අපිළිවෙළ තමා ආන්ටි ලස්සන... පිළිවෙළ කෘත්‍රිමයි | සිළුමිණ

අපිළිවෙළ තමා ආන්ටි ලස්සන... පිළිවෙළ කෘත්‍රිමයි

සුවිනීත වදන් නුහුරු මිනිසා කතා කළේ ආයාසයෙනි. සුනන්දා ආගන්තුක සත්කාරය ආරම්භ කළේ අපමණ සතුටිනි. බැණ වැදීමෙන් නොනැවතී අමාලිට පහර දෙනු ඇතැයි තැතිගෙන හුන් ඇය මේ හැන්දෑවේ මේ කුඩා සමාගමයෙහි ප්‍රීතිමත්ම තැනැත්තිය වූවාය.

“කාංචනා මිස් දැන් එනවා ඇති නේද මැඩම්?”

“ඔව්. තනියම එනවා ඇති. ඔය උඩ දාගෙන ගියාට රමේෂ් එන්නෙ නෑ. මං දන්නෙ නැද්ද රමේෂේගෙ හැටි...”

වැඩි ආයාසයක් නොදරාම තමා නිසි තැන ඇණය ගැසූ බව අමාලි ජයග්‍රාහී මනසින් සිතුවාය.

“අද ආවොත් බැරි වෙලාවත්?”

“ආවොත්...? ආවොත් මම මොකද කරන්නෙ අමාලි..? මෙච්චර කල් මාව බලන්න ආවෙ නැතුවට මම එයාට ගහන්න ඕන.. හොඳට රිදෙන්න ගහන්න ඕන...”

“ඒක හොඳයි. වරදට දඬුවමකුත් ඕනේ. මම හොඳ කෝටුවක් හොයලා දෙන්නම්..”

ශ්‍රීමා විජේවර්ධන බිත්තියේ එල්ලෙන වේවැලට අත දිගු කළාය.

“ඔයා කෝටු හොයන්න කරදර වෙන්න එපා ළමයෝ...”

කෝටු සෙවීමේ කරදරයෙන් අමාලි වහාම නිදහස් කෙරිණ. ඇය වේවැල ශ්‍රීමා අත තැබුවාය.

වේවැලක් නොව මැණිකක් ලද පරිද්දෙන් ශ්‍රීමා තුටු පහටු වූවාය.

“දැං හරිනෙ. රමේෂ් ආවොත් ඔයා ගහනවනෙ.”

“නැතුව..”

රමේෂ් කාමරයට කඩා වැදුණේ කෝපයෙනි.

“මමීව අවුස්සනවා අමාලි ඔයා...? ඒක හරි වැරදියි” යි ඔහු එක එල්ලේ අමාලිට චෝදනා කළේය. ඇගේ සිත නොරිදිණ. ඇය උස් පහත්වන වේවැල මත රැඳුණු දෑසින් නිහඬව පසුවූවාය.

සිය මව නොනවත්වා පහර දෙන කල රමේෂ් වේවැල උදුරාගන්නට තැත් කළේය.

“එපා... ප්ලීස්... වේවැල උදුරන්න එපා. ඔයා ගුටිකන්න... වේවැල උදුරාගත්තොත් මොකක් වෙයිද කියන්න බෑ. චුට්ටක් ගුටි කාපුවම මොකද වෙන්නෙ.” යි ඇසූ අමාලි ඔහු බදාගත්තාය.

“මේ... මේ මොකද....? අතාරිනවා.. අතාරිනවා මාව..”

ඔහු වේවැල උදුරාගෙන ඔහුගේ මව කුපිත කරවන බව ඉඳුරා දත් ඇය සිය ග්‍රහණය ලිහිල් නොකළාය.

“ගහන්න මැඩම්... ගහන්න” යි ඇය ඒ චපල ස්ත්‍රිය දිරිමත් කරන්නට ද අමතක නොකළාය. කාංචනා දිව ආවේ ගැහෙන හදවතිනි. එවිට ශ්‍රීමා හතිලමින් සිටි අතර අමාලි වේවැල යළි ස්ථානගත කළාය.

“මොකක්ද අක්කා මේකෙ තේරුම...?”

රමේෂ්ට සිය කෝපය හා අප්‍රසාදය පළ කරන්නට ඉඩක් නොලැබිණ ශ්‍රීමා ඔහු වැලඳගෙන සිඹින්නට පටන්ගත් බැවිනි.

“අම්මෝ ඇති යංතං...” යි කාංචනා සැනසුම් සුසුමක් හෙළුවාය. තරුණයෙකු සමඟ පොර බැඳීමෙන් වෙහෙසට පත් තමා පුටුවක් මත ඇදවැටුණු ආකාරය සිහි කරමින් අමාලි හිනැහුණාය.

“ඒ ගමන හිනාවෙනවා... අයියෝ ඔයා නිදාගන්නෙ නැද්ද අමා...?”

සුනන්දා නෝක්කාඩු කීවාය. ඒ අපූරු සිදුවීම නැවත නැවත ආවර්ජනය කරමින් අමාලි දිගින් දිගට ම හිනැහුණාය.

* * * * *

ඔහුගේ නිශ්ශබ්දතාව විඳ දරාගත නුහුණුව ඇය නැවතත් දොරකඩට ගියාය.

“ඔය දොර වහන්න” යි ඔහු අණ කළේය. ඒ අණ පිළිපැදීම වේදනාකාරි වුවද ඔහුගේ මුව විවර වීම පිළිබඳව ඇය සැනසුණාය.

“තාම ඒ හැටි හවස් වෙලා නෑ අයියේ.”

“මං කිව්වෙ ඔය දොර වහන්න කියලා.”

ඇය තැත් කළේ දොර නොවසා සිටින්නටය.

“දැන් අමා එනවා ඇති අයියේ..”

“අද නිවාඩු දවසෙත් එයාට ගෙදර ඉන්න බැරි ඇයි? නංගි මොකටද එයාට යන්න දුන්නෙ?”

සමාව අයදින බැල්මක් එක්ක සුනන්දා නැවතත් පාර බැලුවාය. මේ හැන්දෑවේ ඇය දකින්නට අපේක්ෂා කරන්නේ ඒ හිතුවක්කාර යුවතියගේ රුව මිස අනෙකක් නොවේ.

“අර කාංචනා මිස්ගේ අම්මා හරියට කලබල කරනවලු අයියේ. අපේ අමාට විතරලු පුළුවන් ඒ මනුස්සයාව මෙල්ල කරන්න...”

සිරිමාන්න මෙතෙක් වේලා හිඳගෙන හුන් අසුනින් නැඟී සිටියේය.

“එක එක ලෙඩ්ඩු බලන්න නෙමේ නංගි මම ඔය කෙල්ල හැදුවෙ. චම්පා හිටියනං කීයටවත් ඉඩ දෙන්නෙ නෑ ඔය ගෙවල් ගානෙ යවන්න..”

“අනේ අයියෙ ඒ මිනිස්සු හොඳ වැදගත් මිනිස්සුනෙ. අපි එදා ගියානෙ.. සල්ලිකාරයෝ කියලා කිසි ආඩම්බරේකුත් නෑනේ අයියේ. අර වයසක මනුස්සයා අපේ අමාට පණ ඇරලලු..”

“ඇති ඇති. නවත්තගන්න ඔය චූර්ණිකාව. නංගිත් ඔහොම අමාට උල්පන්දම් දෙනකොට මං මොකද කරන්නෙ...? ඔය දෙන්නට ම ඇයි බැරි මං ගැන හිතන්න? මම විදුහල්පතිවරයෙක්. මගේ දුව ෆාමසියක වැඩ කළාට කමක් නෑ කියමුකෝ. ඒත් අන්තිමට අර නාකි ගෑනියෙක් එක්ක පිස්සු නටනවා. මං කොහොමද මේවා ඉවසන්නෙ?”

නිරුත්තරවූ සුනන්දා දොර වසන්නට අතක් දිගු කළාය. එකෙනෙහි මිදුලේ හුදෙකලාව මකමින් ඇදී ආ මෝටර් රිය දැක වික්ෂිප්ත වූවාය.

පළමුව වාහනයෙන් බට අමාලි “නැන්දේ” යි හඬ ගෑවාය.

සුනන්දා හැරී බැලුවේ සොහොයුරා දෙසය. ඔහුගේ දෙනෙත රත් පැහැ ගැන්වී තිබුණේ කෝපාග්නියේ තරම කියා පාමිනි.

රියැදුරු අසුනේ හුන් තරුණයා දෙස අයියා න‍ඟෝ දෙදෙනාගේම නුවන් රැඳිණ. ඔහු ඔවුන් වෙත සුහද සිනාවක් පෑවේය. එහෙත් පෙරළා ඔහු සිනාවක් නොලද්දේය.

“ඔන්න අපි අමාලිව එක්කගෙනම ආවා..” යි කියමින් සමීපයට පැමිණි කාංචනා උදෙසා සිනාවක් නොපා සිටින්නට සුනන්දා අපොහොසත් වූවාය.

“යං වාඩිවෙන්න.” යි ආරාධනා කළේ ද ඇයමය. සිරිමාන්න නිහඬව බලා සිටියේ අමාලිගේ අතක් අල්ලාගෙන සෙමෙන් ඇවිද එන ‍මහලු වුවද ප්‍රියංකර ගැහැනිය දෙසය.

“මමීට එන්නම ඕන කීවා. අනේ සොරි අංකල් කලින් කියන්න බැරි වුණාට..”

කාංචනා සමාව අයදින බැල්මක් හෙළුවාය.

“නෑ නෑ සමාව දෙන්න එපා අංකල්. කලින් නොදන්වා ගෙදරකට යන එක ලොකුම ලොකු වරදක්.. මම දැනගෙන හිටියෙ නෑ ඒ බවක්. දන්නව නම් මම එන්නෙ නෑ.. සත්තකින්ම.”

රමේෂ්ගේ පෙනුමද කතාබහද සිරිමාන්නගේ සිත් ගත්තේය.

“ඒකට කමක් නෑ පුතා... එන්න එන්න... වාඩිවෙන්න...” යි ඔහු ද ඇරියුම් කළේ හදිසියේ හටගත් උද්යෝගයෙනි.

“මට නං බෑ ඔන්න වාඩිවෙන්න. වාඩිවෙලානෙ ආවෙ..” යි කී ශ්‍රීමා වීරවර්ධන අමාලිගේ අත අතහැර උඩුකය පහත් කළාය.

“කැමති විදියකට ඉන්න... තමුන්ගෙම ගෙදර කියලා හිතන්න‍කෝ”

සුවිනීත වදන් නුහුරු මිනිසා කතා කළේ ආයාසයෙනි. සුනන්දා ආගන්තුක සත්කාරය ආරම්භ කළේ අපමණ සතුටිනි. බැණ වැදීමෙන් නොනැවතී අමාලිට පහර දෙනු ඇතැයි තැතිගෙන හුන් ඇය මේ හැන්දෑවේ මේ කුඩා සමාගමයෙහි ප්‍රීතිමත්ම තැනැත්තිය වූවාය.

“සමහරවිට අංකල් මට බණිනවත් ඇති. අමාලි දැන් ෆාමසියේ ඉන්නෙ කලාතුරකින්නෙ. අනේ මමීට එයා නැතිවම බෑනෙ අංකල්. මොනා කරන්නද කියලා මට තේරෙන්නෙ නෑ.”

කංචනා පියකරු මඳහසක්ද සමඟ කී කල සිරිමාන්නද මඳ සිනාවක් මුව’ග නංවා ගත්තේය. කුමක් කිව යුතුදැයි සිතා ගන්නට ඔහුට මඳ වේලාවක් ගත විය.

“මේකනෙ දරුවො.. අමා ගෑනු ළමයෙක්නෙ.. අම්මත් නැති එකේ ‍මගෙ වගකීම වැඩියි.”

රමේෂ් අවසර පැතුවේ මුළුතැන්ගෙය වෙත යන්නටය. ඒ ඉල්ලීම විමතියෙන් ඉවසූ සුනන්දා “අනේ ඉතිං අපේ කුස්සියේ නම් මහා ලොකු පිළිවෙළක් නෑ.” යි තරමක ලැජ්ජාවෙන් පැවසුවාය.

“අපිළිවෙළ තමා ආන්ටි ලස්සන. පිළිවෙළ කෘත්‍රිමයි. වියළියි. අවුලක තියෙනවා අමුතු ලස්සනක්. මම අවුලට කැමතියි.”

“අනේ මම ඔහොම කතාවක් ඇහුවමයි.” යි කී ඇය තේ පිළියෙල කරන තෙක් ඔහුට මුළුතැන්ගෙයි රැ‍ඳෙන්නට ඉඩ හැරියාය. නිකරුණේ බලා හිඳන්නට ප්‍රිය නොකළ තරුණයා කෝප්ප සෝදා දුන්නේය. ඉඟුරු කැබැල්ල තැළුවේය.

“අපේ අයියා මට දැන් බනිනවා”

ආගන්තුකයාගෙන් වැඩ ගන්නට නොරිසි ගැහැනිය බියපත් හඬින් කීවාය.

“ඇයි බනින්නේ?”

“ඉස්සෙල්ලම අපේ ගෙදරට ආවෙත් අදයි. වැඩගන්නවා කියලා අයියා බනී දැක්කොත්..”

ඔහු හඬ නඟා හිනැහුණේය.

“ඒක හරි වැරදියි. මම ලංකාවෙ ආසම නැති දේ තමා වැඩ බෙදා ගන්න එක. ගෑනු වැඩ පිරිමි වැඩ කියලා. ඇයි එකට එකතුවෙලා වැඩ කරන්න බැරි...?”

“මෙහෙ එහෙම තමා. වැඩ ඇරිලා දෙන්නම එකට ආවත් මහත්තයා ටී.වී, බලනවා... පත්තර කියවනවා. නෝනා ආයෙමත් වැඩ.”

“කොච්චර නරකද... දෙන්නට එකතු වෙලා ගෙදර වැඩ ටිකත් කර ගන්න පුළුවන්නේ. එතකොට ඉක්මනට කරන්නත් පුළුවන්. එකිනෙකාගෙ ආදරය ගෞරවය අවබෝධයත් වැඩි වෙනවනේ.”

ලබන සතියට‍...

Comments