ඉලුක්යායේ ලලාන් වතුයායේ රූගත කෙරෙන සමනල පැටවුන්ගේ කතාව | සිළුමිණ

ඉලුක්යායේ ලලාන් වතුයායේ රූගත කෙරෙන සමනල පැටවුන්ගේ කතාව

හමනා සුළඟයි වන තීරේ- සීතල ජලයයි ගංගාවේ

දෙවියන් දුන්නේ දැන් මේවා කාටද ඕනා..

සුරලෝකේ සැප ගමු බෝමා...

කසුන් කොන්දසිංහගේ පද පෙළ මියුරු සප්තස්වර සමඟ මුසුකරලා නීරෝ හා ශනිකා ගායනා කරන මේ ගීතයට පුංචි කුමාරිකාවන් ලස්සනට පා සොලවනවා. මේ දැරණියගල ඉලුක්තැන්න ගම්මානයේ ලලාන් වතුයාය.

“ස්ටෑන්ඩ් බයි... ඇක්ෂන් ..ටේක්..”

මේ අණට කවුරුත් කීකරුයි. මේ රූගත කිරීම් කරන්නේ ජනප්‍රිය අධ්‍යක්ෂක ලාල් ප්‍රියදේවගේ නවතම සිනමාපටය “අපට සැදුණු අපේ ලෝකය”යි. තේ, රබර්, කටු පොල් වගාවලින් සමන්විත අලංකාර කඳු පන්තිය සුදු මීදුම් පටලයකින් වැසී ගිහින්. හාත්පස හමා යන්නේ ගතසිත කිලිපොළා යන සීතලක්. හීන් සීරුවට හීන් පොද පතිත වෙන්න ගත්තා.

කට්...කට්.. කට්.. මදකට රූගත කිරීම් නවත්වනවා. දුවන වැස්ස ටිකකින් තුරල්වුණා.

ගම්මානේ ඉපදීලා - පණවාගේම අපි එක්වීලා..

ගී රාවේ පතුරාලා - එකරෑනේ ගිරවුන් සේයා.

මී විත රස තොලගාලා - මියුරු නද දීලා...

නැවතත් රූගත කිරීම් ඇරඹුණා.

පුංචි දැරිවියන් මල් ගවුම් කරකවමින් හැඩට නටනවා. යෞවන යෞවනියන්ගේ නැටුම් බලන්න ලයිමේ බොහෝ පිරිසක් එක්වෙලා. මේ හැමෝටම නැටුම් පුරුදු කරන්නේ බිඟුන් නිසංකා නැටුම් ගුරුතුමියයි.

අපි නෑනේ දුක්වීලා - හැමදාමත් ඉමු හිනැහීලා

නොසිතූ දේ සිදුවීලා - තව නෑනේ ඒ ගැන සිතලා

ආදරය ගී මුමුණාලා - නටමු මත්වීලා

හංගන්නේ නෑනේ අපි බොරුව දාලා

හිංසාව ඇති තැන නෑනේ ගල් ගිලලා

මල්වාගේ හිත්වේවා මනමාල මල් හීනපේනා...

“අපට සැදුණු අපේ ලෝකය” සුනිල් ටී. ප්‍රනාන්දුගේ 72 වැනි චිත්‍රපටය. සුනිල්ගේ සංකල්පය තිර පිටපතට කැටි කරලා අධ්‍යක්ෂණය කරන්නේ ජනප්‍රිය සිනමාකරු ලාල් ප්‍රියදේව. මගේ යාළු මාළු, ජොලිහලෝ, මගෝඩි ගොඩයි, අපේ යාළු පුංචි භූතයා සිනමාපට ප්‍රේක්ෂකයන්ට තිළිණ කළ ලා‍ල්ගේ 16 වන චිත්‍රපටය ලෙසිනුයි අපට සැදුණු අපේ ලෝකය එළිදකින්නෙ.

හදිසි අනතුරකින් මවුපියන් අහිමි වූ ළමයකු කැලයක තනිවෙනවා. ඔහු හැදෙන්නේ සතුන් සමගින්. මේ දරුවාගේ කතාව කෙළවර වන්නේ අනපේක්ෂිත ගැටලු රැසකින්. “අපට සැදුනු අපේ ලෝකය” ගලා යන්නේ එලෙසින්.

මේනක රාජපක්ෂ, නෙහාරා පීරිස්, රජිව් නානායක්කාර, රජිත රොද්‍රිගු, ලස්නි බෝගොඩ ඇතුළු නළු නිළියන් පිරිසක් රංගනයට එක්වෙනවා. ප්‍රධාන චරිතය පංකජ චන්දේව් ළමා නළුවා සමඟ ස්වේතා, මනීෂා මධුභාෂිණි, විමුක්ති සහන් ලෝචන. භාග්‍යා ඇතුළු විශාල ළමා නළු නිළියන් පිරිසක් එක්වෙනවා. මේ චිත්‍රපටයේ නවක නළු නිළියන් රැසකට රංගනයට එක්වීමට අවස්ථාවක් ලබාදීම විශේෂත්වයක්. මේ චිත්‍රපටයේ රඟපාන ‘මැකෝ‘ කතාකරන සුදු ගිරවා ළමා නළු පංකජගේ උරහිසේ අපූරුවට එහාට මෙහාට පැද්දෙනවා. මොනවහරි ඇහුවාම ඕ කියලා කියනවා. අම්මා, තාත්තා කියනවා.

මදින් මද වැටෙන මද වැස්සට මුවාවෙවී මහ රෑ දක්වාම රූගත කිරීම් කෙරුණා. කැලී කපන ඝන අඳුර මකාගෙන රාත්‍රී පහන්වලට අමතරව පොල්කටු ගිනිමැල වලින් එළිය වුණා. ලැයිමෙ වතුදෙමළ ගෙවල්වල අය චිත්‍රපට කණ්ඩායමට ලොකු සහායක් ලබා දුන්නා. වැස්ස මදකට තුරල් වන තුරු විඩා හරින අධ්‍යක්ෂක ලාල් ප්‍රියදේව රසඳුනට මෙහෙම කීවා.

“සුනිල්ට ඕනා වුණා වෙනස් ආරක සිනමා කෘතියක් කරන්න. මම ඔහුගේ සිතිවිල්ල පිටපත් කරලා කීප දෙනෙකුගෙන් විමසලා ප්‍රතිචාර ලබාගත්තා. කළුබෝවිල, ජයවර්ධනපුර, කෑගල්ල, දැරණියගල වගේ දර්ශන තල කැමරාවට නතුකරගත්තා. දැරණියගල කෑලැවල කුරුලු පාරාදීසයන්, කඳු, ගල් තැනිතලා, දුෂ්කර පළාත්, කැලෑ සතුන් දියඇළි වගේ පරිසර පද්ධති මීට ඇතුළත්. හොඳ ගිරවෙක් හමුවුණා. හැමෝගෙන්ම හොඳ සහායක් ලැබුණා. වැඩ කවුරුත් බෙදාගත්තාම පහසුයි. තනියම කරද්දී වෙහෙස වැඩියි. දැරණියගල වාසය කරන වසන්ත මහත්මයා තමයි දැරණියගල දර්ශන තල සොයාදුන‍්නේ...

මේ කතාවෙන් මිනිස්සු තුළ නොමැති යහගුණ සතුන් තුළ තියෙන බව ඔප්පුවෙනවා. සතුන්ට වඩා විනාශයක් මිනිසුන්ගෙන් සිදුවන බව පෙනෙනවා. අලුත් මුහුණු රැසකට ඉඩ දුන්නා. අංකුර දක්ෂතා තියන අය ඉදිරියට ඒවී. මගේ තාත්තා සේන ඉපලවත්ත චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක්. මාව සිනමාවට ගෙනාවේ අයියා ඡංකි ඉපලවත්ත සිනමා කෘති ගණනාවකට සම්මාන ලැබුවා. බිරිඳ චමරි චාන්දනී වික්‍රමසිංහගෙන් මට ලොකු සහායක් ලැබෙනවා. දුව ශෝභාංගි පූර්ණිමා නීතිඥවරියක්. ලොකු පුතා සෞරව ප්‍රියසෙන් මාස් හෝල්ඩින් ආයතනයේ. දෙවැනි පුතා සිද්ධාන්ත් චමත් මෙවර උසස් පෙළ කරනවා. පොඩි පුතා පංකජ චන්දෙව් මෙහි ප්‍රධාන ළමා නළුවා. ඔහු මගේ යාලු මාළු 1, 2 චිත්‍රපටවල රඟපෑවා. ඔහු කොරතොට ශ්‍රී සෝමානන්ද විද්‍යාලයේ 8 වසරේ. මගේ එකම අරමුණ ලෝකයේ නමක් දිනන සිනමා කෘතියක් කිරීමයි.”

නිෂ්පාදක සුනිල් ටී. ප්‍රනාන්දු රූගත කිරීම් දැකබලා ගන්න දැරණියගල ආවා. මේ ඔහුගේ හඬයි. “මගේ පුතා නැතිවුණාට පස්සේ අවුරුදු දෙකක් චිත්‍රපට කළේ නැහැ. ස්වාභාවික පරිසරය, කතා කරන සත්තු සමඟ චිත්‍රපටයක් කරන්න හිතුණා. ලාල්ව තෝරගත්තා. මේ චිත්‍රපටයට ආධුනිකයන් බොහොමයක් තෝරගත්තා. එයාලට මේ ස්වාභාවික පරිසරය සතුන් සමඟ සාර්ථක නිර්මාණයක් කරන්න පුළුවන් වුණා. “අපට සැදුණු අපේ ලෝකය” කැමරාවට හසුකරගන්නේ දමිත් විජේසිංහ. සහාය අධ්‍යක්ෂණයෙන් ෂෙහාන් තරිඳු, සංස්කරණයෙන් දනාල් තිරංජය, වේෂ නිරූපනයෙන් ටේෂාන් හේවාපන්න, තිලාන් බාලසුරිය දායක වෙනවා. දර්ශන තල ප්‍රභාත් පෙරේරාගෙන්. එම්.කේ. සුදාකරන් නිෂ්පාදන කළමනාකරණයෙන් සහාය වන “අපට සැදුණු අපේ ලෝකය” පුළුල් තිරයෙන් ලබන වසරේ දැක ගන්නට ලැබේවි.

සේයාරූ - ෂෙහාන් තරිඳු

Comments