දානපතියෙක් ඉඩම් දුන්න අවට මිනිසුන් අතින් රැකෙන ලංකාවේ එකම අභය භූමිය | සිළුමිණ

දානපතියෙක් ඉඩම් දුන්න අවට මිනිසුන් අතින් රැකෙන ලංකාවේ එකම අභය භූමිය

 

මන්ට හිමි කෝටි ගණ­නක් වටිනා ඉඩ­මක් ගහ­කොළ, සතා සිවු­පාවා වෙනු­වෙන් වනා­න්ත­ර­යක් ලෙස වැවෙ­න්නට පරි­ත්‍යාග කළ පුද්ග­ල­යකු හා එය ප්‍රදේ­ශයේ තරුණ ජන­තාව ප්‍රජා සංර­ක්ෂිත අභය භූමි­යක් ලෙස සුරැ­කී­මෙන් පසු වන­ජීවී අභය භූමි­යක් බවට පත්කි­රීම පිළි­බ­ඳව විරල තොර­තු­රක් අපි අද අනා­ව­ර­ණය කරමු.

 

ඒ වනජීවී අභයභූමිය වනාහී කළු­තර දිස්ත්‍රි­ක්කයේ, හොරණ ප්‍රාදේ­ශීය ලේකම් කොට්ඨා­සයේ, ඔළ­බො­ඩුව උතුර ග්‍රාම­සේවා වසමේ, කොළඹ හා කළු­තර දිස්ත්‍රික් බෙදුම් රේඛාවේ පිහිටි කොඩි­ග­හ­කන්ද වන­පෙතයි. එය ජෛව විවි­ධ­ත්වය හා සොබා සුන්ද­ර­ත්ව­යෙන් පිරි­පුන් අපූර්ව ස්වාභා­වික සම්ප­තකි. මෙම වන­පෙත හා ඒ ආශ්‍රි­තව පැවති අක්කර 1000ක පමණ ඉඩම සොයිසා පර­පු­රට අයි­තිව පැව­තුනි. 1972 ඉඩම් ප්‍රති­සං­ස්ක­ර­ණ­යත් සමඟ සියල්ල වෙනස් විය. කෙසේ වෙතත් එව­කට වන­යෙන් වැසී තිබුණු මෙම භූමිය එම පර­පුරේ මී මුණු­පු­රෙකු වූ රොහාන් ද සොයිසා මහතා තම පෞද්ග­ලික ධනය යොදවා මිලට ගෙන ස්වභාව ධර්ම­යට පරි­ත්‍යාග කළේය. එහෙත් වන­පෙත සඳහා නිසි ආර­ක්ෂා­වක් නොවීය. මුළු වන­පෙත ආර­ම්භයේ අක්කර 40ක පමණ ප්‍රදේ­ශ­යක් පුරා පැතිර තිබුණි. මෙහි ඉහ­ළම අක්කර 03ක කොටස රජයේ මිනි­දෝරු දෙපා­ර්ත­මේ­න්තුවේ ත්‍රිකෝ­ණ­මි­තික ස්ථාන­යකි. දැනට වන­පෙත අක්කර 35ක පමණ භූමි­යක පැතිර පවතී.

1986 වක­වා­ණුවේ සරත් කොට­ගම මහ­තාගේ මූලි­ක­ත්ව­යෙන් කොළඹ විශ්ව විද්‍යා­ලයේ “සංර­ක්ෂ­ණය සඳහා පාන­ගමු” සංවි­ධා­නය මඟින් මෙහි ජෛව විවි­ධත්ව සමී­ක්ෂ­ණ­යක් සිදු­කර වාර්තා­වක් එළි­දක්වා ඇත. 1995 සිට පුරා වස 03ක පමණ කාල­යක් වන­ජීවී භාරයේ හිටපු වැඩ­ස­ට­හන් නිල­ධාරී අභ­ව­ප්‍රාප්ත ශ්‍රී ලාල් නිශාන්ත හෙට්ටිආරච්චි මහතා විසින් මේ භූමිය ගැන අංග සම්පූර්ණ සමී­ක්ෂ­ණ­යක් සිදු කර පර්යේ­ෂණ වාර්තා­වක් වශ­යෙන් එළි දක්වා ඇත.

පසුව එය සුරැ­කී­මට ඔල­බො­ඩුව මිහි­තල මිතුරෝ සංවි­ධා­නය 1994 සිට පෙර­මුණ ගත්තේය. අවට පිහිටි ගල් කොරි­වල අයි­ති­ක­රු­වන්ගේ තර්ජන ගර්ජන මැද උද්ඝෝ­ෂණ උප­වාස කර­මින් ඔවුහු මේ වන පියස සුරැ­කී­මට දිවි පර­දු­වෙන් කට­යුතු කළෝය. ඒ සඳහා ප්‍රදේ­ශයේ මහා සංඝ­ර­ත්නය හා පරි­සර හිත­කාමී ජන­තාව පූර්ණ සහ‍යෝ­ගය දැක්වූහ.

මෙම කඳු මුදු­නට පැමිණි අයෙ­කුගේ සිත්ස­තන් හාත්පස දිස්වන මන­ස්කාන්ත දර්ශ­න­යෙන් වශී­කෘ­ත­වී­යයි. මුළු නිරි­ත­දිග තැනි­ත­ලා­වෙන් අති විශාල කොට­සක් මධ්‍යම කඳු­ක­රය තෙක් නැර­ඹිය හැකිය. බට­හි­රින් මහා සාග­ර­යත්, කොළඹ නග­රයේ උස් ගොඩ­නැ­ඟිලි සමූ­හ­යත්, කළු­තර බෝස­මි­ඳුන් සමී­පයේ පිහිටි චෛත්‍ය­යත්, බේරු­වල ප්‍රදී­ප­ස්ත­ම්භ­යත්, නිරී­ක්ෂ­ණය කළ හැකිය. තවත් පසෙ­කින් ඔරු­වල වානේ සංස්ථාව, සපු­ග­ස්කන්ද නොනි­මෙන ගිනි­සි­ළුව, පනා­ගොඩ හමුදා විහා­රය දර්ශන පථ­යට හසුවේ. නැගෙ­න­හි­රින් මධ්‍යම කඳු­ක­රය දිස්වේ.

සොයි­සා­ව­රුන්ගේ නිවාඩු නිකේ­ත­නය ලෙස හැදින්වූ මේ පරිශ්‍රයේ ඇති ගොඩනැගිලි ඓති­හා­සික වශ­යෙන් වැද­ගත් ස්ථාන­යකි. වසර 124ෙක් පැරණි උඩ බංග­ලාව ලෙස හඳු­න්වන මෙය රාජ­කී­ය­යන් ගේ මෙන්ම ප්‍රභූන්ගේ අව­ධා­නය ලක්වූ ස්ථාන­යකි. ලංකාවේ පැවති එකම පෞද්ග­ලික පක්ෂි කෞතු­කා­ගා­රය පැව­ති­යේද ලංකාවේ ප්‍රථම සාහිත්‍ය සම­මේ­ල­නය සර් ඩී.බී. ජය­ති­ලක මහ­ත්මාගේ මෙහෙ­ය­වී­මෙන් පැවැ­ත්වූ­යේද මෙම ස්ථාන­යේ­දීය.

අද වන විට මෙම වලව්ව ඵල­දායි ලෙස යොදා ගැනී­මක් සිදු නොවන අතර ගරා වැටෙ­මින් පවතී. වත්මන් ජපන් අධි­රා­ජයා වූ අකි­හිතෝ අධි­රා­ජයා කුමාර කාලයේ (1958) මෙම ස්ථාන­යට පැමිණ සිටුවූ අසෝක ගසද මහා­මාන්‍ය ඩී.එස්. සේනා­නා­යක මහතා සිටුවූ කළු­වර ගසද එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩා­ර­නා­යක අග­මැති තුමා සිටුවූ ඇසළ ගසද සර් ජෝන් ‍කොතලා­වල මහතා සිටුවූ මැංගුස් ගසද තව­මත් නිරු­ප­ද්‍රැතිව ඇත.

මෙම කඳු­ප­න්තියේ ගලා හැලෙන දොළ­ප­හ­ර­වල් ගණ­නා­වකි. උතුරු දිසා­වට ගලා හැලෙන තැඹිලි දොළ නැගෙ­න­හි­රට ගලා බසින අඩන දොළ හෙවත් නාස් දොළ, දකු­ණට ගලා බසින දිග්ගල දොළ, නිරිත දෙසට ගලන පීලි දොළ බට­හි­රින් ටැංකි දොළ ඒ අතර වෙයි. ප්‍රදේ­ශයේ ජල පෝෂක සහ දිය බෙත්මක් ලෙස මෙම වන­පෙත ඉහළ මෙහෙ­ව­රක් ඉටු කරයි.

1995 - 1998 නව­න­ජීවී සංර­ක්ෂණ භාරයේ වැඩ­ස­ට­හන් නිල­ධාරී ශ්‍රී ලාල් නිශාන්ත හෙට්ටි­ආ­රච්චි මහ­තාගේ පර්යේ­ෂණ වාර්තාව අපට මෙහි ඇති ජෛව­වි­වි­ධත්ව වටි­නා­කම් හෙළි­ද­රව් කරනු ලබයි. එය ක්‍රම­යෙන් වැඩි­වෙ­මින් පව­තින බවද පසුව කළ පරි­සර ගවේ­ෂණ අනුව හෙළිවේ. එම පර්යේ­ෂ­ණ­යෙන් පසුව 2014 - 2015 වසර පුරා ප්‍රවීණ පරි­සර පර්යේ­ෂ­ක­යින් දෙදෙ­නෙකු වන සජීව චාමි­කර සහ අජන්ත පලි­හ­ව­ඩන යන මහ­ත්ව­රුන් විසින් මෙහි ජෛව­වි­වි­ධත්ව පර්යේ­ෂ­ණය සිදු කරන ලදී.

 

ශාක විවි­ධ­ත්වය

 

1995 - 98 සමී­ක්ෂ­ණ­යෙන් හෙළි­වන තොර­තු­රු­ව­ලට අනුව මෙහි ශාක විශේෂ 131 හඳු­නා­ගෙන ඇත. 2014 - 2015 පර්යේ­ෂණ වාර්තා­වට අනුව ශාක විශේෂ 150කට වැඩි ප්‍රමා­ණ­යක් වාර්තා කර ගෙන ඇත.

හොර, වල් දෙල්, කීන, කිතුල්, බෝ, ඉදි, ගිරි­තිල්ල, වල් පිච්ච, රුක්අ­ත්තන, විශේ­ෂද වෙසක් මල්, ආවේ­ණික දුර්ලභ බිම් උඩ­වැ­ඩි­යා­වක්, තවත් ආවේ­ණික උඩ­වැ­ඩියා මෙහි දක්නට ඇති බව ශ්‍රී ලාල් නිශා­න්තගේ පර්යේ­ෂණ වාර්තාව පෙන්වා දෙයි.

1995 - 98 කොඩි­ග­හ­කන්ද ආශ්‍රි­තව කුල 07 සම­නල විශේෂ 46 වාර්තා වේ. ඉන් 01 ලංකා­වට ආවේ­ණික වේ. ඒ අතර රතු දත්ත පොතේ වද වී යෑමේ තර්ජ­න­යට ලක්ව ඇති විශේෂ ද සිටිති. 2014 - 15 සම­නල විශේෂ 69ක් වාර්තා වේ. ඉන් 3ක් ලංකා­වට ආ‍‍වේණික වේ.

 

මත්ස්‍ය විශේෂ 20ක්

 

1995 - 98 මෙහි දොළ පහ­ර­වල් ආශ්‍රි­තව වාර්තා වූ මුළු මත්ස්‍ය විශේෂ ගණන 16 ක් වන අතර ඉන් විශේෂ 06ක් ලංකා­වට අවේ­ණි­කය. එය සිංහ­රා­ජ­යෙන් වාර්තා වන මත්ස්‍ය විශේෂ ගණ­නද ඉක්ම­වයි. රතු දත්ත විශේ­ෂ­යක් වන කොළ­ක­නයා සහ ලේ තිත්තයා ආවේ­ණික මත්ස්‍යයෝ වෙති.

2014 - 15 වාර්තා වූ මුළු මත්ස්‍ය විශේෂ ගණන 20ක් වන අතර ඉන් විශේෂ 05ක් ලංකා­වට ආවේ­ණි­කය. ඉතා සුල­බව නිරී­ක්ෂ­ණය වූ ලේ තිත්තයා 2014 වන විට නිරී­ක්ෂ­ණය නොවීය.

මෙහි උභය ජීවීන් විශේෂ 1995 - 98 හි 05 වාර්තා වේ. ඒ අතර පිහි­ඹු­ගස් මැඩියා, ලංකා බැදි මැඩියා, ගෙයි ගෙම්බා ඒ අතර වෙති. එහෙත් 2014 - 15 හි උභය ජීවීන් විශේෂ 8ක් වාර්තා වන අතර ඉන් 3ක් ආවේ­ණි­කය.

වන පෙත ආශ්‍රි­තව 1995 - 98 හි උරග විශේෂ 18 වාර්තා වේ. ඉන් පලා පොළගා, කොට පිඹුරා, කබර රද­න­කයා ලංකා­වට ආවේ­ණික සර්පයෝ වෙති. මේ අතර අන්ත­ර්ජා­තික වඳ වීමේ තර්ජ­න­යට ලක්ව ඇති රතු දත්ත විශේ­ෂ­යක් වන පිඹුරා මෙහි වාර්තා වේ. කටු­ස්සන් විශේෂ 02ක් හා දිය නයි විශේ­ෂ­යක් අධ්‍ය­න­ය­න්ගෙන් හඳු­නා­ගෙන ඇත.

2014 - 15 හි උරග විශේෂ 31 වාර්තා වේ. ඉන් 8ක් ආවේ­ණි­කය.

 

පක්ෂි විශේෂ 83ක්

 

පඳුරු වනා­න්ත­ර­යක සාමා­න්‍ය­යෙන් පක්ෂීන් දැකී­මට ඇති හැකි­යාව වැඩිය. 1995 - 98 මෙහි කුල 31 අයත් පක්ෂීන් විශේෂ 71 දක්නට හැකි විය. ඒ අතර ගිරා මලිත්ත, මූක­ලනි කොට්ටෝ­රුවා, මල් කොට්ටෝ­රුවා, හිස කළු කොන්ඩයා ලංකා­වට ආවේ­ණික පක්ෂීහු වෙති.

2014 - 15 වන විට පක්ෂි විශේෂ 83ක් වාර්තා වේ. ඉන් 7ක් ආවේ­ණි­කය.

මෙහි 95 - 98 වාර්තා වන ක්ෂිර­පා­යින් විශේෂ 16 කි. ඒ අත­රින් රිළවා, කොළ වඳුරා ලංකා­වට ආවේ­ණි­කය. මීට දශ­ය­කට පෙර වල් ඌරා ඉත්තෑවා, ඕලු මුවා, හඳුන් දිවියා සහ උණ හපුළුවා බහු­ලව වාර්තා වී ඇති අතර වර්ත­මා­නයේ සාපේ­ක්ෂව අඩු ප්‍රමා­ණ­යක් වාර්තා වේ.

2014 - 15 හි වාර්තා වූ ක්ෂීර­පා­යින් විශේෂ ගණන 24 කි. ඉන් 4 ක් ආවේ­ණි­කය.

මෙම වන­පෙත හුද­ක­ලාව පැව­ති­යත් ප්‍රදේ­ශ­ය­කට විශාල සේවා­වක් සිදු කරයි. පහත් ප්‍රදේශ වල ජල සංචි­ත­යන් ජල පෝෂක ප්‍රදේ­ශ­යන් ලෙසද මෙහි ගලා බසින දිය පහ­ර­වල් ක්‍රියා කරයි.

අවට ගම් වැසි­යන්ගේ දර සහ ඖෂධ ශාක අව­ශ්‍ය­තා­ මෙම වනය තුළින් ඉටු කරයි.

 

තර්ජන රැසක්

 

අද වන විට වනා­න්ත­රය ආශ්‍රි­තව ගල් කොරි 53ක් පමණ පවතී. මේ අතු­රින් සම­හ­රක් මහා පරි­මාණ ඒවා වෙයි. විශේ­ෂ­යෙන් බට­හිර බෑවු­මෙහි මහා පරි­මා­ණ­යෙන් සිදු­වන ගල් කැඩීම නිසා වනා­න්ත­රයේ ජෛව විවි­ධ­ත්ව­යට පම­ණක් නොව සමස්ත පරි­සර පද්ධ­ති­ය­ටම සිදු­වන බල­පෑම අති මහත්ය. මතු­පිට පස් ස්ථරය ඉවත් කර­මින් වනා­න්ත­රයේ ගස් කොළන් උදුරා දම­මින් සිදු කරන විනා­ශය සංවේදී හද­වත් කම්ප­නය කර­වයි. මහා පිපි­රීම් නිසා ඇති­වන කම්ප­න­යෙන් කිලෝ­මී­ට­ර­ය­ක­ටත් එහා පිහිටි නිවෙස් පවා දෙදරා යයි. ඉරී තැලී පුපුරා නොගිය නිව­සක් සොයා ගත නොහැ­කිය. භූගත ජල මට්ටම පහත බසි­මින් ප්‍රදේ­ශය වියළි ස්වභා­ව­යක් පෙන්නුම් කරයි. වර්ෂාව නොමැ­තිව සති­යක පමණ කාල­යක් ඉක්ම­යන විට ඔළ­බො­ඩු­ව­වත්ත ජන­ප­දයේ ජනයා දැඩි ලස පානීය ජල හිඟ­ය­කට මුහුණ පායි. නිත­රම සිදු­වන ගල් බෝර දැමීම හා ගල් කෂර් යන්ත්‍ර­වල කන්දොස්කිරි­යාව මිනි­සුන්ගේ ජීවි­ත­ව­ලට මහා ව්‍යස­න­යක් වී ඇත. ගල් පට­වා­ගෙන යන ටිපර් රථ නිසා ප්‍රදේ­ශයේ මාර්ග පද්ධ­ති­යද අබ­ලන්ව ඇත.

එහෙත් ධන තණ්හා­වෙන් ඉහ­වහා ගිය අවට ඉඩ­ම්වල අයි­ති­ක­රු­වන් ගල් කැඩීම නවත්වා නැත. සිත් පිත් නැත්ත­වුන්සේ සොබා­ද­හම් මාතාව වනසා දමයි. පවස නිවස දිය උප­ද­වන මහා කන්දත් වනා­න්ත­ර­යත් වන­ස­මින් කුරුළු කෙවි­ල්ලන්ගේ සතා සීපා­වාගේ නිවස්න වනසා දමයි. මිනි­සාට ජීව­ත්වී­මට අවැසි පරි­ස­රය වනසා දමන මේ නොමි­නි­සුන්ගේ ක්‍රියා­කා­ර­කම් පාල­නය කර­න්නට බල­ව­තුන් මැලි වෙයි. ඒ නිසා වැන­සෙන්නේ අනා­ගත පර­පුරේ උරු­ම­යයි. ඔවුන්ගේ ජීවි­ත­යයි.

“මේ වන භූමිය සුරැ­කීම සඳහා අපිට හැකි අයු­රුන් සංර­ක්ෂණ ක්‍රියා­මාර්ග හා දැනු­ම්වත් කිරීම් වැඩ­ස­ට­හන් ක්‍රියා­ත්මක කළා. ප්‍රදේ­ශයේ තරුණ තරු­ණි­යන් හා වැඩි­හිටි ජන­තා­වත් අවට ජීව­ත්වන විද්ව­තුන් හා පරි­ස­ර­වේ­දීන් අපට අව­වාද උප­දෙස් සමඟ පූර්ණ සහය ලබා දුන්නා. වසර 25කට අධික කාල­යක් එලෙ­සින් මෙම වන පියස සුරැ­කීමේ ප්‍රති­ඵ­ල­යක් ලෙස අද කොඩි­ග­හ­කන්ද රක්ෂි­තය වන­ජීවී අභය භූමි­යක් ලෙස ගැසට් කර­න්නට අපට හැකි වුණා. එය අපට ලොකු සතු­ටක්.” මිහි­තල මිතුරෝ සභා­පති කරු­ණා­දාස ‍මුණගම මහතා පව­සයි.

 

සංර­ක්ෂණ ක්‍රියා­මාර්ග

 

ශ්‍රී ලංකා­වට ආවේ­ණික ශාක සහ සත්ත්ව විශේෂ බොහො­ම­ය­කට වාස­ස්ථා­න­යක්ව පව­තින හා ජල පෝෂක ප්‍රදේ­ශ­යක් වන කොඩි­ග­හ­කන්ද, සංර­ක්ෂ­ණය කිරීමේ අර­මු­ණින් මිහි­තල මිතුරෝ සංවි­ධා­නය විවිධ සංර­ක්ෂණ ක්‍රියා­මාර්ග ක්‍රියා­වට නංව­මින් පව­තියි. මිහි­තල මිතුරෝ සංවි­ධා­නය අද (22දා) සිය 25 වැනි සම­රුව පව­ත්වයි.

අවට ප්‍රජා­වගේ ද දාය­ක­ත්වය සහි­තව මිහි­තල මිතුරෝ විසින් කොඩිගහකන්ද ර­ක්ෂිතය ශ්‍රී ලංකාවේ ප්‍රථම හා එකම ප්‍රජා සංර­ක්ෂිත අභ­ය­භූ­මිය ලෙස සංරක්ෂණය කරන ලදී. මෙම වනා­න්ත­ර­යට ශ්‍රී ලංකා රජයේ නීති­මය රැක­ව­ර­ණය ලබා­දමේ අර­මු­ණෙන් අවට ප්‍රජා­වගේ ද සහ­යෝ­ගය ඇතිව 2017 ඔක්තෝ­බර් 02 දින ශ්‍රී ලංකා රජයේ ගැසට් පත්‍ර­යක් මඟින් වන­ජීවී සංර­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව යටතේ කළු­තර දිස්ත්‍රි­ක්කයේ ප්‍රථම හා එකම වන­ජීවී අභ­ය­භූ­මිය ලෙස ප්‍රකා­ශ­යට පත්ක­රවා ගැනී­මට මිහි­තල මිතුරෝ සංවි­ධා­නය සම­ත්වීමු.

මෙම කොඩි­ග­හ­කන්ද අභය භූමි­යට කොළඹ 120 මාර්ගයේ පැමිණ කෝර­ළ­ඉම මංස­න්ධි­යෙන් සොයිසා විදු­හල මාවත ඔස්සේ ගමන් කළ හැකිය. ඊට අම­ත­රව හෝමා­ග­මින් හා මහ­ර­ග­මින් 128 හෝ 280 මාර්ගයේ පැමි­ණෙන අයට කිරි­ව­ත්තු­ඩුව අඹ­ග­ස්හ­න්දි­යෙන් දකු­ණට ඇති ගල්කන්ද පාර දිගේ පැමි­ණිය හැකිය.

කොඩි­ග­හ­කන්ද සංර­ක්ෂ­ණයේ තවත් ජය­ග්‍ර­හ­ණ­යක් ලබ­මින් 2007 දී ජෛව­වි­වි­ධත්ව මධ්‍ය­ස්ථා­නය ඉදි­ක­රන ලදී. 2014 දී එයට තවත් පරි­පා­ලන ගොඩ­නැ­ගි­ල්ලක් එකතු කර ගැනී­මට ද සමත් වීමු. පාස­ල්වල පරි­සර නිය­මු­වන්, බාල­ද­ක්ෂ­යින්, පරි­සර සංවි­ධාන, විශ්ව විද්‍යාල සිසුන් හා පරි­ස­ර­යට ආද­රය කරන බොහෝ දෙස් විදෙස් පිරිස් සංචා­ර­යට හා කඳ­වුරු බැඳී­මට මෙම ස්ථාන­යට පැමිණේ.

මේ ජය­ග්‍ර­හණ මිහි­තල මිතු‍රෝ සංවි­ධා­නය 25 වැනි රජත ජය­න්තිය සම­රන මේ මොහොතේ එහි සාමා­ජි­ක­යන්ට සතු­ටකි.

කළු­තර දිස්ත්‍රි­ක්ක­යට පම­ණක් නොව මුළු රට­ටම ආද­ර්ශ­යක් දෙමින් තමන්ට හිමි ඉඩම වනා­න්ත­ර­ය­කට පරි­ත්‍යාග කළ රොහාන් ද සොයිසා මහතා එය අපේ රටේ ප්‍රථම හා එකම ප්‍රජා සංර­ක්ෂණ අභය භූමිය ලෙස නිර්මා­ණය කළ මිහි­තල මිතුරෝ සංවි­ධා­න­ය­ටත් රටේ පරි­ස­ර­වේ­දීන්ගේ ප්‍රණා­මය පිරි­නැ­මිය යුතුව ඇත.

Comments