වත්මන් පරපුරේ වැඩි දෙන­කුට සාහිත්‍ය ඥාන­යක් නැහැ | සිළුමිණ

වත්මන් පරපුරේ වැඩි දෙන­කුට සාහිත්‍ය ඥාන­යක් නැහැ

‘ඇසට හසු­වන මායිමේ’ මා මිනි­සුන් අත­රට ගෙන ගියා

කලා­ශූරි ජාතික සම්මා­නය සැදෑ සමයේ ඉන්න මට ගෙන දුන් ලොකු සතු­ටක්

ගීත­යක සර්ව­කා­ලීන ගුණය  ඇති වන්නේ් පද මාලාවේ සාහිත්‍ය ගුණයත් සමඟයි

‘ඇසට හසු­වන මායිමේ‘, ‘රුවක් ඇදෙ­නවා කවුදේ එනවා‘, ‘මුදු මුහුණේ සුව දැණුනේ‘, ‘ඔබ අසා සිටි නම්‘ , ‘වී පැදු­රෙන් ඉගිළී යන‘ , ‘ආවාදේ සංසාරේ‘.. ඒ ගී වැල් පසු­ගිය දිනෙක රස­ඳු­නට ගොඩ වැදුණු ඒ සොඳුරු මිනිසා දකිත්ම යළි මාගේ දෙස­වන් තුළ රැව් පිළි රැව් දෙන්නට පටන් ගත්තේ එදා මෙදා තුර රටට දායාද කළ ගීතා­ව­ලියේ මතක සිත පුරා නැවත මතක් කර දෙමිනි.. ඒ ගී පද කලක් රජ­රට සේවය තම ගී පද­ව­ලින් පෝ­ෂිත කළ මහින්ද දිසා­නා­ය­ක­යන් ගේ බව අමු­තු­වෙන් කිව යුතු නැත.. ඒ සොඳුරු ගී පද රච­කයා අද පැමිණ ඇත්තේ ඔහුගේ නව නිර්මාණ එක­තුව ගැන කිය­න්න­ටය.

වසර කිහි­ප­යක නිහැ­ඬි­යාව බිඳි­මින් නැවත ගී නිර්මාණ එක­තු­වක් එළි දැක්වූ බව ආරංචි?


ඔව්. ‘සිහිල ඔබ නම්‘ මේ මගේ නව­තම ගී නිර්මාණ එක­තු­වයි. තැටි­යයි. මීට පෙර සංගත තැටි හත­රක් නිකුත් කළා. ‘සුනිල දිය‘, ‘ආවාදෝ සංසාරේ‘, ‘පින් සර ඔබ හැර‘, ‘කුරුලු රුවින්‘.

‘සිලිල ඔබ නම්‘ සංගත තැටිය අඩංගු නිර්මාණ ගැන කතා කළ­හොත්?

එම සංගත තැටි­යට නව ගීත 10 සහ පරණ ගීත 8 ක් ඇතු­ළත්. මෙම නිර්මාණ එක­තුවේ සුවි­ශේෂී කාරණා කිහි­ප­යක්ම තිබෙ­නවා. මේ නිර්මාණ එක­තුව මා නම් කර තිබෙන්නේ ‘සිහිල ඔබ නම්‘ ලෙස. එය මගේ ගමන් මගේ ගුරු­ව­ර­යකු වූ විශා­රද ගුණ­දාස කපුගේ මහ­ත්මයා ගේ ගීත­යක්. නමුත් එම ගීතය එත­රම් ජන­තාව අත­රට නොගිය නිසා එතුමා සිහි වීම පිණිස ඒ නමින් ගී එක­තුව නම් කළා. ආචාර්ය අම­ර­දේ­ව­යන් ගේ මෙතෙක් කිසිදු තැනෙක ප්‍රචා­රය නොවුණු ගීයක් ද මේ ගී එක­තු­වට ඇතු­ළත් වෙනවා. එය එතුමා රජ­රට විශ්ව­වි­ද්‍යා­ලයේ දී ගායනා කළ අවු­රුදු ගීයක්.
එම ගීය එතු­මාගේ හඬ ඉස්මතු කර­මින් නාලක අංජ­නගේ සහා­යෙන් අඩු සංගී­ත­යක් මුසු කර­මින් ප්‍රති නිර්මා­ණය වී තිබෙ­නවා. පසු­ගිය කාලේ දර්ශන රුවන් දිසා­නා­යක ගේ ප්‍රසං­ගයේ ආර­ම්භක දේශ­භි­මානි ගීතය ලියන්න මට අව­ස්ථාව ලැබුණා. ඒ ගීතය ගායනා කළේ කලා­ශූරි ලතා වල්පොල මහ­ත්මි­යයි. එතෙක් මගේ සංගීත දිවියේ කිසිම දිනෙක මගේ ගීත­යක් එතු­මිය විසින් ගායනා කර තිබුණේ නැහැ.
ඉතින් ඒ ගීත­යත් මම මේ සංගත තැටි­යට ඇතු­ළත් කළා. ආචාර්ය වික්ටර් රත්නා­ය­ක­යන්ගේ ගීත දෙකක් සහ මගේ ප්‍රථම ගී පද රච­නය වන නිය­ගය පිළි­බඳ ලියැ­වුණු ‘නදින් බඹර විල් තෙරේ... ‘ ගීත­යද ‘සිහිල ඔබ නම්‘ ගී එක­තු­වට මා එක් කළේ එය මගේ ජීවි­තයේ වැද­ගත් වූ අව­ස්ථා­වක් නිසා.

මේ ගී එක­තු­වත් සමඟ මුද්‍රිත ගී සංග්‍ර­හ­ය­කුත් ඔබ නිකුත් කර තිබෙ­නවා?

මීට පෙරත් මගේ ගීත සංග්‍ර­හ­යන් තුනක් ඉදි­රි­පත් කළා. ඒ 1994 ‘ඇසට අසු­වන මායිමේ‘, 2002 දී ‘වී පැදු­රෙන්‘ සහ 2010 ‘වැන්දා මුණි‘ කියන ගීත සංග්‍ර­හය, මෙවර මගේ ගීත සංග්‍ර­හය නිකුත් වෙන්නේ ‘සිතක සතුට‘ නමින්.


සංගීත දිවියේ ඔබේ ස්වර්ණ­මය කාලය මත­ක­යට නැඟු­වොත්?


මම තරුණ කාලේ සිට නිර්මා­ණ­ක­ර­ණ­යට යොමු වු කෙනෙක් නෙමෙයි. එය අහ­ම්බ­යක්. රජ­රට සේවයේ ඇරැ­ඹුම තමයි මා ගී පද රච­ක­යෙක් කළේ. ඒ ස්වර්ණ ශ්‍රී බණ්ඩාර මහ­තාගේ ආරා­ධ­න­යෙන් කුමා­ර­තුංග මුනි­දාස පඬිව­ර­යාගේ සාහිත්‍ය සේවාව ගැන කළ සාක­ච්ඡා­ව­කින්. ස්වර්ණ ශ්‍රී බණ්ඩා­ර­යන් තමයි ගී පද නිර්මා­ණ­යට මා යොමු කළේ. පසු කාලී­නව ගුණ­දාස කපුගේ ශූරීන් එකල රජ­රට සේවයේ සංගීත අංශයේ ප්‍රධා­නියා ලෙස පැමි­ණී­මත් සමඟ අපට විශාල වශ­යෙන් ඉඩ කඩ ලැබුණා යහ­පත් වු නිර්මාණ කරන්න.


ඔබ අතින් බොහෝ විට ලියැ­වුණේ ප්‍රේම ගීත?


සම­හර අය මට විහි­ළුත් කර­නවා වය­සක ප්‍රේම­ව­න්තයා කියලා. ඒ තර­මට මගෙන් පෙම් ගී ලියැ­වුණා. ප්‍රේමය මනු­ස්ස­යන්ට අව­ශ්‍යයි. වඩා වැද­ගත් වන්නේ ප්‍රේමය පිළි­බඳ යහ­පත් විදි­හට ලිවී­මයි. හැබැයි මම ප්‍රේම ගීත­ව­ල­ටම කොටු වුණේ නැහැ.


ඔබ ගීත ලිය­න්න පෙර ඒ පිළි­බඳ ගැඹුරු අධ්‍යය­න­යක යෙදෙන බව මා අසා තිබෙ­නවා?


ඔව්. ලෝකය සොබා දහම, මිනි­සුන්, සමා­ජ­යීය සම්බ­න්ධතා ජීවි­තය පිළි­බඳ මා නිර­න්තර අධ්‍ය­න­යක යෙදෙ­නවා. සියැ­ටෙල්ගේ විශ්ව ප්‍රකා­ශ­නය ඇසු­රෙන් සෝම­ති­ලක ජය­ම­හට මම පරි­සර ගීයක් ලියා දුන්නා. විශේෂ අව­ශ්‍යතා ඇති අය වෙනු­වෙන් විශේෂ අනු­ස්ම­රණ ගීයක් ලිව්වා ‘අඩන්නේ ඇයි නැති බැරි­කම් කිය කියා‘ එය ගායනා කළේ තිස්ස ජය­ව­ර්ධ­න­යන්. සැබෑ ජීවි­තයේ ගැටලු ද ගීත­යෙන් මම සාකච්ඡා කොට තිබෙ­නවා. ‘මගේ ආදර පව­සට ඔබ‘ ක්‍රිෂාන්ත එර­න්දක සහ මාලනි බුල­ත්සිං­හල ගායනා කළේ මා අතින් ලියැ­වුණු එවැනි ගීයක්. වරක් මම පණ­ඩිත් අම­ර­දේ­ව­යන්ට ‘සොඳුරු වූ මිනිසා‘ නමින් අනුස්ම­රණ ගීයක් කළා. එතු­මාගේ අව­සන් සංගත තැටි­යත් නම් කළේ ඒ නමින්. එය මගේ ජීවි­තයේ ලද ලොකු ජය­ග්‍ර­හ­ණ­යක්.


එයට පසු­බිම් වූ රස­වත් ගුණ­වත් කතා­වක් තිබෙ­නවා නේද?


මම දව­සක් එතු­මා­ගෙන් ඇහුවා “ඇයි ඔබ තුමා සිංහල දෙමළ වර්ග­වා­දය පිළි­බඳ ගීත­යක් ගායනා නොක­රන්නේ“ කියලා. එතුමා එදා මගෙන් ඇහුවා “මහින්ද අපි මේ සම­ගි­යෙන් ඉන්න ඕනේ කිව යුත්තේ සිංහල දෙමළ අයට පම­ණද මනුෂ්‍ය වර්ග­යා­ටම නොවේද?“ මම එයට පිළි­තු­රක් දුන්නේ නැහැ. නැවත එතුමා කාලෙ­කට ඉහත ‘පටු අද­හස් නම් පවු­රින් ලෝකය‘ .. යන ගීය ගායනා කර ඇති බව මට මතක් කර දුන්නා. නැවත එතුමා “ඔබ වාසෙත්ත සූත්‍රය කිය­වලා තිබෙ­න­වාද“ යන්න මගෙන් අහලා එහි තිබෙන්නේ අහසේ සැරි සරන, පොළොවේ සැරි සරන, ජලයේ සැරි සරන, අපා, දෙපා, සිවුපා, බහුපා සත්තු උප­දි­න්නෙම ජාති බේද­යක් ඇතිව බවත් උප­තින් ජාති බේද­යක් නැත්තේ මිනි­සුන්ට පම­ණක් බවත් ඔවුන් ඉප­දු­ණාට පසු ඒ බේද හදා ගන්නවා යනු­වෙන් පහදා දී “පුළු­වන් නම් මේ අද­හස රැගත් පද මාලා­වක් නිර්මා­ණය කරන්න මම ගායනා කර­න්නම්“ කියලා කිව්වා. ඉතින් මම බුද්ධ ජයන්ති පරි­ව­ර්ත­නයේ වාසෙට්ඨ සූත්‍රය කිය­වලා මාස තුනක විතර කාල­යක් අරන් ලියපු ගීය තමයි මේ ‘සොඳුරු වූ මිනිසා‘ නම් ගීතය. එතුමා එදා මේ පද රච­නය ගැන ඉතා සතුටු වුණා.


එවැනි හර­වත් ගී පද අතරේ අද ඇසෙන ගීත පිළි­බඳ මොකද හිතෙන්නේ?


අදත් හොඳ ගීත ලියන අය ඉන්නවා. රවි සිරි­ව­ර්ධන, අසංක රුවන් සාගර, සුගත් සෝම­විර, අතුල ජය­දේව එවැනි ගුණ­වත් ගී නිර්මාණ බිහි කරන පිරි­සක්. නමුත් ඔවුන්ගේ නිර්මාණ මාධ්‍ය­යෙන් එළි­යට නොයෑම තමයි මම අඩු­වක් ලෙස දකින්නේ. බොහො පිරි­සක් අද ගීතයේ පද රච­න­යට වඩා වැඩි අව­ධා­ය­නක් යොමු කරන්නේ සංගී­ත­යට හා රූප රච­න­යට. ගීත­යක් සාර­වත් සහ සර්ව­කා­ලීන ගුණය ඇති වෙන්න නම් ගීතයේ මූලික වටි­නා­කම තමයි එයට පද­නම් වන්නා වූ පද මාලාවේ තිබිය යුතු සාහිත්‍ය ගුණය. ඒ ගුණය වටහා ගන්න තරම් වත්මන් ගායක ගායි­කා­වන් වැඩි දෙන­කුට භාෂා සාහිත්‍ය ඥාන­යක් නැහැ. ඒ නිසයි අවර ගණයේ ගීත රාශි­යක් ඇසෙන්නේ.


ඔබෙන් වත්මන් ගී පද රච­ක­යන්ට ලැබෙන උප­දෙස?


මම අපට පෙර බිහි වී සිටිය නිර්මා­ණ­ක­රු­වන්ගේ නිර්මාණ අධ්‍යය­නය කළා. මට කියන්න තිබෙන්නේ එවැනි හොඳ නිර්මාණ ගුරු­තැනේ තබා­ගෙන නිර්මා­ණ­ක­ර­ණය ඉගෙන ගන්න කිය­ලයි. ගී පද රචනා කලාව උග­න්වන්න පුළු­වන් දෙයක් නෙමෙයි. ඒ පිළි­බඳ කෙන­කුට කෘත පුණ්‍ය ගුණය සහ වාසනා ගුණය තිබිය යුතුයි. එය උග­ත්ක­මෙන් හා සතත අභ්‍යා­ස­යෙන් දියුණු කර ගත යුතුයි.


වසර 40ක් පුරා­වට ගී පද රච­නයේ නියැ­ළෙන ඔබට ලැබුණු වටි­නාම ඇගැ­යීම?


මට විශේෂ ඇගැ­යීම් දෙකක් මතක් කරන්න පුළු­වන්. 1995 දී මගේ ප්‍රථම ගී පද සංග්‍ර­හය සඳහා රාජ්‍ය සාහිත්‍ය සම්මා­නය ලැබුණා. ඒ වසරේ හොඳම ගී පද සංග්‍ර­හය වෙනු­වෙන්. එයට මා එක්ක නිර්දේශ වෙලා හිටියේ මහ දැවැ­න්තයෝ.
ඒ කාලයේ විනි­ශ්චය මණ්ඩ­ලයේ තිබූ අදී­න­ත්වය නිසයි මට ඒ සම්මා­නය ලැබුණේ. එව­කට මං වගේ ආධු­නි­ක­ය­කුට එය ලොකු ශක්ති­යක්. 2002 සුමති ටෙලි සම්මා­න­යක් ලැබෙ­නවා. නලීන් මාපි­ටිය අධ්‍ය­ක්ෂ­ණය කළ ටෙලි නාට්‍ය­යක තේමා ගීතය වෙනු­වෙන්. ඒ හැරුණු විට මා තෘප්ති­මත් වන අනෙක් සම්මා­නය තමයි 2019 ලැබුණු කලා­ශූරි ජාතික සම්මා­නය. මට පුදුම හිතුණා එදා ඒ සම්මාන ගත් අය අතර සිටි දැවැ­න්තයන් දැක්කා­හම මටත් පෙර පිනක් තිබුණා නේ මේ අත­රට එන්න කියලා. ඒ සම්මා­නය මගේ ජීවි­තයේ සැඳෑ සමයේ මට ගෙන දුන් ලොකු සතු­ටක්.

Comments