතක් සිදු නොවිණි.

උදා­හ­ර­ණ­යක් ලෙස දක්ෂිණ අධි­වේගී මාර්ග­යෙහ් ගමන් කර­න්න­කුට මාතර සිට කොට්ටා­වට පැමි­ණී­මට පැය එක­හ­මා­ර­කින් හැකි වුවද එතැන් සිට කොළ­ඹට ඒමට ඊටත් වඩා වැඩි වේලා­වක් ගත වේ.

කොළඹ පිටත වට­ර­වුම් මාර්ගයේ අව­සන් අදි­යර වන කඩ­වත සිට කෙර­ව­ල­පි­ටිය මාර්ග­යද තවත් නොබෝ දින­කින් විවෘත කෙරේ.

අග්‍රාමාත්‍යවරයා කුලුනු මතින් දිවෙන අධිවේගයට මුල්ගල තැබූ අවස්ථාව
ඇමැති කබීර් හෂිම් ඇතුළු මැති ඇමැතිවරු රැසක්ද මෙම අවස්ථාවට එක් විය.

කොළඹ පිටත වට­ර­වුම් මාර්ග­යේද දක්ෂිණ අධි­වේගී මාර්ග­යේද ඇතැම් දින­වල, විශේ­ෂ­යෙන්ම පාසල් නිවාඩු කාලයේ මෙන්ම අලුත් අවු­රුදු හා නත්තල් සම­යේදි ඇති­වන අධික වාහන තද­බ­දය නිසා අධි­වේගී මාර්ගයේ ගමන් කරනු ලබන කාල­යට ආසන්න කාල­යක් පිට­වීමේ දොරටු අසල රැදී සිටි­න්නට සිදු­වී­මෙන්ම රථ­වා­හන තද­බ­දයේ අව­දා­නමේ ලකුණු දැන­ට­මත් පහ­ළව ඇත.

විශේ­ෂ­යෙන්ම කොළඹ නග­රයේ හා ආසන්න නග­ර­වල පවත්නා අධික වාහන තද­බ­ද­යට ස්ථාවර පිළි­ය­මක් සොය­න්නට කාලා­න්ත­ර­යක් තිස්සේම කට­යුතු කළත් ඒ සඳහා ස්ථාවර විස­ඳු­මක් පෙනෙන මාන­යක නොවීය.

එසේම කඩ­වත - කෙර­ව­ල­පි­ටිය කොළඹ පිටත වට­ර­වුම් මාර්ගය විවෘත කිරී­මෙන් පසුව මාතර සිට පැමි­ණෙන වාහ­නද කොට්ටා­වෙන් පිටව නොගොස් කඩ­වත කෙර­ව­ල­පි­ටිය හරහා කැලණි පාලම අස­ලින් කොළඹ කටු­නා­යක අධි­වේගී මාර්ග ආර­ම්භ­යෙන් නග­ර­යට ඇතුළු වීමට කට­යුතු කරනු ඇත. දැන­ට­මත් කැලණි පාලම අසල ඇති තද­බ­ද­යට අම­ත­රව මේ මාර්ගයේ අධික තද­බ­ද­යක් මේ නිසා ඇති වීම නම් වැළැ­ක්විය නොහැ­කිය. එය මැඬ­ලීම පිණිස විශේෂ පිය­ව­රක් ගත යුතුය. එසේම ඔරු­ගො­ඩ­වත්තේ ස්ථාපිත කන්ටේ­නර් අංග­න­යන්ට වරායේ සිට දින­පතා කන්ටේ­නර් රථ 2000කට ආසන්න සංඛ්‍යා­වක් පැමි­ණෙන හෙයින් කොළඹ නග­ර­යට පිවි­සෙන සිය­ලුම වාහන මේ රථ වාහන තද­බ­ද­යට අනි­වා­ර්යෙන්ම ලක් විය යුතු­මය.

එම නිසා ඒ වෙනු­වෙන් විශේ­ෂිත සැල­සු­මක් ක්‍රියා­වට නැංවී­මට මාර්ග සංව­ර්ධන අධි­කා­රිය විසින් පිය­වර ගත්තේය. ඒ නව ගුවන් අධි­වේගී මාර්ග­යක් ස්ථාපිත කිරී­මට කට­යුතු යෙදී­මෙනි. ඒ සම්බ­න්ධ­යෙන් මාර්ග සංව­ර්ධන අධි­කා­රියේ සභා­පති නිහාල් සූරි­ය­ආ­රච්චි මහතා පව­සන්නේ කුලුණු මත ස්ථාපිත නව අධි­වේගී මාර්ග­යක් හරහා මේ ගැට­ලු­වට කඩි­නම් විස­ඳු­මක් ලබා දීමට පිය­වර ගෙන ඇති බවයි.

‘‘ඔරු­ගො­ඩ­වත්තේ එක් විශාල කන්ටේ­නර් අංග­න­යක් තිබෙ­නවා. එයට දින­කට කන්ටේ­නර් 1700කට අධික සංඛ්‍යා­වක් පැමි­ණෙ­නවා. වරායේ සිට එම ස්ථාන­යට පැමි­ණී­මට එක් කන්ටේ­නර් රථ­ය­කට විනාඩි 45කට අධික වේලා­වක් ගත වෙනවා. ඒ සිය­ල්ල­ටම වැඩි ගැට­ලුව වන්නේ එතැ­නදී ඇති­වන අධික රථ වාහන තද­බ­ද­යයි. එම නිසා කන්ටේ­නර් අංග­න­යක් කෙර­ව­ල­පි­ටියේ පිහිටි ස්ථාන­යක ස්ථාපිත කිරී­මට මේ අධි­වේගී මාර්ග ව්‍යාපෘ­තිය හරහා සිදු කරන තවත් පිය­ව­රක් ලෙස හඳුන්වා දෙන්න පුළු­වන්.

නව ගුවන් අධි­වේගී මාර්ගය කැල­ණිය යෝජිත මංතීරු 6 පාලම අව­සා­න­යෙන් ආරම්භ වී ඉගු­රු­කඩේ හන්දියේ සිට කොළඹ වරාය දක්වා ඉදි කෙරෙ­නවා. ඒ මාර්ගය තැනී­මේදී මල්වත්ත පාර අස­ලදී යෝජිත බහු­විධ ප්‍රවා­හන මධ්‍ය­ස්ථා­න­යට පිවි­සුම් මාර්ග­යක් යොමු කෙරෙ­නවා. ඒ වගේම මේ මාර්ගය මෙගා පොලිස් අමා­ත්‍යාං­ශය යටතේ ගාලු­මු­ව­දොර දක්වා ගොස් එතැන් සිට භූගත ලෙසින් මුහු­දු­බඩ විකල්ප මාර්ගය (Marine Drive) හා සම්බන්ධ වීමට කට­යුතු යොද­නවා. මේ මාර්ගය ඉදි කිරී­මත් සම­ගම කොළඹ නග­ර­යට ඇතුළු වීමට දැනට තිබෙන අධික මාර්ග තද­බ­දය සහ­මු­ලින්ම දුරු වී යන බව අපට විශ්වා­සයි.‘

අමා­ත්‍යාංශ ලේකම් සුනිල් හෙට්ටි­ආ­රච්චි මහ­තාගේ උප­දෙස් යටතේ මේ කට­යුතු සිදු කෙරෙන අතර ඉංජි­නේරු කමල් අම­ර­වීර මහ­තාගේ පූර්ණ නිරී­ක්ෂ­ණය යටතේ මාර්ග ඉදි කිරීම් සිදු කෙරේ.

මංතීරු 4කින් යුක්තව ඉදි­වන මේ මාර්ගය දිගින් කිලෝ­මී­ටර් 5.3ක් වන අතර මාර්ගය ඉදි කිරීමේ කට­යුතු පසු­ගිය 10 වැනිදා උදෑ­සන අග්‍රා­මාත්‍ය රනිල් වික්‍ර­ම­සිංහ මහතා සහ අමාත්‍ය කබීර් හෂීම් ඇතුළු මැති ඇමැ­ති­ව­රුන් රැස­කගේ මෙන්ම මාර්ග සංව­ර්ධන අධි­කා­රියේ නිල­ධා­රීන් රැස­කගේ සහ­භා­ගි­ත්ව­යෙන් සිදු කෙරිණි. මාර්ගය තැනීම සඳහා ආසි­යානු සංව­ර්ධන බැංකු­වෙන් රුපි­යල් බිලි­යන 28ක මුද­ලක් ලබා දී ඇත.

මාර්ගය ඉදි කිරී­මෙන් පසුව දැනට පැය­කට ආසන්න කාල­යක් ගත වන ගම­නට ගත වන්නේ විනාඩි 4ක පමණ කාල­යකි.

එසේම මාර්ගය ඉදි කිරී­මේදී එය වරායේ ප්‍රධාන මාර්ග­යට ඉහ­ළින් ඉදි වන නිසා ජන­තා­වට සිදු වන ගැටලු අවම වේ.

මේ ගුවන් අධි­වේගී මාර්ග­යෙන් කොළඹ කටු­නා­යක අධි­වේගී මාර්ග­යට මෙන්ම කොළඹ පිටත වට­ර­වුම් මාර්ග­ය­ටත් එමෙන්ම දක්ෂිණ අධි­වේගී මාර්ග­ය­ටත් පිවි­සී­මට හැකි වනු ඇත.

මේ ව්‍යාපෘ­තියේ ප්‍රමුඛ ඉදි කිරීම් සමා­ගම ලෙස චීන සිවිල් ඉංජි­නේරු ඉදි කිරීම් සංස්ථාව කට­යුතු කරන අතර උප­දේ­ශක සමා­ගම වශ­යෙන් ඇම­රි­කාව, එංග­ල­න්තය හා ශ්‍රී ලංකාවේ උප­දේ­ශක සමා­ගම් 3ක් අනු­බ­ද්ධිත ආය­ත­න­යක් ක්‍රියා­ත්මක කෙරේ.

වසර 2022දී මේ මාර්ග පද්ධ­තියේ නව කැලණි පාලමේ සිට ගාලු මුව­දොර දක්වා සහ රාජ­ගි­රිය දක්වා මාර්ගය ඉදි වීමෙන් පසුව මාතර සිට කොට්ටාව පිවි­සු­මෙන් පිටව කොළ­ඹට පැමි­ණීම අවශ්‍ය නොවන අතර මාතර සිට කොළඹ පිටත වට­ර­වුම් මාර්ග­යෙන් කෙර­ව­ල­පි­ටි­යට ගොස් එතැ­නින් කොළඹ කටු­නා­යක අධි­වේගී මාර්ග­යෙන් නව කැලණි පාලම අස­ලට පැමිණ ගුවන් අධි­වේ­ග­යෙන් කොළ­ඹට පැමි­ණී­මට ගත වන සම්පූර්ණ කාලය පැය දෙක­ක­ටත් අඩු වනු ඇත.

අපේ බොහෝ නාග­රික සැල­සුම් හමස් පෙට්ටි­යට වැටුණු බව අතීත කතා දෙස බැලූ විට පැහැ­දිලි වේ. එසේ වුවත් මේ ගුවන් අධි­වේගී මාර්ග පද්ධ­තිය නම් එහෙත් මේ වන විට වැඩ කට­යුතු ආරම්භ කරන ලද කුලුනු මත ඉදි­වන නව ගුවන් අධි­වේගී මාර්ගයේ වැඩ කට­යුතු නිය­මිත දින­ය­න්හිදි අව­සන් කර­න්නට හැකි වන බව නම් පෙනෙ­න්නට ඇත. එය කොළ­ඹට ඇතුළු වන රථ­වා­හන තද­බ­දයේ විශාල අඩු­වක් පෙන්නුම් කෙරෙන්නේ මීග­මුව පාරේ හා මහ­නු­වර පාරෙන් පැමි­ණෙන වාහන සඳ­හාම පම­ණක්ම නොවේ. මහ­නු­වර මාර්ගයේ සිට පැමි­ණෙන වාහ­න­ව­ලට කඩ­වත අන්ත­ර්හු­ව­මා­රු­වෙන් ඇතුළු වී කෙර­ව­ල­පි­ටිය හරහා කැලණි පාල­මෙන් කොළ­ඹට ළඟා විය හැක්කාක් මෙන්ම මාකොළ පාර බිය­ගම පාර ඇතුළු ප්‍රදේශ වල සිට පැමි­ණෙන ජන­තා­ව­ටද පෑලි­ය­ගො­ඩදී මේ නව ගුවන් අධි­වේගී මාර්ගය හා එක්වී­මට පුළු­වන.

අප පෙර කී ලෙසින්ම මුහුදු බඩ විකල්ප මාර්ගයේ සිට පැමි­ණෙන වාහන සඳහා ඉදි වන නව භූගත මාර්ගය නිසා ගාලු පාරේ පැමි­ණෙන වාහන වල­ටද කඩි­න­මින් කොළ­ඹට පැමි­ණී­මට හැකි­යාව ලැබෙනු ඇත.

රටක සංව­ර්ධ­නය එක් පිරි­ස­කට එක් පක්ෂ­ය­කට හෝ එක් ප්‍රදේ­ශ­ය­කට හෝ සීමා විය යුතු නොවේ. එක් රජ­යක් විසින් ආරම්භ කරන ලද සංව­ර්ධන කට­යුතු සියල්ල පසුව බල­යට පත් වන රජ­යන් විසින් ඉදි­රි­යට ගෙන යන පැහැ­දිලි ජාතික ප්‍රති­ප­ත්ති­යක් ඇති කළ යුතුය. එසේ නොවු­ව­හොත් මේ මාර්ග පද්ධ­තියේ සැබෑ වාසිය ජන­තා­ව­ටත් රට­ටත් ලබා ගැනී­මට හැකි­යා­වක් නොලැ­බෙනු ඇත.

 

Comments