තම අතෙන් අතක් හදා ඒ අතෙන් තාත්තාට අත­දුන් ‘අත නැති ගෙදර’ ලොකු පුතා | සිළුමිණ

තම අතෙන් අතක් හදා ඒ අතෙන් තාත්තාට අත­දුන් ‘අත නැති ගෙදර’ ලොකු පුතා

 

 

මුල­තිව් දිස්ත්‍රි­ක්කයේ මල්ලාවී ගම්මා­නයේ කන­ප­ති­පිල්ලේ පද්ම­නා­දන්ගේ පවුලේ දූද­රු­වන් හතර දෙනෙකි. මහා යුද සම­යේදී පවා පද්ම­නා­දන්ගේ ජීවන වෘත්තිය වූයේ ටැක්ටර් රස්සා­වයි. ඔහු කළ මේ රස්සාව ඔහු­ගේම ටැක්ට­ර­යෙන් කළ නිසා පවුලේ දූද­රු­වන් හතර දෙනා­ටත් පද්ම­නා­දන්ගේ ඇඹෙ­ණිය හා පද්ම­නා­ද­න්ටත් මාසි­කව ලබෙන මුදල ඔවුන්ට ජීවත් වීමට හොඳ හැටි ප්‍රමා­ණ­වත් විය.

 

මහා යුද සමයේ අව­සන් කාල­යේදී පද්ම­නා­දන් සිය ටැක්ට­ර­යත් රැගෙන මුල­තිව් මුල්ලි­ව­යි­ක්කල් ප්‍රදේ­ශයේ කුඹුරු යාය වෙත ගියේ ඔහුගේ සුපු­රුදු රැකි­යාව සඳ­හාය. එදින ඔහුට පව­රුණේ කුඹුරු අක්කර හත­රක කොළ පාගා බැත පෑහීම සිදු කොට කුඹුර අයි­ති­ක­රු­වාගේ වී ටික නිව­සට ගෙන ගොස් දීම­ටය. කුඩා වැහි පොදක් එන්නට අහස ගුගු­රන නිසා පද්ම­නා­දන් අහස දෙස බල­මින් ලහියේ බැත පාහි­න්නට වූයේ බැත කන්ද වර්ෂා­වට හසු වුව­හොත් ඒ වෙනු­වෙන් කන්නට වෙන පරි­ප්පුව කන්නට වෙන්නේද ඔහු­ටම නිසාය.

'' මම ඉක්ම­නින් ඉක්ම­නින් කුල්ලට ගත් බැත ටැක්ට­රේට හයි කරලා තියන හුළං පෙත්තට අල්ලලා බැත ගොඩ සුද්ද කරන්න වුණා. අහස ගොර­ව­නවා. වැස්ස වහියි කියන බයට මම අහස දිහා බලා­ගෙන එහෙම කළා.

මම දන්නෙම නැතුව එක පාර­ටම මගේ සරම පැට­ලිලා හුළං පෙත්තට ගියා. සරම ගන්න කියලා හද­න­කො­ටම හුළං පෙත්තට ගියේ මගේ දකුණු අතයි. එක පාර­ටම කඩු­ව­කින් කෙටුවා වගේ මට දැනුණා. මම ''අම්මෝ ... '' කියලා කෑගැ­හුවා. වටේ කුඹු­රු­වල හිටපු කට්ටි­යයි මම වැඩට ගිය කුඹුරේ කට්ටි­යයි එකතු වෙලා ට්‍රැක්ටරේ එන්ජිම නව­ත්වලා හුළං පෙත්ත ගල­වලා මාව ඒ ට්‍රැක්ට­රෙන්ම මල්ලාවී ඉස්පි­රි­තා­ලෙට අරන් ගියා.

මගේ අත මගේම සර­මෙන් ඔතා­ගෙන තමයි ගියේ. හැබැයි අත වෙන් වෙලා තිබ්බේ නැහැ. ඒත් ඇට­ක­ටුව කැඩිලා අත හෙල­වෙන දත වගේ කියලා කට්ටිය කිව්වා. මට ඒ මොන­වත් දැනුණේ නැහැ. ටික වේලා­ව­කින් මගේ අත හිරි වැටුණා. මල්ලාවී ඉස්පි­රි­තා­ලෙන් මාව ඉක්ම­න­ටම මුල­තිව් ඉස්පි­රි­තා­ලෙට ගෙනිච්චා. ඒ කාලේ මහා යුද්ධයේ අව­සන් කාලය වෙලා තිබුණේ. ඉස්පි­රි­තාලේ දොස්තර මහ­ත්තු­රුන්ට මගේ අත කපලා බේත් දානවා ඇරෙන්න වෙන කරන්න දෙයක් තිබුණේ නැහැ. මම මාස එක­හ­මා­රක්ම ඉස්පි­රි­තාලේ හිටියා. අතේ තුවාලේ සනීප වුණාට පස්සේ තමයි මම ගෙදර ආවේ. මගේ මස්සිනා ටැක්ට­රය අරන් ගිහින් ඒ රස්සාව කරලා අපේ පවු­ල­ටත් ජිවත් වෙන්න කීයක් හරි දුන්නා. ඒක නිසා ජීවත් වෙන එක ඒ තරම්ම ලොකූ ප්‍රශ්න­යක් වුණේ නැහැ.

මේ අවු­රුදු දහ­යම ඔය විදි­හට ගෙවිලා ගියා. මම අතක් නැති මිනි­හෙක් විදි­හට ජීවත් වුණා. අත නැති කෙනාගේ ගෙදර අය කියලා තමයි ගමේ අය අපේ පවුලේ අය හඳු­න්වලා දුන්නේ. ඉස්කෝලේ ගිය මගේ පුතා­ටත් අපිව දන්න අය කිව්වේ අත නැති පද්ම­නා­දන්ගේ පුතා කිය­ලයි. ඒක මට මගේ අත නැති වුණාට වඩා ලොකු වේද­නා­වක් වුණා. ඒත් මොනවා කර­න්නද මේ අපේ දෛවය තමයි කියලා හිත හදා­ගත්තා.

පුතා විශ්ව­වි­ද්‍යා­ල­ය­ටත් තේරුණා. ඒක අපේ පවු­ලට ලොකූ සතු­ටක් හයි­යක් වුණාට මම හිත යටින් ඒකට ගොඩාක් දුක් වුණා. මොකද විශ්ව­වි­ද්‍යා­ලය කියන තැන ඉන්න ළමයි ඔයිට වඩා මගේ ළම­යට මගේ අත නැති එක ගැන කියලා සම­ච්චල් කරයි කියන බය මගේ හිතට ආවා. ඒ දුක මගේ හිතේ තිබුණා. පුතා ගෙදර ඇවිත් විශ්ව­වි­ද්‍යාලේ ගැන කියන තොර­තුරු මම හොඳින් අහ­ගෙන හිටියා.

'' මම තාත්තට කොහොම හරි බොරු අතක් නෙමෙයි වැඩ කරන්න පුළු­වන් අතක් අරන් දෙනවා කියලා''

මම හිතුවා පුතා ඉගෙ­න­ගෙන ඉවර වෙලා කවදා හරි රස්සා­වක් කරලා සල්ලි එකතු කරලා මට අතක් අරන් දෙන්නයි මේ හදන්නේ කියලා. දව­සක් පුතත් එක්ක තවත් ළමයි දෙන්නෙක් ආවා. ඒ අය මගේ අත මැන්නා. ෆොටෝ ගැහුවා. මට අත නවන්න බැහැනේ. ඒ අයම ඒක එහාට මෙහාට කරන ගමන් කාඩ් බෝඩ් කොළ වග­යක් අත වටේ එතුවා. නිකන් පුනී­ල­යක් වගේ එකක් කාඩ්බෝ­ඩ්ව­ලින් හදලා අරන් ගියා.

ඒ අය නිත­රම ගෙද­රට එන්න ගත්තා. ඒ එන හැම දින­කම කාඩ්බෝ­ඩ්ව­ලින් අත වටේ ඔතලා අර පුනීලේ වගේ එක අර­ගෙන යනවා. ඔහොම ගිහින් කාලෙ­කට පස්සේ කාඩ්බෝඩ් පෙට්ටි­යක දාගෙන ඒ ළමයි අතක් අරන් ආවා. අතක් කියලා කිව්වට ඒක අතක් කියලා කිය­න්නත් බැහැ. යකඩ සහ රබර් ගොඩාක් තිබෙන සැකිලි අතක්. කොහොම හරි පුතයි යාළු­වන් දෙන්නයි එකතු වෙලා මට අත හයි කළා. ඊට පස්සේ අතෙන් වැඩ කරන්න කිව්වා. මොන වැඩද? ඒක උස්ස ගන්න­වත් බෑ.

ඉතින් මම අනෙක් වම් අතින් හදපු අත අල්ල­ගෙන එහාට මෙහාට කරන්න පටන් ගත්තේ. දව­සක් විතර ගියාම මට ඒකේ ලොකූ බරක් දැනුණේ නෑ. දැන් නම් ගානක් නෑ. නියම අත වගේ නොවු­ණට මේ අතින් මොනව මොනවා හරි මට කර­ගන්න පුළු­වනි. ඉස්ස­ර­හට යන­කොට මේ අත මට හුරු­වෙයි. එත­කොට ඕනෙම වැඩක් මට කරන්න පුළු­වන් වෙනවා කියලා පුතයි අර ළමයි දෙන්නයි කිව්වා. මට අත හයි කරලා අර ආව ළමයි මගේ ගෙද­රින් බිස්කට් කාලා තේ බීලා කතා කරන ගමන් කිව්වේ මේ අත හැදුවේ පුතා තමයි කියලා. මට ඒ වේලාවෙ ඉකි ගැහිලා ඇඬුණා. මම රෑ තිස්සේ­මත් ඇඬුවා. බිරිඳ ළඟ ඉඳන් මට කිව්වේ සතුටු වෙන්න පුතා කොච්චර දෙයක්ද කළේ කියලා.

ඉතින් මට හිතුණා මගේ පුතා මට කොහොම හරි වැඩ කරන අතක් අරන් දෙනවා කියලා කිව්වේ මේ නිසාම තමයි කියලා. පළමු වැනි කාර­ණය තමයි මේ අත මගේම පුතාගේ අතින් හදපු එක. අනෙක් කාරණේ තමයි ආයෙ අපේ පවුලේ අයව හඳු­න්වන්න කවු­රු­වත් මීට පස්සේ අතක් නැති පද්ම­නා­දන්ගේ ගෙදර.....ඒ අත නැති පද්ම­නා­දන්ගේ ළමයි කියලා කියන්නේ නැති වෙයි. වැඩ කරන්න පුළු­වන් අතක් හදපු මුල­තිව් එකම එක කොල්ලගේ ගෙදර කියලා දැන් හැමෝම කියයි. මේක අපි සේර­ටම ලොකූ ආඩ­ම්බ­ර­යක්.''

පද්ම­නා­දන්ගේ අත අහිමි වන විට ඔහුගේ පුතා වූ පද්ම­නා­දන් දුෂ්‍ය­න්තන් ළාබාල වියේ පසු­වූ­යේය. සිය පියා අත නැති වීමෙන් පීඩා විඳින ආකා­රය දකි­මින් ලොකු මහත් වූ මේ තරු­ණයා තව­මත් මොර­ටුව විශ්ව­වි­ද්‍යා­ල­යට අනු­බ­ද්ධව උපා­ධිය හදා­ර­මින් සිටියි.

'' අපේ තාත්තගේ අත නැති වුණු දවසේ ඉඳලා අම්මා තාත්තාට අතක් හොයලා දෙන්න පුදුම දුකක් වින්ඳේ. අත නැතුව තාත්තා එක එක දේවල් කරන කොට ඒවා තාත්තා කර­ගන්න බැරුව දඟ­ලලා අස­රණ වෙන කොට අපේ අම්මා කළේ තාත්තට නොපෙ­නෙන්න අඬපු එකයි. මාව තුරුල් කරන් අම්මා අඬපු වාර ගාන අන­න්තයි.

මම එදා හිතා­ගත්තා කවදා හෝ කොහොම හරි අම්මයි තාත්ත­වයි දෙන්නම හින­ස්ස­ව­නවා කියලා. මගේ අතින් අතක් හදලා ඒ අත තාත්තට දීලා අපේ පවු­ල­ටම ආයෙත් සතුට ගේන්න මට පුළු­වන් වෙයි කියලා හිතපු හීනය මං සැබෑ කර ගත්තා.

විශ්ව­වි­ද්‍යා­ලෙට ආවට පස්සේ මම නිත­රම මේ කෘතිම අව­යව හදන අයව හෙව්වා. නිකන් බොරු ඒවා නෙමෙයි, යම් වැඩක් කරන්න පුළු­වන් අව­යව හදන තැන්. මෙහෙම යන කොට මට හම්බ වුණා මේ කෘත්‍රිම අව­යව හදන රාජ්‍ය නොවන සංවි­ධා­න­යක්.

මගේ යාළු­වන් දෙන්නෙ­කුත් මට උදව් කළා. ඒ අයගේ උද­ව්වත් අර­ගෙන සංවි­ධානේ අයගේ මඟ පෙන්වීම යටතේ මට පුළු­වන් වුණා සාමා­න්‍ය­යෙන් දකින්න පුළු­වන් බොරු අතක් නෙමෙයි, මොනව හරි දෙයක් කර­ගන්න පුළු­වන් විදිහේ අර්ධ ස්ව‍යංක්‍රීය අතක් නිර්මා­ණය කරන්න. ඒක සාර්ථක වුණා.

Comments