සුබාවිත ගීතය සමඟ සුප්පා දේවිය වූනීතිඥවරිය | සිළුමිණ

සුබාවිත ගීතය සමඟ සුප්පා දේවිය වූනීතිඥවරිය

ඇයට ඇත්තේ අපූරු ගී හඬකි. ඒ හඬ ඔස්සේ ඈ ගැයු ගී තවත් ඇතිදැයි යූටියුබය පීරමින් සොයන්නට සිත් විය. එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ සිංහබාහු නාට්‍යය නව නිෂ්පාදනයේ සුප්පා දේවියගේ චරිතය නිරූපණය කරන්නේ ඇය ය. ගායනය, රංගනය, ආදී වූ කුසලතා රැසකින් හෙබි නිලක්ෂි හැලපිටිය ගැනයි, මේ සටහන.

“නුඹේ හිතේ ඉදිකටුවක් විතර ඇතී මගේ හිතේ මහ මෙර තරම් ගිනිත් ඇතී දෙන්නා කී වචන දෙන්නගෙ හිතේ ඇතී කලින් හුස්ම යනතෙක් ආදරේ ඇතී“

ඒ අපේ කතා නායිකාව වන නිලක්ෂි “මිණි ගං දෑළ“ ටෙලි නාට්‍ය වෙනුවෙන් ගයන ගීතයයි.

එක් වරක් නොව දෙතුන් වතාවක් වුව ඇසිය හැකි අපුරු හඬක් හිමි නිලක්ෂි හැලපිටිය ඇය ගම්පහ ගලහිටියාව මධ්‍ය මහා විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලබා කොළඹ දේවි බාලිකා විද්‍යාලයෙන් උසස් අධ්‍යාපනය ලැබුවාය. උසස් පෙළ නූතන භාෂා විෂයයන් හදාරා කැලණි විශ්වවිද්‍යාලයේ නූතන භාෂා හා සමාජ විද්‍යාව ගෞරව උපාධියක් ලබන නිලක්ෂී වැඩිදුර අධ්‍යාපනය සඳහා එංග‍ලන්තයේ කිංග්ස්ටන් සරසවිට ගිය අතර එහිදී ඉංග්‍රීසි පශ්චාත් උපාධියක් හා ලන්ඩන් නීති විද්‍යාලයේ නීතිය පිළිබඳ පශ්චාත් උපාධියක් ලැබුවාය.

නීතිය පිළිබඳ උගත්ත ද ඈ තුළ තිබු සහජ හැකියාවන් කිසි විටෙකත් යටපත් නොවුවාය. බාල වියේ සිටම ගායනයට ඇලුම් කළ ඇය පාසල් වේදිකාවේ ද ගී ගැයූවාය. වෝල්ටර් පෙරේරා සංගීත ගුරුතුමා යටතේ සංගීතය හදාරමින් ඇය ගායන අංශයෙන් විශාරද විභාගය ද හොඳින් සමත් වන්නීය.

“මට වයස අවුරුදු තුන හතරේ කාලේ ඉදන් අහන්න ලැබුණේ අරුත්බර ගීත. අපේ පවුලේ අයටත් හොඳ රසවින්දනයක් තිබුණා. ඒ නිසා හැම විටම වයසින් වැඩෙනවත් එක්කම මම ගීතයක තියෙන අර්ථ රසය ගැන වඩාත් විමසිලිමත් වුණා. ඒත් එක්කම පාසල් කාලයේ හා විශ්ව විද්‍යාලයේදී විවිධ තරග සඳහා ද ගීත ගායනා කළා. එහි ප්‍රතිඵලයක් වශයෙන් තමයි එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ ‘සිංහබාහු‘ නාට්‍යයේ සුප්පා දේවියගේ චරිතය මට රඟපෑමට මට ලැබුණේ. එම ගෞරවාන්විත චරිතය රඟපෑමට ලැබීම මම හිතන්නේ මගේ ජීවිතයේ මට ලැබුණ සුවිශේෂි අවස්ථාවක් කියලා. සුප්පා දේවිය ලෙසින් රඟපෑමට ලැබීම නිසා මට විවිධ කලාකරුවන් සමඟ ගීත ගායනා කිරීමේ අවස්ථාව ත් උදාවුණා. බොහෝ දෙනා හඳුනා ගන්නට ලැබුණා.” ඇය පවසන්නේ සතුටිනි.

ඇයගේ ප්‍රථම ගීතය වන්නේ නවරත්න ගමගේ මහතා සංගීතවත් කළ ‘සඳ තාම තරුණයි‘ ගීතයයි. තුන් මංසලක් හමුවන තුරා, ලිහිණි ගල යට, නුඹේ සිතේ ඉදිකටුවක් විතර ඇති, මග හරින්නට බැරි ලෙසින්, හිම වැටෙනවා, උතුවම් කන්ද මදි හැඩුවා, මට නුඹ පමණි, අප්සරාවිය ආදි වශයෙන් අර්ථපූර්ණ රස පූර්ණ ගීත ගණනාවක් මේ වන විට නිලක්ෂි විසින් ගායනා කර ඇත. 2015 වසරේදී ‘රාජ්‍ය සංගීත සම්මාන උලෙළේ දී වසරේ හොඳම ගායනයට හිමි ස්ථානය ද නිලක්ෂිට හිමිවූවාය.

ඉදිරියේදි ඇය විසින් අංගම් පොර කලාවේ චණ්ඩි කුමාරිහාමිගේ වීරක්‍රියා ගැන ලියවුණු ගීතයක් හා ‘ගිගුරුම් නගන‘ චිත්‍රපට තේමා ගීතයක් ද එළිදැක්වීමට නියමිතව ඇත. ප්‍රවීණ ගායනවේදී සුනිල් එදිරිසිංහයන් හා ජන ගී ගායන ශිල්පි සමන් ලෙනින් සමඟ නිලක්ෂි ගී ගයන ‘භූමි‘ ත්‍රී පුද්ගල ප්‍රසංගය ද ඉදිරියේදී වේදිකා ගතවීමට නියමිතය.

“අධ්‍යාපන කටයුතු කරන අතරම මේ තරම් සාර්ථක ගමනක් එන්න මට මගේ අම්මාගෙන් තාත්තාගෙන් මල්ලිගෙන් විශාල සහයෝගයක් ලැබුණා. ඒ වගේම මට සංගීතය ඉගැන්වූ වෝල්ටර් පෙරේරා ගුරුතුමාවත් ආදරයෙන් සිහිපත් කරනවා. එමෙන්ම චිත්‍රා ගුරුතුමිය, ලලිතා සරච්චන්ද්‍ර, නිශ්ශංක නිද්දෙනිය, සුනිල් එදිරිසිංහ, වික්ටර් රත්නායක යන සියලුම කලාකරුෙවා්ත් මගේ මේ ගමනට දුන් දිරිගැන්වීම කෙදිනවත් අමතක වන්නේ නැහැ. මම හැම විටම ඔවුන්ව ඉතා ගෞරවයෙන් සිහිපත් කරන්නේ. සුබාවිත ගීත ගායනයත් සමඟ කලා ලොවේ දිගු ගමනක් යෑමයි මගේ බලාපොරොත්තුව.“

 

Comments