ආශ්චර්ය සොයා යමින් ජීවි­තයේ මංමුළා වන බුදුන් නුදුටු මිනිස්සු | සිළුමිණ

ආශ්චර්ය සොයා යමින් ජීවි­තයේ මංමුළා වන බුදුන් නුදුටු මිනිස්සු

අලව්වේ අනෝ­ම­දස්සි හිමි මාතලේ, ඕවි­ලි­කන්ද රෑන­කෙ­ටු­ව­ගල ආරණ්‍ය හා අනු­රා­ධ­පුර ධම්ම පාරමී ආරණ්‍ය සේනා­ස­නා­ධි­පති

සර ගමන දුකකි. ඒ ගම­නේදී යම් උප­තක් ලබන සත්ත්ව­යාට ලෙඩ වීම, වය­සට යෑම, මර­ණය, ප්‍රිය­ය­න්ගෙන් වෙන් වීම, අප්‍රි­ය­යන් හා එකතු වීම ආදී වූ නොයෙක් දුක්ක දෝම­න­ස්ස­යන්ට මුහුණ දීමට සිදු වේ. එය පොදු ධර්ම­තා­වකි. ජාති - ජරා - මරණ යන කරුණු ලෝකයේ විද්‍යා­මාන වන නිසා තථා­ග­ත­යන් වහන්සේ නමක් ලොව පහළ වීමත් තථා­ගත ධර්මය ලොව බැබ­ළී­මත් සිදු වන බව තයෝ­ධම්ම සුත්‍රයේ දැක්වේ.

පුද්ග­ල­යාට මුහුණ දීමට සිදු­වන ජාති ජරා මරණ ආදී ජීවිත සත්තා­වන් අභි­මුව අද ජීව­ත්වන මිනිස්සු නොයෙ­කුත් ඇද­හිලි ක්‍රම මගින්, විවිධ වූ ප්‍රාර්ථනා ඔස්සේ නොපෙ­නෙන, අදෘ­ශ්‍ය­මාන බල­වේග පසු­පස යමින් ඉන් පලා යන්නට උත්සාහ කරති. මේ පිළි­බිඹු වන්නේ මිනි­සාගේ ප්‍රඥාව මද­ක­මය. ප්‍රාර්ථ­නා­ව­කින් හෝ පුද පුජා විධි­ව­ලින් දුකින් නිද­හස් වීමක් ලැබේ නම් මේ ලොවේ දුක් විඳින කිසි­වෙකු නොසි­ටිනු ඇත. මෙහිදී නිවැ­රදි කර­ග­ත­යුතු කරු­ණක් ඇත. එනම් ‘පාර­මිතා’ යනු ප්‍රාර්ථනා කිරී­මක් නොව ශීල, දානාදී ගුණ­ධර්ම වැඩී­මකි, යන්නය.

මින් වසර 2600 ට පමණ පෙර අප මහා බෝස­තා­ණන් වහන්සේ සතර පෙර නිමිති දැක ලද ජීවි­තා­ව­බෝ­ධය සහි­තව විමු­ක්තිය සෙවීම උදෙසා නොයෙ­කුත් ක්‍රම උපා­යන් සොයා ගියහ. විවිධ ගුරු­වරු සොයා ගියහ. ඒ ගම­නේදී උන්ව­හන්සේ සිය නුව­ණින් අව­බෝධ කර­ගත්තේ එම වැඩ­පි­ළි­වෙළ සියල්ල ලෝකය තුළ, ලෝක­යට අයිති ඒවා බවය. ඒ අව­බෝධය සහි­තව උන්ව­හන්සේ එම ක්‍රමෝ­පි­යන් අත්හළ සේක.

උන්ව­හන්සේ බුද්ධ­ත්ව­යට පත්වන්නේ කාම­සු­ඛ­ල්ලි­කා­නු­යෝ­ගය, අත්ත­කි­ල­ම­තා­නු‍යෝ­ගය ආදී වූ සියලු අන්ත­යන් අත­හැර ප්‍රාර්ථ­නා­ව­කින් හෝ ඇද­හී­ම­කින් තොරව තමා තුළ පුරුදු කළ යුතු ප්‍රති­ප­දා­වක් මඟින් චතු­රාර්ය සත්‍ය ධර්මය මැදුම් පිළි­වෙත ඔස්සේ සාක්ෂාත් කොට­ගෙ­නය. ඉන්පසු පළමු ධර්ම දේශ­නය වන දම්සක් පැව­තුම් දේශ­න­යෙන් කොණ්ඩඤ්ඤ වැනි උතු­මන් දුකින් නිද­හස් වූයේ බුද්ධ ඇද­හි­ල්ල­කින් හෝ ප්‍රාර්ථ­න­ය­කින් නොවේ. තමා තුළින් මේ ධර්මය දැක සංසි­ඳී­මෙනි.

බුද්ධ ශ්‍රාව­කයෝ “භව­වන් ජානාමි අහං­න­ජා­නාමි” භාග්‍ය­ව­තුන් වහන්සේ දන්නා සේක මම කිසි­වක් නොද­නිමි, ඔබ වහන්සේ ශාස්තෘන් වහන්සේ වන සේක මම ශ්‍රාව­කයා වෙමි (කීටා­ගිරි සූත්‍රය), යන උතුම් බුදු වදන තුළ පිහි­ට­මින් ධර්මය විමසා බලමු.

බුද්ධ­කා­ලීන භාර­තීය සමා­ජය තුළ පැවැති හිරු සඳු තාරකා ආදි­යෙන් පලා­ඵල කීම, රජ­ව­රුන්ගේ පරා­ජය, ශරීර අංග ලක්ෂණ බැලීම, විවිධ ධාන්‍ය­ව­ලින් කරන පුද පූජා, විවිධ අනා­වැකි කීම ආදී තිර­ස්චීන විද්‍යා­වෙන් යුතු මිත්‍ය ආජී­ව­යෙන් යුතුව කල් ගෙවන ශ්‍රමණ බමුණා ගැන බුදුන් වහන්සේ දීඝ නිකායේ බ්‍රහ්ම­ජාල සුත්‍රයේ සඳ­හන් කළහ.

“ඉති වා හි භික්ඛවේ පුථු­ජ්ජනෝ” “තථා­ග­තස්ස වණ්ණං වද මානෝ වදෙය්‍ය“ පෘථ­ග්ජ­නයා තථා­ග­ත­යන් වහ­න්සේගේ ගුණ කිය­තොත් කියන්නේ මේ ආකා­ර­යට යැයි ප්‍රකාශ කර­මින් බුදුන් වහන්සේ ශාස්වත උච්ජේද මත­වාද බැහැර කළහ. ජරා - මරණ දුකින් නිද­හස් වීම පිණිස පව­තින ප්‍රති­ප­දාව වන නවාංග ශාස්තෘ සාස­නයේ මෙම ව්‍යාක­රණ හඳුන්වා දුන් සේක. මෙම දෙකම “අනු­ත්ත­ර­සං­ග්‍රාම විජය” දෘෂ්ඨි යුද්ධ­යෙන් ලැබූ ජය ලෙස දරා­ගන්නා ලෙස දේශනා කළහ.

ශ්‍රද්ධාව

බුදු රජා­ණන් වහන්සේ කියා දුන් කාර­ණාව නිවැ­රදි බව වට­හා­ගෙන අපේ මතය වැරදි බව වට­හා­ගැ­නීම ශ්‍රද්ධා­වයි. සමාජ සම්මු­ති­යට ගැළ­පෙන, විද්‍යා­වට ගැළ­පෙන, තමන්ගේ රාමු­වට ගැළ­පෙන දේ ධර්මය ලෙස ගැනී­මට උත්සාහ කරන්නේ ශ්‍රද්ධා පද­නම නැති නිසාය. “බුදු රජා­ණන් වහන්සේ ශාස්තෘෘන් වහ­න්සේය... මම ශ්‍රාව­කයා වෙමි“ යන පද­න­මෙන් යුතුව ධර්මය ඇසීම ශ්‍රද්ධා­වය. ඒ ධර්මය වනාහී මගේ කෝණ­යට ගැළ­පෙන දෙයක් නොවිය යුතුය, මගේ කෝණ­යට ගැළ­පෙන දේ නම් ජරා මරණ එන විට පිළි­ස­ර­ණක් සොය‍ා ඇද­හිලි, ප්‍රාර්ථනා ආදී දෙයට යොමු වීමය යන්න නම් එය ශ්‍රද්ධා පද­න­මක් නොමැති වීමේ ප්‍රති­ඵ­ල­යකි.

ලෙඩ වීම වය­සට යෑම ආදී තත්ත්ව­යන් ඉක්මවා යෑමට හැකි නම් තථා­ග­ත­යන් වහන්සේ සහ මහ රහ­තන් වහන්සේ කායික ලෙඩ වීම වය­සට යෑම ආදී දුක් දොම්න­ස්ව­ලට මුහුණ දීම සිදු නොව­න්නකි.

නමුත් තථා­ග­ත­යන් වහන්සේ පවා උපන් සත්ව­යාට උරුම පොදු දුක්ඛ­ථා­ව­ය­නට මුහුණ දුන්හ. එසේ නම් ඉප­දීම ස්වභා­වය කොට­ගෙන සිටින ලෝ සතුන්ට නැවත නැවත ලෙඩ වීම, වය­සට යෑම, මර­ණය ආදී දුක් උරුම බවත්, කෙටි ක්‍රම ඔස්සේ හෝ මිථ්‍යා­දෘ­ෂ්ටි­ව­ලින් එය වළ­කා­ගැ­නී­මට යෑම ප්‍රඥාවේ හා ශ්‍රද්ධාවේ අඩු­වක් නිසා ඇති­ව­න්නක් බවත් වට­හා­ගත යුතුව ඇත.

අංගු­ත්තර නිකායේ පත්ත­කම්ම සූත්‍ර­යේදී තථා­ග­ත­යන් වහන්සේ අනාථ පිණ්ඩික ගෘහ­ප­ති­තුමා හට දුර්ලභ වූ කරුණු හත­රක් පෙන්වා දෙති. එනම් සිතට ප්‍රිය වූ, කාන්ත වූ, මනාප වූ, දුර්ලභ වූ මේ කරුණ සත­රය.

01) “මා හට දැහැමි බව රැක­ග­නි­මින් භෝග සම්පත් උප­දීවා”

02) “දැහැමි බව රැක­ගෙන භෝග සම්පත් ලැබ, ගුරු­වර ඥාති හිත­මි­ත්‍රා­දීන් සහිත වූ මාගේ පිරි­වර සම්පත් දියු­ණු­වට පත්වේවා”

03) “දැහැමි බව රැක­ගෙන භෝග සම්පත් ලැබ, ගුරු­වර ඥාති හිත­මි­ත්‍රා­දීන් සහිත වූ මාගේ පිරි­වර සම්පත් දියු­ණු­වට පත්ව, බොහෝ කල් ජීවත් වෙම්මා, දීර්ඝා­යුෂ ලැබේවා”

04) “දැහැමි බව රැක­ගෙන භෝග සම්පත් ලැබ, ගුරු­වර ඥාති හිත­මි­ත්‍රා­දීන් සහිත වූ ම‍ාගේ පිරි­වර සම්පත් දියු­ණු­වට පත්ව, බොහෝ කල් ජීවත් වෙම්මා, දීර්ඝා­යුෂ ලබා කය බිඳී මර­ණින් මතු සුගති සංඛ්‍යාත ස්වර්ග­යෙහි ඉප­දෙ­ම්වායි”

 

යන කරුණු හතර පෙන්වා දුන් භාග්‍ය­ව­තුන් වහන්සේ මෙය ප්‍රාර්ථ­න­ය­කින්, ඇද­හි­ල්ල­කින් හෝ වෙනත් මිථ්‍යා වැඩ­පි­ළි­වෙ­ළ­කින් ඉෂ්ට කර­ගැ­නී­මට හැකි නම් මේ සූත්‍ර දේශ­නාව මෙතැ­නින් අව­සන් විය යුතු­යැයි කීහ. නමුත් තථා­ග­ත­යන් වහන්සේ ඉහත කී කාන්ත වූ කරුණු හතර ලැබී­මට නම් තවත් කරුණු හත­රක් උප­කාර පිණිස පව­තින පෙන්වා දෙති. ඒ කරුණු හතර මෙසේය.

 

01) ශ්‍රද්ධා සම්ප­ත්තිය

ආර්ය ශ්‍රාව­කයා තථා­ග­ත­යන් වහන්සේ අදහා ගන්නේ වෙයි. ඒ භාග්‍ය­ව­තුන් වහන්සේ අරහං සම්මා සම්බුද්ධ විජ්ජා­ච­රණ සම්පන්න, සුගත, ලෝක­විදු, අනු­ත්තරෝ පුරිස ධම්ම සාරථි, සත්ථා, දේවා මනු­ස්සානං, බුද්ධ, භගවා වන සේක යනු­වෙන් ශ්‍රද්ධා සම්ප­ත්තිය ඇති කර ගනී.

 

02) සීල සම්ප­ත්තිය

ආර්ය ශ්‍රාව­කයා සතුන් මැරීම, සොර­කම් කිරීම, වැරදි කාම සේව­නය, බොරු කීම, මත්ද්‍රව්‍ය භාවි­තය ආදි­යෙන් වැළ­කුණේ වෙයි. එය සීල සම්ප­ත්ති­යයි.

 

03) ත්‍යාග සම්ප­ත්තිය

ආර්ය ශ්‍රාව­කයා මසු­රු­මල බැහැර කළ සිතින් යුතුව ගිහි­ගෙයි වාසය කරයි. දෙන්නට සූදා­නම් වූ සිතින් යුතුව දන් දීමට ඇළුණු කෙනෙක් වෙයි. තමා­ගෙන් ඉල්ලී­මට සුදුසු කෙනෙක් වෙයි. දන්දීමේ බෙදීමේ ඇළුණු කෙනෙක් වෙයි. එය ත්‍යාග සම්ප­ත්ති­යයි.

 

04) ප්‍රඥා සම්ප­ත්තිය

විසම ලෝභ­යෙන් මැඩුණු සිත් ඇති, ද්වේෂ­යෙන් මැඩුණු සිත් ඇති, නිදි­ම­තෙන් හා අල­ස­බ­වෙන් මැඩුණු සිත් ඇති, සිතේ විසි­රී­මෙන් හා පසු­තැ­වී­මෙන් මැඩුණු සිත් ඇති, සැක­යෙන් මැඩුණු සිත් ඇති තැනැත්තා ගිහි­ගෙයි වසද්දී නොකළ යුත්ත කරයි. කළ යුතු දේ අත හරියි. ඒ නිසා පිරි­ව­රෙ­නුත් සැප­යෙ­නුත් පිරිහී යයි.

එන­මුත් ආර්ය ශ්‍රාව­කයා ඒවා උප­ක්ලේශ බව දැන බැහැර කරයි. විසම ලෝභ­යෙන්, ද්වේෂ­යෙන්, උද්ධච්ච කුක්කු­ච්ච­යෙන්, මීන­ම්ද්ධ­යෙන්, විචි­කි­ච්ඡා­වෙන් නුව­ණින් දැන බැහැර වූයේද එය ප්‍රඥා සම්ප­ත්ති­යයි.

මෙම කරුණු හතර ලෝකයේ ඇති සිතට ප්‍රිය වූ කාන්ත වූ මනාප වූ දුර්ලභ වූ, අප විසින් මුලින් සඳ­හන් කරුණු හතර ලැබී­මට උප­කාරී වන ධර්ම වන්නේය.

එප­ම­ණක් නොව ආර්ය ශ්‍රාව­කයා නැඟී සිටි වීරි­යෙන් යුතු­වයි අත­පය වෙහෙ­ස­මින්, දහ­දිය වගු­රු­ව­මින් ධාර්මි­කව ලද භෝග සම්ප­ත්ව­ලින් කට­යුතු හත­රක් කර­න්නේය. ඒ කරුණු හතර මෙසේය.

 

01) ආර්ය ශ්‍රාව­කයා නැඟී සිටි වීරි­යෙන් යුතුව අත­පය වෙහෙ­සී­මෙන් යුතුව ඩහ­දිය වැගි­රී­මෙන් යුතුව ධාර්මි­කව භෝග සම්පත් උප­දවා ගනී. එම සම්ප­ත්ව­ලින් මවු­පි­යන්, දාස කම්ක­රු­වන්, අඹු­ද­රු­වන්, හිත මිතු­රන්ගේ සැපය පිණිස, පින­වීම පිණිස යොද­වයි. නිසි අයු­රින් පරි­භෝග කරන ලද්දේ වෙයි.

02) දැහැ­මින් ලද භෝග­ස­ම්පත් ගින්නෙන්, ජල­යෙන්,රජ­යෙන්, සොරු­න්ගෙන්, තමා අක­මැති පුද්ග­ල­ය­න්ගෙන් පැහැ­ර­ගැ­නී­මෙන් වේවා, වෙනත් ආප­දා­වන් හිදී වේවා, යළි නැඟී සිටී­මට යොද­වන්නේ වෙයි. තමාගේ ජීවි­තය සුව­පත් කරන්නේ වෙයි.

03) තවද ආර්ය ශ්‍රාව­කයා දැහැ­මින් ලද භෝග සම්ප­ත්ව­ලින් සංග්‍රහ පහක් සිදු කරයි. එනම් ඥාතීන්ට, ආග­න්තු­ක­යන්ට, මිය­ගිය ඥාතීන්ට , රජුන් උදෙසා (රජ­යට), දෙවි­යන් උදෙසා සංග්‍රහ කරයි.

04) දැහැ­මින් ලද භෝග සම්පත් සහිත යම් ශ්‍රමණ බ්‍රාහ්ම­ණ­වරු වෙසෙත්ද, මත්වෙන ප්‍රමාද වෙන කරු­ණෙන් වෙන් වී, ඉව­සීම් කීක­රු­වීම් ආදී ගුණ ධර්ම­යන් තුළ පිහි­ට­මින් තමාව දම­නය කර­ග­නි­මින් තමාව සංසි­ඳුවා ගනි­මින් සිටිති. ඇතැම් අය පිරි­ණි­වී­ම­ටද පත්වෙති. ඒ ශ්‍රමණ බ්‍රාහ්ම­ණයෝ උසස් විපාක දෙන සුගති සැප ලබා­දෙන, සුගති උපත සල­සා­ලන පින් කරති

 

දැහැ‍මින් ලද භෝග සම්ප­ත්ව­ලින් ඒ කරුණු හතර ඉටු වේ. තථා­ග­ත­යන් වහන්සේ මේ දෙසුම අව­සන් කරන්නේ දැහැ­මිව ලද භෝග සම්ප­ත්ව­ලින් යමෙක් උක්ත කට­යුතු අත­හැර දැමී­මෙන් භෝග සම්පත් වැනසී යන්නේද, එසේ­නම් එය භෝග­යන් නුසු­දුසු තැනට ගිය බවය. නුසු­දුසු සේ ලැබූ බවය. අනිසි අයු­රින් පරි­භෝග කළ බවය.

සැකෙ­වින් ඉදි­රි­පත් කරන ලද මේ දහම් පරි­යාය තුළ ජීවි­ත­යට ගළ­පා­ගත යුතු දහම් කරුණු රාශි­යක් මතු වේ. එනම් ගිහි­ගෙය වසන ශ්‍රද්ධා­ව­න්ත­යෙ­කුට සිතට ප්‍රිය වූ කාන්ත වූ මනාප වූ දේ ලැබී­මට නම් විවිධ ඇද­හිලි, ප්‍රාර්ථනා හෝ මිථ්‍යා මත ඔස්සේ යෑමෙන් දුකින් මිදී­මට තබා සුග­තියේ උපත කරා යෑම­ට­වත් නොහැකි බවය. අනෙක නම් සිතට ප්‍රිය වූ දේ ලැබී­මට නම් හේතු සකස් කළ යුතු බවය.

දුකින් මිදී­මට දුක පිළි­බඳ දැන­ගත යුතුය. දුකට හේතුව දැන­ගත යුතුය. එසේ නැතිව දුශ්සී­ලව සිට, විසම ලෝභ­යෙන්, කෝප සිතින් මිථ්‍යා දෘෂ්ටි­කව සිට විශාල ගලක් රැගෙන ජලා­ශ­ය­කට අත­හැර මහ­ජ­නයා රැස් කර එම්බා ගල උඩ ඒවා, එය ජල­යෙහි පාවේවා, එම්බා ගල උඩට පැමි­ණේවා කියූ පම­ණින් මහ­ජ­න­යාගේ ආයා­චනා හේතු­වෙන්, ස්තූතිය හේතු­වෙන්, ඇඟිලි බැඳ පැද­කුණු කිරීම හේතු­වෙන් අර විශාල ගල උඩට මතු නොවන්නා සේ (සංයුත්ත නිකාය - ගාමිණි සංයු­ත්තය) එවැනි ගති සහිත අය කය බිඳී මර­ණින් මතු නිරයේ උප­දින බව තථා­ග­ත­යන් වහන්සේ වදා­ළහ.

අප තෙරු­වන් සරණ යෑම යනු නිසි පිළි­ස­ර­ණක් සෙවී­මය. අප පිළි­ස­රණ හොය­න්නේම අපේ ඇති අස­ර­ණ­කම නිසාය. සියලු දෙනාම සැප­යට කැම­තිය (සුඛ කාමානි භූතානි). ඔවුහු කුඩා කල මවු­පි­ය­න්ගෙන්, අන­තු­රුව පාස­ලෙන්, උපා­ධි­ය­කින්, රැකි­යා­ව­කින් ආදී ලෙස ජීවි­ත­යට සැප ලබා­ගැ­නීමේ අර­මු­ණින් යුතුව රැක­ව­ර­ණ­යක් සොයති.

අක­මැති වුවද පොදුවේ ඒ හැමෝ­ටම හැඬීම්, වැල­පීම්, දුක් සුසුම් හෙළීම් ආදිය නම් ඒකා­න්ත­යෙන්ම උරුම වන්නේය. අද ජීවි­තය දෙස බලන කෝණ බෙබ් අඩවි, ෆේස්බුක්, ටී.වී. චැනල් වැනි සන්නි­වේ­දන අංශ මඟින් පෙන්වා දෙමින් ඇත. එහෙත් බොහෝ විට ඒ සිය­ල්ල­ගෙන්ම සිදු වන්නේ මනු­ස්ස­යාගේ ඉල්ලු­මට සැප­යුම ලබා දීම මිස තථා­ගත වච­නය ඔස්සේ ජීවි­තය දකි­නට පෙළ­ඹ­වීම නොවේ. අප මේ ලිපිය සම්පා­ද­නය කරන්නේ කයට සැප දී සිතට තිබෙන වටි­නා­කම නැති කරන සමාජ වට­පි­ටා­වක් තුළය.

එවන් යුග­යක ශ්‍රද්ධා පද­නමේ පිහිටා දුක හැදෙන වැඩ­පි­ළි­වෙළ සෙවීම බුද්ධ කාලීන භාර­තීය සමා­ජය තුළ සේම වර්ත­මා­නයේ අප ජීව­ත්වන පරි­ස­ර­යේ­දීත් සෙවීම ප්‍රඥාව ඇති අය­ටම උරුම දෙයකි (පඤ්ඤා­වතෝ අයං භික්ඛවේ,ධම්මෝ, නායං ධම්මෝ දුප්ප­ඤ්ඤස්ස). මක් නිසාද යත් තථා­ගත ධර්මය වනාහි ප්‍රඥා­ව­තුන්ට බැවිනි.

අපට දුකක් එන­විට ඒ දුක බව වට­හා­ගෙන ඒ දුක නැති කර ගැනීම සඳහා විවි­ධා­කාර ක්‍රම සොයමු. නමුත් තථා­ග­ත­යන් වහන්සේ පෙන්වා දෙන්නේ මේ දුකක් බව තේරුම් ගෙන ඒ දුක ලැබුණේ කෙසේ­දැයි නුව­ණින් විමසා බලන ලෙසය. තථා­ග­ත­යන් වහන්සේ වදා­රන ආකා­ර­යට යම් දුකක් නිර්මා­ණය වන්නේ හේතු­ඵල දහ­මක ක්‍රියා­කා­රි­ත්ව­යක් මතය. හේතු­වක් මත ගොඩ­නැ­ඟුණු ඵල­යක් ලෙසය. එසේ­නම් අපේ ජීවි­තය තුළත් මේ දුක ඇති වීමට හේතුව සෙවිය යුතුය.

මෙහිදී අපට ලෝක­යට අයත්, අපට තේරෙන අපේ ආය­තන ගෝචර දුක අපට හමුවේ. එනම් ප්‍රිය­ය­න්ගෙන් වෙන් වීම, අප්‍රි­යන් හා එකතු වීම, කැමති දෑ නොලැ­බිම, වය­සට යෑම, ලෙඩ­වීම ආදී දුක නුව­ණින් යුතුව තථා­ගත වච­න­යට අනුව පිරි­සිඳ සෙවිය යුතු වේ.

එවිට ජීව­ත්ව­නවා යනු උපතේ සිට මර­ණය දක්වාම ඇස, කන, නාසය, දිව, කය, මනස යන ඉන්ද්‍රි­ය­න්ගෙන් විවිධ ආශා­වන් ඔස්සේ දුක සකස් කර­ගැ­නී­මය යන්න ජීවි­ත­යෙන්ම වැට­හෙනු ඇත. දුකට හේතුව තබා­ගෙන අප දුකින් නිද­හස් වීමක් සොයන බව නුව­ණට වැට­හෙනු ඇත.

තථා­ගත ධර්මය ශ්‍රව­ණය කළ සැද­හැත්තෝ තමාට ලැබුණු දුක පිළි­බ­ඳව ධර්ම­යට අනු­වම විම­සති. දුක පිරි­සිඳ සොයන විට ලැබුණු දුක, දුකින් පලා­යෑම ආදී කරුණු ඉක්මවා දුක්ඛ සමු­දය (දුකට හේතුව) දකිති. අන­තු­රුව එය තමාගේ දුකක් නොව “සංඛාර දුකක්” බව නුව­ණින් වටහා ගනිති.

දම්සක් පැව­තුම් සුත්‍ර­යේදී පස්වග මහ­ණුන්ට එලෙස පුද්ග­ල­යාට ගෝචර දුක පිළි­බ­ඳව බුදුහු වදා­ළහ. ඉන්ප­සුව තථා­ග­ත­යන් වහන්සේ වදාළේ “සංඛි­ත්තේන පංචු­පා­දා­න­ක්ඛන්ධා දුක්ඛා” යනු­වෙනි. සංක්ෂේ­ප­යෙන් කිව­හොත් උපා­දා­න­ස්කන්ද පහ දුක බවය. එලෙස දුකක් - දුකට හේතු­වක් - දුක නැති වීමත්- මාර්ග­යන් අව­බෝධ නොකළ පුද්ග­ලයා දුෂ්ප්‍රාඥා ලෙස මහ­වේ­දල්ල සුත්‍රයේ සඳ­හන් වේ.

එසේ­නම් හේතු ප්‍රත්‍යන් නිසා හට­ගත් ප්‍රඥා ඇසට ගෝච­ර­වන ධර්මය තමන්ගේ රාමුව ඉක්මවා ප්‍රඥා­වෙන් දකින වැඩ­පි­ළි­වෙළ තුළ ශ්‍රාව­කයා හික්මේ.

ආය­තන ඔස්සේ සකස් වන මේ උපා­දා­න­ක්ඛන්ධ දුක ගොඩ නැගෙන්නේ හේතු ප්‍රත්‍ය­යෙනි. වටහා ගත යුත්තේ දුක ඉබේ පව­ති­න්නක් නොවන බවය. “අනිත්‍ය“ යනු “හේතු­ප්‍ර­ත්‍ය­යෙන් ගොඩ­නැ­ඟුණු“ යන අද­හ­සය. මෙය කල්පනා කර ඇති කර­ගන්නා දෙයක් නොවේ. අනිත්‍ය යනු “හේතු ප්‍රත්‍ය­ය­න්ගෙන් හට­ගත්“ යන්න නම් ප්‍රඥා ඇසට එය ගෝචර වන්නේ එය දුකක් ලෙසය. එලෙස “අනිත්‍ය“ යනු දුක නම් මට මගේ ලෙස ගැනී­මට දෙයක් හමු නොවේ.

උදා­හ­ර­ණ­යක් ලෙස වීණා හඬ තිබෙන දෙයක් නොවේ. වීණාව එහි දණ්ඩෙන් වාද­නය කරන විට හට­ගත් ඵල­යකි (වීණෝ­පම සූත්‍රය). දැල්වෙන තෙල් පහ­නක තිරය , තෙල් හා දැල්ල නිසා ආලෝ­කය හට­ගනී. ආලෝ­කය තිබෙන දෙයක් නොවේ. එබැ­වින් දුක ගැන පිරි­සිඳ සොයන විට අපට ලැබුණු දුක නොව ප්‍රඥා­වෙන් දැක්ක දුක (දුක්ඛාර්ය්‍ය සත්‍ය) හේතු ප්‍රත්‍ය­න්ගෙන් හට­ගත් බව නිවැ­ර­දිව වට­හා­ගත යුතුය.

එලෙස දුක පිළි­බඳ පිරි­සිඳ සොයන්නේ නැති තාක්ම ජාති ‍ජරා මර­ණ­ව­ලින් අස­රණ ලෝක සත්ත්වයා ඒ අස­ර­ණ­කම නිසා සරණ සොයා­ගෙන, සැපය සොයා­ගෙන (සුඛ කාමානි භූතානි) විවිධ ඇද­හිලි කරති. ගස්ගල් සරණ යති. නැකැත් කේන්දර සරණ යති. අ‍වබෝ­ධ­යෙන් යුතුව දුකින් එතෙර වීමට නිශ්ඡිත මඟ කියා දුන් තථා­ගත වච­න­යට පිටු­පා­මින්, මේ දහ­මට සම කළ හැකි කිසි­වක් ලොව නැත කිය­මින් (“න තේන ධම්මේන සමත්ථි කිඤ්චි” ) තථා­ග­ත­යන් වහන්සේ ඉක්මවා යති.

Comments