හුළු ගඟේ මිහිර සිහිනෙන් විඳිමින් වික්ටෝරියාව රකින සොඳුරු රසවතා | සිළුමිණ

හුළු ගඟේ මිහිර සිහිනෙන් විඳිමින් වික්ටෝරියාව රකින සොඳුරු රසවතා

වික්ටෝ­රියා ජලා­ශය ලස්සන වාන් දාන කාල­ය­ටය. ඒ නැතත් ඒ අවට පරි­ස­රය හරි අපූ­රුය. පායන කාල­යට අවට ගහ කොළ කටු පදුරු ලෙසින් දිස් වුවද වැසි සම­යට පළා­තම වසා­ගෙන ඇත්තේ අලුත් දලු කොළය. වික්ටෝ­රියා ජලා­ශය අවට අපූරු පරි­ස­රය දැන් ක්‍රම­යෙන් විනාශ වෙමින් පව­තින්නේ යැයි ඇසු­වොත් ඔබ පුදුම නොවන්න. ඒ පරි­සර හිත­කා­මීන් යැයි කිය­මින්, පරි­ස­රය රැක­ගත යුතු යැයි කියන මිනි­සුන්ම මේ පරි­ස­රය අප­විත්‍ර කරන බැවිනි.

කනින් කොනින් ඇසුණු ආරං­චි­ය­කට පසු­ගිය දිනෙක අප එහි ගියේ සැබෑ තොර­තුරු දැන­ගන්නා අද­හ­සිනි. අප යමින් සිටියේ දහ අට වංගුව සහිත දුම්බර පාරෙනි. වික්ටෝ­රියා ජලා­ශය අවට ඇති රක්ෂි­තයේ තැනින් තැන ඒ උදෑ­ස­නත් කැළි කසළ දක්නට ලැබිණි.

“වික්ටෝ­රි­යාවේ සේවය කරන අය ඔය පරි­ස­රය රැක­ගන්න පුදුම වෙහෙ­සක් දර­නවා. සම­හර දව­ස්ව­ලට එයාලා ශ්‍රම­දාන දාලා අවට තියෙන කුණු ඉවත් කර­නවා.”

මඟ අසල කඩ­හි­මි­යෙකු පැවැ­සුවේ එවැනි කතා­වකි.

දිගු ගම­නක් නිමා කර­මින් අප වික්ටෝ­රියා ජලා­ශයේ නැර­ඹුම් මැදි­රි­යට පිවි­සු­ණෙමු. එතැන සිට අවට බැලු විට ඇත්තේ හරි අපූරු දසු­නකි. මන්දා­රම් ගතිය හමන සුළඟ තවත් සීතල කරයි. කාල­ය­කින් හරි හමන් වැස්සක් නොලද බැවින් ජලා­ශය යම් තර­ම­කට සිඳී ගොස්ය. 1964 වස­රේදී ආරම්භ කර­න්නට යෝජනා වූ වික්ටෝ­රියා ව්‍යාපෘ­තිය ආරම්භ වන්නේ 1978 වස­රේ­දීය. ව්‍යාපෘ­තිය නිම කරන්න වසර හතක් ගත වී ඇති අතර 1985 අප්‍රේල් දෙවැ­නිදා එය විවෘත කර ඇත. වික්ටෝ­රියා යෝජනා ක්‍රමය ඇර­ඹීමේ ප්‍රධාන අර­මුණු වී ඇත්තේ ජල විදු­ලිය නිප­ද­වීම හා පානීය ජල සම්පා­ද­න­යයි. දැන් වික්ටෝ­රියා ව්‍යාපෘ­තිය ආරම්භ කර වසර හත­ළිස් එකකි. මේ කාලය තුළ පරි­ස­රය බොහෝ වෙන­ස්ක­ම්ව­ලට භාජ­නය වී ඇත.

“පරි­ස­ර­යට මිනිස්සු කරලා තියෙන හානිය පෙන්වන්න නම් ජලා­ශය වටේ රවු­මක් ගිහිල්ලා බලන්න ඕන.” කාර්ය­භාර ඉංජි­නේරු වසන්ත ඇහැ­ළ­පි­ටිය මහතා අප කැඳ­වා­ගෙන ගොස් බෝට්ටු­ව­කට ගොඩ වූයේ ජලා­ශයේ වටේ රවු­මක් යන්න­ටය. බෝට්ටුව ගමන් ඇර­ඹුවේ සෙමෙනි. අහස හත­ර­ව­ටින්ම ඇත්තේ මන්දා­රම් ගති­යකි. දිය කඳ දෙබෑ කර­මින් ඉදි­රි­යට ඇදෙන බෝට්ටුවේ අප සිටියේ ඇතු­ළත නොව එළි­ම­හ­නේය. වැස්සක් ගැන හිත­ක­වත් නොතිබූ මොහො­තක හදි­සියේ වැස්ස කඩා වැටුණේ අපට දඬු­වම් කර­න්නට මෙනි. බොරළු කැට­මෙන් වූ ලොකු වැහි බිඳු ජලා­ශය මත අපූරු රූ රටා මැව්වේය. වැස්සෙන් බේරී­මට නම් අප බෝට්ටුව ඇතු­ළට යා යුතුය. ඒ ගිය ගම­නේදී බෝට්ටු පද­වන්නා වෙත ළං වුයේ ඔහුගේ කල්ප­නාව බිඳ දම­මිනි.

“මම දැන ගත්තා වැඩි­වෙලා යන්නේ නැතිව වහින බව. එත් සර් කිව්වනේ යං කියලා. මේ වැස්ස ගොඩක් වෙලා අල්ලලා හිටින්නේ නැහැ. තව පොඩ්ඩ­කින් පායයි. හුළු ගඟට ඉහ­ළින් වැහි කළුව තියෙන කොට මං දැන­ගත්තා වහින බව.”

බෝට්ටු පද­වන්නා පව­සන්නේ ඉදි­රිය බලා­ගෙ­නය. ඔහු කීවා නිවැ­ර­දිය. මහ හඬින් ඇද හැලුණු වැස්ස නිමා වීමට මහ වේලා­වක් ගත වුයේ නැත.

මේ පරි­ස­රය ගැන ඔහු බොහෝ දේ දන්නා අයෙකු වන්නට ඇතැයි සිතුණේ නික­ම­ටය. අප ඔහුට කතා කළෙමු. ඔහු එස්.එන්.එම්. උප­සිරි.

“රස්සා­වට වික්ටෝ­රි­යා­වට ඇවිල්ලා අවු­රදු හත­ළි­ස් එකක් වෙනවා දැන්. මුලින්ම ආවේ හුළු ගඟෙයි මහ­වැලි ගඟෙයි ජල මට්ටම මනින්න. ඒ කාලේ හුළු ගඟයි මහ­වැලි ගඟයි බොහෝම පටුයි. ඉස්කෝ­ලෙන් අයින් වෙච්ච ගමන් තමයි රස්සා­වට ආවේ. මහ­වැලි ගඟයි හුළු ගඟයි එකට එකතු වෙන තැන පොල් කොටන් දෙකක් දාලා තමයි එගොඩ මෙගොඩ වුණේ. පොඩි මීට­ර­යක් හයි කරලා තිබුණා වතුර මට්ටම මනින්න. මම වැඩ කළේ පැය දොළහේ ෂිෆ්ට් එකට. බොහෝම පුංචි පඩි­යක් ලැබුණේ. ඒ කාලේ මේ පැත්ත හරිම ලස්ස­නයි. ජලා­ශය හදන කොට ගම් යට වුණා. ”

උප­සිරි කතාව මද­කට නවතා ඈත බලයි. ඔහු බලන ඈත පෙනෙන්නේ තෙරක් නොපෙ­නෙන දිය කඳ පමණි.

ඉංජි­නේරු
වසන්ත ඇහැ­ළ­පි­ටිය

“ජලා­ශ­යට ගංඟා­වල් යට වුණාට දුක ද? ”

“ඔව්. මම ඒ පුංචි ගංඟා දෙකට තව­මත් ආද­රෙයි.

ඔහු දෑසේ කදුළු පිරෙයි. දෑත්වල හීගඩු පිපෙයි. ඒ පරි­ස­ර­යට ඔහුගේ ඇති ඇල්මේ තර­මය. සුදු මහ­ත්තු­රුන් තමයි මේකේ වැඩ කළේ. එයාලා මැනලා කියන වතුර මට්ට­මයි මම අත්දැ­කී­මෙන් කියන වතුර මට්ට­මයි හැම­දාම එකයි. මම හැම දෙයක්ම ඉගෙන ගත්තේ පරි­ස­ර­යෙන්. ජාලා­ශය හදන කාලේ ජේ. ආර්. ජය­ව­ර්ධන ජනා­ධි­ප­ති­තු­මයි, ගාමිණි දිසා­නා­යක මහ­ත්ත­යයි මෙහෙ එනවා. ඒ ආවාම මම තමයි බෝට්ටු­වෙන් එක්ක­ගෙන යන්නේ ජලා­ශය බලන්න. මේක හදපු ප්‍රධාන ඉංජි­නේ­රුවා ඒ. ජී. හුක් මහ­ත්තයා. ඔහු බොහෝම හොඳ කෙනෙක්. ගම්බද මිනිස්සු මෙහෙ වැඩට ආවා. පඩි ගෙව්වේ එංග­ලන්ත ක්‍රම­යට. ඒ නිසා වැඩ කරපු අයට හොඳ වැටු­පක් ලැබුණා. ඒ නිසා පිට පළා­ත්ව­ලි­නුත් මිනිස්සු රස්සා­වට ආවා.

ඔර­ලෝ­සු­වක් අතේ නැති වුණත් මම ඒ කාලේ වේලා­වට වැඩට ආවා. නිවාඩු ගත්තේ නැහැ. වේලාව දැන ගත්තේ පරි­ස­රයේ කුරුල්ලෝ හැසි­රෙන විදි­හෙන්. අදත් හැන්දෑවේ හය වෙන කොට මේ පැත්තට කුරුලු රෑනක් යනවා.”

ජලා­ශය හදලා ඉවර වෙලා වතුර පිරෙව්වේ අදි­යර තුන­කට. මම මේ ජලා­ශයේ සුදු මහ­ත්තුරු එක්ක පීනලා දිනලා තියෙ­නවා. ඔවුන් කිව්වා මාව එංග­ල­න්ත­යට ගෙන­යන්න ඕනෑ කියලා. නමුත් මම හිතුවා අම්මා බලා­ගන්න එක මගේ යුතු­කම කියලා. ඒ නිසා මම ඔවුන් එක්ක යන්න බැහැ කිව්වා.”

උප­සි­රිට වික්ටෝ­රියා ජලා­ශය ගැන බොහෝ දේ මත­කය . ඒ මත­කය අවුස්සා බල­න්නට නම් ඔහු සමඟ වරු ගණ­නක් ගත කළ යුතුය.

ජලා­ශ­යට වතුර පුර­වන කොට සත්තු අහු වුණා. මම තමයි උන්ව බේර­ගත්තේ බෝට්ටුවේ ගිහිල්ලා. දව­සක් සත්තු අල්ලන්න යන­කොට මගේ බාච්චු කලි­සම ඇතුළේ පොළ­ඟෙක් . මට කිසිම හානි­යක් වුණේ නැහැ. සතුන් මිනි­ස්සුන්ගේ කරු­ණාව හඳු­නා­ග­ත්තාම හානි කරන්නේ නැහැ. පසු කාලී­නව මේ ජැටිය හද­න්නත් මම මුල් වුණා. මෙහෙ ඉන්න පර­ණම සේව­කයා මම. මට මෙහෙ සිදු වුණ හැම දෙයක්ම වගේ මත­කයි. මම මේ හැම තැන­කම ඇවි­දලා තියෙ­නවා. මිනිස්සු මේ පරි­ස­රය විනාශ කරන එක තමයි ඉව­සන්න බැරි. සම­හ­රුන් කැලෑව ගිනි තිය­නවා.“

ඔහු අත දිගු කර ඈත කන්දක ගින්නක් පෙන්වයි

ඔහුගේ කතා­වට බාධා කර­මින් මම තවත් පරණ කතා­වක් ඇසු­වෙමි.

“මෙහෙ ඉංග්‍රීසි චිත්‍ර­ප­ට­යක් හැදුවා මත­කද?

“අපොයි ඔව්. ඒ චිත්‍ර­ප­ටයේ නම ඉන්දි­යානා ජෝන්ස්. ස්ටීවන් ස්පිල්බර්ග් මහ­ත්තයා අධ්‍ය­ක්ෂ­ණය කළේ. ඩෑම් එකෙන් එහා පැත්තේ තමයි ඒ චිත්‍ර­ප­ටයේ පාලම හදලා තිබුණේ. චිත්‍ර­ප­ටයේ වැඩට ඇවිල්ලා හිටපු අය බයයි ඊයම් බෝඩ් එක අර­ගෙන පාලමේ එහෙට මෙහෙට යන්න. මම තමයි ඒ බෝඩ් එක අර­ගෙන පාලමේ එහෙට මෙහෙට ගියේ. මට රස්සා­වෙන් මාස­ය­කට ගන්න පඩිය චිත්‍ර­ප­ටයේ වැඩ­ව­ලට උදව් වෙලා එක දව­සෙන් ගත්තා. ඒ චිත්‍ර පටයේ තිබුණේ රතු ඉන්දි­යන් කාර­යොයි සුදු මහ­ත්තු­රුයි ගැන කතා­වක්.”

උප­සිරි යළිත් දෑසේ කඳුළු පුර­වා­ගෙන පව­සයි. ඔහු ඒ ආද­රය නිසාම ඒ පරි­ස­රය රැක­ග­න්නට අප­මණ වෙහෙ­සෙයි. උප­සිරි පම­ණක් නොව වික්ටෝ­රියා ව්‍යාපා­රයේ අධ්‍යක්ෂ එස්. ආර්. කේ. අරු­ප්පල මහතා ඇතුළු කාර්ය මණ්ඩල වෙහෙ­සෙන්නේ ජල සම්පත හා වන සම්පත රැක ගැනී­ම­ටය.

ශ්‍රී ලංකා මහ­වැලි අධි­කා­රියේ ප්‍රධාන ජලාශ නියෝජ්‍ය අධ්‍යක්ෂ මෙන්ම වික්ටෝ­රියා ජලා­ශයේ කාර්ය­ය­භාර ඉංජ­නේරු වසන්ත ඇහැ­ළ­පි­ටිය මහතා පරි­සර විනා­ශය ගැන පව­සන්නේ මෙවැනි කතා­වකි.

ඉන්දියානා  ජොන්ස්  චිත්‍රපටය  රූගත  කළ  තැන

“අද වන විට මේ අවට ප්‍රදේ­ශ­යට මිනි­සුන් විසින් කැළි කසළ දැමීම අපට ලොකු ප්‍රශ්න­යක්. මහ­වැලි ගඟේ ජලය පොල්ගොල්ල අමු­ණෙන් තමයි වික්ටෝ­රියා ජලා­ශ­යට ලැබෙන්නේ. මේ අවට පරි­ස­ර­යට හෝට­ල්ව­ලින් අව­ධි­මත් ලෙස අප­ද්‍රව්‍ය මුදා හරි­නවා. වැස්සාම සියල්ල එකතු වෙන්නේ ජලා­ශ­යට. ඊට අම­ත­රව කටු­ග­ස්තොට, ගුරු­දෙ­ණිය, හාර­ගම යන ප්‍රධාන නග­ර­වල බොහෝ මිනිස්සු ගොඩ­නැ­ගිලි කඩලා ඉවත් කරන ද්‍රව්‍ය වික්ටෝ­රියා රක්ෂි­ත­යට තමයි ගෙනැල්ලා දාන්නේ.

වික්ටෝ­රියා ජලා­ශය මැදි­වෙලා තියෙන්නේ දුම්බර පාර­ටයි , රජ­මා­ව­ත­ටයි. මේ පාර අද්දර තියෙන රක්ෂි­ත­ව­ලට මිනිස්සු කුණු ගෙනැල්ලා දානවා. අපේ කාර්ය මණ්ඩ­ලය එකතු වෙලා ශ්‍රම­දාන දාලා සුද්ද පවිත්‍ර කර­නවා. ඒ හැරු­ණාම ජලා­ශයේ කුණු අයින් කරන්න ඔරු­වක් දීලා එක් අයෙ­කුට බාර දී තියෙ­නවා.

රක්ෂිතයට කුණු දමා ඇති අයුරු

වික්ටෝ­රියා ජලා­ශය මුල් කර­ගත් ජල සම්පා­දන මණ්ඩ­ලයේ පානිය ජල ව්‍යාපෘති තියෙ­නවා. මේ පරි­සර විනා­ශය ඒ සිය­ල්ල­ටම බල­පා­නවා. ඔක්තෝ­බර් නොවැ­ම්බර් කාලයේ තමයි වික්ටෝ­රියා ජලා­ශය වාන් දමන්නේ. වික්ටෝ­රියා ජලා­ශය නර­ඹන්න එන අය­ගෙන් අපි ඉල්ලී­මක් කර­නවා මේ පරි­ස­රය රැක­ගන්න. ඔබ ගෙනෙන කුණු මේ භුමියේ දමා යන්න එපා කියලා. වසන්ත මහතා කාගේ කාගෙ­නුත් ඉල්ලන්නේ ඉතා ඕනෑ­ක­මිනි.

ජලා­ශය මැද දී ඇද හැලුණ වැස්ස නිමා වී සිලි පොද­යක් පම­ණක් අප වික්ටෝ­රි­යා­වෙන් පිට වන විට ඉතිරි වී තිබිණි. ඒ වැස්ස ගහට කොළට මදිය. විසල් වාන් දොර­වල් අටම ස්වයං­ක්‍රී­යව ඇරිය විට සුදු මීදුම් විහි­දෙ­නවා සේ වාන් දැමී­මට නම් මහා වැසි දෙක තුනක් වැටිය යුතු­මය. එසේ වැටෙ­න්නට නම් මේ පරි­ස­රය ආරක්ෂා කර­දීම පළාතේ වෙසෙන ජන­තා­වගේ මෙන්ම වික්ටෝ­රි­යාව නර­ඹ­න්නට යන එන ඔබේද වග­කී­මය.

ඡායා­රූප - ශාන් රඹු­ක්වැල්ල

(ස්තුතිය -ලංකා බැංකුවේ සහ­කාර මහ කළ­ම­නා­කා­රිනී - පුහුණු ඒ. ඩි. එස් ඉන්ද්‍රානි මහ­ත්මි­යට)

Comments