හැම ලක් දරු­ව­කු­ගේම නෙත් පාදන මඟ පෑදූ කන්න­න්ගර මැතිඳු | සිළුමිණ

හැම ලක් දරු­ව­කු­ගේම නෙත් පාදන මඟ පෑදූ කන්න­න්ගර මැතිඳු

නිද­හස් අධ්‍යා­ප­නයේ පියා යන විරුද නාම­යෙන් පුද ලද සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්න­න්ගර මහතා වනාහි නිද­හස් අධ්‍යා­ප­න­යෙන් පෝෂිත කිසි­ව­කු­ටත් අම­තක කළ නොහැකි උදාර ජාතික වීර­යෙකි. පාසල් වියේ සියලු දරු­වන්ට භේද­ය­කින් තොරව,නොමි­ලයේ අධ්‍යා­ප­නය ලැබීමේ වරම හිමිව තිබෙන අද මෙහි බැරෑ­රු­ම්කම ගැන අව­බෝ­ධ­යක් නැතත්; ධන­පති පවු­ල්වල අයට පම­ණක් අකුරු උරු­මව තුබූ යුග­යක ඒ මහතා ගෙන ගිය අර­ග­ලය වික්‍ර­ම­යක්ය කීම අති­ශ­යෝ­ක්ති­යක් නොවේ.

බල­පි­ටිය උසා­වියේ පිස්කල් ඔපි­සර වූ ජෝන් දානි­යෙල් විජේ­කෝන් කන්න­න්ගර මහ­තාට දාව, එමලි විජේ­සිංහ මාතා­වගේ කුසින් 1884 ඔක්තෝ­බර් 13 දා අම්බ­ල­න්ගොඩ රන්දොඹේ ග්‍රාම­යේදී ක්‍රිස්ටෝ­පර් විලි­යම් විජේ­කෝන් කන්න­න්ගර දරුවා මෙලොව එළිය දුටු­වේය. අම්බ­ල­න්ගොඩ වෙස්ලි­යන් පාසලේ මූලික අධ්‍යා­ප­නය ලබන කල්හි දැක්වූ දක්ෂ­තාව හේතු­වෙන් ගාල්ලේ රිච්මන්ඩ් විද්‍යා­ල­යේදී ද්විතීක අධ්‍යා­ප­නය ලැබී­මට හෙතෙම ශිෂ්‍ය­ත්ව­යක් ලැබු­වේය. 1901දී කේම්බ්‍රිජ් සීනි­යර් විභා­ග­යෙන් දක්ෂ­තම ශිෂ්‍යයා සේ සමත්ව 1904දී රිච්මන්ඩ් විද්‍යා­ලයේ උප­ගු­රු­ව­ර­යකු ලෙස ගුරු­සේ­ව­යට බැඳුණු තුරුණු කන්න­න්ගර 1910දී ශ්‍රේෂ්ඨා­ධි­ක­රණ නීති­ඥ­යකු ලෙස දිවු­රුම් දුන්නේය. 1923දී රාජ්‍ය මන්ත්‍රණ සභා­වට පත් වූ හෙතෙම 1930දී ලංකා ජාතික සංග­මයේ සභා­පති පද­වි­යට පත් විය.

1931දී ඩොන­මෝර් අණ­ඩු­ක්‍ර­මය යටතේ මෙරට ප්‍රථම අධ්‍යා­පන අමා­ත්‍ය­ධු­රය පිරි­නැ­මුණු දා සිට 1947 දක්වා 16 වසර ශ්‍රී ලංකාවේ අධ්‍යා­පන ඉති­හා­සයේ ස්වර්ණ­මය යුගය බවට පත් කිරී­මට ඔහු කැප වූයේ රාජ්‍ය මන්ත්‍රණ සභාවේ අධ්‍යා­ප­නය පිළි­බඳ විධා­යක කමි­ටුවේ ප්‍රථම සභා­ප­ති­ව­රයා ලෙස කට­යුතු කර­මිනි. ප්‍රාථ­මික අධ්‍යා­ප­නයේ සිට විශ්ව­වි­ද්‍යාල දක්වා නිද­හස් අධ්‍යා­ප­නය ලබා­දීම, ප්‍රාථ­මික පාස­ල්වල මවු භාෂාව ඉගැ­න්වීම හා තුන්වන ශ්‍රේණියේ සිට සියලු පාස­ල්වල ඉංග්‍රීසි භාෂාව ඉගැ­න්වීම යනාදි බොහෝ වැද­ගත් යෝජනා ඉදි­රි­පත් කළේ මෙස­ම­යේය.

එහි ප්‍රති­ඵල ලෙස ග්‍රාමීය අධ්‍යා­පන ක්‍රමය හා වැඩි­හිටි අධ්‍යා­පන ක්‍රමය ආරම්භ වූ අතර, එයට සම­ගා­මිව පාසල් සෞඛ්‍ය සේවාව, ළම­යින්ට දිවා ආහා­රය සැප­යීම, ප්‍රවා­හන පහ­සු­කම් සැල­සීම, පාසල් ගුවන් විදුලි සේවාව බඳු අධ්‍යා­පන උප­යෝගි සේවාද ඇර­ඹිණි.

තමාට අහ­ම්බෙන් මෙන් ලැබුණු උසස් විද්‍යා­ල­යක අධ්‍යා­ප­නය හැදෑ­රීමේ වරය සමස්ත ශ්‍රී ලාංකික දරු පර­පු­ර­ටම හිමි කර දීමට 5 ශිෂ්‍ය­ත්වය හඳුන්වා දුන්නේද කන්න­න්ගර මහතා විසිනි. නැඟෙ­න­හිර කාත්ත­න්කුඩි, මන්නා­රම් තුඩුවේ එරු­ක්ක­ල­ම්පිඩ්ඩි, පේදුරු තුඩුවේ නෙල්ලි­අඩි, යාප­නයේ වාස­වි­ලාන්, දකුණේ දික්වැල්ල, උතු­රු­මැද අනු­රා­ධ­පුර හා කැකි­රාව, මධ්‍යම කඳු­ක­රයේ හැදු­ණු­වැව, වලල, පොර­ම­ඬුල්ල, ගිනි­ග­ත්හේන ආදි වශ­යෙන් දිව­යින පුරා මධ්‍ය විද්‍යාල 54ක් අර­ඹනු ලැබූයේ එහි ප්‍රති­ඵ­ල­යක් වශ­යෙනි. කොළඹ උසස් පාස­ල්වල සියලු පහ­සු­කම් මේ ප්‍රාදේ­ශීය මැදි­වි­දු­හ­ල්ව­ල­ටද හිමි වූ අතර, වැඩි කලක් යන්න පෙර විශ්ව­වි­ද්‍යා­ලය ප්‍රවේ­ශ­යේදී ඉහ­ළම දස්කම් පෙන්ව­මින් ඉදි­රි­යට ආ ඒවායේ සිසුහු රාජ්‍ය සහ පෞද්ග­ලික අංශයේ ඉහළ තන­තුරු බබ­ළ­ව­න්නට වූහ.

මෙවන් උත්තුංග මෙහෙ­ව­රක් සල­සන අතරේ කන්න­න්ගර මහතා දේශ­පා­ල­නයේ යෙදුණු කාලයේ නොක­ඩවා පාර්ලි­මේන්තු සභා වාර­ව­ලට පැමි­ණී­මෙන්ද, සභා­වාර අව­සන තෙක් සභා­ගැබේ රැඳී­මෙන්ද වත්මන් දේශ­පා­ල­ක­ය­න්ටද ආද­ර්ශ­යක් වූයේය. අද ඇතැම් මන්ත්‍රීන් පාර්ලි­මේ­න්තු­වට එන්නේ කලා­තු­ර­කිනි. පැමි­ණි­යත් නම ලකුණු කර­ගෙන, පැමි­ණීමේ දීම­නාව තහ­වුරු කර­ගත් සැණින්, ආපසු යන තත්ත්ව­ය­කට ඇතැ­මෙක් පත්ව සිටිති.

වර්ත­මා­නයේ ධනය ඉප­යී­ම­ටම දේශ­පා­ල­න­යට පිවි­සෙ­න්නන් සුල­බව සිටි­යදී; එදා යහ­මින් මුදල් ඉප­යිය හැකි නීතිඥ වෘත්තිය පවා අත්හැර දේශ­පා­ල­න­යට පැමිණි කන්න­න්ගර මහ­තාට දේශ­පා­ල­න­යෙන් ඉවත් වූ පසු ජීවත් වීමට ආදා­යම් මාර්ග­යක් තිබුණේ නැත. පසු කලෙක තමාට බේත්-හේත් ගන්නට පවා මුද­ලක් නැති බැවින් විශ්‍රාම වැටු­පක් දෙන ලෙස ඉල්ලා පාර්ලි­මේ­න්තුවේ කථා­නා­ය­ක­තු­මාට ලිපි­යක් යැවී­මට ඔහුට සිදු වූයේ එබැ­විනි.

1961 ඔක්තෝ­බර් 26 දින හෙතෙම තම අභි­යා­ච­නය එව­කට කථා­නා­යක ආර්.එස්. පැල්පොල මහ­තාට යොමු කළ අතර, අග­මැ­තිනි සිරි­මාවෝ බණ්ඩා­ර­නා­යක මැති­නිය 1963දී පාර්ලි­මේන්තු යෝජ­නා­වක් සම්මත කර­ගෙන, රු. 10,000ක පාරි­තෝ­ෂික මුද­ලක් ගෙවා, මස­කට රු. 500 බැගින් විශ්‍රාම වැටු­පක්ද ලැබී­මට සැලැ­සූ­වාය.

මෙරට අධ්‍යා­ප­නයේ දැවැන්ත විප්ල­ව­යක් කොට, දුප්ප­තුන්ගේ දරු­වන් පොහො­ස­තුන් බවට පත් කළ කන්න­න්ගර මහතා අති­ශය සරල ජීවි­ත­යක් ගත කර, 1969 සැප්තැ­ම්බර් 23 දා දැයෙන් සමු ගත්තේ දේශ­පා­ල­නය මුදල් ඉප­යීම‍ට නොව, ජනතා සේව­යට කැප කළ යුතු උත්ත­රී­තර මෙහෙ­ව­රක් පම­ණක්ම බවට තම ජීවි­ත­යම පර­මා­ද­ර්ශ­යක් කර­මිනි.

එතු­මන් කළ මේ අනු­පම මෙහෙ­වර නොක­ඩවා සම­රනු වස්, සමස්ත ලංකා මධ්‍ය විද්‍යාල ආදි­ශිෂ්‍ය සංග­මය ඔහු දිවං­ගත වූ දින මැදි විදු­හල් 54න් එක­කදී ගුණ­ස­ම­රු­වක් පැවැ­ත්වීම වාර්ෂි­කව සිදු කර­ගෙන එන අතර, මෙවර සම­රුව හෙට (23) පෙ.ව. 9.00ට තෝලං­ග­මුව ඩඩ්ලි සේනා­නා­යක මධ්‍ය විද්‍යා­ල­යේදී පැවැ­ත්වී­මට නිය­මි­තය.

ජේ.එම්.යූ.බී. ජය­සේ­කර

 

Comments