මේ චමරිගෙන් නොව චමරිලාගෙන් යා යුතු ගමනකි | සිළුමිණ

මේ චමරිගෙන් නොව චමරිලාගෙන් යා යුතු ගමනකි

 

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ ඔස්ට්‍රේලියානු කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වෙන විස්සයි 20 සහ එක්දින තරග තුන බැගින් වූ තරගාවලියේ විස්සයි 20 තරගාවලිය ඔස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම පහසුවෙන් ජය හිමිකර ගැනීමට සමත් විය‍. කෙසේ වෙතත් දෙපිල අතර පැවැති පළමු විස්සයි 20 තර‍ගයේ දී ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 66 කදී හතරේ පහර 12 ක් සහ හයේ පහර 6ක් සමඟින් ලකුණු 113 ක් රැස් කර ගැනීමට සමත් වූවාය.‍ මෙකී ශතකය ශ්‍රී ලංකා ක්‍රීඩිකාවක් රැස් කර ගත් පළමු විස්සයි 20 ශතකයයි. එමෙන් ම එතෙක් - මෙතෙක් ශ්‍රී ලංකා පිතිකාරිනියක ‍රැස් කළ වැඩිම ලකුණු සංඛ්‍යාව ද මෙය වෙයි. මීට පෙර ශ්‍රී ලංකා පිතිකාරිනියක විස්සයි 20 තරගයකදී රැස් කර තිබූ වැඩිම ලකුණු සංඛ්‍යාව නොදැවී ලකුණු 63 කි. ඒ ලසන්ති මධුෂානි 2013 දී දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායමට එ‍රෙහිව රැස් කර තිබුණි. එතෙක් මෙතෙක් ශ්‍රී ලංකා පිතිකාරිනියන් වාර්තා කරගෙන තිබුණේ ද අර්ධ ශතක අටකි.

විසි නව වැනි වියේ පසුවන චමරි අතපත්තු විස්සයි 20 තරග 80 කදී ලකුණු 1462 ක් රැස් කර තිබෙන අතර ශ්‍රී ලංකා විස්සයි 20 තරගවල වැඩිම ලකුණු ලාභිනිය ද වෙයි. විස්සයි 20 තරගවල ශ්‍රී ලංකා පිතිකාරිනියන් ගෙන් ලකුණු දහසේ සීමාව ඉක්මවා ගොස් ඇත්තේ දෙදෙනකු පමණි. ඒ චමරි අතපත්තු සහ ශෂිකලා සිරිවර්ධනයි.‍ ශෂිකලා තරග 76 කදී ලකුණු 1068 ක් රැස් කර තිබේ. වැඩිම ලකුණු සංඛ්‍යාව 52 කි.

විස්සයි 20 තරගවලට අමතරව එක්දින තරගවලදී ද සුවිශේෂ දස්කම් දක්වා ඇති චමරි එකී තරග රටාවේ ද ශ්‍රී ලංකාවේ වැඩිම ලකුණුලාභී පිතිකාරිනිය මෙන් ම වැඩිම ශතක සහ එකම ශතකලාභිනිය වීම ද විශේෂත්වයකි. එමෙන් ම වැඩිම අඩ ශතකලාභිනිය ද වෙයි‍. චමරි එක් දින තරග 81 කදී ලකුණු 2495 ක් රැස් කර ගෙන‍ තිබේ. ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම එක්දින තරග සංඛ්‍යාවකට ක්‍රීඩා කර ඇත්තේ ශෂිකලා සිරිවර්ධනයි. ශෂිකලා තරග 115 කදී ලකුණු 1976 ක් රැස් කරගෙන තිබේ. එක්දින තරගවල ලකුණු දහසේ සීමාව ඉක්මවා රැස් කරගෙන ඇත්තේ තවත් පිතිකාරිනියන් සිවු දෙනෙකි.

ශ්‍රී ලංකා සහ ඔස්ට්‍රේලියාව අතර විස්සයි 20 සහ එක්දින තරගාවලිය ආරම්භ වන විට ඔස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම විස්සයි 20 ශ්‍රේණිගත කිරීම්වල ප්‍රථම ස්ථානයේ සහ ශ්‍රී ලංකාව අටවැනි ස්ථානයේ පසුවෙයි. එක්දින ශ්‍රේණිගත කිරීම්වල ද දෙපිලම පිළිවෙළින් පළමු සහ අට වැනි ස්ථානවල පසුවෙයි. චමරි අතපත්තු එක්දින තරගවලදී ද සිය හොඳම ඉනිම ක්‍රීඩා කර ඇත්තේ ඔස්ට්‍රේලියාවට එරෙහිව වීම විශේෂත්වයකි. ඒ 2017 දී කාන්තා ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේදී ය. එම තරගයෙන් ශ්‍රී ලංකාව කඩුලු 8 කින් ඔස්ට්‍රේලියාව හමුවේ පරාජය වූවද, චමරි එම තරගයේදී ශ්‍රී ලංකාව රැස් කළ ලකුණු 257 න් නොදැවී ලකුණු 178 ක් රැස් කළේ පන්දු 143 කදී ය. ඊට හතරේ පහර 22 ක් සහ හයේ පහර හයක් එල්ල කිරීමට ද සමත් වූවා ය. මේ ලකුණු 178 ට අමතරව ඉන්දියාවට 115, අයර්ලන්තයට 111 ක් සහ දකුණු අප්‍රිකාවට එරෙහිව ලකුණු 106 ක් වශයෙන් ශතක හතරක් රැස් කිරීමට සමත් තිබේ. චමරි ඔස්ට්‍රේලියාවට එරෙහිව එක් දින තරගයේදී නොදැවී රැස් කළ ලකුණු 178 කාන්තා එක්දින තරග ඉතිහාසයේ හොඳම සිවු වැනි ඉනිම වීම ද විශේෂත්වයකි. චමරි සිය එක් දින තරග චාරිකාවේ එක් වතාවක් ලකුණු 99 කට දැවී ගොස් තිබේ. ඒ 2015 දී පාකිස්තානයට එරෙහිවය. කාන්තා එක්දින තරග ඉතිහාසය පුරාම පිතිකාරියන් සිවු දෙනකු ලකුණු 99 කට දැවී ගොස් තිබෙන අතර මෙයින් තෙවැන්නිය වන්නේ ද චමරි අතපත්තුයි.

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම දස්කම් අතරට පැමිණියේ වරක් දෙවරක් නොවේ. නමුත් එකී දක්ෂතා අඛණ්ඩව ඉදිරියට ගෙන යැමේ වැඩපිළිවෙලක් අප සතු නොවූ නිසා ම ඇද වැටුණු වාර ප්‍රමාණය ද අඩු නැත. ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම 2013 ඉන්දියාවේ පැවැති 10 වැනි කාන්තා ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ දී හාපුරා කියා සුපර් සික්ස් වටයට සුදුසුකම් ලබා ගත්තේ ප්‍රබල එංගලන්තය සහ ඉන්දියාවට එරෙහිව විශිෂ්ට ජයග්‍රහණ දෙකක් හිමිකර ගනිමින්ය. එම තරගාවලියේ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම පෑ දස්කම් ලාංකේය කාන්තා ක්‍රිකට් නවමු දිශාවකට හරවා තැබීමට හේතු වූ බව පෙනේ. එකී තරගාවලියේ ලැබූ පන්නරය තව තවත් පෝෂණය කිරීම මගින් හෙට දවසේ කාන්තා ක්‍රිකට් ක්‍රීඩාව පිළිබඳ බලාපොරොත්තු දල්වා‍ගත හැකිව තිබුණි. නමුත් ප්‍රශ්නය වූයේ ඒ සඳහා අප ක්‍රිකට් බලධාරීන් කොතෙක් සූදානම් වූයේ ද යන්නයි. ඉදිරියට යෑමට නම් අවැසි වන්නේ අත්දැකීම් ය.

1997 සිට ගත් විට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ක්‍රිකට් පිටියේ ප්‍රබලයන් වන ඔස්ට්‍රේලියාව සමඟ තරග 8, එංගලන්තය සමඟ එක්දින තරග 17, නවසීලන්තය සමඟ එක්දින තරග 10 ක් වශයෙන් මේ ප්‍රධාන රටවල් තුනට එරෙහිව ක්‍රීඩා කර ඇත්තේ තරග 35 කි‍ ‍. එංගලන්තයට එරෙහිව එක් තරගයක් ජයගෙන ඇති අතර තරගයක් විසඳුමකින් තොරව අවසන්ව තිබේ. ඉතිරි තරග සියල්ලම පරාජය වී ති‍ෙබ්. විස්සයි 20 තරගවල ද වෙනසක් නැත‍‍. ඔස්ට්‍රේලියාවට එරෙහිව තරග 04, එංගලන්තයට එරෙහිව 8, නවසීලන්තයට එරෙහිව තරග 7 ක් වශයෙන් තරග 19 ක් ක්‍රීඩා කර තිබෙන අතර මේ තරග 19 පරාජය වී තිබේ. චමරි කෙනෙකුට පමණක් ක්‍රිකට් තරගයක් ජයග්‍රහණය කරා ගෙන යෑම ලෙහෙසි පහසු නැත. ඒ සඳහා චමරිලා තව දෙතුන් දෙනකුවත් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සතු විය යුතු ය. එසේ නොමැතිව ජයග්‍රහණයක් කෙසේ වෙතත් ගෞරවාන්විත පරාජයක් හෝ උරුම නොවනු ඇත.

මේ ලාංකේය කාන්තා ක්‍රිකට් පිටියට පමණක් සීමාවූ පොදු සාධකයක් නොවේ. ලාංකේය ක්‍රීඩා ක්ෂේත්‍රයම හතර ගාතින් ගමන් කරන කාලවකවානුවක බිම් මට්ටමේ සිටම දක්ෂයන් මතු කරගෙන රැක ගන්නා වැඩපිළිවෙළකට යා යුතුය. එසේ නොමැතිව හෙට කුමන හෝ ක්‍රීඩා තරගාවලියක් ඉලක්ක කර ගෙන කොහේදී හෝ දකින ක්‍රීඩකයෙක් ක්‍රීඩිකාවක් එකී තරගාවලියට ඉදිරිපත් කර අතපිසදා ගැනීමෙන් ඔබ්බට යන වැඩපිළිවෙකට ඇවැසි පසුබිම සකසා ගත යුතු ය. එසේ නොමැතිව අද ශතකයක් රැස් කරගත් චමරි ගැන හෙටත් කතාකර නිහඬවීමට සිදුවනු නොවනුමානය. මේ මග වෙනස් කිරීමට හැකි ‍දක්ෂයන් ක්‍රීඩා පරිපාලකයන් ලෙස ඉදිරියට පැමිණිය යුතු ය‍. එක චමරි කෙනෙක් නොව චමරිලා බොහෝ දෙනකු හෙට දවසේ කාන්තා ක්‍රිකට් පිටියේ බිහි විය යුතු ය.

Comments