වැව් දහයක් එක ළඟ ඇති කුරුලු පාරාදීසය | සිළුමිණ

වැව් දහයක් එක ළඟ ඇති කුරුලු පාරාදීසය

ආනවිලුන්දාවට යන ඔබට සෑම අතින් ම දිස් වන්නේ ඕලු, නෙලුම්, මානෙල් ඈ නෙක මල්වලින් පිරි වැව්. මේ අභය භූමියට අයත් අක්කර තුන්දහස් හාරසිය පනහක භූමිභාගය ඇතුළත වැව් දහයක් පිහිටා තිබෙනවා.

හිරු රත් වූ යවටක් සේ ගිනි ගෙන දැවෙන හලාවත නගර මධ්‍ය ගැන හාන්කවිසියක් හෝ සිතට නොනැ‍ඟේ. ඒත් අපි ඉන්නේ හලාවත නගරය ආසන්නයේමයි. හාත්පස පිහිටි සුවිසල් වැව් පිස හමා එන මඳනලත්, ඒ හා මුසුවෙමින් පරිසරය ම ගීතවත් කරනා කුරුලු කූජනයත් හද සුවපත් කරනවා.

නේක වර්ණිත සමනලුන් හා පරිසරයේ පාටට සමපාත වෙමින් අප මවිතයෙන් තිගස්සන කටුස්සනුත් ඈ නොයෙක් සොබාදම් නිමැවුම් රැසක් අපට පරිසරයේ ශෝභාව හා මවිත කරවන සුලු ක්ෂණික වෙනස්වීම් එකින් එක පෙන්වා දෙනවා. කොළඹ නගරයෙන් වැඩි ඈතක ‍නොවූ මේ අපූර්ව පරිසරය අපට හමුවෙන්නේ හලාවත හා පුත්තලම ප්‍රදේශ අතරින්. ආනවිලුන්දාව නම් ඒ සුන්දර බිම්කඩ තවමත් දෙස් විදෙස් සංචාරකයන්ගේ ජනප්‍රිය ගමනාන්තයක් වී නැහැ. එනිසාම හුදෙකලාවේ ශ්‍රී විභූතිය එහි ආරක්ෂා වී තිබෙනවා.

ආනවිලුන්දාව තෙත් බිම්, වන සත්ත්ව හා වෘක්ෂලතා ආඥා පනත යටතේ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් 1997 ජුනි 11 දා සිට අභය භූමියක් ලෙස ප්‍රකාශයට පත් කළා. රැම්සා අන්තර්ජාතික සම්මුතිය මඟින් ද ආනවිලුන්දාව තෙත් බිම්කඩක් වශයෙන් නම් කර තිබෙනවා. මේ සම්මුතිය ක්‍රියාත්මක වූයේ 2011 අගෝස්තු 03 වැනිදා සිට. අන්තර්ජාතික වශයෙන් පිළිගන්නා තවත් රැම්සා තෙත් බිම්කඩ දෙකක් මෙරට තිබෙනවා. ඒ මාදු ගඟ හා බූන්දල. ඉදිරියේදී ඒ ගැනත් ඔබට ලියන්නම්. මාදු ගඟ හා බූන්දල වගේ ජනප්‍රිය සංචාරක ප්‍රදේශයක් නොවන නිසා ම ආනවිලුන්දාව තවමත් හුදෙකලාව, නිහඬ ව, සුන්දර ව තිබෙනවා. එක අතකට එය එසේ වීම මේ පරිසරයට සොබාදහමෙන් ලැබුණු ආශීර්වාදයක් කියාත් සිතෙනවා.

ඒත් මේ හුදෙකලා නිහඬ බව තිබෙන්නේ මිනිස් ප්‍රජාව සම්බන්ධයෙන් පමණයි. දෙස් විදෙස් කුරුලු විශේෂ, සමනල් විශේෂ, කටුසු උරග ආදී සත්ත්ව ප්‍රජාව සම්බන්ධයෙන් නම් ආනවිලුන්දාව තරමක් ඝෝෂාකාරී, කලබල ස්වරූපයක් ගන්නවා. දහස් ගණන් කුරුලු ප්‍රජාව සිය ප්‍රජනන භූමිය බවට පත් කරගෙන තිබෙන්නේ ආනවිලුන්දාවයි. ඒ නිසාම ආනවිලුන්දාවට යන ඔබ සොබාදහමේ නියම අයිතිකරුවන්ට තම ප්‍රජාව බෝ කිරීමේ අයිතියට බාධා නොවන්නට හැසිරෙන්නට වගබලා ගත යුතු ම යි.

සංචාරක පක්ෂීන් හා මෙරටට ආවේණික කුරුලු විශේෂ රාශියක් එකවර නිරීක්ෂණය කිරීමේ හැකියාව ඇති ප්‍රදේශ අතරින් අගනුවරට සමීපව ඇති ආනවිලුන්දාව අභය භූමිය ප්‍රධාන තැනක් ගන්නවා. ශ්‍රී ලංකාවේ මේ වනවිට වාර්තා වී ඇති කුරුලු විශේෂ හාරසිය හැට හතර අතරින් කුරුලු විශේෂ එකසිය පනහකට වැඩි ප්‍රමාණයක් මේ අභය භූමියෙන් වාර්තා වෙනවා. සමනල් විශේෂත් එහෙමයි.

ආනවිලුන්දාවට යන ඔබට සෑම අතින් ම දිස් වන්නේ ඕලු, නෙලුම්, මානෙල් ඈ නෙක මල්වලින් පිරි වැව්. මේ අභය භූමියට අයත් අක්කර තුන්දහස් හාරසිය පනහක භූමිභාගය ඇතුළත වැව් දහයක් පිහිටා තිබෙනවා. සොඳුරු උදෑසන තුරුලතා අතරින් පෙරී එන ළා හිරු රැස් වැව් දිය මතට වැටී මවන මනරම් දසුන, නෙක හැඩතල මවමින් වැව් දිය මතින් ඉගිළී යන කුරුලු සමූහයා මේ භූමියේ නිදහස් ව සරන අයුරු නිහඬ ව, සන්සුන් ව විඳින්නට එක ළඟ පිහිටි වැව් පද්ධතිය කදිම ආධාරයක්. ආනවිලුන්දාව හන්දියේ සිට මීටර් අටසියයක් පමණ ඉදිරියට ඇවිද යන ඔබට එහි පිහිටි විශාල ම වැව් තුන බලාගන්නට පුළුවන්. ආනවිලුන්දාව වැව, සුරුවිල වැව හා මයියාව වැව එකිනෙකට යාබදව දෙපස පිහිටි වෘක්ෂලතාවන්ට මැදි වූ ගුරුපාරට මායිම් ව පිහිටා තිබෙනවා.

මේ වැව් තුන හැරුණු විට පින්කට්ටිය වැව, මරදන්සෝලි වැව, වෙදාගේ වැව, ඉහළ වැව, එගොඩ වැව යනාදි වශයෙන් මෙහි වැව් පද්ධතියක් පිහිටා තිබෙනවා. උදෑසන සීගතුව දරා ගනිමින් දැවැන්ත තුරු සෙවණැලි යටින් ගුරුපාරවල් දිගේ නිහඬ ව පා නඟන ඔබට වැව් ආශ්‍රිතව සරන පක්ෂීන් බොහෝ ප්‍රමාණයක් බලා ගත හැකියි. මේ සුන්දර අඩවියේ චමත්කාරය රිසි සේ විඳින්නට නම්, කුරුලු සමූහයාගේ නෙක චර්යා රටා නිරීක්ෂණය කිරීමට නම් ඔබ එක්කෝ හිරු නැඟ ඒමට ප්‍රථම අරුණලුවේ එහි යා යුතු වෙනවා. එසේත් නැත්නම් හිරු බැස යන සැන්දෑවේ යා යුතුයි. නැතිනම් හිරු මුදුනට වී ගිනියම් වෙද්දි කුරුල්ලන් සිසිලස සොයා දැවැන්ත තුරු පතර අතර සැඟවී ඔබේ නෙත් මානයෙන් මුවාවෙනු නියතයි.

ආනවිලුන්දාව අභය භූමියේ ගුරුපාර දිගේ ඉදිරියට ඇදෙන ඔබට එහි බටහිර මායිම වන ඕලන්ද පවුරු ඇළ හරහා වැ‍ටුණු ලෑලි පාලමෙන් එගොඩ වී මුතුපන්නිය දූපතට ළඟා වෙන්න පුළුවන්. මුතුපන්නිය මහමුහුද, කලපුව හා පාරු ඇළ හේතුවෙන් ගොඩබිමෙන් වෙන් වූ දූපතක්. මෙය මුළුමනින්ම ධීවර ගම්මානක්. එහි වැසියෝ බොහෝ මිත්‍රශීලී, සුහදශීලී ගැමියෝ. වැස්ස වට විට මඬ වී පා ගමනින් හෝ යා නොහැකි ගුරුපාර දිගේ බයිසිකලය පාගමින්, වරෙක එය ඔසවා ගනිමින් සිය අවශ්‍යතා ඉටු කර ගැනීම සඳහා ඔවුන් ආනවිලුන්දාව හන්දියෙන් හලාවතට යනවා.

වැව් දිය මත කොළ පැහැ පලසක් මෙන් පැතිර ඇති ජපන් ජබර ආදී පිළිල ශාක මේ වැව් පද්ධතියට දැඩිසේ හානි කරන බව දක්නට ලැබුණා. සමහර වැව්වල ජපන් ජබර නිසා වැව් දිය පෙනුණේ අතරින් පතර. වැව් හාරා, ජපන් ජබර ඉවත් කිරීම වහාම කළ යුතු කාර්යයක් බැව් ගැමියන් අප හා පැවසුවේ සන්තාපයෙන්.

ආනවිලුන්දාව කුරුලන් නිරීක්ෂණ කරන පර්යේෂකයන්ට ක්ෂේම භූමියක්. අප යනවිටත් කුරුල්ලන් පිළිබඳ සටහන් තබමින් නිසලව දුර දක්නයෙන් කුරුල්ලන් නිරීක්ෂණය කරන ගවේෂකයන් කිහිපදෙනෙක් ම සිටියා. ආනවිලුන්දාව වෙත ප්‍රවේශ විය හැකි මාර්ග කිහිපයක් තිබෙනවා. කොළඹ සිට පුත්තලම් පාරේ හලාවත පසුකොට නල්ලදරන්කට්ටුව ආනවිලුන්දාව හන්දියේ සිට පා ගමනින් වුව මේ අභය භූමියට එන්නට පුළුවන්. කොළඹ සිට ආනවිලුන්දාවට දුර 90km යි. දුම්රියෙන් පැමිණෙන්නේ නම් කොළඹ සිට පුත්තලම දක්වා පැමිණෙන දුම්රියකින් ආනවිලුන්දාව දුම්රිය පොළ වෙත පැමිණ එතැන් සිට පා ගමනින් අභය භූමියට එන්න පුළුවන්.

ආනවිල්න්දාව අභයභූමිය නැගෙනහිරින් කොළඹ පුත්තලම දුම්රිය මාර්ගයට මායිම් වන අතරෙම උතුරින් බත්තුළු ඔය උඩප්පුව මාර්ගයත්, දකුණින් සෙන්ගල් ඔයත්, බටහිරින් ඕලන්ද පාරු ඇළටත් මායිම් වෙනවා.

මේ කුමන මාර්ගයකින් ප්‍රවේශ වුවත් ඔබ අවසානයේ සේන්දු වන්නේ මිහිකතගේ සොඳුරුම නවාතැනකට බැව් එහි අඩිය තබන සැණින් ඔබට වැටහේවි.

කුරුලු පැටවුන්ගේ කරච්චලයත්, ඊට පිළිතුරු බඳින කුරුලු අම්මලාගේ ළයාන්විත නැළවිලි ගී නාදයත් තුරුලතා අතර වැදී මදනලේ පාවී වැව් දියමත දියැවී යන අයුරු ඔබට විඳින්නට හැකි වේවි.

සොබාදහම මේ සියලු දේ සඳහා නවාතැනක් වී මිහිකත නම් අම්මා බවට පත්වී ඇගේ සුවහසක් දරුවන්ට සෙනෙහෙබර නවාතැනක් නිර්මාණය කරනා අපූරුව ආනවිලුන්දාවෙන් පිටවන විට හදවතේ කොණක නින්නාද වෙමින් තිබුණා.

Comments