දේශ­පා­ලන හූනි­යම් | සිළුමිණ

දේශ­පා­ලන හූනි­යම්

හාමු­දු­රුවෝ බණ්ඩා­ර­නා­යක මහතා මරන්න හූනි­ය­මක් කරලා‘

‘මොකක්ද ඒ අප­බ්‍රංසේ?

1959 සැප්තැ­ම්බර් 26 වෙනිදා චීව­ර­දා­රි­යෙක් එස්.ඩබ්ලිව්.ආර්.ඩී බණ්ඩා­ර­නා­යක මහ­තාට වෙඩි තබා ඝාත­නය කළේ ය.ඒ තල්දූවේ සෝමා­රාම නැමති භික්ෂුව ය.

හැබැයි ඒ ඝාත­න­යෙන් පස්සේ දොර­ග­මුවේ පිය­දස්සී කියලා හාමු­දු­රු­න­මක් ද අත­ඩං­ගු­වට ගත්තේ ය. ඒ බණ්ඩා­ර­නා­යක ඝාත­න­යට ජීව­මක් කළා ය කියන චෝද­නා­වට ය. එහෙම වෙන්නේ කොහො­මද?ඇයි ඒ හාමු­දු­රුවෝ අත්ඩං­ගු­වට ගත්තේ?

බණ්ඩා­ර­නා­යක මහතා හෙන­රාජ සුර­යක් පැළ­ඳ­ගෙන සිටි බවට කතා­වක් තිබේ. හෙන­රාජ සුරය දමා සිටින විට වෙඩි නොව­දින බවට මත­යක් ද තිබේ.

පිය­දස්සී හිමි, නොම්බර එකේ යූඇන්පී කාර­යෙක් ද විය.

ඔය අතර දොර­ග­මුව පන්සලේ දාන­ශා­ලාව ළඟ තිබුණු තැඹිලි ගහක ගෙඩි­යක් කඩා එයට හෙන­රාජ තෙල් දමා ජීවම් කොට ඊට වෙඩි තිබ්බම තැබිලි ගෙඩිය පුපුරා තිබේ. සෝමා­රාම භික්ෂු­වත් නිතර නිතර ඒ පන්සලේ නතර වී තිබේ. බණ්ඩා­ර­නා­යක මහ­තාගේ හෙන­රාජ සුරයේ බල බිඳින්න ජීවම කළේ දොර­ග­මුවේ පිය­දස්සී හාමු­දු­රුවෝ බව සැක කළේ එහෙම ය.

ඉතින් බණ්ඩා­ර­නා­යක මහ­තාගේ මර­ණය පිටි­පස්සේ ‘හූනි­ය­මක්‘ තියෙන බවට ඒ දව­ස්වල සැක­යක් තිබ්බේ ය.

77න් පස්සේ නිද­හස් පක්ෂයේ නාය­කයෝ සීසී­කඩ විසි­රෙද්දී ඒකට හේතුව ප්‍රේම­දාස කළ 'හූනි­ය­මක්' ය කියා හාහූ­වක් ගියේය. දෝශා­භි­යෝ­ගය අව­ස්ථා­වේදී ප්‍රේම­දාස විපක්ෂ යේ පුටු­වල මල­යාලි තෙල් ගෑවා කියා ලොකු කතා­වක් ගියේය.

ගාමිනී දිසා­නා­යක මහතා ද සුර­යක් පැලඳ තිබෙන බව කියැවේ. අව­සන් රැලි­යට ඔහු ආවේ එය බුදු කාම­රය අසල තබා බව පැවසේ.

මහින්ද රාජ­ප­ක්ෂක ගුරු­කම් වගේම ජ්‍යෙති­ෂය විශ්වාස කළ තරම අනෙක් කාටත් වඩා වැඩිය. ඔහු සි­යල්ල ම පාහේ කළේ ජ්‍යෙති­ෂ­යට මුල්තැන දෙමින් ය.අන්ති­මට අවු­රුදු දෙකක් කල් ඉන්න තියෙද්දී ඔහු ජ්‍යෙතිෂ මත­යට ඉඩ දී ඡන්දෙට ගොස් නැව­තුනේ ගෙදර ය. ඒ විත­රක් නොවේ වරක් චන්ද්‍ර­සිරි බණ්ඩාර ජ්‍යෙති­ෂ­වේ­දි­යාව අත්අ­ඩං­ගු­වට ගත්තේ මහින්ද ඝාත­නය වෙනවා යැයි අනා­වැ­කි­යක් කී නිසාය.

හැම ඡන්දෙ­කදී ම අපේ­ක්ෂ­කයෝ දේවාල පීර පීරා ගොස් 'ජය­ග්‍ර­හ­ණය' ඉල්ලති.එකම දේවා­ල­යට එන විවිධ පක්ෂ­වල අපේ­ක්ෂ­කයෝ තම තමන්ගේ ජය­ග්‍ර­හ­ණය ප්‍රාර්ථනා කරති.හැබැයි දිනන්නේ හැමෝම නොවේ.අන්ති­මට වෙන්නේ දෙවි­යන්ද අමා­රුවේ වැටෙන එකය.

හූනි­යම් සම්බ­න්දව මෑත­කදී ගිය කැතම ප්‍රචා­රය ජන­පති මෛත්‍රී හා සම්බන්ධ ව ගෙතී තිබුණි.

'ජන­පති මෛත්‍රීට හූනියං කරලා'

ඒ දින­වල කතා­බහ ය.

'ජනා­ධි­ප­ති­ටත් හූනියං කරන රටක්නේ යකෝ මේක'

ඒ දව­ස්වල මිනිස්සු තැන තැන කතා වෙන්නේ ඕකය. මේ කතා­බ­හට පාදක වුණේ මාධ්‍ය­වල පළවූ ප්‍රවෟ­ත්ති­යක් ය. ජන­ප­තිට හූනි­යම් කොට තිබූ කොටස් අනු­රා­ධ­පුර හොරො­ව්පො­තාන ප්‍රදේ­ශ­යෙන් හමුවී තිබීම ගැන සැල­වී­මත් සමඟ හැමෝම අතර ඒ පුවත ලැව්ගි­න්නක් විය. අන්ති­මට ජනා­ධි­ප­ති­ව­රයා ම ඒකට උත්තර දුන්නේ ය.

'මගේ රූපය ඇඳලා කපලා කොටලා බලි තොවිල් කර­පුවා අනු­රා­ධ­පුරේ සොහොන් පිට්ට­නි­යක තිබී සොයා ගත්තා කියලා තියෙ­නවා.පොදු අපේ­ක්ෂ­කයා විදි­යට ඒ කාලේ ගහපු ගැහි­ල්ලට තව­මත් මාව අභි­යෝ­ග­යක් නිසා තමයි හූනි­ය­ම­ක්වත් කර­නවා කියලා හිතන්නේ'

ඔහු උත්තර දුන්නේ එහෙ­මය. ජන­ප­තිගේ ජීවි­තය සම්බන්ධ ව අභි­යෝ­ගා­ත්මක අනා­වැකි කීම් පටන් ගත්තේ අද ඊයෙක නොවේය. සම­හර ජ්‍යෙති­ශ­වේ­දියෝ දින නිය­ම­කොට ජන­පති මිය යන දිනය පවා කීහ. මනු­ස්ස­ය­කුගේ ජීවි­තයේ කාලය තීර­ණය කරන්නේ එක්කෝ මාරයා ය; නැත්නම් ඝාත­ක­යෙක් ය. එත­කොට අර අනා­වැ­කි­කරු වැටෙන තැන කුමක්ද කියා හිතා­ග­න්නට අමාරු නැත.

'කට්ට­ඬියෝ වග­යක් ඉන්දි­යා­වෙන් ගෙනල්ලා මගේ වගේ රූප­යක් හදලා පැහෙන තෙල් තාච්චි­ය­කට දාලා තෙලේ බඳි­මින් මාව ඉව­ර­යක් කරන්න ගුරු­කම් කරන බව මම දන්නවා. මේ අය හදන්නේ ජනා­ධි­ප­ති­ව­ර­ණෙට කලින් මාව මරලා දාන්න. මගේ ආර­ක්ෂාව පවා ඉවත් කරලා. මම කියන්නේ මෙච්ච­රයි. මට වෙන ආර­ක්ෂා­වක් එපා,මගේ ජීවි­තය ආරක්ෂා කිරීම ජන­තා­වට බාරයි'

2015 ජනා­ධි­ප­ති­ව­ර­ණ­යට එමින් මෛත්‍රී එහෙම කීවේය.

ඒ දව­ස්වල රාජ­කීය ජෝතී­ර්වේ­දියා විදි­හට සළු­පිලි ඇඳ­ගෙන සිටි සුම­න­දාස අබේ­ගු­ණ­ව­ර්ධන දිවුර දිවුරා කීවේ මහින්ද දිනන බව ය.'

'8 වැනිදා පව­තින ග්‍රහ තත්ත්වය අනුව මෙන් ම මහින්ද රාජ­පක්ෂ ජනා­ධි­ප­ති­තුමා උපන් නැක­තින් පව­තින ඉතා ම සුබ­දා­යක ග්‍රහ තත්ත්වය අනුව එතුමා පහසු ජයක් ලබ­නවා.පොදු අපේ­ක්ෂ­ක­යාට මැති­ව­රණ දව­සම අසුබ වන­වාක් හැර උපන් නැකතේ වඳ නැකත එදින මෛත්‍රී­පාල සිරි­සේන පොදු අපේ­ක්ෂ­ක­තු­මාට පව­තින බවත් මේ අනුව මැති­ව­රණ දින ග්‍රහ­චා­රය අනුව එදින උදෑ­සන 7 වන­විට ඔහුගේ ගජ මිතු­රන්ගේ ඡන්දය පවා ඔහුට නොලැබී යෑමට ඉඩ ඇත.'

සුම­න­දා­සගේ අනා­වැ­කිය ඕක ය. හැබැයි වුණේ වෙන එකක් ය. ගජ මිතු­රන්ගේ ඡන්දය පවා මෛත්‍රීට නොලැබී යෑමට ඉඩ ඇතැයි කී සුම­න­දාස ඡන්දෙන් පස්සේ කීවේ මහින්ද පර­දින බව දන්නවා; ඒත් බයට කීවේ නෑ කිය­ලාය.

විශ්වාස,ජ්‍යෙති­ෂය, ජීවම් කිරීම් මේ වාගේ දේවල් සමා­ජයේ මුල් බැස­ගෙන ය.

ආණ්ඩුව පත්වෙලා මාස තුනක් යන­කොට විප­ක්ෂයේ කණ්ඩා­ය­මක් කළේ 'ආණ්ඩුව පෙර­ළෙන්න‘ කියා පොල් ගහන එක ය.

ඒ දව­ස්වල අවා­ස­නා­වන්ත විදි­හට මාදු­ළු­වාවේ සෝභිත හිමි අප­වත් වූ විට සමාජ ජාල කීවේ 'පොල් ගැහීමේ ප්‍රති­පල' කියලා ය. යහ­පා­ල­නය උදා කර­න්නට මුල් වූ උන්ව­හ­න්සේගේ අප­වත් වීම පවා 'කාල­කන්නි සතු­ටක්' බවට පත් කර­ගත්තේ එහෙම ය. යහ­පා­ලන ආණ්ඩුව හදන්න මෛත්‍රී එක්ක එළි­යට බැස්ස එම්.කේ.ඩී.එස් ගුණ­ව­ර්ධන හදි­සියේ මිය ගියා­මත් කර­ලි­යට ආවේ 'ගැසූ පොල්වල ප්‍රති­ඵල' කියන කතාව ය.

දළඳා වඳින්න ගිය මහින්ද එළි­යට එන ගමන් ඒ දව­ස්වල විහි­ලු­වට වගේ කීවේ 'ගහපු පොල් වැදී­ගෙන යනවා' කියලා ය. ඒ වෙත්දී රාජිත සේනා­ර­ත්නත් හිටියේ අස­නීප වෙලා ය.

ඒ අතරේ මෛත්‍රී මිය යන බවට දින දමා කැට තියා දිවු­ර­මින් අනා­වැකි කීවේ තවත් ජ්‍යෙති­ෂය කාර­යෙක් වෙච්ච විජිත රෝහණ විජ­ය­මුණි ය. ඒ ගැන නිතර නිතර අප්ඩේට් කළ වෙබ් අඩවි ද තිබුණේ ය. හැබැයි ඒවාත් සහ­මු­ලින් බොරු වුණේ ය. පසු­ගිය ජනා­ධි­ප­ති­ව­ර­ණ­යේදී තරම් ජ්‍යෙති­ෂය කර­පි­න්නා­ගෙන ගිය යුග­යක් තවත් නැති තරම් ය. විශේ­ෂ­යෙන් ම මහින්ද රාජ­පක්ෂ 'හැරුණේ' පවා ජ්‍යෙති­ෂ­යට අනු­වය. පසු­ගිය ජනා­ධි­ප­ති­ව­ර­ණ­යේදී තරම් ජ්‍යෙති­ෂය කර­පි­න්නා­ගෙන ගිය යුග­යක් තවත් නැති තරම් ය. විශේ­ෂ­යෙන් ම මහින්ද රාජ­පක්ෂ 'හැරුණේ' පවා ජ්‍යෙති­ෂ­යට අනු­වය.

හිටපු ජන­ප­තිගේ ජ්‍යෙතිෂ ශාස්ත්‍ර­ඥයා ලෙස වසර ගණ­නා­වක් ම කට­යුතු කළේ ගාල්ලේ සුම­න­දාස අබේ­ගු­ණ­ව­ර්ධන ය. නියත වශ­යෙන්ම මහින්ද රාජ­පක්ෂ ජය ගන්නා බව ඔහු ජනා­ධි­ප­ති­ව­ර­ණ­යට පෙර කීවේය. මහි­න්දගේ ජ්‍යෙති­ෂ­ව­රයා එතෙර පවා ප්‍රකට ය. එකල ඉන්දි­යාවේ එන්ඩී­ටීවී රූප­වා­හි­නිය පැව­සුවේ මේ ඡන්ද­යෙන් සුම­න­දා­සගේ අනා­වැකි හැකි­යාව පිළි­බඳ අව­සාන පරී­ක්ෂ­ණය බවය.

'මහින්ද රාජ­පක්ෂ පරා­ජය වුව­හොත් වෙඩි තබා ගන්නා බව' කීවේ, චන්ද්‍ර­සිරි බණ්ඩාර නම් නක්ෂ­ත්‍ර­කරු ය. මහින්ද රාජ­පක්ෂ දිනන බව හා ඔහු පරා­ජය වුව­හොත් තමා ගිනි තබා ගන්නා බව කීවේ, නීති­වේ­දි­යකු ද වන මාප­ල­ගම විම­ල­රත්න නම් තවත් නක්ෂ­ත්‍ර­ක­රු­වකු ය. හිටපු ජන­ප­තිට වසර 32ක් තිස්සේ ජ්‍යෝතිෂ උප­දෙස් දුන් සුම­න­දා­සට ද යස ඉසුරු අහිමි වූ බවත්, හිටපු ජන­පති නැක­ත්ක­රු­වන් බෙහෙ­වින් විශ්වාස කළ බවත් ගාඩි­යන් පත්‍රය කීවේය. වැර­දුණු අනා­වැ­කි­යෙන් පසුව සුම­න­දාස ගාලු ගියේය.

‘රාජ­පක්ෂ පර­දින බව කිව්වා නම් ඔහු මාන­සික වශ­යෙන් බිඳ වැටෙ­නවා. ඔහුගේ පරා­ජය තවත් බර­ප­තල වන්නට තිබුණා. මේ ප්‍රති­ඵ­ලය ඔහුගේ කේන්ද­රයේ ලියැවී තිබුණා. අපේ සර්ගේ කේන්ද­රේට වඩා විරු­ද්ධ­වා­දි­යාගේ (මෛත්‍රී­පාල සිරි­සේ­නගේ) කේන්ද්‍රය බල­වත්. ‘‘ සුම­න­දාස ප්‍රංස පුවත් සේවය සමඟ කීවේය.

කේන්ද්‍රය විශ්වාස කරලා ජනා­ධි­ප­ති­කම් කළ ප්‍රේම­දාස මහතා අකා­ල­යේම මිය ගියේය.ඒ මදි­වට එක්සත් ජාතික පක්ෂය බිංදු­වට කඩා වැටුණි. ලලිත් ඇතු­ළ­ත්මු­දලි, ගාමිණී දිසා­නා­යක, ජී. එම්. ප්‍රේම­චන්ද්‍ර ඇතුළු ප්‍රබ­ලයෝ පක්ෂය කඩා­ගෙන ගිය හ. ඒ වගේම ගුරු­කම් විශ්වාස කරලා ජනා­ධි­ප­ති­කම් කළ මහින්ද ගෙදර ගියා විත­රක් නොව තමන්ගේ ලේකම් පොදු අපේ­ක්ෂක වෙලා 'බොක්ෂින් වල­ල්ලට‘ එන­තුරු දැන­ගෙන හිටියේ නැත. ඔය කියන විදි­හට මෛත්‍රී මහින්ද එක්ක ආප්ප කන වෙලා­වෙත් මහින්ද අතේ අර 'මැජික් දණ්ඩ' තිබෙ­න්නට ඇත.එහෙත් මෛත්‍රී දිනන එක නව­ත්වන්න පුළු­වන් වුණේ නැත.

එහෙම බැලු­වම හූනි­යම්,ගුරු­කම් කියන්නේ 'වළේ දමන ඒවා‘ විත­රක් ම ය.

තත්ත්වය එසේ වුවද නව රටක් ගැන බලාපොරෝත්තු දෙන පොදුජන පෙරමුණේ ජනපති අපේක්ෂකයා පසුගියදා ශාන්තිකර්ම වේදීන් හමුවි ඔවුන්ට විශේෂ පරිපාලන යාන්ත්‍රණයක් දීමට පොරෝන්දු විය. එහි පවතින විද්‍යාත්මක බව ගැටලුවක්ය.

ජ්‍යෙති­ෂය කෙසේ වෙතත් ජනා­ධි­ප­ති­ව­රණ ජය­ග්‍ර­හණ ගැන් ඊට වඩා තර්කා­නු­කූල කතා­වක් තිබේ.

මේ රටේ ජනා­ධි­ප­ති­ව­රණ ඉති­හා­සයේ ජේ.ආර් හැර සෙසු සියලු දෙනා ජය­ගෙන තිබෙන්නේ පීඩා­, කකු­ලෙන් ඇදීම්, මැද පහු­වෙලා එන අපේ­ක්ෂ­කයා ය. 88 ප්‍රේම­දා­සට ඉල්ලන්න දෙන එකක් නෑ කියා සම­හරු සිතූහ. ඒ වෙන­කොට ආණ්ඩුව එජා­පය ය. උතුර දකුණ දෙකේම ගින්දර ය. රට දෙපැත්ත දැල්වෙන විල­ක්කු­වක් ය. සම­හරු හිතුවේ ජේ.ආර්ම එයි කියා ය. හැබැයි ජේ ආර් මරමු කියා රට පුරා පෝස්ටර් ය. ඉන්දි­යන් හමු­දාව රටට ගොඩ බැහැලා ය. මේ සියල්ල අස්සේ එජා­පය හිටියේ නියත පරා­ජ­යක ය. සිරි­මාවෝ ජන­පති වෙන්න රෙදි මසා­ගෙන සිටියා ය.

හැබැයි අන්ති­මට එජා­පය ප්‍රේම­දාස නම් කළේ ය. රැලි­යක් තියන්න බැරි රටේ ප්‍රේම­දාස කතා කළේ ගෙවල් වලට ය.

'මම ඉන්දිය හමු­දාව යව­නවා' ප්‍රේම­දාස කීවේය.

'ඉන්දි­යන් හමු­දාව ගෙනාවේ එයාල මිසක් අපි නොවේ. ඉතින් එයා­ලම ගෙනාව ප්‍රශ්නේ එයාල ම ඉවර කර­න­වලු'

මැතිනි කීවා ය.

අන්ති­මට මිනිස්සු ඡන්දේ දුන්නේ ප්‍රේම­දා­සට ය.

94 වෙන­කොට එජා­පය පර­ද්දන එක හීන­යක් වෙලා තිබුණි. හැබැයි මැති­නිගේ කකු­ලෙන් ඇදිලි මැද මංග­ලලා චන්ද්‍රිකා ගෙනාවේ ය. අන්ති­මට චන්ද්‍රිකා වාර්තා තිබ්බා ය; 2005 මහින්ද අග­මැති ය. ඒත් ඔහුට ජන­පති අපේ­ක්ෂ­ක­කම නොදෙන තැනට පත්වී තිබුණි. ඒ වෙන­කොට ජනා­ධි­පති චන්ද්‍රිකා ය. ඈ පවා මහි­න්දට එරෙ­හිව සිටියේ ය. පක්ෂ යාන්ත්‍ර­ණය මහි­න්දට හිමි නොවීය. අද මහි­න්දට සමීප සම­හර අය එදා මහින්ද දිහා­වත් නොබැ­ලුවේ ය.

එදා රනිල් හිටියේ දිනන තැන ය. පොදු පෙර­මුණ අනාත වෙන බව සියලු දෙනා සිතූහ. රනිල් සීයට 55 පනින බවට සම­හරු කීය. අන්ති­මට කකුල් මාට්ටු මැද මහින්ද සට­නට ආවේය. හිටියේ ජවිපේ විතර ය; රනිල් පරාද ය. මහින්ද දිනුම් ය. 2015 මුල සිට ම මහින්ද ජන­පති වෙන්න හිතුවේ ය.'මහි­න්දට තෙව­රක් පුළු­වන්' කියා පෝස්ටර්, රැලි රට පුරා දියත් විය.

හැබැයි පහු­වෙලා ආව මෛත්‍රී මහින්ද නැමති පර්ව­තය පෙරළා දැම්මේය. මෙවර ජනා­ධි­ප­ති­ව­රණ ප්‍රති­ඵ­ලය ගැන කල් තියාම තර්කා­නු­කූල මත­වා­ද­යක් ගෙනෙ­නුයේ වික්ටර් අයි­වන් ය. සාමා­න්‍ය­යෙන් අයි­වන්ගේ නිග­මන වැර­දිලා තිබෙන්නේ ඉතා කලා­තු­ර­කින් ය.

ඔහු කියන්නේ මෙවර සජිත්ට තිබෙන්නේ පහසු තර­ඟ­යක් බව ය. ඔහු ඊට මෝධිගේ ජය සමාන කරයි.

2019 මැති­ව­ර­ණය ආසන්න වන­විට මෝඩි ගැන තිබුණේ අමුතු චිත්‍ර­යකි. 2014 ජය­ගත් මෝඩි ක්ෂණික ව ජන­ප්‍රිය වූයේ නැත. ඔහු ගත් ජන­ප්‍රිය නොවන තීන්දු නිසා ඉන්දි­යා­නු­වන් බොහෝ පීඩා­වට පත්වූහ. වරක් ඔහු මුදල් නෝට්ටු තහ­න­මක් ගෙන ආවේය. මුළු ඉන්දි­යා­නු­වෝම ඔහුට දෙමා­පි­යන් සිහි­කර බැන වැදුණු අතර 2015 පැවැති බිහාර් ප්‍රාන්ත මැති­ව­ර­ණයේ මෝඩි පරා­ජය විය. ආසන 243කින් සම­න්විත බිහාර් ප්‍රාන්ත සභාවේ බහු­තර බලය දිනා ගැනී­මට එහි විපක්ෂ සන්ධා­නය සමත් වීය. ඔවුන් ආසන සංඛ්‍යාව 157ක් ගනිද්දී මෝඩිගේ භාර­තීය ජනතා පක්ෂය දිනා­ගත්තේ ආසන 77කි.

මේ වතාවේ මහි­න්දගේ තේරීම ගෝඨා­භය ය. ඔහු ආවේ කල් ඇතිව ම ය. හැබැයි එජා­පයේ සජිත් ආවේ අන්තිම මොහොතේ ය. කකුල් මාට්ටු, බාධක, කැපිලි-කෙටිලි ඔහුට අප්‍ර­මා­ණ­වත් තිබිණේ ය.

එහෙම බැලු­වම සූත්‍රය ගැළ­පෙන්නේ සජිත්ට ය. ඒක හරි­ය­යිද නැද්ද කියා බලන්න තව තිබෙන්නේ දින හත­ළිස් ගාණකි.

මානාභරණ

Comments