කව­න්ධ­යට හිසක් - ශ්‍රීල­නි­ප­යට දෘෂ්ටි­යක් | සිළුමිණ

කව­න්ධ­යට හිසක් - ශ්‍රීල­නි­ප­යට දෘෂ්ටි­යක්

 

 

හිටපු ජනා­ධි­පති මහින්ද රාජ­පක්ෂ හා හිටපු අමාත්‍ය බැසිල් රාජ­පක්ෂ ජනා­ධි­පති මෛත්‍රී­පාල සිරි­සේන පසු­ගිය දා හමුවී සාකච්ඡා කළ බවක් වාර්තා විය. එසේම නිවාස අමාත්‍ය සජිත් ප්‍රේම­දාස ද ජනා­ධි­ප­ති­ව­රයා හමුවී සාකච්ඡා කළ බවක් වාර්තා විය. මේ සිය­ලු­දෙනා සාකච්ඡා කරන්නේ නොවැ­ම්බර් හත්වැනි දින පව­ත්ව­න්නට නිය­මිත ජනා­ධි­ප­ති­ව­ර­ණය සම්බ­න්ධ­යෙන් බව රහ­සක් නොවේ. මේ සිය­ලු­දෙ­නාට මැති­ව­ර­ණය සම්බ­න්ධ­යෙන් එකි­නෙ­කාට ආවේ­ණික ප්‍රශ්න පව­තින බව මේ සාකච්ඡා කිරීමේ කඩි­මු­ඩි­යෙන් පැහැ­දිලි වේ.

පසු­ගිය 30 වැනිදා සඳුදා ශ්‍රී ලංකා නිද­හස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව රැස්වී ජනා­ධි­ප­ති­ව­ර­ණය සම්බ­න්ධ­යෙන් තීර­ණ­යක් ගැනී­මට නිය­මි­තව තිබුණි. එහෙත් ඒ සම්බ­න්ධ­යෙන් එදින ඝෘජු තීර­ණ­යක් නොගත් අතර ශ්‍රී ලංකා පොදු­ජන පෙර­මුණ සමඟ තව­දු­ර­ටත් සාකච්ඡා කිරී­මට අදා­ළව තීන්දු තීරණ කිහි­ප­යක් ගෙන තිබුණි. ශ්‍රී ලංකා නිද­හස් පක්ෂ­යට ශ්‍රී ලංකා පොදු­ජන පෙර­මුණේ අපේ­ක්ෂ­ක­යාට සහ­යෝ­ගය පළ කිරීම සම්බ­න්ධ­යෙන් ප්‍රශ්න­යක් නොප­වතී. එහෙත් ඒ තීන්දුව ගන්නට ගෞර­වා­න්විත මොහො­තක් හෝ සිද්ධි­යක් හෝ ශ්‍රී ලංකා නිද­හස් පක්ෂ­යට අවශ්‍ය ය. ඒ සඳහා ඔවුන් යෝජනා කරන්නේ මැති­ව­ර­ණයේ දී තරග කරන ලකුණ පොදු ලකු­ණක් විය යුතු බවයි.

ශ්‍රී ලංකා පොදු­ජන පෙර­මුණ ජනා­ධි­ප­ති­ව­රයා හමුවී සාකච්ඡා කිරී­මෙන්ම පැහැ­දිලි වන්නේ ඒ පක්ෂයේ ජය­ග්‍ර­හ­ණ­යට ශ්‍රී ලංකා නිද­හස් පක්ෂයේ සහය අවශ්‍ය ම බවයි. පසු­ගිය පළාත් පාලන මැති­ව­ර­ණයේ දී ඔවුන් ලක්ෂ 15ක් පම­ණක් ඡන්ද ලබා ගත්තත් ශ්‍රී ලංකා නිද­හස් පක්ෂයේ සංකේ­තා­ත්මක වටි­නා­කම තව­මත් අහෝසි වී නැත. සම­හ­ර­විට ශ්‍රී ලංකා පොදු­ජන පෙර­මු­ණට තනි­යම තරග කර ජය­ග්‍ර­හ­ණය කර­න්නට තරම් ඡන්ද පද­න­මක් තිබෙ­න්නට පුළු­වන. එහෙත් ඒ පක්ෂයේ මාන­සික ශක්තිය තහ­වුරු වන්නේත් පුළුල් අර්ථ­ය­කින් මැති­ව­ර­ණ­යට තරග කිරීමේ පද­න­මක් සක­ස්ව­න්නේත් පක්ෂ දෙකම එකට එකතු වුව­හොත් පම­ණක් බව ඔවුහු තේරුම් ගෙන ඇත.

එහෙත් ඒ එකට එක­තු­වීම සාර්ථක වන්නේ ඒ පාර්ශ්ව­යන් දෙකට වෙන්ව යෑමට බලපෑ සාධක අහෝසි වන්නේ නම් පමණි. 2015 ජනා­ධි­ප­ති­ව­ර­ණය මේ රටේ පම­ණක් නොව ශ්‍රී ලංකා නිද­හස් පක්ෂයේ ද දේශ­පා­ලන පද­නම් පවුරු පුපුරා ගිය අව­ස්ථා­වක් ලෙස සල­ක­න්නට සිදු­වූයේ එබැ­විනි. ඒ පුපුරා යෑම එක්සත් ජාතික පක්ෂය විසින් 1978 දී හඳුන්වා දුන් විවෘත ආර්ථික ක්‍රමයේ පොළා පැනී­මෙන් නිර්මා­ණය වූ පර­ස්ප­ර­තා­වකි. එනම් එක්සත් ජාතික පක්ෂය නියෝ­ජ­නය කරන සමාජ බල­වේග හා ශ්‍රී ලංකා නිද­හස් පක්ෂය නියෝ­ජ­නය කරන සමාජ බල­වේග අතර පර­ස්ප­රයේ පුපුරා යෑමකි.

එක්සත් ජාතික පක්ෂය වෙළෙද පළ ආර්ථික ක්‍රම­යට අනුව හැඩ ගැසුණු නමුත් ශ්‍රී ලංකා නිද­හස් පක්ෂ­යට ඒ තැන් මාරුව සිදු­කර ගන්නට වසර 17ක් අවශ්‍ය විය. 1993 දී චන්ද්‍රිකා බණ්ඩා­ර­නා­යක ශ්‍රී ලංකා නිද­හස් පක්ෂ­යෙන් දේශ­පා­ල­න­යට සම්ප්‍රාප්ත වූ පසුව ශ්‍රීල­නි­පයේ ගමන් මඟ වෙනස් විය. එතෙක් 1970-77 යුගයේ පැවැති රාජ්‍ය කේන්ද්‍රීය සුබ සාධන ආකෘ­ති­යෙන් ආර්ථි­කය සම්බ­න්ධ­යෙන් නිග­ම­න­යට පැමිණි ශ්‍රීල­නි­පය අන­තු­රුව වෙළෙද පළ ආර්ථි­කයේ හැඩ­තල වලට අනුව පරා­රෝ­ප­ණය විය. සියලු ප්‍රශ්න වලට හේතුව විවෘත ආර්ථි­කය යැයි ආඩ­පාලි කිය­මින් සිටි ඔවුන්ට ඊට මානු­ෂික මුහු­ණු­ව­රක් දෙන්නට සිදු­වීම ඒ පෙර­ළියේ හරය විය.

එස්.ඩබ්ලිව්. ආර්.ඩී බණ්ඩා­ර­ණා­යක විසින් නිර්මා­ණය කළ ශ්‍රී ලංකා නිද­හස් පක්ෂය විසින් 1993 දී තම පක්ෂ ආකෘ­තිය ව්‍යුහා­ත්ම­කව වෙනස් කර ගැනී­මට දැරූ මහ­න්සිය සිදු­විය යුත්තකි. නමුත් 2005 වර්ෂයේ දී එ් පක්ෂයේ නාය­ක­ත්ව­යට මහින්ද රාජ­පක්ෂ පැමි­ණී­මෙන් සිදු කර­ගත් පක්ෂ ව්‍යුහයේ වෙනස ලැජ්ජා සහ­ගත ය. ඊට හේතුව වෙළෙ­ද­පළ ආර්ථික ක්‍රම­යෙන් බිහිවූ පාදඩ පන්ති බල­වේග මූලික පද­නම කර ගනි­මින් රාජ­පක්ෂ දේශ­පා­ල­නය සක්‍රීය වීම ය. 1994 වර්ෂයේ සිට සම­ස්ත­යක් ලෙස එක්සත් ජාතික පක්ෂ­යට රාජ්‍ය බලය අහි­මි­වීම නිසා සමා­ජයේ පාදඩ බල­වේ­ගය රාජ­පක්ෂ දේශ­පා­ල­නය කේන්ද්‍ර කර ගත් ශ්‍රී ලංකා නිද­හස් පක්ෂය වටා ගොනු විය.

2015 ජනා­ධි­ප­ති­ව­ර­ණය නිසා ශ්‍රී ලංකා නිද­හස් පක්ෂයේ පවුරු පද­නම් දෙදරා ගොස් එහි ආකෘ­ති­මය ව්‍යුහය යළි සක­ස්වූයේ මෙකී පාදඩ සමාජ තීරුව රාජ­පක්ෂ දේශ­පා­ල­නය සමඟ ම පක්ෂ­යෙන් ඉව­ත්වීම නිසා ය. එනිසා ශ්‍රී ලංකා නිද­හස් පක්ෂ­යට නැවුම් ආලෝ­ක­යක් උදා වූ අතර එතෙක් පක්ෂය වැළ­ඳ­ගෙන සිටි හොරුන්, මංකො­ල්ල­ක­රු­වන්, මත්ද්‍රව්‍ය අළෙ­වි­ක­රු­වන් හා වෙනත් සමාජ විරෝධී ව්‍යාපා­රි­ක­යන් බල රහිත විය. එනිසා නැවත බණ්ඩා­ර­නා­ය­ක­ව­රුන්ගේ ශීලා­චාර පක්ෂ­යක් බවට එය පරි­ව­ර්ත­නය විය.

මේ දේශ­පා­ලන බල­වේ­ගය සමා­ජ­යට කළ හානියේ තරම කියා­පෑම ආරම්භ කළේ 2005 දී මහින්ද රාජ­පක්ෂ ජනා­ධි­පති ධූර­යට පත්වී­මෙනි. ඔහුගේ ජනා­ධි­ප­ති­ව­රණ ව්‍යාපා­රයේ දේශ­පා­ලන පද­නම වූයේ සිංහල බෞද්ධ ස්වෝත්ත­ම­වා­ද­යයි. එය ධන­පති සමාජ කොටස් වලින් මෙන්ම වාමාං­ශික කොටස් වලින් ද පෝෂ­ණය වුණි. ඒ අනුව ධනේ­ශ්වර මූල­යන් සහිත චම්පික රණ­ව­කගේ දේශ­පා­ලන සංවි­ධා­න­යත් වාමාං­ශික මූල සහිත ජනතා විමුක්ති පෙර­මු­ණත් ඒ දේශ­පා­ලන මොහොත තුළ බල­වත්ව තිබුණි. ඒ නිසා 2005 ජනා­ධි­ප­ති­ව­ර­ණ­යෙන් පසුව ශ්‍රී ලංකා රාජ්‍යයේ දේශ­පා­ලන දෘෂ්ඨිය ලෙස ශක්ති­මත්ව තහ­වුරු වූයේ සිංහල බෞද්ධ ස්වෝත්ත­ම­වා­ද­යයි.

නව ලිබ­ර­ල්වා­දය තුළ ආන්තික ස්වෝත්ත­ම­වාදී මත­වා­ද­යන්ට වලං­ගු­තා­වක් නොලැ­බෙන නිසා පක්ෂ දෙකම ජාති­ක­වා­දය අත්හැ­රි­යත් ඒ නිසා ධ්‍රැවී­ක­ර­ණය වූ ආන්තික දේශ­පා­ලන කණ්ඩා­යම් 2005 දී රාජ්‍යයේ මත­වා­දය තීර­ණය කරන බල­වේ­ගය වීම අග­ති­ගාමී වුණි.

සිංහල බෞද්ධ ස්වෝත්ත­ම­වා­දය ඉස්මතු වීම සමා­ජය පරි­හා­නි­යට තල්ලු­වී­මට හේතු­වක් වූවා මෙන්ම එය පෙරළා ශ්‍රී ලංකා නිද­හස් පක්ෂයේ පරි­හා­නි­යට ද හේතු වී තිබේ. ඒ පක්ෂයේ නාය­ක­යන් ශ්‍රී ලංකා නිද­හස් පක්ෂය විනාශ කිරීමේ යූඑන්පී කුම­න්ත්‍ර­ණ­යක් ඇතැයි පවසා ඇතත් ඒ පක්ෂය විනාශ කිරීමේ ඇත්ත කුම­න්ත්‍ර­ණය අද පැන නැඟී ඇත්තේ පක්ෂ­යෙන් ම හා එහි මිතුරු බල­වේ­ග­යෙනි. ශ්‍රී ලංකා නිද­හස් පක්ෂය අද විනාශ වෙමින් පව­තින්නේ එය සිංහල බෞද්ධ ස්වෝත්ත­ම­වා­දය වැළද ගැනීම නිසා යැයි ශ්‍රීල­නි­පයේ බොහෝ නාය­ක­යන්ට නොවැ­ට­හීම කන­ගා­ටු­වට කරු­ණකි.

ශ්‍රී ලංකා නිද­හස් පක්ෂයේ නාය­ක­ත්වය යටතේ 2005 වසරේ සිට රාජ්‍යයේ දේශ­පා­ලන දෘෂ්ඨිය සිංහල බෞද්ධ ස්වෝත්ත­මවා­දය වන­විට එහි සමාජ පද­නම ලෙස පාදඩ සමාජ තීරුව පත්වුණි. 1978 දී ප්‍රති­සං­ස්ක­ර­ණ­යට ලක්වූ ලංකා ආර්ථි­කය තුළ ශක්ති­මත් වූ සමාජ කොටස වූයේ පාදඩ සමාජ තීරු­වයි.

එය ශ්‍රී ලංකා නිද­හස් පක්ෂයේ ද පද­නම බවට පත්ව තිබීම උත්ප්‍රා­ස­ජ­න­කය. තව­මත් පංච මහා බල­වේ­ග­යෙන් ආඩ­ම්බ­රව කතා පව­ත්වන බොහෝ විය­තුන් තම මුහුණ වැල්ලේ සඟවා ගන්නේ ශ්‍රීල­නි­ප­යට ශක්තිය දෙන බල­වේග බහු­ත­රය පාදඩ සමාජ කොටස් වලින් සකස්ව ඇති බව හෙළි­ද­රව් වන­විට ය. ඒ අනුව මහින්ද චින්තන සංස්කෘ­තිය තුළ ශ්‍රී ලංකා නිද­හස් පක්ෂය පාදඩ සමාජ කොටස් නියෝ­ජ­නය කරන දේශ­පා­ලන බල­වේ­ගය බවට පත්වුණි.

මේ වන­විට ආර්ථි­කය තුළ වැඩි පංගු­වක් හිමිව ඇත්තේ පාදඩ ආර්ථික ක්‍රියා­කා­ර­කම් වලට ය. ඒ නිසා කළු ආර්ථි­ක­යට හිමි පංගුව දළ ජාතික නිෂ්පා­ද­න­යෙන් 50%ක තරම් මට්ට­මක පවතී. සංස­ර­ණය වන කළු සල්ලි ප්‍රමා­ණය අති මහත් ය.

මේ නිසා මේ කළු ආර්ථි­කය තුළ යැපෙන සමාජ තීරුවේ ප්‍රමා­ණය ද විශාල වෙමින් පවතී. ඒ නිසා සම්භාව්‍ය අර්ථ­යෙන් අතර මැදි සමාජ තීරුව අස­ර­ණව සිටී. මේ මොහොතේ ලංකා දේශ­පා­ල­නයේ රික්ත­යක් පවතී. එනම් සමා­ජයේ අත­ර­මැදි සමාජ තීරුවේ සම්භාව්‍ය නියෝ­ජ­නය සදහා දේශ­පා­ලන පක්ෂ­යක් නොවී­මයි.

ඒ දේශ­පා­ලන රික්තය පිර­වීමේ ශක්තිය හා ගාමක බලය ඇත්තේ ශ්‍රී ලංකා නිද­හස් පක්ෂ­ය­ටයි. ඊට හේතුව ඒ පක්ෂය අර­ක්ගෙන සිටි සමාජ විරෝධී බල­වේ­ග­ය­න්ගෙන් පක්ෂය පිරි­සි­දුව තිබී­මයි. දැන් පක්ෂ­යට අවශ්‍ය වන්නේ තම දේශ­පා­ලන දෘෂ්ටිය පැහැ­දිලි කර ගැනීම සදහා ඉලක්ක ගත සංවා­ද­යකි. ඒ සංවා­දය සංතෘප්ත කර ගැනී­මට ඒ පක්ෂය තුළ නොකැ­ළැල් තරුණ බල­වේ­ග­යක් සිටීම සතු­ටට කරු­ණකි. එසේම ග්‍රාමීය, අර්ධ නාග­රික හා නාග­රික ක්ෂේත්‍ර පුරා පැතිර යන ජන පද­න­මක් තව­මත් ශ්‍රී ලංකා නිද­හස් පක්ෂට වටා සිටී.

එළ­ඹෙන සෑම මැති­ව­ර­ණ­ය­කට ම යම් දේශ­පා­ලන පක්ෂ­යක් තරග කළ යුතු බවට නීති­යක් නැත. එනිසා මේ ජනා­ධි­ප­ති­ව­ර­ණය අම­තක කර දැමී­මට ශ්‍රී ලංකා නිද­හස් පක්ෂය හිත හදා­ගත යුතුය. අන­තු­රුව විවේ­ක­යෙන් යුතුව දේශ­පා­ල­නයේ සිදු­වන දේ අධ්‍ය­ය­නය කර­මින් මහන්සි විය යුත්තේ ඊළ­ඟට පැමි­ණෙන මහා මැති­ව­ර­ණ­යට ශක්ති­මත්ව මුහුණ දෙන්නට ය. රික්ත­යක් ව පව­තින ශ්‍රී ලංකා දේශ­පා­ල­න­යට අවශ්‍ය ශක්ති­මත් දේශ­පා­ලන බල­වේ­ග­යක් ලෙස නැඟී සිටි­න්නට නම් පළමු අදි­යරේ දී ඒ පක්ෂ­යට පාර්ලි­මේන්තු ආසන දහ­යක් හෝ පහ­ළො­වක් හෝ ජය­ග්‍ර­හ­ණය කර ගැනීම හොඳට ම සෑහෙන්නේ ය.

අද දවසේ ශ්‍රී ලංකා නිද­හස් පක්ෂයේ නාය­ක­යන් මහන්සි විය යුත්තේ ප්‍රධාන පක්ෂ පසු­පස ගොස් නිවට ලෙස නිග්‍රහ විඳි­න්නට නොව අනා­ග­තයේ දී පුළුල් වන දේශ­පා­ලන රික්තය තුළ තම පක්ෂය ජය­ග්‍ර­හ­ණය කරවා ගන්නට ය.

Comments