කල් ගත තුවාල සැණින් සුව කරන දේශීය ඔසු පැලැ­ස්ත­ර­යක් | සිළුමිණ

කල් ගත තුවාල සැණින් සුව කරන දේශීය ඔසු පැලැ­ස්ත­ර­යක්

ස්වල පොතු, දලු, ගෙඩි, මුල්, මල් යනාදි ස්වාභා­වික අමු­ද්‍රව්‍ය උප­යෝගි කර­ග­නි­මින් සිදු කෙරෙන දේශීය වෛද්‍ය ප්‍රති­කාර ක්‍රමය අතුරු ආබාධ රහිත සාර්ථක වෙද­ක­මක් බව බොහෝ­දෙ­නාගේ පිළි­ගැ­නී­මය. දේශීය වෙද­කම අද නවී­ක­ර­ණය වී තිබෙන්නේ වත්ම­නට ගැළ­පෙන පරි­දිය. වෙද­ක­මට අවශ්‍ය අමු­ද්‍රව්‍ය සොයා ගැනීමේ දුෂ්ක­ර­තාව, බෙහෙත් තම්බා ගැනී­මට, අඹරා ගැනී­මට ඇති අප­හ­සුව යනාදි කරුණු නිසා අද වන විට කුඩු, කරල්, පෙති වශ­යෙන් ආයු­ර්වේද ප්‍රති­කාර ක්‍රම ද වෙනස් වී ඇත.

ආයු­ර්වේද ප්‍රති­කාර ක්‍රම­යක් වැඩි­දි­යුණු කර නව නිෂ්පා­ද­න­යක් හඳුන්වා දුන් ආයු­ර්වේද වෛද්‍ය­ව­රි­යක ලෙස මනෝරි අම­ර­ජීව හැඳි­න්විය හැකිය. ඇය හඳුන්වා දුන්නේ කල් ගත වූ තුවා­ල­ව­ලට ඖෂධ සංයෝග සහිත ඇල­විය හැකි වැස්මකි. වෛද්‍ය මනෝරි අම­ර­ජීව කොළඹ විශ්ව­වි­ද්‍යා‍ලයේ දේශීය වෛද්‍ය විද්‍යා­ය­ත­නයේ කථි­කා­චා­ර්ය­ව­රි­යකි.

වෛද්‍ය මනෝරි අම­ර­ජීව

“දේශීය වෛද්‍ය විද්‍යාවේ ශල්‍ය ශාලාක්‍ය අංශය හෙවත් ශල්‍ය­වේ­දය පිළි­බ­ඳයි මම විශේෂ උපා­ධිය ලැබුවේ. ඊට‍ ­පස්සේ මම පශ්චාත් උපා­ධිය හැදෑ­රු­වෙත් ශල්‍ය­වේ­දය ගැන. ශල්‍ය ශාලාක්‍ය ගැන වැඩි­දුර අධ්‍යා­ප­නය ලබන්න මම ඉන්දි­යාවේ වර­ණාසි හින්දු විශ්ව­වි­ද්‍යා­ලය තෝරා­ගත්තේ ඒ විෂයය සම්බ­න්ධ­යෙන් වර­ණාසි විශ්ව­වි­ද්‍යා­ලය විශේ­ෂ­ත්ව­යක් දරන නිසයි. එහිදි මම කල් ගත වූ තුවා­ල­ව­ලට ප්‍රති­කාර කිරීම ගැන අධ්‍ය­ය­නය කළා. තුවාල සෝදන්න, තුවා­ල­වල ගල්වන්න විවිධ ප්‍රති­කාර දේශීය වෙද­කමේ තිබෙ­නවා. ඉතින් මම හිතුවා ඒ ප්‍රති­කාර ඇසු­රෙන් තාක්ෂ­ණය උප­යෝගි කර­ගෙන වැඩි­දි­යුණු ක්‍රම­යක් සකස් කරන්න.

“දේශීය වෙද­කමේ සඳ­හන් වෙනවා නුග, බෝ, අට්ටික්කා, ගම්සූ­රිය සහ ඇසතු කුලයේ ගස් වර්ග­යක පොතු වර්ග 5ක් අර­ගෙන තුවා­ල­ව­ලට කරන ප්‍රති­කාර ක්‍රම­යක්. එය හැඳි­න්වෙන්නේ පංච වල්කාල නමින්. එම ශාක පොතු තම්බා­ගත් වතු­රෙන් තුවාල සේදීම අපේ පැරණි ක්‍රම­යක්. ඒත් මම ස්ථානික ආලේ­ප­යක සාඵ­ල්‍ය­තාව ගැන තමයි පරී­ක්ෂණ ආරම්භ කළේ.” යනු­වෙන් වෛද්‍ය ‍මනෝරි අම­ර­ජීව නව සොයා­ගැ­නී­මට පිවිසි ආකා­රය විස්තර කළාය.

ප්‍රථ­ම­යෙන් ඈ පංච­ව­ල්කාල යොදා­ගෙන දිය­රක් නිෂ්පා­ද­නය කිරී­මට උප­දෙස් දුන්නාය. ඉන්ප­සුව ඖෂ­ධීය ගුණ සහිත පැලැ­ස්ත­ර­යක් වැනි වැස්මක් සකස් කිරී­මට කට­යුතු කළාය. මෙහිදි තුවා­ලයේ තෙත­ම­නය උරා­ගැ­නීම මෙන් ම තුවා­ල­යට අවශ්‍ය තෙත­ම­නය රඳ­වා­ගැ­නීම සඳහා සුදුසු, ගෝස් වැනි රෙදි­ක­ඩක් යොදා ගැනිණි.

“තුවා­ල­යක් වේළෙන්න තෙත­ම­නය නැති කර­ගන්න ඕනෑ. ඒ වුණත් තුවා­ලයේ සෛල වර්ධ­න­ය­ටත් ආර්ද්‍ර­තාව යම් පම­ණ­කට අවශ්‍ය වෙනවා. ඒ නිසයි මම කිව්වේ ගෝස් වගේ සිදුරු සහිත රෙදි­ක­ඩක් එම වැස්මට පාවිච්චි කළ යුතු බව. වැස්ම දමන්නේ තුවා­ලය හොඳින් පිරි­සුදු කරලා. තුවා­ලය ආසා­ද­නය වී තිබි­යදී මෙය දමන්නේ නැහැ. තුවාල පිරි­සුදු කරන්න පංච­ව­ල්කාල දිය­රය යොදා ගන්නවා. ක්ෂුද්‍ර­ජී­වීන් රහිත පිරි­සුදු තුවා­ල­ව­ල­ටයි මේ වැස්ම යෙදුවේ.” යනු­වෙන් තව­දු­ර­ටත් පැහැ­දිලි කළේ වෛද්‍ය මනෝරි අම­ර­ජී­වයි.

පංච­ව­ල්කාල සඳහා භාවිත වන ශාක­මය පොතු­වල ඇති ගුණ පිළි­බඳ පරීක්ෂා කිරී­මේදී Ficus religiosa Linn විද්‍යා­ත්මක නාමය සහිත බෝ ශාකයේ ප්‍රති­ප්‍ර­දාහ ගුණ සහ වේදනා නාශක ගුණ තිබෙන බව තහ­වුරු කර­ගෙන තිබේ. Ficus glomerata Roxb විද්‍යා­ත්මක නාම­යෙන් යුක්ත අට්ටික්කා ශාකයේ පරණ තුවා­ල­වල වර්ධන සාධක ශීඝ්‍ර­යෙන් ඉහළ නංවන ගුණය සහ ප්‍රති­ශ­ක්තිය වර්ධ­නය කිරීමේ හැකි­යාව පවතී, Ficus bengalensis Linn (නුග), Thespesia populnea Soland (ගන්සූ­රිය) සහ Ficus lecor Buch Ham (කිරි­පල්ල) යන ශාක පොතු­ව­ලද රුධිර වහ­නය නතර කිරීමේ හැකි­යාව, ප්‍රති­ප්‍ර­දාහ ගුණ අඩංගු වී තිබේ.

එම ශාක වර්ග පහේම ප්‍රති­ඔ­ක්සි­කා­රක ගුණ ඉතා ඉහළ බව ද අනා­ව­ර­ණය වී ඇත. පුරා­ණයේ සිට තුවාල සඳහා ප්‍රති­කාර වශ­යෙන් එම ශාක ‍කොටස් භාවිත කළේ එබැ­විනි.

වෛද්‍ය මනෝරි අම­ර­ජීව සිය පරී­ක්ෂණ කට­යුතු ආරම්භ කළේ මීයන‍් යොදා­ග­නි­මිනි. මෙහිදි මීයන් සිහි විසංඥ කොට තුවාල කරනු ලැබුවේ සත්ව ආචා­ර­ධ­ර්ම­ව­ලට යටත්ව ය. ඇගේ පරී­ක්ෂණ සඳහා මීයන් 24ක් ‍යොදා ගත් අතර මීයන් 6 බැගින් කණ්ඩා­යම් 4කට බෙදා වෙන් කළේ ඉදිරි කට­යු­තු­වල පහ­සුව සඳ­හාය. එයින් එක් කණ්ඩා­ය­ම­කට සකස් කර­ගත් පංච­ව­ල්කාල දිය­රය ගෝස් කැබැ­ල්ලක ගල්වා තුවා­ල­වල ගල්වන ලදී. 2 වැනි කණ්ඩා­ය­මට සකස් කළ ඖෂ­ධීය ගුණ සංයෝග සහිත තුවාල වැස්ම ගල්වනු ලැබීය.

තෙවැනි කණ්ඩා­ය­මට තෙත­ම­නය මුළු­ම­නින්ම නැති වන ආකා­රයේ ඖෂ­ධීය වැස්මක් දැමූ අතර සිවු වැනි කණ්ඩා­ය­මට පාලක පර්යේ­ෂ­ණය ලෙස සේල­යින් වතු­රෙන් තුවාල සෝදා ගෝස් කැබ­ලි­ව­ලින් තුවාල ආව­ර­ණය කරනු ලැබීය. එම පර්යේ­ෂ­ණ­යේදී තාක්ෂ­ණය උප­යෝගි කර­ගෙන වැඩි­දි­යුණු ආකා­ර­යට සකස් කළ ඖෂ­ධීය වැස්ම (Scaffold) යෙදූ 2 වැනි කණ්ඩා­යමේ තුවාල ඉතා වේග­යෙන් සුව වන බව පෙනිණි. මෙය ව්‍යාධි­වේද (pathology) පරී­ක්ෂණ මඟින් විද්‍යා­ත්ම­කව තහ­වුරු විය. මීයන් සඳහා එම පරී­ක්ෂ­ණය සිදු කිරී­මට මාස 3ක කාල­යක් ගත විය. ඉන්ප­සුව වෛද්‍ය මනෝරි අම­ර­ජීව සාය­නික පරී­ක්ෂණ සඳහා යොමු වූවාය. ඉන්දි­යාවේ වර­ණාසි හින්දු විශ්ව­වි­ද්‍යා­ලයේ වෛද්‍ය සාය­න­ව­ලට පැමි­ණෙන රෝගින් අත­රින් සුව නොවූ පරණ තුවාල සහ දද කුෂ්ට තිබෙන රෝගීහු 20 දෙනෙක් තෝරා ගැනිණි. ඔවුන්ගේ තුවාල පංච වල්කාල යොදා සකස් කළ දිය­ර­යෙන් ශුද්ධ පවිත්‍ර කර තුවාල වැස්ම (scaffold) යෙදූ විට ඉතා වේග­යෙන් තුවාල සුව­පත් වන බව ප්‍රත්‍යක්ෂ විය. මේ බව ක්ෂුද්‍ර­ජීවී පරී­ක්ෂණ මඟින් ද තහ­වුරු කෙරිණි. මේ තුවාල වැස්ම රෝගින්ට දම­මින් පරී­ක්ෂණ සඳහා ඈ ගත කළ කාලය අවු­රුදු එක හමා­රකි. මහා­චාර්ය ‍මනෝරං­ජන් සාහුගේ උප­දේ­ශ­ක­ත්වය යටතේ සිදු කළ ඇගේ පර්යේ­ෂ­ණ­යට වෛද්‍ය අර්පන් බිස්වාන්ගේ සහය ඇයට ඉතා වැද­ගත් විය.

සැකසූ තුවාල වැස්ම

“සාමා­න්‍ය­යෙන් තුවා­ල­ය­කට ප්‍රති­කාර කිරී­මේදී දව­සක් හැර දව­සක් තුවා­ල­යට බෙහෙත් දැමිය යුතු වෙනවා. ඒත් අපි තාක්ෂ­ණ­යෙන් වැඩි දියණු කරලා සකස් කළ තුවාල වැස්ම එක දිගට දින 4ක් තබා­ගන්න පුළු­වන්. එය ප්‍රායෝ­ගි­කව ඔප්පු වී තිබෙ­නවා.” යනු­වෙන් පැව­සුවේ වෛද්‍ය මනෝරි අම­ර­ජීව ය.

ඇ‍ෙග් මේ නව සොයා ගැනීම Nano Medicine සඟ­රාවේ 2018 දී පළ කර තිබේ.

තාක්ෂ­ණය උප­යෝගි කර­ගෙන ඖෂධ සංයෝග කර වැඩි­දි­යුණු අන්ද­මින් සකස් කළ මෙම තුවාල වැස්ම (scaffold) සහ දිය­රය නිෂ්පා­ද­නය කළේ ඉන්දි­යාවේ වර­ණාසි විශ්ව­වි­ද්‍යා­ල­යේම තාක්ෂණ ආය­ත­න­යයි (IIT). එහි සිටින මහා­චාර්ය ප්‍රලේ මයිති ඊට උප­දේ­ශ­ක­ත්වය සපයා තිබිණි. සෛල විද්‍යා­ත්මක ආකා­ර­යට ඇගේ පර්යේ­ෂ­ණ­යට සහය වූයේ ව්‍යාධි­වේද අංශයේ මහා­චාර්ය මොහාන් කුමාර් ය.

ඈ සිදු කළ මේ පර්යේ­ෂ­ණයේ පේටන්ට් අයි­තිය තිබෙන්නේ ඉන්දි­යාවේ වර­ණාසි විශ්ව­වි­ද්‍යා­ල­යට ය. ඈ සොයා ගත් නව නිපැ­යුමේ ඇගේ නම තිබු­ණද එය ඇයට අයිති නැත. මෙම පර්යේ­ෂ­ණය ලංකාවේ තිබෙන ශාක පොතු යොදා ගනි­මින් තව­දු­ර­ටත් වැඩි­දි­යුණු කර ලංකාවේ ජන­තා­වගේ ප්‍රයෝ­ජ­නය සඳහා යොදා ගැනී­මට ඈ මේ දින­වල වෙහෙස වන්නේ එබැ­විනි.

Comments