දූවිලි මිනිසුන්ගේ ජීවිත මත රන් සුනු පිරියම් කරන මිනිසා | සිළුමිණ

දූවිලි මිනිසුන්ගේ ජීවිත මත රන් සුනු පිරියම් කරන මිනිසා

ළඹෙන ජනාධිපතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ සන්ධානයේ ජනාධිපති අපේක්ෂක වශයෙන් එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා නම්කර තිබේ.

එක්සත් ජාතික පක්ෂයේ නායක, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් සජිත් ප්‍රේමදාස මහතාගේ නම යෝජනා කළ අවස්ථාවේදී කෘත්‍යාධිකාරි මණ්ඩලය විසින් ඒකමතිකව එය ස්ථිර කර තිබේ. නිවාස ඉදිකිරීම් සහ සංස්ක‍ෘතික කටයුතු අමාත්‍ය ධූරය හොබවන සජිත් ප්‍රේමදාස මහතා හිටපු දිවංගත ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ සහ හේමා ප්‍රේමදාස මහත්මියගේ එකම පුතු වේ.

1967 ජනවාරි 12 වැනි දින උපත ලැබූ සජිත් ප්‍රේමදාස මහතා මූලික අධ්‍යාපනය ලැබුවේ කොල්ලුපිටිය ශාන්ත තෝමස් ප්‍රාථමික විදුහලෙනි. ඉන් අනතුරුව කොළඹ රාජකීය විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ ඔහු ලන්ඩන් මිල්හිල් විදුහලෙන් වැඩිදුර අධ්‍යාපනය ලැබීය. එම විදුහලේ ශිෂ්‍ය නායකයකු වශයෙන් ඔහු තෝරා පත්කර ගනු ලැබුවේ ඔහු මිල්හිල් විදුහලේ දීප්තිමත් ශිෂ්‍යයකු වූ නිසා ය. එය විදේශීය සිසුවකුට හිමිවන විශේෂ වරප්‍රසාදයකි. මිල්හිල් විද්‍යාලීය පළමු පෙළ ක්‍රිකට් කණ්ඩායමේ සිවු වසරක් ම ක්‍රීඩා කළ ඔහු, 1986 දී විද්‍යාලීය ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයට පත් විය.

අධ්‍යාපන පසුබිම

ඉන් අනතුරුව ලන්ඩන් විශ්වවිද්‍යාලයෙන් දේශපාලන විද්‍යා උපාධිය ලැබීය. ඔහු උපාධියට හැදෑරූ විෂයන් වූයේ ආර්ථික විද්‍යාව, දේශපාලන විද්‍යාව සහ අන්තර්ජාතික සම්බන්ධතා ය. එක්සත් ජනපද සෙනෙට් සභාවේ විදේශ සබඳතා කමිටුවේ සීමාවාසික සීමාවේ විශේෂ සම්මානය හිමිවූ සජිත් ප්‍රේමදාස මහතා ප්‍රවීණ සෙනෙට් සභික ලැරී ප්‍රෙස්ලර් යටතේ කටයුතු කිරීම විශේෂත්වයකි. එහිදී ඔහුට ජෝන් මැකෙන්, ජෝන් කෙරී යන විශිෂ්ට සෙනෙට් සභිකයන් හමුවීමට අවස්ථාව ලැබුණි.

පියාගේ අභාවය

හිටපු ජනාධිපති ආර්. ප්‍රේමදාස මහතාගේ හදිසි අභාවය සිදුවන විට සජිත් ප්‍රේමදාස මහතා ඇමෙරිකාවේ මේරිලන් සරසවියෙන් ශාස්ත්‍රපති උපාධියට සූදානම් වෙමින් සිටියේ ය. පියාගේ අභාවයත් සමඟ 1993 මැයි මස ශ්‍රී ලංකාවට පැමිණි ඔහු ලංකාවේ රැඳුණේ පියාගේ වියෝවෙන් අතරමඟ නැවතුණු සමාජසේවා කටයුතු ඉදිරියට ගෙන යෑමේ අරමුණෙනි. එමෙන්ම සිය මව වන හේමා ප්‍රේමදාස මහත්මියගේත්, එකම නැඟනිය වන දුලාංජලි ප්‍රේමදාසගේත් තනි නොතනියට මෙන් ම රැකවරණයට ඔහු සමීපව සිටිය යුතුම විය.

දේශපාලනයට පැමිණි ඔහුට එක්සත් ජාතික පක්ෂයෙන් ලැබුණේ සිය පියා විසින් ශක්තිමත් පදනමක් දමා තිබූ මැද කොළඹයි. එහෙත් ඔහු එය එකහෙළා ප්‍රතික්ෂේප කොට තෝරාගත්තේ අතිදුෂ්කර හම්බන්තොටයි. 1994 දී හම්බන්තොට දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පක්ෂයේ දිස්ත්‍රික් සංවිධායක වශයෙන් පත් කරනු ලැබුවේ සජිත් ප්‍රේමදාස මහතාව ය. අඩු ආදායම්ලාභී පවුල්වලට නිවාස ලබාදීමත්, දුගී බව තුරන් කිරීම සඳහා ජනසුවය, තරුණ සවිය වැනි විවිධ ව්‍යාපෘති ආරම්භ කිරීමත් සමඟ ඔහු වටා හම්බන්තොට ජනතාව එක්රොක් වූයේ පියාගේ අඩි පාරේ යන පුත්‍රයකු ලෙස ජනතාවගේ ආදරය සහ ගෞරවයට පාත්‍ර වෙමිනි. ඒ අනුව 2000 වර්ෂයේ පැවැති මහ මැතිවරණයෙන් වැඩිම මනාප ලබා ගනිමින් පාර්ලිමේන්තුවට පිවිසීමට ඔහුට හැකි විය.

සැමට නිවාස

2001 – 2004 කාලය තුළ නියෝජ්‍ය සෞඛ්‍ය ඇමති ධූරය හෙබවූ ඔහු නැවතත් කැබිනට් ඇමතිවරයකු ලෙස පත්වූයේ 2015 දී ය. ඒ නිවාස ඉදිකිරීම් සහ සමෘද්ධි ඇමති වශයෙනි. අද වනවිට නිවාස ඉදිකිරීම් කටයුතුවලට අමතරව සංස්කෘතික කටයුතු අමාත්‍ය වශයෙන් ද ඔහු අමාත්‍ය ධූ‍රයේ කටයුතු කරයි. සජිත් ප්‍රේමදාස මහතා හම්බන්තොට දිස්ත්‍රික්ක‍යේ ජනාදරයට පත්වූ නායකයකු බව පසක් වන්නේ ඔහු ලබාගත් මනාප ප්‍රතිඵල අනුව ය. එය 2000 වර්ෂයේ 83% කි. 2001 දී 82% කි. 2004 දී 84% කි. 2010 දී 89% කි. 2015 දී 86% කි. 2025 දී සැමට සෙවණ යන තේමා පාඨය ඉලක්ක කර ගනිමින් ජනතා සේවයට ඇප කැප වී සිටින සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා අඩු ආදායම්ලාභීන් 65,000 කට නිවාස පිරිනමා ඇත. සමෘද්ධිලාභීන්ට රුපියල් ලක්ෂයක් ලබාදෙමින් සහන ක්‍රමයට නිවාස ඉදිකර ගැනීමට ණය ලබාදුන් අමාත්‍යවරයා ‘සැමට සෙවණ’, ‘යළි පිබිදෙන උදා ගම්මාන’ රැසක් ජනතා අයිතියට පත්කොට ඇත.

ආගමික සේවාවක්

2600 වන ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තියට සමගාමීව දිවයිනේ බෞද්ධ විහාරස්ථාන සහ දහම් පාසල් සංවර්ධනය කිරීම උදෙසා සජිත් ප්‍රේමදාස මහතා විසින් ‘සසුනට අරුණ’ නමින් නව ව්‍යාපෘතියක් ආරම්භ කළේ ය.‍ විපක්ෂ මන්ත්‍රීවරයකු ලෙස සිටින කාලයේ ඇරඹි ‘සසුනට අරුණ’ ව්‍යාපෘතියෙන් ඉතා දිළිඳු විහාරස්ථාන ගොඩනඟන්නට උත්සාහයක යෙදුණු ඔහු අන්‍ය ආගමික සහ අන්‍ය ජාතික මධ්‍යස්ථානවලට දරන දායකත්වය ද ප්‍රශංසනීය ය. අප්‍රේල් 21 වැනි දින එල්ල වූ බෝම්බ ප්‍රහාරවලින් විනාශ වූ කොච්චිකඩේ සහ කටුවාපිටිය දේවස්ථාන පිළිසකර කිරීමට ඔහු දැක්වූ උනන්දුව සහ සහයෝගය ඊට දෙස් දෙයි. “ශාසන දීපන අභිමානි ශ්‍රී ලංකා ජනරංජන’ ගෞරව නාමයෙන් ඔහු පිදුම් ලබන්නේ ඔහු විසින් සිදු කළ ශාසනික මෙහෙවර අගයනු පිණිසය.

විවාහ දිවිය

1999 ජූලි 23 වැනි දින ඔහු ජලනි ජයවර්ධන සමඟ යුග දිවියට පිවිසුණේ ය. සිය පියාගේ වාර්ෂික පිංකමත් සුචරිතයේ පැවැති අවස්ථාවක ඊට සහභාගි වූ ජලනි ජයවර්ධන සමඟ ඇතිවූ කතා බහ ප්‍රේමයකට පෙරළී විවාහය දක්වා දුරදිග ගොස් තිබුණි. සජිත් ප්‍රේමදාස මහතාගේ දේශපාලන ගමන් මගේ සෙවණැල්ලක් මෙන් සිටින ඈ වරක් වෙඩි ප්‍රහාරයකින් දිවි ගලවා ගත්තේ අනූනවයෙනි.

වන දිවි ඇල්ම

සජිත් ප්‍රේමදාස මහතා පරිසරයට දැඩි ලෙස ඇලුම් කරන පරිසරවේදියෙකි. ඔහු තුන් මස් වියැති බිලිඳකුව සිටියදී සිය පියා වන හිටපු ජනපති ආර්. ප්‍රේමදාස මහතා ඔහුගේ ඇකයේ පුතු හොවාගෙන යාල අභය භූමිය නැරඹීමට ගොස් ඇති බවත් එතැන් පටන් වසරකට තුන් වරක් යාල වනෝද්‍යායනයට යන බවත් ඔහු පුවත්පත් සාකච්ඡාවකදී පවසා තිබුණි. වන සතුන්ගේ ඡායාරූප ගැනීම ඔහුගේ විනෝදාංශයකි. එමෙන් ම ගිටාර් වාදනයටත් ගායනයටත් ප්‍රිය කරන සජිත් ප්‍රේමදාස මහතා ක්ලැරන්ස් විජේවර්ධනගේ ගීත ගැයීමට වැඩි කැමැත්තක් දක්වයි. ඔහු ජීවිතාරක්ෂක පිහිනුම්කරුවෙකි.

Comments