කැලණි මිටි­යා­වත පාතා­ල­යක් කළ අප­රා­ධ­කා­රයෝ | සිළුමිණ

කැලණි මිටි­යා­වත පාතා­ල­යක් කළ අප­රා­ධ­කා­රයෝ

ඩු­වෙල වසන්ත සහ කරාටේ ධම්මි­ක­ගෙන් පසු කඩු­වෙල කේන්ද්‍ර කර­ග­නි­මින් කැලණි මිටි­යා­වතේ භීෂ­ණය වැපිරූ ප්‍රධාන පාතාල කල්ලි නාය­ක­යෙකු වූයේ අරුණ උදය ශාන්ත පති­රණ හෙවත් සම­යංය. සමයං පාතා­ල­යට හඳුන්වා දෙන්නේ කඩු­වෙල රණාල පැත්ත හොල්ලා­ගෙන සිටි බටේ­පොළ නිශා­න්ත­ගෙනි. නේවි රුවන්, ගොත අසංක, වැලි­විට සුද්දා යැයි නම් කියැ­වෙන පාතා­ලයේ අප­රා­ධ­ක­රු­වන් රැසක්ම එකල සිටියේ බටේ­පොළ නිශාන්ත වටාය.

බටේ­පොළ නිශා­න්තට කිට්ටු වන විට සමයං පාසල් යන වයසේ ශිෂ්‍ය­යෙකි. බෝමි­රිය මධ්‍ය මහා විද්‍යා­ල­යෙන් සාමාන්‍ය පෙළ විභා­ග­යට මුහුණ දුන් ඔහු උසස් පෙළට සුදු­සු­කම් ලබන්නේ විශිෂ්ට සම්මාන තුනක් සහ සාමාන්‍ය සම්මාන හත­රක් සහි­ත­වය. උසස් පෙළට මුහුණ දෙනවා වෙනු­වට ඔහු වැටෙන්නේ වළ­ප­ල්ල­ටය.

සම­යංගේ නම ඉදි­රියේ පළමු අප­රා­ධය ලියැ­වෙන්නේ 2007 වස­රේ­දීය. ඒ වැලි­පි­ල්ලෑවේ සංජීව නැමැ­ත්තාට වෙඩි තබා ඝාත­න­යට තැත් කිරී­මක් ගැනය. සමයං සංජී­වට වෙඩි තබන්නේ බටේ­පොළ නිශා­න්තගේ කොන්ත්‍රා­ත්තු­ව­ක­ටය.

බටේ­පොළ නිශාන්ත සුදු වෑන් කල්ලිය විසින් පැහැ­ර­ගෙන ගොස් අතු­රු­දන් කර­න්නේද එම වක­වා­නු­වේ­දීය. ඒ වන විට සමයං සිටින්නේ වැලි­කඩ බන්ධ­නා­ගා­ර­යේය. ඒ කාලයේ කඩු­වෙල පාතා­ලයේ හැසි­රවූ කරාටේ ධම්මි­කගේ දකුණු අත බඳු මෝල් අසං­කව බන්ධ­නා­ගා­ර­යේදී දැන­හ­ඳු­නා­ගැ­නී­මට සම­යංට අව­ස්ථාව උදා විය. 2008 වස­රේදී රට වටේම අප­රා­ධ­ක­රු­වන් රැසක් සමඟ සම්බ­න්ධ­කම් ගොඩ නගා­ගෙන සමයං එළි­යට එන විට බටේ­පොළ නිශා­න්තගේ තැන සිටයේ ඔහු­ගේම ගෝල­යෙකු වන බටේ­පොළ චරාය. එළි­යට පැමිණි සමයං තම­න්ගේම කල්ලි­යක් ගොඩ නඟා­ගෙන චරාගේ තැන ගැනී­මට සැල­සුම් කළත් එත­රම් පහසු කට­යු­ත්ත­තක් නොවිණි.

මෝල් අසං­ක­ගෙන් පාතාල කොන්ත්‍රා­ත්තු­වක් සම­යංට ලැබෙන්නේ මේ අත­ර­තු­ර­දීය. ඒ කොළඹ කෙසෙ­ල්වත්තේ කිත්සිරි රාජ­පක්ෂ ඝාත­නය කර­න්න­ටය. එම ඝාතන කොන්ත්‍රා­ත්තුව මෝල් අසං­කට ලැබෙන්නේ කෙසෙ­ල්වත්ත හොල්ලා­ගෙන සිටි පාතා­ලයේ ප්‍රබ­ල­යෙකු වන දිනු­ක­ගෙනි. ඒ සිය පියාගේ ඝාත­න­යට පළි ගන්න­ටය. දිනු­කගේ පියා නීල්ය. දේශ­පා­ලන හයි­යෙන් 90 දශ­කයේ මුළු කෙසෙ­ල්ව­ත්තම හොල්ලා­ගෙන සිටි නීල් ඝාත­නය වන විට දිනුක සිටියේ දකුණේ ප්‍රසිද්ධ පාස­ලක අධ්‍යා­ප­නය ලබ­මිනි. උසස් අධ්‍යා­ප­න­යක් ලබා විශ්ව­වි­ද්‍යා­ල­යට යෑමේ හැකි­යා­වක් තිබුණු දිනුක ඒ සියල්ල අත­හැර ගිනි අවිය අත­ට­ග­ත්තේය. කෙසෙ­ල්වත්තේ දිනුක දැන් සිටින්නේ සිය බිරිය සහ දරු­වන් සමඟ ඩුබායි හී ය.

කිත්සිරි රාජ­පක්ෂ 2011 වසරේ ජන­වාරි 15 වැනිදා සමයං විසින් වෙඩි තබා ඝාත­නය කරන්නේ ලක්ෂ පහක කොන්ත්‍රා­ත්තු­ව­ක­ටය. එදා සමයං සමඟ ඔහුගේ ගෝල­යෙකු වූ රණාලේ චමින්ද ද එම ඝාත­න­යට එක් විය. එම ඝාත­නය සම්බ­න්ධ­යෙන් පොලි­සි­යට කොටු වූ ඔවුන් දෙදෙ­නාට කාල­යක්ම බන්ධ­නා­ගා­රයේ තපි­න්නට සිදු විය. ඒ කාල­යේදී කරාටේ ධම්මික හා මෝල් අසංක සුදු වෑන් කල්ලි­යක් විසින් අතු­රු­දන් කරනු ලැබූහ. කරාටේ ධම්මි­කගේ අතු­රු­ද­න්වී­මත් සමඟ ඒ තැන ගත්තේ බටේ­පොළ චරාය.

කඩු­වෙල පැත්තේ බහු ජාතික සමා­ගම් ඇතුළු හතර වටේ ව්‍යාපා­රි­ක­ය­න්ගෙන් කප්පම් ගනි­මින් චරා ඔළුව උස්සන විට සමයං සැල­සුම් කරන්නේ ඒ තැන ගන්න­ටය. ඒ අව­ස්ථාව සම­යංට උදා වන්නේ 2014 වස­රේ­දීය. හිරේ සිටි සමයං කඩු­වෙල පැත්තේ බණ ගෙද­ර­කදී චරාව ලක්ෂ 25 කොන්ත්‍රා­ත්තු­ව­කට වෙඩි තබා මරා දැමු­වේය.

සමයං මුළු කඩු­වෙ­ලම බලය ඇල්ලු­වේය. දැවැන්ත සමා­ග­ම්ව­ලින් පම­ණක් නොව, කඩු­වෙල පැත්තේ බුලත් විට කඩෙන් පවා ඔහු ගෝල­යන් යොදා කප්පම් ගත්තේය. සම­යංගේ කප්පම් ආදා­යම මිලි­යන ගණ­නින් ඉහළ ගියේය. එහෙත් චරාව මරා දැමීම වෙනු­වෙන් ගෙවිය යුතු කොන්ත්‍රාත් මුදල ගෙවීම පැහැර හැරි­යේය. ඔහු කළේ චරාව මරා දැමීමේ කොන්ත්‍රා­ත්තුව ඔහු විසින් ලබා­දුන් දකුණේ පාතාල අප­රා­ධ­ක­රු­වෙකු වූ හර්ෂ යසස්ව ඝාත­නය කිරී­මට සැල­සුම් කිරී­මය.

දේශ­පා­ලන සම්බ­න්ධ­කම් සහි­තව සිය පාතාල බලය අංගොඩ සහ අතු­රු­ගි­රිය දක්වා ව්‍යාප්ත කර­න්නට අන­තු­රුව සමයං කට­යුතු කළේය. ඒ වන විට අංගොඩ පැත්තේ දී අංගොඩ ලොක්කාත්, අතු­රු­ගි­රිය පැත්තේ බාල්දි ප්‍රියන්ත සහ ලඩියා ඇතුළු කණ්ඩා­ය­මත් බලය පතු­රු­වා­ගෙන සිටි­යේය. ඔවුහු හර්ෂ යසස් සම­ඟින්ද සම්බ­න්ධ­කම් පැවැ­ත්වූහ. ඒ මාක­ඳුරේ මධුෂ් මඟිනි. හර්ෂ යසස් මාක­ඳුරේ මධුෂ්ගේ දකුණු අත බඳුය.

ඒ සියලු දෙනාම එක් වී කඩු­වෙල අධි­ක­රණ භූමි­යේදී සම­යංට වෙඩි තබා මරා දම­න්නට සැල­සුම් කළහ. ඒ 2015 වසරේ සැත්තැ­ම්බර් 23 වැනි­දාය. එදින ඔහුව ඉලක්ක කර­ගෙන වෙඩි ප්‍රහා­ර­යක් එල්ල වුවද සම­යංට අන­තු­රක් වූයේ නැත. වෙඩි ප්‍රහා­රය එල්ල වන විට සමයං සමඟ චමින්ද හෙවත් චමි­යාද තව අයෙක් ද සිටි­යහ.

කෙසෙ­ල්ව­ත්තේදී කිත්සිරි රාජ­ප­ක්ෂට වෙඩි තබ­න්නට සම­යංට එක් වූයේ චමි­යාය. සමයං හා සිටි අනෙකා මාඹු­ලගේ දිනිත් මෙලාන් මාඹුල හෙවත් ඌරු ජුවාය. ඔහුට ඌරු ජුවා යැයි කියන්නේ සුළු දේටත් අධික ලෙස තරහා යන බැවිනි. ඌරු ජුවා යන නම ඔහුට පට­බැ­ඳෙන්නේ පාසල් සම­යේ­දීය. ඌරු ජුවා ඒ වන විට බන්ධ­නා­ග­රයේ සිටියේ 2015 වසරේ මැයි 06 වැනිදා නව­ග­මුවේ හෝට­ල­යක් තුළ වූ ඝාත­න­ය­ක­ටය. එදින ඌරු­ජුවා ඇතුළු පිරිස කපා කොටා මරා දමන්නේ දිනේෂ් චාමර නැමැ­ත්තෙකි. චාම­රගේ සහෝ­ද­රයා මිථි­ලය. සහෝ­ද­රයා මරා දැමූ­ව­න්ගෙන් පළි­ග­න්නට සිටි මිථිල කඩු­වෙල උසා­වි­යේදී එල්ල කෙරුණු මේ ප්‍රහා­රය පිටු­ප­සද සිටින බව සමයං හා ඌරු ජුවා විශ්වාස කළහ. වැඩි කල් යන්නට මත්තෙන් මිථිල දෙල්ගොඩ පැත්තේදී ඝාත­නය විය.

කඩු­වෙල උසා­වියේ වෙඩි­ල්ලේට සමයං ප්‍රති උත්තර දෙන්නේ හර්ෂ යසස්ව රාජ­ගි­රිය ඕබේ­සේ­ක­ර­පු­රදී මරා දම­මිනි. වර්ෂ 2016 මාර්තු 03 වැනිදා හර්ෂ මරා දමන්නේ සිය පෙම්ව­තිය හමු­වී­මට පැමිණි අව­ස්ථා­වේ­දීය.

හර්ෂගේ ඝාත­න­යත් සමඟ සම­යංගේ පාතාල හයි­යද වර්ධ­නය විය. හිරේ සිටි ඔහුට ඒ සම­ඟම ලක්ෂ පහක තවත් ඝාතන කොන්ත්‍රා­ත්තු­වක් ඩුබායි සිට ලැබෙයි. කොන්ත්‍රා­ත්තුව ලැබෙන්නේ කොහු­වල පැත්තේ මෝටර් රථ අලෙවි ස්ථාන­යක් පව­ත්වා­ගෙන යන පුද්ග­ල­යෙකු මඟිනි. ඉල­ක්කය අංකු­ඹුරේ පදිංචි මොහො­මඩ් රූෆි නමැති තරු­ණ­යෙකි. එම තරු­ණයා මරා දැමී­මට කොන්ත්‍රා­ත්තුව දෙන්නේ ප්‍රකෝ­ටි­ප­ති­යෙකි. ඒ සිය බිරිය සමඟ මුහුණු පොතෙන් එම තරු­ණයා ඇති කර­ගත් සම්බ­න්ධ­යක් හේතු­වෙනි. එම ප්‍රකෝ­ටි­ප­ති­යාගේ බිරි­යත් ඒ වන විට සිටියේ ඩුබා­යි­හීය.

එම ව්‍යාපා­රි­කයා ලංකාවේ අංක එකේ මත්කුඩු ජාවා­ර­ම්ක­රු­වෙකු වන මොහො­මඩ් මුබා­රක් මොහො­මඩ් මුජ­හිඩ්ය. කලා­වට අත­හිත දෙන බව පෙන්වා චිත්‍ර­පට නිෂ්පා­ද­නය කර­මින්, පසු­ගිය ආණ්ඩුවේ දේශ­පා­ල­ක­යන් හා රටේ ඉහ­ළම ප්‍රභූ­ව­රුන් ඇසුරු කර­මින්, මහ පරි­මා­ණයේ ව්‍යාප­රි­ක­යෙකු ලෙස හැසි­රුණු ඔහුට මල­යා­සි­යානු පුර­වැ­සි­භා­ව­යද එරට රජ­යෙන් ලැබෙන ඉහ­ලම ගෞරව සම්මා­නය වන දතෝ නාම­යද ලැබී තිබිණි.

සිලෝන් ටී නමින් තේ පැක­ට්වල බහා අන්ත­ර්ජා­තික කුඩු ජාවා­ර­මක නිරත වූ මේ ජාවා­ර­ම්ක­රු­වාගේ ජාවා­රම ගැන ඇම­රි­කානු මත්ද්‍රව්‍ය නිවා­රණ ඒජ­න්සිය විසින් පොලිස් මත්ද්‍රව්‍ය නිවා­රණ අංශ­යට ලබා­දුන් තොර­තු­රක් අනුව කන්ද උඩ­රට පැත්තේදී කොටු කර­ගනු ලැබීය. සිලෝන් ටී නමින් රට පට­වන්න සූදා­නම් කර­මින් තිබුණු හෙරො­යින් තොග­යක් තේ ඇසු­රුම් සමඟ කන්ද උඩ­රට පැත්තෙන් අල්ලා­ගන්නා විට මුජ­හිඩ් සිටියේ මල­යා­සි­යා­වේය. ජාත්‍ය­න්තර පොලි­සිය මගින් ඔහුට එරෙ­හිව රතු වරෙ­න්තු­වක් නිකුත් කරන විට ඔහු ඩුබායි පැන්නේය. ඔහු මේ වන විටත් ඩුබායි සිට මත්කුඩු ජාවා­ර­මේය.

මුජ­හිඩ්ගේ කොන්ත්‍රා­ත්තුව ගෙන අංකු­ඹුරේ තරු­ණයා ඝාත­නය කර­න්නට සමයං යොද­වන්නේ ඔහුගේ සමී­ප­තම ගෝල­යෙකු වන ඉඳු­නිල් වජිර කුමාර හෙවත් ඉන්ද්‍රා­වය. ඉන්ද්‍රා හමු­දා­වෙන් පැන ආ අයෙකි. ඔහු 2016 නොවැ­ම්බර් 20 දා අංකු­ඹුරේ බැබි­ලි­ගොල්ල දේව­ස්ථා­නය ඉදි­රි­පි­ටදී එම තරු­ණයා වෙඩි තබා මරා­ද­මයි.

සම­යංගේ පාතා­ලයේ හයිය දිනෙන් දින වැවත්ම ඔහු සිය ගෝල­යන් යොදා ඉවක් බවක් නැතිව මිනිස් ඝාතන කර­මින් පාතා­ලයේ බලය පතු­රු­ව­න්නට විය. ඒ වන විට අංගොඩ පැත්තේ බලය අල්ලා­ගෙන සිටි අංගොඩ ලොක්කාය. ඔහුට එරෙ­හිව සමයං පළමු වෙඩිල්ල පත්තු කරන්නේ රත්ත­රන් නැමැ­ත්තාව අංගොඩ කැල­ණි­මු­ල්ලේදී ඝාත­නය කර­මිනි. ඒ 2017 වසරේ ජන­වාරි 05 වැනි­දාය. එම ඝාත­න­යට සමයං යොද­වන්නේ ගොත අසං­කය.

හිටපු හමුදා සෙබ­ළෙකු වන ගොත අසංක ඒ වන විට එල්.ටී.ටී.ඊ.යේ හිටපු සාමා­ජින් කිහිප දෙනෙකු සමඟ මත්කුඩු ජාවා­ර­ම­ටද සම්බ­න්ධව සිටි­යේය. ගොත අසංක රත්ත­රන් ඝාත­නය කර­වන්නේ එල්.ටී.ටී.ඊ.යේ වෙඩි­ක්ක­රු­වෙකු යොදා­ගෙ­නය. එම වෙඩි­ක්කරු මේ වන විට සිටින්නේ කොළඹ අප­රාධ කොට්ඨාස භාර­යේය.

ඒ වන­විට අතු­රු­ගි­රියේ පාතාල බලය තිබුණේ ලඩියා සහ බණ්ඩා අතය. ඒ දෙන්නා­ටම ඉහ­ළින් සිටි බාල්දි ප්‍රියන්ත ඒ වන විට සිටියේ රට අත­හැර ගොස්ය. ලඩියා හා බණ්ඩා ඝාත­නය කිරී­මට සැල­සුම් කරන සමයං ඒ කට­යු­ත්තත් පව­රන්නේ ගොත අසං­ක­ටය. සමයං කල්ලිය බණ්ඩාව ඝාත­නය කරන්නේ අතු­රු­ගි­රියේ පිහිටි රූප­ලා­ව­ණ්‍යා­ගා­ර­යක් තුළ­දීය. ඒ 2017 ජන­වාරි 17 වෙනි­දාය.

සම­යංගේ ඉර­ණම කළු­ත­රදී බන්ධ­නා­ගාර බස් රථ­යක් තුළදී ඉක්ම­නින්ම විස­දෙ­න්නට මුල් වන්නේ බණ්ඩාගේ ඝාත­න­යයි. අංගොඩ ලොක්කා, ලඩියා මෙන්ම ඩුබායි සිටි මාක­ඳුරේ මධුෂ්ද සම­යංගේ කතාව අව­සන් කිරී­මට එක්ව සිටි­යහ. පාතා­ලයේ කමාන්ඩෝ මෙහෙ­යු­ම­කින් 2017 පෙබ­ර­වාරි 27 වැනිදා සමයං පම­ණක් නොව, සම­යංගේ ගෝල­බා­ල­යන් පස් දෙනෙ­කු­ගේම කෙරුම් නිමා­වට පත් විය. බන්ධ­නා­ගාර නිල­ධාරී දෙප­ළක් ද ඒ ඝාත­කයෝ සිය ගොදුරු කර­ගත්හ.

Comments