ලංකාවේ නිර්මා­ණිත පළමු බුදු­පි­ළි­මය සුප්‍ර­සිද්ධ සමාධි පිළි­මය ද? | සිළුමිණ

ලංකාවේ නිර්මා­ණිත පළමු බුදු­පි­ළි­මය සුප්‍ර­සිද්ධ සමාධි පිළි­මය ද?

කේ. උදේනි අරු­ණ­සිරි සංව­ර්ධන නිල­ධාරි,ප්‍රාදේ­ශීය පුරා­විද්‍යා කාර්යා­ලය කොටුව, ගාල්ල.

 

දෙස් විදෙස් බෞද්ධ­යන් හා අන්‍යා­ග­මික සෞන්ද­ර්ය­වා­දීන් අතර ඉතා ප්‍රච­ලිත අනු­රා­ධ­පු­රයේ පැරැණි නග­රයේ වැඩ­හි­ඳින සුප්‍ර­සිද්ධ සමාධි පිළි­ම­ව­හන්සේ මෙරට නිර්මා­ණය වූ පළමු බුද්ධ ප්‍රති­මාව බව බොහෝ බෞද්ධයෝ අද­හති. විද්ව­තුන් අත­රද ඒ පිළි­බඳ සංවා­ද­යක් පවතී.

ඒ අනුව සැබෑ ලෙසම එම පිළි­මය වංශ­ක­ථා­වල සඳ­හන්, දේවා­න­ම්පි­ය­තිස්ස රජ­තුමා විසින් කර­ව­න්නට යෙදුණ “උරු­සිලා පටි­මාව” දැයි පුරා­වි­ද්‍යා­ත්මක හා විද්වත් මත ඔස්සේ නව ප්‍රවේ­ශ­ය­කින් විම­සීම මේ ලිපියේ අර­මුණ වේ.

 

උරු­සිලා පටිමා

 

මෙරට නිර්මා­ණය කරන ලද පළමු බුදු­පි­ළි­මය වන දේවා­න­ම්පි­ය­තිස්ස රජ­තුමා විසින් (ක්‍රි.පූ. 250-210) විසින් කළා යැයි සඳ­හන් “උරු­සිලා පටි­මාව” පිළි­බඳ මහා­වං­සය කතු­ව­රයා විවිධ අව­ස්ථා­ව­ලදී වර්ණ­නා­වට ලක් කරයි. මහා­වං­සය අනුව මහා­වි­හා­රය කේන්ද්‍ර කර­ග­නි­මින් නිර්මා­ණය වූ උරු­සිලා පටි­මාව මහ­සෙන් රජුගේ (ක්‍රි.ව. 276-303) කාල­යේදී අභ­ය­ගිරි විහා­ර­යට ගෙන ඒමත් සමඟ එය අභ­ය­ගිරි විහා­රික ප්‍රති­මා­වක් ලෙස ඓති­හා­සික වර්ණ­නා­ව­කට ලක් වී තිබේ. අනු­රා­ධ­පුර යුගයේ අග භාගය වන විට අභ­ය­ගිරි විහා­රය, මහා විහා­රය හා ජේත­වන විහා­රය යන ප්‍රධාන නිකාය ත්‍රිත්ව­යට අයත් ආරාම තුනේම “සල පිළි­මය” නමින් හැඳින්වූ ප්‍රධාන ශෛල­මය බුද්ධ ප්‍රති­මා­වක් පැවැති බව පෙනේ.

සිවු වැනි කස්සප රජු (ක්‍රි.ව. 898-914) තුන් නිකා­යට අයත් සල පිළි­ම­වල රන්මුවා රැස් වළලු , කුඩය, සිළු­මිණ යන කර්මාන්ත කරවා ඇත. (මහා­වං­සය 1963: පරි 52 ගාථා 12-13) පූජා­ව­ලි­යේදී කසුප් මහ රජු තුන් නිකායේ සල පිළි­ම­යන්ට රන් සේසත් කරන ලද බව දක්වයි. (පූජා­ව­ලිය 1998:505) සිවු වැනි මහින්ද රජුගේ (ක්‍රි.ව.956-972) දඹේ­ගොඩ ටැම් ලිපි­යේද තුන් නිකා­යේම පැවැති සල පිළිම පිළි­බඳ සඳ­හන් වේ. (Ranawella 2004:265) ඔහු­ගේම රාජ්‍ය කාල­යට අයත් අභ­ය­ගිරි විහාර දෙවන පුවරු ලිපි­යේද “ තුන් නිකායේ සල පිළිම නන් රුවන් පිරි­කුලූ” ලෙස සල බුදු පිළිම සඳහා කරන ලද නව කම් පිළි­බඳ සඳ­හන් කරයි (එම:253). “තුන් නිකායේ සල පිළිම ගෙහි ඉසා ” යනු­වෙන් එම ලිපියේ එන සඳ­හන අනුව තුන් නිකායේ පැවැති සල බුදු පිළිම සඳහා පිළිම ගෙවල්ද තිබූ බව අනා­ව­ර­ණය වේ ( එම:254).

එම තුන් නිකා­යේම සල බුදු පිළිම අතු­රෙන් පැරැ­ණි­තම පිළි­මය වූයේ දේවා­නම් පිය­තිස්ස රජු කරවූ, පසුව අභ­ය­ගිරි විහා­ර­යට ගෙනෙන ලද උරු­සිලා පටි­මා­වයි. එම ප්‍රති­මාව උරු­සිලා පටිමා, මහ­සිලා පටිමා, සිලා­සත්ථු, සිලා­ස­ම්බුද්ධ හා සිලා­මු­නින්ද්‍ර යන නම්ව­ලින්ද මහා­වං­ස­යේදී හඳුන්වා ඇත. උරු­සිලා පටි­මාව යනු සුප්‍ර­සිද්ධ සමාධි පිළි­මය යැයි යන අද­හස බොහෝ දෙනා ගෙන එන අතර ඒ සඳහා ඉදි­රි­පත් කරන එක් ඓති­හා­සික සාධ­ක­යක් වන්නේ පාහි­යන් හිමිගේ දේශා­ටන වාර්තා­වයි. ඒ අනුව පාහි­යන් හිමි අභ­ය­ගි­රි­යේදී දකින්නේ සුප්‍ර­සිද්ධ සමාධි ප්‍රති­මාව බවට මත­යක් ඇත. මෙර­ටට පැමි­ණෙන පාහි­යන් හිමි­යන් අභ­ය­ගි­රි­යේදී දකින්නේ පිළි­ම­ගෙ­යක් සහිත පිළි­ම­යකි (පාහි­යන් දේශා­ටන වාර්තාව 2006:93). ඇතැම් විද්ව­තුන් පෙන්වා දෙන්නේ පාහි­යන් හිමි දුටු එම පිළි­ම­ගෙය ධාතු­සේන රජු විසින් අභ­ය­ගිරි විහා­රයේ සල පිළි­ම­යට කරන ලද පිළිම ගෙය විය හැකි බවය (Wickramasinghe 1912:230/ 1912 :230/ නික­ලස් 1979:168).

පාහි­යන් හිමි මෙර­ටට පැමි­ණෙන ලද්දේ ක්‍රි.ව. 411දී වන අතර මහා­වං­ස­යට අනුව අභ­ය­ගිරි විහා­රයේ සල පිළි­ම­යට ප්‍රථම වරට පිළි­ම­ගෙ­යක් ඉදි­ක­රන්නේ ධාතු­සේන (ක්‍රි.ව.459-477) රජුය. එනම් පාහි­යන් හිමි අභ­ය­ගිරි විහා­ර­යට පැමි­ණී­මෙන් අඩ සිය­ව­ස­කට පමණ පසු­වය. එබැ­වින් පාහි­යන් හිමි සඳ­හන් කරන්නේ සුප්‍ර­සිද්ධ සමාධි පිළි­මය පිළි­බඳ නොව අභ­ය­ගිරි විහා­රයේ වූ වෙනත් පිළි­ම­යක් පිළි­බඳ බව ඉන් මනාව පැහැ­දි­ලිය.

ක්‍රි.ව.9-10 සිය­ව­ස්ව­ලට අයත් ශිලා­ලේ­ඛන රැසක් අභ­ය­ගිරි විහා­රයේ තිබූ සල පිළි­මය පිළි­බඳ සඳ­හන් කරයි. එහිදී හතර වැනි කස්සප රජුගේ (ක්‍රි.ව.898-914) පොලො­න්නරු රජ මාලිගා ටැම් ලිපිය (“......අභා­ගිරි වෙහෙරැ මහ සල පිළිම බුදුන්....”), එම රජු­ගේම පොලො­න්නරු බට­හිර දොරටු ටැම් ලිපිය (“.....අභ­ය­ගිරි වෙහෙරැ මහ සල පිළිම බුදුන් ....”), පස් වන කස්සප රජුගේ (ක්‍රි.ව.924-935) කුඹු­ක්වැව ටැම් ලිපිය (“....අබ­ය­ගිරි වෙහෙර්හි මහ සල පිළිම බුදුන්ගේ....”), හතර වන මහින්ද රජුගේ (ක්‍රි.ව. 956-972) රඹෑව පුවරු ලිපිය (“....අභ­ය­ගිරි වෙහෙර්හි මගුල් මහ සල පිළිම....”) වැද­ගත් වේ. සාහිත්‍ය මූලා­ශ්‍ර­වල හා ශිලා­ලේ­ඛ­න­යන්හි සඳ­හන් තොර­තුරු අනුව අභ­ය­ගිරි විහා­රයේ සල බුදු පිළි­මය හිටි පිළි­ම­යක්ද නැත­හොත් හිඳි බුදු පිළි­ම­යක්ද යන්න­වත් මනාව පැහැ­දිලි වන්නේ නැත. එවන් පසු­බි­මක ලක්දිව පළමු බුද්ධ ප්‍රති­මාව ලෙස වංශ­ක­ථාවේ සඳ­හන් උරු­සිලා පටි­මාව යනු සුප්‍ර­සිද්ධ සමාධි ප්‍රති­මාව බව යැයි කරුණු දැක්වීම සුදුසු නොවේ.

 

මුල් බුද්ධ ප්‍රති­මාව නිර්මා­ණය වූ කාලය

 

ලාංකේය සංස්කෘ­තියේ සංක්‍රා­න්තිය ලෙස අප පිළි­ගන්නේ ක්‍රි.පූ. 3 වන සිය­වසේ මහි­න්දා­ග­ම­න­යත් සමඟ ඇති වූ ප්‍රබෝ­ධය යි. ඒ අනුව භාර­තීය ආභා­සය යටතේ බුද්ධ ප්‍රති­මා­වද මෙරට නිර්මා­ණය වන ආකා­රය හඳු­නා­ගත හැකිය. දේවා­න­ම්පි­ය­තිස්ස රජු සමය වන විට ඉන්දි­යා­වේද බුද්ධ ප්‍රති­මාව නිර්මා­ණය වූ බවට පුරා­වි­ද්‍යා­ත්මක සාධක නැත. නමුත් බුද්ධ සංකේත භාවි­තයේ පැවැති බවට සාධක අප­මණ ඇත. සාංචි හා භාරුත් කැට­යම් ඒ අතර ප්‍රධාන කොට සැල­කිය හැකිය.

භාර­තී­ය­යන් බුද්ධ ප්‍රති­මාව නිර්මා­ණය කිරී­මට පෙල­ඹෙන්නේ ක්‍රි.පූ. 1 වන සිය­වසේ අග හෝ ක්‍රි.ව. 1 වන සිය­වසේ මුලදී බව එර­ටින් ලැබෙන පුරා­වි­ද්‍යා­ත්මක සාධක මත නිග­ම­නය කළ හැකිය (ලග­මුව 41). ඒ අනුව භාර­තීය කලා ආභා­ස­යෙන් පෝෂ­ණය ලද ශ්‍රී ලංකාවේ කලා ශිල්පීන් බුද්ධ ප්‍රති­මාව නිර්මා­ණය කරන්නේ එම යුග­යේදී හෝ ඊට ආසන්න අව­ධි­ය­කදී යැයි විශ්වාස කිරීම සුදු­සුය.

 

මහා­වං­සයේ සඳ­හන් සමාධි පිළි­මය

 

අභ­ය­ගි­රියේ තැන්පත් කර තිබූ මහා­වං­සයේ පුනා පුනා වර්ණ­නා­වට ලක් කරන සමාධි පිළි­මය යනු නූතන සුප්‍ර­සිද්ධ සමාධි පිළි­ම­යද යන්න පිළි­බඳ සෙවී­මේදී පුරා­වි­ද්‍යා­ත්මක සාධක පිළි­බඳ අව­ධා­නය යොමු කිරීම වටී. අභ­ය­ගිරි විහා­ර­යෙන් දැනට බෝධි­ඝර පහක නට­ඹුන් සොයා­ගෙන ඇත. පැරැ­ණි­තම බෝධි­ඝ­රය (ආචාර්ය සී. ඊ.ගොඩ­කු­ඹුර මහතා ආස­න­ඝ­රය ලෙස හැඳින්වූ බෝධි­ඝ­රය), දෙවන සමා­ධිය යනු­වෙන් ජන­ව­හරේ දැක්වෙන බෝධි­ඝ­රය, සුප්‍ර­සිද්ධ සමාධි බුදු පිළි­මය පිහිටි බෝධි­ඝ­රය, කුට්ටම් පොකු­ණට උතු­රින් කපා­රා­රා­මයේ ඇති විශේෂ හැඩ­ය­කින් යුතු බෝධි­ඝ­රය හා ලංකා­රාම බෝධි­ඝ­රය ඒවා වේ (කුල­තුංග 2014:231,232).

එහිදී 1962 වස­රේදී ආචාර්ය සී. ඊ. ගොඩ­කු­ඹුර මහතා විසින් අභ­ය­ගි­රියේ ආස­න­ඝ­රය යනු­වෙන් හඳු­න්වා­දුන් එහි ඉපැ­රැණි බෝධි­ඝ­රය කැණීම් කිරී­මේදී හිඳි පිළි­ම­යක් ලැබී තිබේ. වර්ත­මා­නයේ එය අනු­රා­ධ­පුර පුරා­විද්‍යා කෞතු­කා­ගා­රයේ කොරි­ඩෝවේ 184 ලියා­ප­දිංචි අංකය යටතේ තැන්පත් කර ඇත. එම පිළි­මය සොයා­ගන්නා අව­ස්ථා­වේදී ගල් ආස­න­ය­කට යට වී තිබී ඇත (වන­ර­තන 1985:167). එම සමාධි පිළි­මයේ ලක්ෂණ විග්‍රහ කරන නන්ද­දේව විජේ­සේ­කර මහතා එය මථුරා දේශ­යෙන් ගෙනෙන ලද්දක් බව අනු­මාන කරයි (නන්ද­දේව 19970:20).

චන්ද්‍රා වික්‍ර­ම­ග­මගේ මහතා පෙන්වා දෙන්නේ එම පිළි­මයේ මුහුණ හා ශරී­රය මෞර්ය යුග­ය­ටත් පෙර සිට ඉන්දි­යාවේ පැව­තෙන දේශීය කලාවේ යක්ෂ රූප මෙන් බවයි ( වික්‍ර­ම­ග­මගේ 2006:22). ඒ පිළි­බ­ඳව තව­දු­ර­ටත් විග්‍රහ කරන ඔහු පව­සන්නේ එම බුදු පිළි­මය දේවා­න­ම්පි­ය­තිස්ස රජු දවස මෙර­ටට පැමිණි ඉන්දි­යානු දේශීය කලා සම්ප්‍ර­දා­යට අයත් ශිල්පීන් අතින් ලංකා­වට උචිත පරිදි නිර්මා­ණය කරන ලද්දක් හෝ ඔවුන් විසින් පුහුණු කරනු ලැබූ මෙරට දේශීය ශිල්පීන් අතින් නිර්මා­ණය කරන ලද්දක් බවය (එම 23).

අනු­රා­ධ­පුර පුරා­විද්‍යා කෞතු­කා­ගා­රයේ තැන්පත් කර ඇති එම ප්‍රති­මාව අභ­ය­ගි­රියේ පම­ණක් නොව ශ්‍රී ලංකා­වේද ඇති අති පැරැණි ප්‍රති­මාව ලෙස මහා­චාර්ය ටි.ජී. කුල­තුංග මහතා සඳ­හන් කරයි. එම මහතා තම “පුරාණ අභ­ය­ගිරි විහා­රය” කෘති­යේදී තව­දු­ර­ටත් පෙන්වා දෙන්නේ එහි නේත්‍රා වටිනා ගල්ව­ලින් සරසා තිබී ඇති බවය.

පුරා­වි­ද්‍යා­ත්මක සාධක මත පද­නම් වන එම විද්ව­තුන්ගේ විග්‍ර­යන්ට අනුව පෙනී­යන්නේ උරු­සිලා පටිමා නමින් වංශ­ක­ථාවේ නම් කරන මෙරට පැරැ­ණි­තම ප්‍රති­මාව සුප්‍ර­සිද්ධ සමාධි ප්‍රති­මාව නොව අනු­රා­ධ­පුර පුරා­විද්‍යා කෞතු­කා­ගා­රයේ තැන්පත් කර ඇති ප්‍රති­මාව බවය.

මහා­වං­සයේ වරින් වර සඳ­හන් වන සමාධි පිළි­මය කුම­ක්දැයි යන පැන­යට පිළි­තුරු සප­යන විද්ව­තුන් අතර ඩී. ටී. දේවේන්ද්‍ර මහතා දැනට අභ­ය­ගිරි විහා­රයේ වට­ව­න්දනා පාරේ අභ­ය­ගිරි ස්තූප­යත් කුට්ටම් පොකු­ණත් අතරේ ඇති සුප්‍ර­සිද්ධ සමාධි ප්‍රති­මාව එය බව පෙන්වා­දෙයි. (Devendra 1957:40/දේවේන්ද්‍ර 1967/28) එයට සමාන අද­හ­සක් දක්වන සිරි ගුණ­සිංහ මහතා මෙන්ම වල්පොළ රාහුල හිමි­යන් ද පෙන්වා දෙන්නේ බුද්ධ ප්‍රති­මාව පළමු වරට නිර්මා­ණය කළේ ලාංකි­ක­යන් බවයි. (Gunasinghe 1969:59 වල්පොළ 1962:158)

එම අද­හස් ඉදි­රි­පත් කර බොහෝ කල­කට පසු සිදු කරන ලද පුරා­වි­ද්‍යා­ත්මක පර්යේ­ෂ­ණ­ය­න්ගෙන් ලැබුණු සාධ­කද පද­නම් කර­ග­නි­මින් විග්‍ර­හ­යක යෙදෙන මහා­චාර්ය අනු­රාධ සෙනෙ­වි­රත්න මහතා තම “පුරාණ අනු­රා­ධ­පු­රය” ග්‍රන්ථ­යේදී පෙන්වා දෙන්නේ සුප්‍ර­සිද්ධ සමාධි ප්‍රති­මාව 4 වන සිය­ව­සට හෝ ඊට අඩු වශ­යෙන් සිය­ව­ස­කට හෝ පැරැණි කාල­ය­කට අයත් වන බවයි (සෙනෙ­වි­රත්න 2009:150). මධ්‍යම සංස්කෘ­තික අර­මු­දලේ අභ­ය­ගිරි විහාර ව්‍යාපෘ­තියේ පුරා­විද්‍යා අධ්‍ය­ක්ෂ­ව­රයා ලෙස සේවය කරන මහා­චාර්ය ටී.ජී. කුල­තුංග මහතා සිය පර්යේ­ෂණ ග්‍රන්ථය වූ “ පුරාණ අභ­ය­ගිරි විහා­රය” කෘති­යේදී පෙන්වා දෙන්නේ බොහෝ­දෙනා පව­සන උරු­සිලා පටි­මාව යනු සුප්‍ර­සිද්ධ සමාධි පිළි­මය නොවන බව හා එයට එම වටි­නා­කම හිමි වී ඇත්තේ එම ප්‍රති­මාවේ කලා­ත්ම­ක­භා­වය නිසා බවය (කුල­තංග 20014:321).

එම සමස්ත විග්‍ර­හ­යෙන් අනා­ව­ර­ණය වන්නේ සුප්‍ර­සිද්ධ සමාධි පිළි­මය යනු මෙරට නිර්මා­ණ­යවූ පළමු බුද්ධ ප්‍රති­මාව වන උරු­සිලා පටිමා නොවන බවය. එසේම එහි නිවැ­රැදි ඉති­හා­සය මතු කිරී­ම­ටත් වර්ත­මාන ස්වරූ­පය පිළි­බඳ කථි­කා­වක් ගොඩ­නැ­ඟී­ම­ටත් සුදුසු කාලය එළඹ ඇති බවද පෙනේ.

Comments