සූදු පොළේ කෝටිය පන­ස්ද­හ­සට බැස්සූ | සිළුමිණ

සූදු පොළේ කෝටිය පන­ස්ද­හ­සට බැස්සූ

නීතිය හා සාමය ආරක්ෂා කිරී­මට කැප වී සිටින පොලිස් නිල­ධා­රි­න්ගෙන් අති­බ­හු­ත­රය මහ­ජ­න­යාගේ සුබ­සි­ද්ධිය වෙනු­වෙන් ද කැප වී සිටින බවක් පෙනේ. එහෙත් පොලිස් නිල­ධා­රි­න්ගෙන් සුළු­ත­ර­යක් නීති­යෙන් පිට පැන දූෂ­ණ­යට, වංචා­වට පම­ණක් නොව මිනී­මැ­රී­ම්ව­ල­ටද හවුල් වූ අවස්ථා සට­හන් වී තිබේ.

එසේ නීති­යට පට­හැ­ණිව කට­යුතු කිරීම නිසා ගෙවී ගිය සතියේ හලා­වත කොට්ඨාස දූෂණ විම­ර්ශන ඒක­කයේ නිල­ධා­රින් අට­දෙ­නෙ­කුගේ සේවය අත්හි­ටු­වී­මට සිදු විණි. සිද්ධිය සැල­වෙන්නෙ මෙලෙ­සය.

පසු­ගිය හය වැනිදා ශ්‍රී ලංකාව සහ නව­සී­ල­න්තය අතර විස්සයි විස්ස ක්‍රිකට් තර­ග­යක් පැවැ­ත්වුණ දින­යයි.

එදින හලා­වත, වෙන්න­ප්පුව, නයි­න­ම­ඩම පම­ණක් නොව පුත්ත­ලම, මීග­මුව වැනි මඳක් දුර බැහැර පෙදෙ­ස්වල වෙසෙන ප්‍රභූන්, ධන­ව­තුන් පිරි­සක් කලින් කතිකා කර­ගෙන තිබුණේ ක්‍රිකට් තර­ගය පැවැ­ත්වෙන දින සවස් යාමයේ මා ඔයට මුහු­ණලා නයි­න­ම­ඩම ප්‍රදේ­ශයේ පිහිටි හෝට­ල­ය­කට එක්රැ­ස්වී­ම­ටයි. ඒ සඳහා හෝට­ලයේ එක­වර තිහ හත­ළි­හ­කට රැස්විය හැකි විශේෂ වූ කාම­ර­යක් කලින්ම වෙන් කර­වා­ගෙන තිබිණි.

ඒ ක්‍රිකට් තර­ගය නර­ඹන මුවා­වෙන් කාඩ් සූදු කෙළී­ම­ටයි. එම පිරිස සති­ය­කට දින දෙක තුනක් හලා­වත අවට කිසි­යම් හෝ ස්ථාන­ය­කට රැස්ව එසේ කාඩ් සූදු කෙළිය සිදු කරන පිරි­සක් බවට සැල වේ.

වෙන් කර­වා­ගත් දින සවස් යාමය වෙද්දී හෝට­ල­යට සුපිරි වාහන පෙළක්ම පැමි­ණෙ­මින් තිබිණි. පැමිණ පිරිස කා-බී විනෝද වෙමින් ක්‍රිකට් තර­ගය නර­ඹන මුවා­වෙන් සුදු කෙළියේ යෙදෙ­මින් සිටි­යහ.

පොලිස් අධි­කාරි
සුරන්ජිත් කුමා­ර­පේලි

හෝට­ලයේ පාල­නා­ධි­කා­රිය එ් තුළ සිදු වන්නෙ කුමක්ද යන්න නොදැන සිටි බවකි. ඒ සාමා­න්‍ය­යෙන් එම හෝට­ලයේ තිබෙන විශේෂ වූ එම කාම­රය ක්‍රිකට් තර­ග­යක් හෝ එවැනි විශේෂ යමක් පව­තින දින­ව­ලදී පිරිස් ඒක­රා­ශිවී කා බී විනෝද වන ස්ථාන­යක් ලෙස ප්‍රක­ටව තිබූ හෙයිනි.

එහෙත් ක්‍රිකට් තර­ග­යට මුවා­වෙන් එදින එහි සිදු වීමට නිය­මිත සූදු කෙළිය පිළි­බඳ එදින පෙර­ව­රුව වෙද්දීම පොලි­සි­යට හෝඩු­වා­වක් ලැබිණි.

ඒ අනුව එදින රාත්‍රියේ, ප්‍රභූන් පිරිස ක්‍රිකට් තර­ගය නර­ඹ­මින් සූදු කෙළින ස්ථාන­යට කඩා වැදුණේ හලා­වත කොට්ඨාස දූෂණ විම­ර්ශන ඒක­කයේ ස්ථානා­ධි­ප­ති­ව­රයා ලෙස කට­යුතු කළ උප­පො­ලිස් පරී­ක්ෂ­ක­ව­රයා ඇතුළු අට­දෙ­නෙ­කු­ගෙන් යුත් නිල­ධාරි කණ්ඩා­ය­මකි.

වහා කාම­ර­යට ඇතු­ළුවූ පොලිස් නිල­ධා­රින් දුටුවේ කෝටි ගණ­නක මුද­ලක් සංස­ර­ණය වෙමින් සූදු කෙළියේ යෙදෙන පිරි­සකි. සැණින් සියලු දෙනාම පොලිස් නිල­ධා­රින් බාර­යට ගැනිණි.

එසේ එම ස්ථානයේ සිටි 24 දෙනෙකු අත්අ­ඩං­ගු­වට ගනු ලැබු­වත් මඳ වේලා­වක් යද්දී සිදු වී ඇති බවට සැල­වන්නෙ නීති­යට පට­හැණි දෙයකි. ඒ පොලිස් බාර­යට ගැනුණු පිරි­සක් නිල­ධා­රින් විසින්ම මුදා­හැර ඇති බවකි. අත්අ­ඩං­ගු­වට ගැනුණු පිරි­සෙන් නව­දෙ­නෙකු පම­ණක් රඳ­වා­ගෙන ඉතිරි පිරිස මුදා­හැර තිබිණි.

එදින සිදු වූ අව­න­ඩුව පිළි­බඳ ප්‍රදේ­ශය බාර උසස් පොලිස් නිධා­රි­යෙ­කුට පැමි­ණි­ල්ලක් ලැබී තිබුණේ සිද්ධිය වූ දිනට පසු දිනයි. එම පැමි­ණි­ලි­කරු සඳ­හන් කර තිබුණේ විස්ස­කට අධික පිරි­සක් සමඟ රුපි­යල් කෝටි­ය­කට ආසන්න මුද­ලක් පොලිස් නිල­ධා­රින්ගේ බාර­යට ගත් බවත්, නව­දෙ­නෙකු පම­ණක් වෙන්න­ප්පුව පොලි­සි­යට බාර කෙරුණේ පන­ස්ද­හ­ස­ක­ටත් අඩු මුද­ලක් සම­ඟින් බව­ටයි.

අන­තු­රුව පුත්ත­ලම් දිසා බාර නියෝජ්‍ය පොලි­ස්ප­ති­ව­ර­යාගේ නියෝග මත හලා­වත කොට්ඨාස බාර පොලිස් අධි­කාරි සුරන්ජිත් කුමා­ර­පේලි මහ­තාගේ උප­දෙස් මත ඒ පිළි­බඳ විධි­මත් පරී­ක්ෂ­ණ­යක් කිරී­මට පැවැ­රුණේ නාත්ත­ණ්ඩිය සහ­කාර පොලිස් අධි­කාරි සුජීව විජේ­සේන මහතා වෙතයි.

එහිදී අනා­ව­ර­ණය වී තිබෙන්නෙ වැට­ලීම කළ නිල­ධාරි කණ්ඩා­යම නව දෙනෙකු අත්අ­ඩං­ගු­වට ගෙන වෙන්න­ප්පුව පොලි­සි­යට බාර දී ඇත්තේ රුපි­යල් 46,200ක මුද­ලක් පම­ණක් සූදු පොළේ තිබී තම බාර­යට ගත් බව සඳ­හන් කර­මිනි.

ඒ පිළි­බඳ කළ පරී­ක්ෂ­ණ­ව­ලට අනුව වැට­ලීම සිදු කළ හලා­වත කොට්ඨාස දූෂණ විම­ර්ශන නිල­ධා­රින් එම ඒක­ක­යට අනු­යුක්ත කිරී­මට පෙර සිටි පොලිස් ස්ථාන­ව­ල­ටම මාරු කෙරිණි. පසුව සිදු කළ පරී­ක්ෂ­ණ­වල ප්‍රති­ඵ­ල­යක් ලෙසින් පසු­ගිය 16 වැනි දා සිට වැට­ලී­මට එක් වූ උප­පො­ලිස් පරී­ක්ෂ­ක­ව­රයා ඇතුළු සැර­ය­න්ව­ර­යකු, කොස්තා­ප­ල්ව­රුන් පස්දෙ­දෙ­නකු සහ කොස්තා­පල් රියැ­දු­රෙ­කුගේ සේවය තහ­නම් කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකා­ශක කාර්යා­ල­යද නිවේ­ද­න­යක් නිකුත් කර­මින් සඳ­හන් කළේය.

හලා­වත කොට්ඨා­ස­යට අයත් එක් එක් පොලිස් ස්ථාන­ව­ලින් අනු­යු­ක්තව සිටි එම ඒක­කයේ රාජ­කාරි කළ බොහො­ම­යක් නිල­ධා­රින් අත්දැ­කීම් අඩු තරුණ පොලිස් නිල­ධා­රින් බව ප්‍රදේ­ශය බාර උසස් පොලිස් නිල­ධා­රි­යෙක් කීවේය. ඔවුන්ගේ අත්දැ­කීම් මඳ බව එවැනි හොර වංචා­ව­ක් සිදුවිණි නම් ඊට හේතු වන්නට ඇතැයි සැක කෙරේ. එහෙත් එය නිද­හ­සට කරු­ණක් නොවන බව පසක් කරමු.

දැනට වාර්තා වන ආකා­ර­යට කෝටි­ය­කට ආසන්න මුද­ලක් මේ සුදු පොළේ තිබී ඇති බවකි. එහිදී ප්‍රභූන් ලෙස හැසි­රුණු පිරිස මුදා­හැර ඇත්තේ මුදල් මත බවත්, මුදා­හැ­රිය පිරිස හා පොලිස් නිල­ධා­රින් මුදල් බෙදා ගැනී­මට යෑමේදී වූ ගැටු­මක් දුර­දිග ගොස් කෙනෙකු ඒ බව ප්‍රදේ­ශය බාර උසස් පොලිස් නිල­ධා­රි­යෙ­කුට පැමි­ණිලි කිරීම නිසා මේ වංචාවේ සුල­මුල කර­ළි­යට පැමිණ තිබේ.

එදින සූදු කෙළියේ යෙදී සිටි පිරිස එම ප්‍රදේ­ශයේ කලෙක සිටම සූදු කෙළියේ යෙදෙන පිරි­සකි. දිනෙන් දින ස්ථාන මාරු කර­මින් දින දෙක තුන­කට වරක් සූදු කෙළියේ යෙදෙන බවකි.

ඒ සඳහා ප්‍රදේ­ශයේ පොලිස් ස්ථාන­ව­ලින් මෙන්ම දේශ­පා­ල­න­ඥ­ය­න්ගෙන්ද මනා සහා­යක් ඒ පිරි­සට ලැබී තිබෙන බව­ටද වාර්තා වේ.

එසේම ඒ ප්‍රභූ සූදු කණ්ඩා­යම සමඟ සූදු කෙළී­මට හලා­වත අවට ප්‍රබල දේශ­පා­ල­න­ඥ­ය­කුගේ පියෙ­කුද සහ­භාගි වන බවට සැල වේ. එහෙත් වැට­ලීම සිදු කළ දින එම තැනැත්තා නොසිටි බව උසස් පොලිස් නිල­ධා­රින්ට අනා­ව­ර­ණය වී ඇත.

කෙසේ හෝ ඉදි­රියේ සිදු වන පරී­ක්ෂණ අනුව එදින සූදු පිටියේ සැරි­සැරු මුදල් ප්‍රමා­ණ­යත් පොලිස් බාර­යට ගත් පිරිස මුදා­හැර ඇති ආකා­ර­යත්, සූදු කෙළි­යට එක්ව සිටි ප්‍රභූන් කවු­රුන්ද යන්නත් හෙළි කර­ගැ­නී­මට හැකි වනු ඇත.

ඒ ආකා­ර­යේම වෛද්‍ය­ව­රුන්, නීති­ඥ­යන්, ඉන්ජි­නේ­රු­වන් වැනි ඉහළ මට්ටමේ රාජ්‍ය නිල­ධා­රින් ඇතුළු ප්‍රභූන් පිරි­සක් එක්ව කලෙක පටන් පව­ත්වා­ගෙන ගිය සූදු පොළක් වැට­ලී­ම­ටද ගම්පොළ පොලි­සිය සමත් වූයේ ගිය සති­යේයි.

Comments