ධර්මයේ නෞකාවයි ඔබ අනගාරික දම්පල් තුමනි... | සිළුමිණ

ධර්මයේ නෞකාවයි ඔබ අනගාරික දම්පල් තුමනි...

ඉරාදමා අඳුරු පටල

සුදු අදිරද බල සුන් කළ

අනගාරික ධර්මපාල වීරයාණනේ

දැයට මඟ කියූ ඉසිවර නියමුවාණනේ

සුදු සෙවණැල්ලට නොබියව

සිංහ තේජසින් අවදිව

යදම් පුපුරුවා බිඳහළ පරගැති මනසේ

රටම අවදි කළේ ඔබේ කාහල නාදේ

සිව්මහ කරදිය වළල්ල

පුරා නැගුණු කොත් කැරැල්ල

අධර්මයේ අඳුරු වලාකුළු බිඳ දැම්මේ

ධර්මයෙ නෞකාවයි ඔබ අගාධ සයුරේ

ගායනය - අමරසිරි පීරිස්

පද රචනය - සමුද්‍ර වෙත්තසිංහ

සංගීතය - සමන්ත පෙරේරා

 

 

හැමදාමත් ප්‍රේමය ගැන කතා කරන අප අද වෙනත් ඉසව්වකට යොමු වන්නට සිත් වූයේ ඒ ගීතයේ ඇති අභිමානවත් බව සහ කාලෝචිත බව හේතුවෙනි. ගීතය ගයන්නේ අපේ රටේ ප්‍රවීණ ගායන ශිල්පියකු වන අමරසිරි පීරිස් මහතා ය.

පාසලේ දී අපට ජාතික වීරයන් ගැන ඉගැන්විණි. මේ අතර අපේ රට වෙනුවෙන් පෙරමුණ ගත් බොහෝ අය සිටියහ. නමුදු ඒ වීරයන් අතරින් එකල සිටම මා සිත් ගත් අයෙක් වූයේ අනගාරික ධර්මපාලතුමාය. මෙනිසා මෙතුමා ගැන ලියැවුණ පොත පත කියවීමට ප්‍රිය කළෙමි. ඒ ඇල්ම අද ද නැතිවා නොවේ.

පසුගිය දිනෙක හිනිඳුම සංචාරයකදි මල්හත්තාව ගම දැකීමෙන් යළිත් ධර්මපාල තුමන් ගැන අතීත තොරතුරු සෙවිමේ උනන්දුව මතුවිය. හේතුව වූයේ හිනිඳුම මල්හත්තාව ගමේ තිබෙන මහාබෝධි වත්තයි. ධර්මපාල තුමන් විසින් හිනිඳුම පළාතේ තිබු මිෂනාරි බලවේගයට එරෙහිව නැඟි සිටිමින් ඒ ප්‍රදේශයේ ජනතාවට රැකියා අවස්ථා සලසා දීම සඳහා මහබෝධිවත්ත මිලට ගෙන ඇත. එතැනින් නොනැවතුණ ධර්මපාල තුමන් පාසල්, පන්සල් ද ආරම්භ කර ඇත. ධර්මය ප්‍රචාරය කරමින් ලෝකයට ගිය එතුමන් බෞද්ධයන්ට අහිමි වන්නට ගිය බුද්ධගයා පුද බිම බේරා ගන්නට බොහෝ වෙහෙස වීය. විටෙක එතුමන්ට සිරබත් කන්නට ද සිදුවිය.

“ඉන්දියාවේ කල්කටාවට ගිහින් බලන්න ඕන එතුමන් කරලා තියෙන සේවය. ඉන්දියාවේ පාසල් ආරම්භ කරලා තියෙනවා. පේෂ කර්මාන්ත ශාලා ආරම්භ කරලා ඒ කාලේ කල්කටාවේ දුප්පත් මිනිස්සුන්ට ආදායම් මාර්ග හදලා දීලා තියෙනවා. අදත් ඒ පළාතේ මිනිස්සු ධර්මපාලතුමන්ට මහත් ලෙස ගරු කරනවා.“

ආ ගිය කතා කතා කරන විටෙක ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදි තිලකරත්න කුරුවිට බණ්ඩාර මහතා පැවැසුවේ එවැනි කතාවකි.

පසුගිය දාහත් වනදා අප සැමරුවේ අනගාරික ධර්මපාල තුමන්ගේ එකසිය පනස් පස්වැනි ජන්ම දිනයයි.

ජාතියයි ආගමයි බේරා ගන්න සටන් කළ ධර්මපාල තුමන් අපට ඉගැන් වූ දේ බොහෝය. ඔහු මත්ද්‍රව්‍ය ප්‍රතික්ෂේප කළේය. අමද්‍යප ව්‍යාපාර සමඟ එතුමා ගමින් ගම ගියේය. නමුදු අද එතුමන්ගේ ඒ චින්තනය ගරු කරන්නන් සිටී නම් ඒ අතළොස්සක් දෙනා පමණි.

ධර්මපාල තුමන් පිළිබඳ මෙතරම් කතා කියන්නට සිත් වූයේ එතුමන් පිළිබඳ ලියැවුණු ගීතයක් ඇසීමෙනි.

ගීතයේ පද රචකයා වන්නේ ලේඛකයකු වන සමුද්‍ර වෙත්තසිංහය. මේ ගීතය පිළිබඳ ඔහුගෙන් කළ විමසුමකදි සමුද්‍ර පැවැසුවේ මෙවැනි කතාවකි.

“මගේ ප්‍රියතම ජාතික වීරවරයා තමයි අනගාරික ධර්මපාල තුමා. කුඩා කාලේ ඉඳලාම මම එතුමා ගැන ලියැවුණ පොත පත කියෙව්වා. පසු කාලීනව මම ග්‍රන්ථ කරණයට එළැඹූණාට පසු එතුමන් පිළිබඳ පොතක් ලිව්වා ‘දැදුරු කළ සියපත‘ කියලා.

මේ පොත එළි දක්වන දවසේ එහි ප්‍රධාන දේශනය කළේ අපවත් වී වදාළ මාදුළුවාවේ සෝභිත ස්වාමීන් වහන්සේ. සෝභිත ස්වාමින් වහන්සේ එම පොතයි මා ලියූ බළන්ගොඩ ආනන්ද මෛත්‍රි හාමුදුරුවෝ ගැන ලියපු පොතයි කියවලා මට කතා කළා අමද්‍යප ව්‍යාපාරයට සම්බන්ධ වෙන්න කියලා. සෝභිත හාමුදුරුවෝ ඒ වන විට අමද්‍යප ව්‍යාපාරයේ සභාපති ලෙස කටයුතු කළේ. මම ඊට සම්බන්ධ වුණා. සෝභිත ස්වාමීන් වහන්සේ දේශන පවත්වමින් ඈත ගම්පළාත් වලට වැඩියා.

මමත් මේ ගමන්වලට ගියා. දිනක් සෝභිත හාමුදුරුවෝ යෝජනාවක් ගෙනාවා ධර්මපාල තුමන් ගැන ගීතයක් ලියමු කියලා. අනිත් අයත් එය අනුමත කළා. මම ගී පද ටික ලිව්වා. හාමුදුරුවෝ මගෙන් ඇහුවා කවුද මේක ගායනා කරන්නේ කියලා. අපි සාකච්ඡා කළා කාටද මේ ගීතය දෙන්නේ කියලා. අවසානයේ හාමුදුරුවෝ කියනවා අර පීරිස් කියන ගායකයා හොඳ නැද්ද කියලා. හාමුදුරුවන්ට අමරසිරි පීරීස් කියන නමේ මතක තිබුණේ පීරිස් කියලා විතරයි.

මම කේමදාස මාස්ටර් හමුවෙන්න ගිය කිහිප විටකදි මට එතැනදි අමරසිරි මහත්තයාව හමුව තිබුණා. ඒ හැඳුනුම්කම මත මම ඔහුට කතා කළා. ඔහු බොහෝම කැමැත්තෙන් ගීතය ගයන්නට භාර ගත්තා.

අප අනගාරික ධර්මපාල භාරයට කතා කළා. අකුරැටියේ නන්ද ස්වාමීන් වහන්සේ අනගාරික ධර්මපාල භාරයේ කටයුතු කළේ. ගීතයට යන වියදම් දැරුවේ අනගාරික ධර්මපාල භාරය. (වර්තමානයේ රුහුණු විශ්වවිද්‍යාලයේ කුලපති ලෙස අකුරැටියේ නන්ද හාමුදුරුවෝ කටයුතු කරනවා.) ගීතයේ තනු නිර්මාණය කළේ සංගීතවේදී සමන්ත පෙරේරා මහතා. මේ ගීතය බෞද්ධ ගුවන් විදුලි රූපවාහිනි නාලිකාවල විකාශය වෙනවා. මට සතුටක් දැනෙනවා මේ ගීතය ගැන. ඒ ගීතය ලියා අවසානයේ මට දැනුණේ ධර්මපාල තුමන් වෙනුවෙන් මට යම් යුතුකමක් ඉටුකරන්න ලැබුණා කියන සතුට යි.“

සමුද්‍ර පවසන්නේ බොහෝ තුටිනි.

ධර්මපාල තුමා අනගාරික දිවියක් ගත කළ අතර ජීවිතයේ අවසන් කාලයේදී සිරි දේවමිත්ත ධර්මපාල යන නමින් පැවිදි දිවියට එළැඹියේය. උන් වහන්සේ අපවත් වූයේ ඉන්දියාවේදීය. අනගාරික ධර්මපාල තුමන් ජීවත් වූයේ අවුරුදු හැට නවයක් තරම් වූ කෙටි කාලයක් වුව ද එතුමන් ගේ ආගම දහමට මෙන්ම ජාතියට සිදු වූ මෙහෙවර අති විශාලය.

Comments