කඳුළු මුසු වූ මීතොටමුල්ල කුණු කන්ද මත මැවෙන බලාපොරොත්තුවේ උද්‍යානය | සිළුමිණ

කඳුළු මුසු වූ මීතොටමුල්ල කුණු කන්ද මත මැවෙන බලාපොරොත්තුවේ උද්‍යානය

ඒ පරි­ස­රය අද නිසො­ල්මන්ය. එදා මෙන් කිසි­වෙ­කුගේ කතා­බ­හක්, හඬක්, උද්ඝෝ­ෂ­ණ­යක් එහි නැත. ඒ අව­ටින් කිසි­වෙ­කුගේ හඬක් ඇසේ නම් ඒ මීතො­ට­මුල්ල කුණු කන්ද උද්‍යා­න­යක් බවට පත් කර­න්න වෙහෙ­සෙන සේව­ක­ය­කුගේ පමණි. කුණු ටොන් ගණ­නක් අහස උසට දරා­ගෙන උද්‍යා­න­යක් ලෙස කළ එළි­බ­සි­න්නට සූදා­නම් වන මීතො­ට­මුල්ල කුණු කන්ද ‍කිසිවක් නොවූ ස්වරූ­ප­යෙන් අද හැඩ වෙමින් පව­තියි. තව නොබෝ දින­කින් මේ මීතො­ට­මුල්ල උද්‍ය­නයේ ‍සුන්දර­ත්වය විඳ ගන්නට අව­ස්ථාව උදා­වෙයි. මේ විසල් කුණු කන්ද උද්‍යා­න­යක් ලෙසින් දිනෙන් දින හැඩ­වන අපූ­රුව මීතො­ට­මු­ල්ලට ගොස් බලා කියා ගන්නට සිළු­මිණ අපි කට­යුතු කළෙමු.

එදා මේ කුණු කන්ද පිහිටි භූමිය පැරණි කුඹු­රක් බව ප්‍රදේ­ශ­වා­සීහු පව­සති. එය මීතො­ට­මුල්ල කුණු කන්ද ලෙස හඳු­න්ව­න්නට පෙරා­තුව හඳුන්වා ඇත්තේ පොතු­විල් කුඹුර ලෙසය. 1989 වසරේ කොළඹ නග­ර­යට ආ විශාල ගංව­තු­රෙන් මේ කුඹුරු යාය විනාශ තිබේ. ඒ වක­වා­නු­වේදී මුල්ලේ­රි­යාව නගර සභාව මේ කුඹුර ගොඩ කර කොලො­න්නාව කොටි­කා­වත්ත මුල්ලේ­රි­යාව නගර සභා සහ ප්‍රාදේ­ශීය සභා තුනට අදාළ කසළ බැහැර කිරීම ආරම්භ කර තිබේ. ආර­ම්භයේ අක්කර දෙකක් පමණ වූ මීතො­ට­මුල්ල කුණු කන්ද අද වන­විට අක්‌කර විස්සක් පමණ දක්වා වූ භූමි ප්‍රදේ­ශ­යක පැතිර තිබේ. එතැන් සිට වසර ගණ­නක් පුරා­වට කුණු ටොන් ගන­ණින් පිර­වුණු පොතු­විල් කුඹුර කල්යත්ම මීතො­ට­මුල්ල කුණු කන්ද ලෙස හැදි­න්වූයේ නිතර නිතර මේ කුණු කන්ද සම්බ­න්ධ­යෙන් ප්‍රදේ­ශයේ ජන­තාව නැඟු විරෝ­ධය නිසාය.

මේ කුණු කන්ද ලංකා­වම මළ ගෙද­රක් කර­ව­න්නට හේතු වේවි යැයි එදා කිසි­වෙකු නොසි­ත­න්නට ඇත. අවා­ස­නා­වට එය එසේම සිදු­විණි. 2017 අප්‍රේල් 14 වැනිදා මීතො­ට­මුල්ල කුණු කන්ද නාය ගියේය. ඒ හරි­ය­ටම අලුත් අවු­රුද්ද දව­සේය. එදා මුළු මහත් ලංකා­වම මළ ගෙද­රක් වූයේ වසර 30ක් තිස්සේ අඩි 400ක් උසට ටොන් දස­ලක්ෂ 25ක් කුණු­ව­ලින් පිරුණු මේ කුණු කන්ද නාය යෑමෙන් ජීවිත 32ක් පමණ අහිමි වූ බැවිනි.

නව උද්‍යා­න­යක්

අද ජීවිත රැසක් බිලි­ගත් කුණු කන්ද නව­මා­න­යක් කරා ගමන් අර­ඹ­මින් සිටියි. විවිධ හැඩ­තල මත උද්‍යා­න­යක් ලෙස රටා­ව­කට ගොඩ නැගෙන මීතො­ට­මුල්ල කසළ කන්ද පාමු­ලින් අපගේ ගමන ඇරැ­ඹීමු. එදා මෙන් දැඩි දුර්ග­න්ධ­යක් අද නැත. ගහක් කොළක් නොපෙනී කසළ­ව­ලින්ම පිරී තිබූ ඒ විසල් කුණු කන්ද මේ වන විට තණ නිල්ලෙන් පිරුණු ගහ කොළින් වටවූ සොඳුරු උද්‍යා­න­යක් ලෙසට පරි­ව­ර්ත­නය වන්නට සැර­සෙ­මින් සිටියි.

කන්දට වැළලී ගිය ගොඩ නොගත් මෘත­ශ­රීර දොළ­හක් පමණ තියෙ­නවා කියන්නේ ඇත්තද? මම කන්ද තර­ණය කරන අත­ර­තුර එතැන සිටි සේව­ක­ය­කු­ගෙන් විම­සු­වෙමි. 'එහෙම කිය­නවා නම් තමයි. ඒත් අපිට නම් මේවා හාරලා පිළි­ස­කර කරත්දී එහෙම කිසිම දෙයක් හමු වුණේ නැහැ. නමුත් මේ අවට තිබුණු කන්දට යට වුණු ගෙව­ල්වල කොටස් නම් තව­මත් හම්බ වෙනවා. ඔහු පව­සයි.

මේ උද්‍යා­නය සැකැස්ම පිළි­බඳ නාග­රික සංව­ර්ධන අධි­කා­රි­යෙන්ද විමසා බල­න්නට අපි කට­යුතු කළෙමු.

ප්‍රථම වතා­ව­

“ලංකාවේ පළ­මු­ව­රට තමයි මේ විදි­හට කුණු කන්දක් උද්‍යා­න­යක් බවට පත් වන්නේ. එය විශේෂ දෙයක්. මේ කුණු කන්දෙ තිබුණු අන­තු­රු­දා­යක තත්ත්වය එහෙ­මත් නැති­නම් ස්වභා­වය අනුව මෙය පිළි­ස­කර කරන්න මුලින් ම පටන් ගත්තේ ශ්‍රී ලංකා යුද්ධ හමු­දාව. ඉන්ප­සුව පසු­ගිය වස­රේදී තමයි මෙය උද්‍යා­න­යක් ලෙස පිළි­ස­කර කරන්න කට­යුතු නාග­රික සංව­ර්ධන අධි­කා­රිය ඇරැ­ඹුවේ. එතැ­නදී මුලින් ම සිදු කළේ මෙම කුණු කන්දේ දළ සැලැ­ස්මක් අනුව එය පිළි­ස­කර කළ යුතු ආකා­රය පිළි­බඳ හැදෑ­රී­මක් සිදු කිරීම. ඒ අනුව ජාතික ගොඩ­නැ­ගිලි පර්යේ­ෂණ ආය­ත­නයේ උප­දෙස් මත මෙය නිර්මා­ණය කළ යුතු ක්‍රම පිළි­වෙළ සකසා ගත්තා. මුලින් ම පරී­ක්ෂණ කිහි­ප­යක් ම කර­මින් මේ ගැන අධ්‍ය­ය­නය කළා. ඒ අනුව මෙම ව්‍යාපෘ­තිය සාර්ථ­කව නිම කර­න්නට අවශ්‍ය කට­යුතු සම්පා­ද­නය කර­මින් මේ කසළ කන්ද පිළි­ස­කර කිරීමේ කට­යුතු ඇර­ඹුණා.” කසල කන්ද පිළි­ස­කර කිරීම පිළි­බඳ මූලික අඩි­තා­ලම විස්තර කර­මින් නාග­රික සංව­ර්ධන අධි­කා­රි­යෙන් පැවැ­සුවේ එවැ­න්නකි. ඒ අනුව මෙම කසල කන්ද උද්‍යා­න­යක් කිරීම ආරම්භ වන්නේ 2018 වසරේ මුල් භාග­යේදී ය.

“මෙහි පළමු අදි­යර වශ­යෙන් මුලින් ම සිදු කළේ උද්‍යා­න­ය­කට සරි­ලන අන්ද­මට කසළ කන්දේ හැඩය නිර්මා­ණය කිරී­මයි. ඒ අනුව කසළ කන්ද විවිධ හැඩ­ත­ල­ය­නට අනුව උද්‍යා­න­ය­කට සරි­ලන ලෙස ගොඩ­නැ­ගීම සිදු­වෙ­නවා. මේ වන­විට එහි සිය­යට පන­හක වගේ ප්‍රමා­ණ­යක් අව­සන්. මීතො­ට­මුල්ල ප්‍රති­සං­වි­ධාන ව්‍යාපෘ­තියේ අධ්‍ය­ක්ෂ සහ නාග­රික සංව­ර්ධන අධි­කා­රියේ බස්නා­හිර පළාත් අංශයේ අධ්‍ය­ක්ෂ­ක­ව­රයා ලෙස කට­යුතු කරන වයි.ඒ.ජී.කේ. ගුණ­ති­ලක මහ­තාගේ සංක­ල්ප­යක් හා ඔහුගේ නිර්මා­ණ­ශී­ලී­ත්වය තමයි මෙයට පසු­බිම වුණේ. ඒ වගේ ම නියෝජ්‍ය අධ්‍ය­ක්ෂ­තුමා අනුර ප්‍රස­න්නත් මේ සඳහා මඟ පෙන්වීම සිදු කර­නවා. ඒ අනුව මේ කසළ කන්දේ පවත්නා කුණු සිය­ල්ලම කළ­ම­නා­ක­ර­ණය කර­ගෙන උද්‍යා­නය නිර්මා­ණය කිරීමේ කට­යුතු ඇරැ­ඹුණා” නාග­රික සංව­ර්ධන අධි­කා­රිය පව­සයි.

විවිධ හැඩ­තල

2018 වසරේ අගෝස්තු මාසය වන විට කසළ කන්දේ හැඩ­තල නිර්මා­ණය කර­ගැ­නීමේ අදි­යර අව­සන් ව ඇති අතර මේ වන­විට ගොඩ­නැ­ගිලි පර්යේ­ෂණ ආය­ත­නයේ උප­දෙස් මත කසළ කන්දෙන් පිට­වන ගෑස් හා අප ජලය බැහැර කිරීම සඳහා අවශ්‍ය නළ එළීම් සිදු වේ. කසළ කන්ද වටේ­ටම මෙම නළ එළීම ඔස්සේ මෙම ගෑස් සහ අප ජලය බැහැර කිරීම කළ යුතුව ඇත.

“මේ කන්ද උද්‍යා­න­යක් බවට පත් කර­න්න පටන් ගන්නා විට මේ කන්ද මීටර් 42ක් පමණ උස­කින් යුක්ත වුණා. එය මීටර් 33කට පමණ අපි උසින් අඩු කිරීම සිදු කළා. ඒ අනුව මීටර් 9ක් පහ­ළට අඩු කළා. ඒ අනුව කන්ද තව තවත් පහළ යෑම සිදු­ වුණා” ඔවුන් වැඩි­දු­ර­ටත් පව­සයි.

කන්ද මුදු­න­ටම ගිය විට දක්නට ලැබෙන්නේ තණ තීරු­ව­ලින් යුතුව කුඩා ගල්කැට දමා මනා සේ සකසා අලං­කාර කළ සම­තලා බිම් තීරු­වකි.‍ එතැ­නට මුළු කොළඹ හා අවට නගර ‍ඉතා අසි­රි­මත්ව දිස්වෙන අපූ­රුව අපි විඳ­ග­තිමු. එම බීම් තීරුව ගෙන එන්නේ අපූ­ර්ව­ත්ව­යකි.

“මෙතැ­නට එන සුළං පාර තර­මක් සැර­යි‍.‍ ­එ­නිසා ගස් සිටු­වීම තර­මක් අප­හසු වී තිබෙ­නවා‍. නමුත් මේ වන­වි­ටත් විවිධ ස්ථාන­යන්හි ගස් සිටු­වී­මට අපි කට­යුතු කර තිබෙ­නවා‍.“ නාග­රික සංව­ර්ධන අධි­කා­රිය පව­සයි. මෙය වසර 2020 වන විට නිර්මා­ණය කර අව­සන් කිරී­මට ඔවුන් බලා­පො­රොත්තු වෙයි.

“පව­තින කාල­ගු­ණික තත්ත්වය මේ උද්‍යා­නය නිර්මා­ණය කිරී­මේදී මූලික වශ­යෙන් ම බල­පා­නවා” ඒ ඔවුන්ගේ අද­හ­සයි.

එලෙ­සම මේ කසළ කන්ද උද්‍යා­න­යක් බවට පත්වීම ගැන ප්‍රදේ­ශ­වා­සීන් ගේ ප්‍රති­චාර ද යහ­පත් බව එතැන සේවය කර­මින් සිටින කිහිප දෙනෙක් ම අප සමඟ පැවැ­සිය.‍

අවට පිරිස් සතු­ටින්

“මුල් දව­ස්වල අපි වැඩ කරන විට කන්දේ පැවැ­තුණේ ඉව­සන්න බැරි දුර්ග­න්ධ­යක්. හුඟ දෙනෙ­කුට වම­නය යනවා. ඒත් මේ පිළි­ස­කර කිරී­මත් සමඟ ඒ තත්ත්වය දුරු­වෙලා තිබෙ­නවා” ඔවුන් පව­සයි. කසළ කන්දේ පිළි­ස­කර කට­යු­තු­ව­ලට දායක වෙන නම හෙළි කිරී­මට අකැ­මැති සේව­ක­යකු පවසා සිටියේ මෙය උද්‍යා­න­යක් ලෙස සකස් කිරී­මේදී කසළ කන්ද හාරා නිසි පිළි­වෙ­ළට සකස් කිරීම කළ බවත් එහිදී වැළලී ගිය ත්‍රීරෝද රථ­යක් මෙන් ම කසළ කන්දට යටවූ සහ ගසා­ගෙන ගිය නිවෙ­ස්වල උළු­වහු ඇතුළු කොටස් ද වෑන් රථ­යක දොරක කොට­සක් ද හමුවූ බවයි. ප්‍රදේ­ශයේ සිදු­වෙ­මින් පව­තින මේ නව වෙනස හා යළි පිබි­දීම පිළි­බඳ ප්‍රදේ­ශ­වා­සීන් කිහිප දෙනෙ­කු­ගෙන් ද අද­හස් ද විමසා බල­න්නට අපි අම­තක නොක­ළෙමු. එහිදී අද­හස් දක්ව­මින් ප්‍ර දේශවාසියකු වන ලක්ෂ්මන් මහතා අප සමඟ පවසා සිටියේ, මෙලෙස කුණු කන්ද උද්‍යා­න­යක් ලෙස සකස් වීම හොඳ දෙයක් බවයි.

''මේ ප්‍රදේ­ශ­යට ඉස්සර කිව්වේ පුංචි කුරු­ඳු­වත්ත කියලා. ඒ තර­ම­ටම සශ්‍රික කිසිම කර­ද­ර­ය­කින් තොර ප්‍රදේ­ශ­යක් තමයි තිබුණේ. පස්සෙ කාල­යක දී මිනිස්සු සෑහෙන්න මේ ප්‍රදේ­ශයේ පදිං­චිව සිටියා. හිටපු ගමන්ම වෙලට කුණු දාන්න පටන් ගත්තා. මේක වැඩි වුණා. කොහො­ම­හරි කුණු කන්ද දව­සින් දවස විශාල වුණා. දැන් හුඟ දෙනෙක් ගෙවල් විකු­ණ­ගෙන ගිහින්. අපේ ගමේ මිනිස්සු තමයි මිය­ගියේ. සම­හර බොරු කතාත් හරි­යට ප්‍රචා­රය වුණා. වෑන් පිටින් වැළ­ලුණා කිව්වා. ඒක බොරු කතා­වක්.

ඒත් මේ වගේ උද්‍යා­න­යක් හදන එක මට නම් හිතෙන්නේ හොඳ දෙයක්. ඒක හරි­යට කරන්න ඕන. නැති නම් එය බොරු වැඩක් වෙනවා විත­රයි.'' එලෙස පැවැ­සුවේ තරු­ෂියි.

''මේ කුණු­ගොඩ මුල ඉඳන්ම හරි­යට නඩත්තු කළේ නැහැ. මේ කුණු කන්දෙන් අවට ගෙව­ල්වල මිනිස්සු නොසෑ­හෙන දුකක් වින්දා. මේකට ගෙන එන කුණු කපු­ටන්, බල්ලන් ඇද­ගෙන ඇවිත් ගෙව­ල්ව­ලට දානවා. ඒ වගෙම පළාතෙ ඉන්න බැරි කුණු ගඳකින් පීඩා වින්දා. සති ගනන් ගියත් ඒ කුණු ගඳ ඉවත් වෙන්නේ නැහැ. දැන් නම් මේ කන්ද පිළි­ස­කර වෙන නිසා ඒ ගඳ නැහැ. මෙහි උද්‍ය­න­යක් හඳන එක හොඳයි. ඒත් එයත් ආවට ගියාට නැතිව ක්‍රම­වත්ව සිදු­විය යුතුයි. අනෙක පොලි­තින් විශාල ප්‍රමා­ණ­යක් මෙහි තියෙ­නවා. ඒ නිසා ගස් වැවීම නම් පහසු වෙන්නේ නැහැ. එනිසා ක්‍රම­වත්ව සිදු විය යුතුයි. ප්‍රදේ­ශ­වා­සීන් ලෙස අපිට සතු­ටුයි.'' ලය­නල් මහතා පවසා සිටියේ එලෙ­සිනි.




 

සේයාරු - රංජිත් අසංක

Comments