අලුතින් වේදිකාවට එන අය කැප වෙන්නේ නැහැ | සිළුමිණ

අලුතින් වේදිකාවට එන අය කැප වෙන්නේ නැහැ

මාලි ජයවීරගේ. ඇගේ රංගන භූමිකාව ආරම්භ වන්නේ වේදිකාවෙනි.

ඒ වගේ ම වේදිකාවේ පැළ වුණු රංගන ශිල්පිනියක විදියට ඈව

හැඳින්වූවාට ද වරදක් නැත. ඒ තරමටම ඈ වේදිකාවට ආදරය කළා ය.

ඒ නිසාමදෝ එයට පසුව රඟපෑමට මුණ ගැසුණු පුංචි තිරයේ ‘දූදරුවෝ, ‘දඬුබස්නාමානය’, ‘මඩොල් දූව’, ‘පිටගම්කාරයෝ’, ‘වසූදා’ යන

නිර්මාණවල ඇගේ රුව දකින්න ලැබුණ ද මාලි අදත් ප්‍රේක්ෂකයන් අතර වඩාත් ජනප්‍රිය භාවයට පත්ව සිටින්නේ වේදිකාව ඔස්සේ ය.

‘පුන්තිලා’, ‘කුසපබාවතී’, ‘ලෝකය තනි යායක්’, ‘අත්’, ‘ලෝරන්ස්ගේ මනමාලි’ ඇගේ රංගන ගමනේ තීරණාත්මක සන්ධිස්ථානය.

අදටත් වේදිකා රංගනය අමතක නොකළ ඈ සක්‍රීය ලෙස ම වේදිකාවේ රැඳී සිටින්නියකි.

“මේ දවස්වල මම ‘ගාන්ධි@gmail.com’ කියන අලුත්ම වේදිකා නාට්‍යයේ පුහුණු වීම්වලයි කාලය ගත කරන්නේ. ඒ වේදිකා නාට්‍යය ලබන මාසයේ පමණ වේදිකා ගතවීමට නියමිතයි. එයට අමතරව ‘ලෝරන්ස්ගේ මනමාලි’, ‘ගොන්ඩෝලා’ වේදිකා නාට්‍යවල දර්ශනවලට සහභාගි වෙනවා. ටෙලි නාට්‍ය නිර්මාණවලට සහභාගි වීම නම් මා අම්මාගේ අසනීපයත් සමඟ නැවැත්තුවා. ඇගේ මරණින් පස්සේ තවම රඟපෑවේ නිර්මාණ කිහිපයක පමණයි. දෙරණ රූපවාහිනියේ විකාශය වන ‘මඟියා’ කියන ටෙලි චිත්‍රපටයේ රඟපෑවා. ඒ නිර්මාණය කිහිප වරක්ම විකාශය වුණා. හොඳ චරිතයක් ලැබුණොත් පමණක් ඒ ගැන ඉදිරියේදි සලකලා බලන්න අදහසක් තිබෙනවා.”

ඈ ප්‍රමුඛ බව දෙන වේදිකා නාට්‍ය කලාවත් ටෙලි නාට්‍ය කලාවේ වගේ වෙනස්කම් සිදු වී ඇත්දැයි මගේ සිතට නැඟුණේ පැනයකි. ඒ පිළිබඳ හා නවකයන් ඒ කලාව ඇතුළේ කටයුතු කරන ආකාරය ගැන ද විමසීමට මම අමතක නොකළෙමි. මා ඇගෙන් එසේ විමසුවේ වේදිකාව යනු බොහෝ කැපවීම කළ යුතු කලාවක් බැවිනි.

“අලුත් නාට්‍යයක පුහුණු වීම් නිසා ඒ කාරණය තදින්ම මට දැනෙනවා. අලුතින් වේදිකාවට පිවිසෙන අය අපි වේදිකාවට කළ කැප කිරීමෙන් අන්තිම දශමයක්වත් කැප කරනව ද කියලා නම් මං දන්නේ නැහැ. මට අදටත් පුරුද්දක් තිබෙන්නේ වේදිකා නාට්‍යයකට ගියාට පස්සේ ඒ පරිසරය හදා ගැනීමයි. වේදිකා නාට්‍ය කලාවේ පුහුණුවීම් කරන ස්ථානයට ගියාට පස්සේ පෙර සූදානම කියන දෙයයි මූලික වන්නේ. ඒ කාරණා අපට අපේ ගුරුවරු නම් කියලා දීලයි තිබෙන්නේ. ඒත් ඒ දේවල් මේ අලුත් පරපුර දන්නේ නැහැ. ඒ අය ඒ දේවල් කරනවා තියා නාට්‍ය පුහුණු වීම්වලට එන්නේත් පුහුණු වීම් ආරම්භ කරන්න මොහොතකට කලින්. ඒ ඇවිත් නාට්‍යයේ පුහුණු වීම් නැරැඹීමට කැමැත්තක් දක්වන්නේත් නැහැ. මොකද අපි නම් ඒ පුහුණු වීම් දවස්වලදි කරන්නේ අපේ සීන් එක නැති වුණත් මුළු නාට්‍යම නැරැඹීමයි. නාට්‍යයේ අනෙක් චරිත කොහොමද? කෙරෙන්නේ, නාට්‍යය ගලාගෙන යන්නේ කොහොමද? කියන කාරණා විමසීමට ලක් කිරිමයි. ඒත් අලුත් පරපුර එහෙම කරන වගක් පෙනෙන්න නැහැ. ඔවුන් පුහුණු වීම්වලට පැමිණ ඔවුන්ගේ චරිතය එදා දවසේ පුහුණු වේ නැත්නම් විමසන්නේම මම යන්නද කියලා මිසක් ඒ පුහුණු වීම් බලාගෙන සිටීමේ අදහසක් ඔවුන්ට නැහැ. එහිදී මම නම් දකින ඔවුන්ගේ අඩුපාඩුව වන්නේ ඔවුන්ට ඉවසීමක් නැති බවයි. නාට්‍ය පාසල්වලින් ළමයින්ට පුරුදු පුහුණු කළ යුතු එක් කාරණයක් වන්නේ එයයි”

ඕනෑම කලාවක ඒ කලාවට ආවේණික විවිධ ලක්ෂණ හා ගති සිරිත් තිබේ. ඒ සියල්ල ඊළඟ පරම්පරාව දත යුතුය. එවිටය එහි පැවැත්මක් පවතින්නේ. ඒ පැවැත්ම ඈ ඉගෙන ගත්තේ නාට්‍ය කලාවට පැමිණි මුල් කාලයේය.

“මම මුලින්ම කරන්නේ නැටුම්. සුදර්ශියේ නැටුම් පන්ති එන කාලයේ නිහාල් සිල්වා තමයි ඇවිත් කියන්නේ මෙහෙම විදේශයක ඉන්න හෙලේනා ලෙබ්තිමකී කියන කාන්තාව ඇවිත් වැඩමුළුවක් කරනවා. ඒකට සහභාගි වෙන්න කියලා. ඔහුගෙන් බේරෙන්න බැරි නිසාම ගෙදරින් අවසර ඇතිවයි මා මේ වැඩමුළුවට සහභාගි වෙන්නේ. එය අවසානයේ හෙලේනා ලෙබ්තිමකී මාව ලයිනාගේ චරිතයට තෝරා ගන්නවා. ඊට පස්සේ වසරක පුහුණු වීම්වලින් පස්සෙයි ‘පුන්තිලා’ වේදිකා ගත වන්නේ. ඒ රඟපෑමෙන් පසුව ඒ දවස්වල මගේ රඟපෑමත්, චරිතයත් ගැන කතාබහක් ඇති වෙනවා. ඒ මඟිනුයි මට විවිධ නිර්මාණවලට සහභාගි වීමට ආරාධනා ලැබෙන්නේ.”

රංගන ශිල්පිනියක ලෙස දිගින් දිගටම වැඩ අරඹන මාලි ජයවීරගේට පුංචි තිරය මෙන්ම රිදී තිරයේද දොර විවෘත වෙයි. ඒ පරාක්‍රම නිරිඇල්ලගේ ‘අයෝමා’ චිත්‍රපටයෙනි. ඉන් පසුව ‘උත්පලවණ්ණා’, ‘ගාමිණී’ ඇතුළු චිත්‍රපට රැසකටම ඇගේ රංගන දායක වීම හිමි වෙයි.

“අදට වඩා ඒ කලායේ කලාකරුවන් අතර හොඳ සබැඳියාවක් තිබුණා. ඒ අය අද හමු වුණත් කතා කරන්න බොහෝ දේවල් තිබෙනවා. ඒත් අද ඉන්න අය එහෙම නැහැ. ඒ හමු වීම් “හායි.... කොහොමද?” කියන වචන කිහිපයකට පමණක් ලඝු වෙලා. අද අය සියල්ලන් ෆෝන් එකේ මුහුණ ඔබාගෙන නැත්නම් බිම බලාගෙන ඉන්න පිරිසක් බවට පත් වෙලා. සෙට් එකකට ගියත් වෙනදා තියෙන සුහද බව නැහැ.”

මේ සමාජය වෙනසකට ලක් වුවද ඈ තවමත් නිහතමානී ය. බොහෝ සරල ය. ඇගේ සරල බවේ රහස කුමක් ද?

“මම අවිවාහකයි. මම නිතරම හිතන්නේ ඒ විදියට තියන්නම තමයි මාව මෙහෙට එවලා තියෙන්නේ කියලා. මොකද මා එහෙම කියන්නේ අම්මට තාත්තාට සලකන්න උපරිමයෙන් ලැබුණු කෙනෙකු නිසයි. දූවරු හිටියට ඒ සියල්ලන්ට ඒ දේ නියම ආකාරයෙන් කරන්න ලැබෙන්නේ නැහැ. ඒ හැමදෙයක්ම හොඳට කරන්න මට කියන පරක්කුවෙන් හැමදේම ලබාදුන්නේ අයියා. ඒ සඳහා නංගි, මල්ලි, නෑනා, මස්සිනා කියන සියලු දෙනාම මට උදව් කළා. ඒ නිසා මවුපියන්ව මා හොඳින් බලා ගත්තා. ඒ කාලයේ මා නිර්මාණ කිසිවක් භාර ගත්තේ නැහැ. ඒ සියල්ලෙන් ඉවත් වෙලයි මා ඔවුන් වෙනුවෙන් කැප වුණේ. ඒ සතුට මට තියෙනවා. අවසානයේ අම්මාගේ අවසන් කටයුතු කිරීමට තිබුණු දවසට කලින් දවසේ මා රඟපෑ එකම නිර්මාණය වූ ‘ලෝරන්ස්ගේ මනමාලි’ වේදිකා ගත වීම කිසිවකුටත් නවත්වන්න නොහැකි වුණා. එය වේදිකාගත වුණේ මොරටුව විශ්වවිද්‍යාලයේ. ඒත් අයියා ඒ වෙලාවේ කිව්වේ ඔයා අම්මාව බලන්න ඕන කාලේ බැලුවා නේ. ඒකට වඩා තවත් දෙයක් මොනව ද? ගිහින් නාට්‍යය රඟපාන්න කියලයි. ඒ විදියටයි එදා මා ‘ලෝරන්ස්ගේ මනමාලි’ රඟපෑවේ.”

මාලි රංගනයට පණ සේ ආදරය කළා සේම සිය වගකීම් ද නිසි ආකාරයෙන් ඉටු කිරීමට වගබලා ගත් රංගන ශිල්පිනියකි. ඒ වගකීම නිසාම ය ඈ විසින් මවගේ දෙණ නිවෙසේ තිබියදී රඟපෑම නම් යුතුකම ඉටු කරනු ලැබු‍වේ. මෙලෙස කාලය ගෙවී ගිය ද ඈ තවමත් තනිකඩ ය. ඒ තනිකඩ ජීවිතයක් ගත කිරීමට ඈ තීරණය කළේ ඇයි ද යන්න විමසීමට ඈ දුන්නේ මෙවන් පිළිතුරකි.

“එහෙම කල්පනාවක් මගේ ජීවිතේටම තිබුණේ නැහැ. මගේ ජීවිතයේ හැමදෙයක්ම මා කළේ සැලසුම් සහගතවයි. විවාහය ගැනත් එවැනි සැලසුමක් තිබුණා. මා හිතාගෙන හිටියේ මට අවුරුදු පනහ වන විට අවුරුදු විසිපහක ළමයකු සිටිය යුතු බවයි. ගෙදර අයත් මට බොහෝ අය සෙව්වා. ඒත් මගේ හිත ගිය කෙනකු ඒ අතර හිටියේ නැහැ. ඒත් අද විවාහ නොවීම ගැන මා සතුටට පත් වෙනවා. මොකද මා අද වන විට ගෙවන්නේ නිදහස්, සරල, සැහැල්ලු ජීවිතයක්.”

මාලි අසලම ඒ සරල සැහැල්ලු බව ගැවසෙනු අපට දැක ගත හැකිය. තමාටම කියා නිවෙසක් තනා ගත් ඕ එහි වසන්නේ රැජනක ලෙසිනි. ලොකුත් නැති පොඩිත් නැති, බඩු ගොඩකුත් නැති අවශ්‍යම දේ පමණක් තිබෙන ඇගේ නිවෙස සරල සුන්දර තැනකි. ඈ නියම ගෘහිණියක්ය යන වදන මගේ මුවගට නැඟුණේ එහි පිවිසි විට ය.

“තව කෙනකුට කරදරයක් නොවී ජීවිතය ගෙන යන්න පුළුවන් සැලසුමක් අපට තියෙන්න ඕනෑ. එවැනි සැලසුමකට වැඩ කළොත් කිසිම කෙනකුට අවසාන කාලයේ අත නොපා ජීවත් වීමට ඕනෑම කෙනකුට හැකියි. ඒ සඳහා යම් සැලසුමක් තිබිය යුතුයි. මම ඒ කාලයේම වැඩ කළේ සැලසුමක් ඇතිවයි. මට වයස පනහ වන විට වැටිලා සිටින්න ගෙයක් තිබිය යුතුයි කියන මතයේ මා සිටියා. ඒ සඳහා ප්ලෑන් එක ඇන්දේත් මමමයි. මට වුවමනා විදියට පුංචියට මා ගෙයක් හදා ගත්තා. හැමදෙනාටම වෙනත් කිසිවකු නොවී තමන් විය හැකි නම් මා හිතන්නේ කෙනෙකුගේ සාර්ථක බවේ රහස රැඳී තිබෙන්නේ එතැනයි.”

සිය රංගන කටයුතු අතරේ මාලි සිය සොහොයුරු සොහොයුරියන්ගේ ආදරය මැද වෙසෙන්නේ සතුටිනි. විවිධ ආකාරයේ අත්කම් කරමින්, පින්දහම්වල යෙදෙමින් කාලය ගත කරන ඇගේ ජීවිතය තෘප්තිමත් ය.

සටහන හා සේයාරූ -

තිලානි ශානිකා විතානාච්චි

Comments