දයාලූ ජීව­ක­යාණෝ : මෙහෙසුරු කාලෝ ෆොන්සේකා පිළි­බඳ මතක සට­හන් | සිළුමිණ

දයාලූ ජීව­ක­යාණෝ : මෙහෙසුරු කාලෝ ෆොන්සේකා පිළි­බඳ මතක සට­හන්

 

“මා දිවිය මෙහෙ­යවූ සරල නමුත් අති­ශ­යින් ප්‍රබල වූ හැඟුම් ත්‍රිත්ව­යකි. එවා නම් සෙනෙ­හස පැතීම, දැනුම් පිපා­සය සහ මිනිස් වර්ගයා විඳින දුක ගැන ඇති වන නොඉ­ව­සිය හැකි කම්පා­වයි."

 

මෙහෙ­සුරු ෆොන්සේකා බර්ට්‍රන්ඩ් රසල්ගේ ස්වයං ලිඛිත චරි­තා­ප­දා­නයේ සමා­ර­ම්භක පරි­ච්චේ­දය කට­පා­ඩ­මින් පව­සයි. පසු­ගිය විසි­පස් වස පුරා ගෙදර ගිය හැම විටෙ­කම මෙහෙ­සුරු ෆොන්සේකා බැහැ­දැ­කී­මට යෑමට වරම් ලදිමි. තාත්තා මා ලොව විරු­වා­ණන් වූ සේම, ඔහුගේ විරුවා වූයේ මෙහෙ­සුරු ෆොන්සේකා ය.

“මේකනේ ගාමිණී...' ඔහු සුමුදු, නොඉ­ක්මන් වද­නින් මුල­පු­රයි. “මේ හොරු ටික...' යනු­වෙන් ඔහු රටේ පව­තින තත්ත්වය ගැන කම්පා වෙයි. දේශ­පා­ල­න­යෙන් කවි­යට ද, වෛද්‍ය විද්‍යා­වෙන් සම්මා සති­යට ද සාක­ච්ඡාව සැරි­ස­රයි.

“පුතා, ඊළඟ වතාවේ එන විට මට ඩේවිඩ් මිලර්ගේ 'අ පොකට් පොපර්' කියන පොත ගේන්න"

ඔහුගේ ලියන මේසය මත පොත් රාශි­යක් පිළි­වෙ­ළට අසුරා තිබේ. වල්පොළ රාහුල හිමි­යන්ගේ 'වට් ද බුද්ධ ටෝට්', ටිම් මාෂල්ගේ 'ප්‍රිස්නර්ස් ඔෆ් ජෝග්රෆි', ජෝන් හැම්ප්ටන්ගේ 'ද ඊ සී ජී ඉන් ප්‍රෑක්ටිස්' සහ ‘හැම්ලට්’ මා හඳු­නා­ගත් ඉන් සම­හ­රකි. මේවා අසූ හය වැනි වියේදී එතුමා කිය­වන හෝ නැවත කිය­වන පොත් සමු­හ­යෙන් බිඳකි.

මගේ ක්ෂේත්‍රයේ නව­තම පර්යේ­ෂණ ගැන එතුමා විම­සයි. එම්.ආර්.අයි යන්ත්‍ර­යක් ක්‍රියා කරන අයුරු පිළි­බඳ කුතු­හ­ලය පායි. සෞඛ්‍ය සේවය කෙරෙහි කෘත්‍රිම බුද්ධි­යෙහි (artificial intelligence) බල­පෑම ගැන විප­රම් කරයි.

එතුමා මා පළමු වරට දුටුවේ මින් සිවු දශ­ක­ය­කට පෙර හම්බ­න්තොට කරා ගිය ගම­නක දී ය. තාත්තාත් ඔහුත් මගේ බාප්පා වන නැසී­ගිය ඩබ්ලිව් ජී. මිත්‍ර­රත්න මහතා සංවි­ධා­නය කළ දේශන මාලා­වක කථි­කයෝ වූහ. පවුල් දෙකම එක වෑන් රියක ගමන් කළ අතර එදා පටන් සමීප සබ­ඳ­ක­මක් අපි භුක්ති වින්ඳෙමු. එතු­මාගේ කාරු­ණික බවත් කුඩා දරු­ව­කුට පවා දක්වන සැල­කි­ල්ලත් මට අද මෙන් මතක ය.

පිටි­සර පෙදෙ­සක වෑන් රිය ක්‍රියා­වි­ර­හිත විය. වාස­නා­ව­කට මෙන් ගම්මු­ල­දෑනි තැන වෙන ගම­නක යන අත­ර­තුර මඳක් නැවතී අපට උදව් කිරී­මට ඉදි­රි­පත් විය. මෙහෙ­සුරු ෆොන්සේ­කාගේ නම ඇසූ පම­ණින් ඔහු හඳු­නා­ගත් හෙතෙම අප සැම තම නිව­සට කැඳවා වාහ­නය පිළි­යම් කරන තුරු අප­මණ ආග­න්තුක සත්කාර අප වෙත දැක්වීය. රූප­වා­හි­නි­ය­වත් ප්‍රච­ලිත නොවූ අසූව දශ­කයේ මුල් භාගයේ එතු­මාගේ නම පසල් දන­ව්වල පවා දනන් තුඩග රැව් දුන්නකි.

මා කුඩා කල සන්ධි රුදා­වෙන් පෙළ­ණෙමි. තාත්තා තමන් පෞද්ග­ලි­කව දන්නා එකම වෙදැ­දුරු වූ මෙහෙ­සුරු ෆොන්සේ­කාගේ පිහිට පැතීය. එතුමා මා පරීක්ෂා කර, අදාළ විශේ­ෂඥ වෙදැ­දු­රකු වෙත ලිපි­යක් ලියා, නිසි ප්‍රති­කාර ලබා­දී­මට සැලැ­ස්වීය.

අප මෙන් කිසිදු ප්‍රති­ලා­භ­යක් නොතකා එතු­මන් දුන් පිහිට ලද පිරිස දහස් ගණ­නකි. මගේ මවු­පි­යන් එතුමා කෙරෙහි දැක්වූ ආද­රය හා ගෞර­වය, මා අව­ස­නදී වෛද්‍ය වෘත්තිය තෝරා­ගැ­නී­මට උප­ද්වා­රි­කව හේතු වන්නට ඇත.

ක්‍රීඩා කරන අත­ර­තුර තුවාල ලද මම වරෙක රිජ්වේ ආර්යා රෝහ­ලට ඇතු­ළත් කරනු ලද්දෙමි. සම වයසේ දරු­වන්ට වඩා මඳක් උස වූ බැවින් මා නිදා සිටි ඇඳේ ගරාදි අත­රින් මගේ කකුල් ඉව­තට යොමු වී තිබිණි. එය මට අති­ශ­යින් වේද­නා­කාරී විය. මෙහෙ­සුරු පොන්සේකා මා බැලී­මට පැමිණි පසු වැඩි­හිටි රෝගීන්ට සරි­ලන ඇඳක් ගෙනෙන ලදී. මා ලද අන් ප්‍රති­කාර කිසි­වක් සිතෙහි නොරැ­ඳු­ණත්, එයින් මා ලද සහ­නය මට අද මෙන් මතක ය. ආපසු හැරී බලන විට ඉන් උගත හැකි වැද­ගත් පාඩ­මක් වෙයි.

ලද ප්‍රති­කාර අම­තක වුවත්, වෙද­දු­රන් තම­න්ගේගේ සිත් සතන් සැනසූ අයුරු නම් රෝගීන්ට අම­තක නොවේ.

වඩාත් දියුණු ප්‍රති­කාර බහුල අද යුගයේ වෛද්‍ය වෘත්තීය කෙරෙහි ජනතා ප්‍රසා­දය කෙමෙන් හීන වීම කන­ගා­ටු­දා­යක කරු­ණකි. තාක්ෂ­ණ­යෙන් දියු­ණු­වත්ම වෛද්‍ය ප්‍රති­කා­ර­වල අත්‍ය­වශ්‍ය අංග­යක් නැති වී යමින් පවතී. බොහෝ රෝගීන්ට අනුව මේ අත්‍ය­ව­ශ්‍යම අංගය නම් දයා­නු­ක­ම්පා­වයි. වෙද­දු­රන් විද්‍යා­ත්මක දැනුම සොයා යන ගමනේ දී මානව ශාස්ත්‍ර අත­පසු කිරීම මෙයට එක් හේතු­වකි. මෙහෙ­සුරු ෆොන්සේ­කාට අනුව අනෙක් හේතුව නම් වෙදැ­දු­රන් විසින් පරි­භෝ­ජ­න­වා­දය සහ හෙඩො­නි­ස්වා­දය වැල­ඳ­ගැ­නී­මයි. යථෝක්ත දහම් කිසිදා වැල­ඳ­නො­ගත් මෙහෙ­සුරු ෆොන්සේකා අද්‍ය­තන වෙද­දු­රන් හට පර­මා­ද­ර්ශ­යකි.

ඉකුත් දුරුතු මස බැහැ­දුටු විට අද මා සතු අග­නාම දෙයක් එතුමා මට තෑගි කළේ ය. එය ඉතා අලං­කාර සිතු­ව­මින් හැඩ­වුණු රුබ­යි­යාට් කවි පොතේ පිට­ප­තකි. එය එතු­මාට තෑගි කළ තැනැත්තා 'පරි­ණත ඛයි­යාම් සමඟ දොඩ­මලු වූ හොරා­වන් සිහි කරනු පිණි­සයි' යන්න එහි ඇතු­ළත පිටු­වක සට­හන් කර තිබිණි.

අප මෙන්ම එතුමා සමඟ පිළි­ස­ඳරේ යෙදී­මට වාස­නාව ලත් සුළු වේලාව හෝ සදා­නු­ස්ම­ර­ණීය ලෙස හැඟුණු පිරිස අති මහත් ය. එතු­මා­ගෙන් සමු­ගත් හැම වරෙ­කම අප නික්මුණේ සැබෑ ශ්‍රේෂ්ඨ­යකු දැකී­මෙන් ලත් පහන් හැඟු­මින් පිරුණු සිතැ­තිව ය.

එතු­මාට ජීවන සුවඳ දුන් පර්ල් ෆොන්සේකා මැති­නි­යත්, දිවිය අර්ථ­වත් කළ දිය­ණිය ඉඳු­නිල් හා පුතු සුරං­ගත් එතු­මාගේ හදෙහි රන්සු­මුගේ සදා රැඳු­ණෝය. එතුමා මෙන්ම නිහ­ත­මානී කරුණා ගුණ­යෙන් අනූන වූ ඔවුන් නිව­සට පැමි­ණෙන අප හැම විට පිළි­ගත්තේ උණු­සුම් සෙනෙ­හ­සිනි.

මින් හරි­ය­ටම සිය­ව­ස­කට පෙර ලොවින් සමු­ගත් ශ්‍රේෂ්ඨ වෙදැ­දු­රකු වූ විලි­යම් ඔස්ලර් මෙසේ ලිවී ය: "වෙද­කම වෙළ­ඳා­මක් නොව කලා­වකි; ව්‍යාපා­ර­යක් නොව වෘත්ති­යකි; හද­වත හා මොළය සමව වෙහෙ­සිය යුතු වෘත්ති­යකි." වෛද්‍ය විද්‍යා­ත්මක දැනුම මානව ශාස්ත්‍ර ඇසුරු කිරී­මෙන් පෝෂ­ණය කළ යුතු බව ඔහු විශ්වාස කළේය.

මෙහෙ­සුරු ෆොන්සේකා දයාලූ ජීව­ක­යා­ණන් වන්නේ මානව හිත­වාදී පැවැ­ත්මෙන් හා ස්වකීය නිර්මාණ මඟින් ඒ ඇසුරේ සුවඳ දසත විහි­දවූ බැවිනි.

මා එතුමා අව­සන් වරට දුටුවේ අපෙන් සමු­ගැ­නී­මට තෙස­ති­ය­කට පෙරය. ජාතික රෝහ­ලට ඇතු­ළත් කරනු ලැබ සිටි එතුමා මා පැමිණි මොහොතේ සුව නින්දේ පසුවී ය. මා ආපසු යෑමට සැර­සුණු විට තව මොහො­ත­කින් නැඟි­ටීවි යැයි එතුමා බාරව සිටි වෛද්‍ය­ව­රයා කාරු­ණි­කව පැව­සීය. ඒ කී සේම නොබෝ වේලා­ව­කින් අවදි වූ එතුමා සුපු­රුදු සින­හ­වෙන් මා ඇම­තීය. තාත්තාගේ සුව­දුක් විමසූ එතුමා මා සුමි­තුරු වෛද්‍ය දුමිඳ හඳ­පා­න්ගො­ඩගේ කෘති­යක දොරට වැඩු­මට සහ­භාගී වීමට නොහැකි වීම ගැන සමාව අයැද සිටියේ ය. මා සමු­ගැ­නී­මට සැර­සෙත්ම එතුමා "පුතා, ඊළඟ වතාවේ එන විට මට එරික් ටොපොල්ගේ 'ඩීප් මෙඩි­සින්' කියන පොත ගේන්න" යැයි පැව­සීය.

දිවි ඇති තෙක් තම සමා­ජ­වාදී පර­මා­ද­ර්ශ­යන් අත්නො­හළ එතුමා අව­සන් ගම­නේදී සිරුර ලෝහිත පැහැ කමි­ස­ය­කින් හොබ­වන ලෙසට ඉල්ලී­මක් කළේ ය. එතු­මාගේ අහි­ම­තය පරිදි අව­සන් කට­යුතු කෙරුණේ චාරිත්‍ර හෝ සැර­සි­ලි­ව­ලින් වියු­ක්තව ය. දිවිය සැරසූ සරල බවින් හා චාම් බවින් ම එතු­මන්ගේ අව­සන් ගමන ද ඔප නැඟිණි.

මෙහෙ­සුරු ෆොන්සේකා රසල්ගේ චරි­තා­ප­දා­නය සජ්ඣා­ය­නය කරයි.

“සෙනෙ­හස හා දැනුම අහස කරා මා එස­වීය. නමුදු අනු­ක­ම්පාව මා යළිත් පොළො­වට ඇද තැබී ය. වේද­නා­වෙන් කෑග­සන හඬ මා හද­වතේ දෝංකාර දෙයි. සාගි­න්නෙන් පෙළෙන ළද­රු­වන්, පීඩා­ක­රු­වන්ගේ වද හිංසා­වට ලක් වූවන්, තම දරු­වන්ට බරක් වූ අස­රණ වැඩි­හි­ටි­යන් සහ තනි­ක­මින් දුප්ප­ත්ක­මින් හා වේද­නා­වෙන් පිරුණු ලොව මිනිස් දිවිය කෙසේ විය යුතුද යන්නට සර­දම් කරයි. මේ නපුර සම­නය කර­නට පැතූ නමුත්, මට එය කළ නොහැකි බැවින් මම ද දුක් විඳිමි.

මේ නම් මා දිවි­යයි. එය ගෙවූ අයුරු මට වටනේ ය. යළිත් අව­ස්ථා­වක් ලදොත් එලෙ­සම ගෙවමි."

රසල්ට මෙන් ම මෙහෙ­සුරු කාලෝ ෆොන්සේකා හට ද මෙව­දන් නොගැ­ළපේ ද?

Comments