විසල් රැකවල් මැද පිටියට බැස්ස අපේ ක්‍රිකට් පිළ | සිළුමිණ

විසල් රැකවල් මැද පිටියට බැස්ස අපේ ක්‍රිකට් පිළ

 ✶ ගුවනින් ආරක්ෂාවක් 

 ✶කිලෝමීටර් ගණනක් දිග ආරක්ෂක රථ පෙළක්

 ✶ දුරකථන අවහිර කරන යන්ත්‍රයක්

 

පාකිස්තානයේ කරච්චි නුවර වැසියන්ට මේ දිනවල නව අත්දැකීමක් විඳගැනීමේ අවස්ථාවක් හිමි වී ඇත. ඒ වෙන කිසිවක් නිසා නොව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම කරච්චි නුවරට පැමිණීමත් සමඟය.

 

ත්‍රාසජනක බටහිර චිත්‍රපටයක තිබෙන ජවනිකාවක් සිහි ගන්වමින් කරච්චි නුවර අහසට නැගෙන සන්නද්ධ හෙලිකොප්ටර් ප්‍රහාරක යානා සමඟ කරච්චි අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩා පිටියට පැමිණෙන ප්‍රධාන මාර්ගය ඇතුළු මාර්ගය කිහිපයක් පැය කිහිපයකට වසනු ලබයි.

 

මේ සමඟම ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් ගමන් ගන්නා බස් රථ කිහිපයකටම ආරක්ෂාව ලබා දෙමින් ඉදිරියෙන් ම ගමන් කරනු ලබන්නේ පාකිස්තානු හමුදාවේ ක්ෂණික විහිදුම් බළකායට අයත් යතුරුපැදි කණ්ඩායම් කිහිපයකි. ඉන්පසුව බර අවි සවිකර ඇති කැබ්රථ පනහකට අධික සංඛ්‍යාවක් ක්‍රීඩකයින් ගමන් ගන්නා බස් රථ මැදිකර ගනිමින් ආරක්ෂාව සපයන අතර ඊට සමාන්තරව නොයෙක් අවි සහිත රථ පෙළක් ද ආරක්ෂාවට යොදවා තිබේ.

 

මෙලෙස ආරක්ෂාව යොදා ගමන් කරන ක්‍රීඩකයින්ට තවත් ආරක්ෂාව වැඩි කරලීම සඳහා ගුවන් මිසයිල ආරක්ෂක ‍පද්ධතියක්, හදිසි පිට කිරීමේ හෙලිකොප්ටර් යානාවක්, සන්නිවේදන කටයුතු සම්පූර්ණයෙන් ම අඩපණ කරන ජැමර් 02 අධිබලැති විශේෂ යුද රථ කිහිපයක් ගමන් කරයි. මේ සියලු ආරක්ෂක කණ්ඩායම් අතර සුවිශේෂි කමාන්ඩෝ භටයින් දහසක් ද ගමන් ගැනීම විශේෂත්වයකි.

 

තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියකට සහ විස්සයි විස්ස තරග තුනකට සහභාගි වීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඉකුත් සතියේදී පාකිස්තානයට ළඟාවූ අතර ප්‍රථම තරග තුන කරච්චි නුවර පැවැත්වුණි. මෙම තරග තුනට සහභාගි වීම සහ එම ක්‍රීඩාංගණයේදී පුහුණුවීම්වල නිරතවීමට ශ්‍රී ලංකා කණ්ඩායම නවාතැන්ගෙන සිටින හෝටලයේ සිට ගමන් කරන සෑම අවස්ථාවකදීම මෙලෙස ආරක්ෂාව යෙදීම කරච්චි නුවරට අලුත් අත්දැකීමක් ගෙන එනු ලැබීය. පුද්ගලයින් අටදෙනකු මියගොස් ක්‍රීඩකයන් කිහිපදෙනකුට තුවාල සිදු කරමින් 2009 වසරේ මාර්තු 03 වැනි දින ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව ක්‍රිකට් කණ්ඩායමක් පාකිස්තානයේ සංචාරයක නිරත වන ප්‍රථම අවස්ථාව මෙය ලෙසට ඉතිහාසයට එක්වෙයි.

 

ලාහොර් අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වුණ ටෙස්ට් තරගයේ තෙවන දිනයේදි ශ්‍රී ලංකා කණ්ඩායම මෙම ප්‍රහාරයට ලක්වූයේ ක්‍රීඩා පිටියට පැමිණෙමින් සිටින අවස්ථාවේදීය. ටෙස්ට් තරගයේ තුන්වන දිනයේදී මෙම ප්‍රහාරය එල්ල කර තිබූ අතර පාකිස්තානයේ ක්‍රියාත්මක ත්‍රස්තවාදී කණ්ඩායමක් එහි වගකීම භාර ගනු ලැබීය. මෙම ප්‍රහාරයෙන් පසුව පාකිස්තානයේ ක්‍රීඩකයන් මෙන් ම ක්‍රීඩා ලෝලීන් දැඩි කම්පනයකට පත්විය. ලෝකයේ සෙසු රටවල් ක්‍රිකට් ක්‍රීඩා කිරීම සඳහා පාකිස්තානයට යාම ප්‍රතික්ෂේප කරනු ලැබූහ.

 

2009 වසරේදී කරච්චි ජාතික ක්‍රීඩාංගණයේදී එක්දින තරගයක් පවත්වා ඇති අතර එය ශ්‍රී ලංකාව සහ පකිස්තානය අතර පවත්වා තිබේ. මෙහිදි ශ්‍රී ලංකාව ලකුණු 129ක දැවැන්ත ජයක් ලබාගෙන ඇත්තේ මහේල ජයවර්ධනගේ නායකත්වයෙන් යුතු කණ්ඩායමයි. ඒ අනුව ඉකුත් වසර දහයක පමණ කාලය තුළ පකිස්තානු ක්‍රිකට් ක්‍රීඩකයන් මෙන්ම ප්‍රේක්ෂකයින් දැඩි නියඟයකට හසු වූ අතර ළහිරු තිරිමාන්නගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා තරුණ කණ්ඩායම ඉකුත් සතියේ පකිස්තානය කරා පිටත්ව යෑම එරට ක්‍රීඩාවට නියගය දුරු කරමින් වැස්සක් වැටුණා වැනිය. වසර දහයකට පසු පාකිස්තානයට ක්‍රිකට් කණ්ඩායමක් මෙලෙස ක්‍රීඩා කිරීමට පැමිණීම එරට ක්‍රිකට් ලෝලීන්ගේ ඉමහත් ප්‍රසාදයට හා පැසසුමට ලක්වී තිබේ.

 

ශ්‍රී ලංකා කණ්ඩායමට මෙම සංචාරයට සහභාගි වන ලෙස ආරාධනා ලැබීමත් සමඟ ගැටලු සහගත තත්වයක් පැන නැඟිණි. එරට තුළ ආරක්ෂාව පිළිබඳ සහතිකයක් හෝ විශ්වාසයක් නොමැති බවට ඇතැම් ප්‍රචාර සිදුවීමත් සමඟ මෙම ගැටලුව උස්සන්න විය. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පාකිස්තානයේ සංචාරයේ යෙදුණහොත් එහිදී ඔවුන්ට ත්‍රස්ත තර්ජනයක් එල්ල විය හැකි බවට විශ්වාසදායක තොරතුරු අග්‍රාමාත්‍ය කාර්යාලයට ලැබී ඇතැයි ක්‍රිකට් ආයතනය ප්‍රථමයෙන් සඳහන් කළේය.

 

මේ සමඟම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ආරක්ෂක උපදේශක හිටපු ගුවන් හමුදාපතිවරයෙකු වන රොෂාන් ගුණතිලක මහතා වහාම පාකිස්තානය වෙත ගොස් එහි ආරක්ෂක තත්ත්වය පිළිබඳව මෙරට ක්‍රිකට් බලධාරින් ඇතුළු අදාළ අංශ දැනුවත් කිරීමට පියවර ගනු ලැබීය. ඒ අනුව ඉකුත් 24 වැනිදා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පාකිස්තානය බලා පිටත්ව ගියේය.

 

ශ්‍රී ලංකා කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයෝ දස දෙ‍ෙනක් ආරක්ෂාව ගැන සෑහීමකට පත් නොවන බව පවසමින් මෙම සංචාරයට සහභාගි නොවුණාහ. හිටපු නායකයෙකු වන ඇන්ජලෝ මැතිව්ස්, ලසිත් මාලිංග, දිමුත් කරුණාරත්න, නිරෝෂන් දික්වැල්ල ඇතුළු ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන්ගේ මෙම ක්‍රියාව හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩයමට ඇතුළත් වීමට සහ ප්‍රථම වතාවට අන්තර්ජාතික ක්‍රිකට් තරගාවලියකට සහභාගි වීමට කනිෂ්ඨ ක්‍රීඩකයන් රැසකට අවස්ථාව හිමි විය.

 

එක්දින තරග තුනේ නායකත්වය ළහිරු තිරිමාන්නට සහ විස්සයි විස්ස තරග තුනේ නායකත්වය දසුන් ශානකට ලබාදීමට ක්‍රිකට් බලධාරීන් පියවර ගනු ලැබීය. මෙම තරගාවලියේදී දක්ෂතා අතරට පැමිණන කනිෂ්ඨ ක්‍රීඩකයන්ට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ස්ථිර ස්ථානයක් හිමි කර ගැනීමේ අවස්ථාව හිමි වනු ඇත. ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන්ගේ නොපැමිණීම පාකිස්තාන ක්‍රීඩකයන් බලාපොරොත්තු නොවූ අතර පාකිස්තාන කණ්ඩායමේ නායක සර්ෆරාස් අහමඩ් පවසා ඇත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පොඩ්ඩන් ලොක්කන්ට ආදර්ශයක් ලබා දී ඇති බවයි.

 

මෙම තරගාවලිය පැවැත්වෙන අතරතුර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධානීන් කිහිපදෙනකු මෙන් ම ක්‍රීඩා ඇමැති හරින් ප්‍රනාන්දු මහතා ක්‍රීඩකයන් දිරි ගැන්වීම සඳහා පාකිස්තානයට පැමිණීම අප අගය කළ යුතු කරුණකි.

 

මේ සම්බන්ධව අදහස් දක්වන ක්‍රීඩා ඇමැති හරින් ප්‍රනාන්දු මහතා; පාකිස්තානය කියන්නේ අපගේ අසල්වැසි රටක්. අප රටවල් දෙක අතර ක්‍රීඩාවට වඩා ගිය සම්බන්ධතාවක් තිබෙනවා. විශේෂයෙන් ම අප රටට ත්‍රස්ත ප්‍රහාර එල්ල වූ අවස්ථාවල මෙන් ම අප රටට නොයෙක් ආපදා ඇතිවූ අවස්ථාවල අප සමඟ සිටි රටක්. අප සංහිඳියාව පිළිබඳ කතාබහ කරලා වැඩක් නැහැ. අපි එය ක්‍රියාවෙන් සිදු කර පෙන්විය යුතුයි. සංහිඳියාවට හොඳම අවස්ථාවක් අපට ලැබුණා. ඒ තමයි මෙම සංචාරය. අප මෙම සංචාරයට සහභාගි වීමෙන් එය ලෝකයාට හොඳින් ප්‍රදර්ශනය කළා.

 

මෙම තරගාවලියේ තරග ජයග්‍රහණය කරනවාට වඩා එහා ගිය ජයග්‍රහණයක් මේ වන විටත් අප ලබා තිබෙනවා. ක්‍රීඩාව තුළින් සමගිය සමාදානය මෙන්ම එක්සත් බව පෙන්විය හැකියි. මා හිතන්නේ මේ එවැනි හොඳ අවස්ථාවක්“.

 

ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක ළහිරු තිරිමාන්න “අප මෙම සංචාරයට සහභාගි වෙන්නේ අත්දැකීම් අඩු ක්‍රීඩකයන් රැසක් සමඟයි. එහෙත් අප මේ සඳහා සහභාගි වීමට ලැබීම සතුටක්. පාකිස්තානය ක්‍රීඩකයන් මෙන් ම තරග නරඹන්නන් අපව අගය කරමින් බො‍හෝ සේ සතුටු වනු අප දුටුවා. මෙහි ක්‍රීඩාවට එහා ගිය ජයග්‍රහණයක් අපට ලැබිලා තිබෙනවා. තරගාවලියට උපරිම දේ කරමින් ජයග්‍රහණ ලබන්නට අප උත්සාහ කරනවා.“

 

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ආරක්ෂක උපදේශක හිටපු ගුවන් හමුදාපති රොෂාන් ගුණතිලක මහතා “දැනට අපට කිසිදු ගැටලුවක් නැහැ. අපගේ ක්‍රිකට් කණ්ඩායමට ඉතා හොඳ ආරක්ෂාවක් ලැබී තිබෙනවා. විශේෂයෙන් ම ජනාධිපතිවරයකුට, අගමැතිවරයකුට ලබා දෙන ආකාරයේ විශේෂ ප්‍රභූ ආරක්ෂාවක් සපයා තිබෙනවා. මෙම ආරක්ෂාව පිළිබඳ අප සෑහීමකට පත් වෙනවා. යම් යම් ක්‍රියාමාර්ග ආරක්ෂාව වෙනුවෙන් සිදු කරනවා. ආරක්ෂක හේතූන් මත අපට ඒවා ප්‍රකාශ කිරීමට නොහැකියි.“

 

ශ්‍රී ලංකාව තුළ කොටි ත්‍රස්තවාදය ක්‍රියාත්මක වූ අවස්ථාවේ පාකිස්ථාන ක්‍රිකට් කණ්ඩායම මෙන්ම තවත් කණ්ඩායම් රැසක් මෙරට සංචාරවල නියැලුණේය. ඒ අන්කිසිවක් නිසා නොව ක්‍රිකට් ක්‍රීඩාව ශ්‍රී ලංකාව තුළ පවත්වාගෙන යෑම සහ ක්‍රීඩාව තුළින් සාමයේ අරුණලු ගෙන ඒම සඳහායි.

 

පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ ආරාධනාවට අනුව එම සංචාරයට සහභාගි නොවීමට ජ්‍යෙෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩකයන් දස දෙනකුම ක්‍රියා කිරීම කනිෂ්ඨ ක්‍රීඩකයන්ට වැරදි ආදර්ශයක් ලබාදී ඇති බව බොහෝ ක්‍රිකට් ලෝලීන්ගේ මතය වී තිබේ. මෙම තරගාවලිය සඳහා විදේශ රටවල විනිසුරුවන් ඇතුළු වෙනත් රටවල ක්‍රිකට් ක්‍රියාකිරීන් සහභාගි වී සිටින මොහොතක මෙරට ක්‍රීඩකයන් සහභාගි නොවීම සුභදායි නොවන තත්ත්වයකි.

කළ ගුණ සැලකීමට ශ්‍රී ලාංකිකයන් දක්වන වැඩි කැමැත්ත ලොවට ප්‍රදර්ශනය කිරීමට තිබූ අවස්ථාව මෙම ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් මඟ හැර දැමූ බව පසක් කළ හැකිය. එක්දින තරගාවලිය 2 - 0 කින් ශ්‍රී ලංකාව පරාජය වූ අතර තරග තුනකින් සමන්විත විස්සයි 20 තරගාවලියේ පළමු තරගය 05 වැනිදා පැවැත්වීමට නියමිත වූ අතර සෙසු තරග දෙක 07 සහ 09 වැනිදා ලාහෝර්හිදී පැවැත්වෙයි.

 


 

Comments