දෑස් නොපෙනුණත් දිවිය ජය ගත් උපාධිධාරි ‘ලොජික් සර්’ | Page 2 | සිළුමිණ

දෑස් නොපෙනුණත් දිවිය ජය ගත් උපාධිධාරි ‘ලොජික් සර්’

තර්ක ශාස්ත්‍රය කරපු ළමයි තුන් දෙනාටම  A, B තිබුණා

දෘෂ්‍යාබාධිත  කලා ශිල්පීන් විසින්  ඉදිරිපත් කරනු ලබන ‘විස්මිත ගී දැහැන’  ප්‍රසංගය  මේ මස 06 වැනිදා  පොල්පිතිගම  ජාතික පාසලේදී  සවස  2.00 ට සහ  6.00 ට  පැවැත්වේ

මිරිවැඩි සඟළක් ඉල්ලා හැඬුවෙමි

පා යුග නැති ඔබ දකින තුරා...

කුංකුම අංජන ඉල්ලා හැඬුවෙමි

නෙත් යුග නැති ඔබ දකින තුරා...

නන්දා මාලිනිය ගායනා කරන මේ ගීතය මට මතක් වුණේ. ඒ ඔහුගේත් ඇයගේත් දසුන නිසා. කීර්තිරත්න මුතුගල... උපතින් දෘශ්‍යාබාධිත වුවත් ජීවිතය ජයගත්තෙක්. බිරිය කේ.එන්. විලාසිනී... ඇයත් දෘශ්‍යාබාධිතයි. මේ දෙන්නා පසුගිය දවසක ලේක්හවුසියට ආවා. එයාලගේ දස්කම්, උනන්දුව, කැපවීම දැක්කාම ඇස්, කන්, හොඳට ඇති අය ඇත්තටම ලජ්ජා වෙන්න ඕනෑ කියලා හිතුණා.

උපතින් ම දෘශ්‍යාබාධිතව උපන්නත් උත්සාහයෙන් ජීවිතය ජයගත් ඔහු දෘශ්‍යාබාධිත අය වෙනුවෙන් කැපවෙන සමාජ සේවා වැඩසටහනකුත් අරඹලා. කීර්තිරත්න මුතුගල වචනයේ පරිසමාප්ත අරුතින් ම දිරිය පුරුෂයෙක්. මේ දිරිමතෙකුගේ කතාව ඔහුගේ වදනින්ම.

“ගල්ගමුව, ගිරිබාව දුෂ්කර පෙදෙසක මම ප්‍රාථමික අධ්‍යාපනය ලැබුවේ. රත්මලාන අන්ධ විද්‍යාලයේ අ.පො.ස. සා‍.පෙළ දක්වා ඉගෙන ගන්නවා. ගිරිබාව මහා විද්‍යාලයෙන් කලා අංශයෙන්, කැලණිය සරසවියට එම වසරේ තේරුණේ මම විතරයි. දර්ශනය විශේෂවේදී උපාධිය, මා පන්ති සාමාර්ථ්‍යයක් සහිතව සමත් වුණා. ඒ කාලේ තාක්ෂණය දැන් තරම් භාවිත වෙන්නෙත් නෑ. රාජ්‍ය නොවන සංවිධානයක මම කාලයක් වැඩ කළා. 2006 දී ගුරුවරයෙකු ලෙස රාජ්‍ය සේවයට එකතුවෙනවා. පොල්පිතිගම ජාතික පාසලේ තර්ක ශාස්ත්‍රය පිළිබඳ ගුරුවරයෙක් ලෙස උසස් පෙළට උගන්වනවා. මට කරන්න නොහැකි දේවල් සම්පත් දායකයින් යොදාගෙන මගේ වියදමින් කරලා දෙනවා. 2017 උසස් පෙළ ප්‍රතිඵල බලද්දී. උසස් පෙළට තර්ක ශාස්ත්‍රය කරපු ළමයි තුන්දෙනාටම A,B තිබුණා.

රත්මලාන අන්ධ විද්‍යාලය මඟින් 2012 වසරේ සඟරාවක් කළා. එහි සිය වස සපිරීම නිමිත්තෙන් (සියවස නුවණැස) සඟ‍රාවේ ප්‍රධාන සංස්කාරක වුණේ මමයි. මගේ බිරිය කේ.එන්. විලාසිනී ඇයත් දෘශ්‍යාබාධිතයි. එයත් අන්ධ විද්‍යාලයේ ඉගෙනගෙන තියෙන්නේ. රාජ්‍ය නොවන සංවිධානයේ වැඩ කරද්දී, හමු‍වුණේ. එයා දෘශ්‍යාබාධිත වුවත්, ටිකක් ඇස් පේනවා‍‍. එයා පොත් කියවන කොට මම අහගෙන ඉන්නවා. මේ වන විට පොත් 500ක් විතර කියවලා තියනවා. අපි දෙන්නා ඒ වගේ ම, රටේ ප්‍රවෘත්ති ගැන අපි අවධානයෙන් ඉන්නේ.

අපිට දුවලා දෙන්නෙක් ඉන්නවා. දුව මධුරංගා සුභාෂිණී කැලණි සරසවියේ පළමු වසරේ. පුතා සුපුන් රංගන හෝටල් ක්ෂේත්‍රයේ පුහුණු වෙමින් සිටින්නේ. එයාලා ආබාධිත නැහැ. ඇස් කන් පේනවා කියලා කියන්නේ; හුඟාක් ලොකු දෙයක්. සමහර ළමයි අපි සමඟ කියනවා සර්ලා ඒ කාලේ කියපු දේවල් අපට නොතේරුණාට දැන් තේරෙනවා කියලා. අපේ අන්ධ අය තුළ හැකියාවක් තියනවා. ඒවා සමාජගත වෙන්නෙ නැහැ. පාසල් ළමයින් ග්‍රාමීය ප්‍රජාව දැනුවත් කර ළමුන් ඉදිරියට. ගෙන යෑම තමයි අපේ අරමුණ. මීට සමගාමීව විස්මිත ගී දැහැන නමින් ප්‍රසංගයක් ඔක්තෝබර් 11 දින ප.ව. 2.00 ට හා සවස 6.00 ට පොල්පිතිගම ජාතික පාසලේදී පැවැත්වෙනවා.

සෑම වසරකම ඔක්තෝබර් 15 දිනට යෙදෙන දෘශ්‍යාබාධිතයන් සඳහා වූ ජාත්‍යන්තර සුදු සැරයටි දිනය සමරමින් දෘශ්‍යාබාධිත සහයෝගිතා පදනම විසින් දෘශ්‍යාබාධිත කලා ශිල්පීන්ගේ, හැකියාවන් දක්ෂතා සාමාන්‍ය ජනතාවට ද ඉදිරිපත් කිරීමේ අරමුණින් තමයි විස්මිත ගී දැහැන ප්‍රසංගය පැවැත්වෙන්නේ. එය සංගීතවත් කරන්නේ, දිවයිනේ එකම දෘශ්‍යාබාධිත වාදක මණ්ඩලය වන විෂන් වාදක මණ්ඩලය මඟින්.

අපේ ඊළඟ බලාපොරොත්තුව ද දෘශ්‍යාබාධිත වැඩිහිටියන් උදෙසා වැඩිහිටි නිවාසයක් ඇරඹීමයි. එසේම නිවාස නැති අය වෙනුවෙන් නිවාස ලබාදීමේ වැඩපිළිවෙළකුත් ක්‍රියාත්මක ‍කරනවා.”

කීර්තිරත්න මහතා එක හුස්මට කියාගෙන ගියා. ඔහු වැනිම දෙනෙත් නොපෙනෙන සමාජයේ සුවහසක් අය, ගොඩගන්න ඔහුට තියෙන්නෙ සැබෑම වුවමනාවක්. මේ වගේ අයට ඇත්තටම ඇස් පෙනුණා නම් කොච්චර හොඳ ද කියලා මට හිතුණා. ඔහු ලේක්හවුසියට ඇවිත් තිබුණේ සුදු සැරයටියකුත් නැතුව. පාර හොයාගන්නෙ කොහොමද කියලා මම ඇහුවා.

“පුරුද්ද සමඟ තමයි හුඟාක් දේ කරන්නෙ. ඇස් හොඳට පේන අයට වඩා අපි පරිසරයේ ශබ්ද ගැන හරි විමසිලිමත්. තැනකට තුන් හතර පාරක් ගිහාම නිවැරැදිව පාර හොයාගෙන යාමේ පුරුද්දක් හැකියාවක් අපට තියනවා. ඒ වගේ ම අපට හොඳ ඉවක් තියනවා.

අපේ අයගේ හැකියාවන් තිබුණාට ඒවා ඒකරාශි වන තැනක් නෑ. අපට හොඳ වේදිකාවක් නැහැ. සාමාන්‍යයෙන් හුඟාක් රටවල ආබාධිත පුද්ගලයන් ආදර්ශවත් පුද්ගලයන් ලෙස සලකනවා. ඒ වගේ ම තමයි අපි අනුන්ට ගරු කරනවා නම් අපට ගෞරවය ඉබේටම ලැබෙනවා.

මම අන්ධ සහයෝගිතා පදනමේ සභාපති ලෙස කටයුතු කරනවා. මම ධනාත්මක චින්තනය ගැන විශේෂ දේශන මාලාවක් පාසල් ළමුන් උදෙසා පවත්වනවා. විවිධ ආයතන, යොවුන් සේනාංක පෙලඹවීම සිදු කරනවා. ආබාධිත මිනිස්සු නිතරම ධනාත්මකව හිතනවා. තමන්ට පුළුවන්ය යන හැඟීමෙන්. තව කෙනෙක් පස්සේ යන්නේ නෑ. පොත්පත් කියවීම තුළින් ජීවිතේට ලොකු දෙයක් ලැබෙනවා. රටතොට ලෝකය පිළිබඳ මනා අවබෝධයක් ලැබෙනවා.

අන්ධ සහයෝගිතා පදනමට ස්ථිර කාර්යාලයක් නැහැ. මගේ නිවසෙම තමයි කාර්යාලය තියෙන්නේ, අපි වැනිම අන්ධ පිරිසකට උදව් කරන්න තමයි සහයෝගිතා පදනම පිහිටුවාගෙන තියෙන්නේ. පුළුවන් නම් අපට උදව් කරන්න.

ඔහු ඔබෙන් කරන කාරුණික ඉල්ලීම එයයි. ගායන, වාදන, නිවේදන, ලඝු ලේඛන හා සංවිධාන හැකියාව ඇති කීර්තිරත්න මුතුගලට උදව් කරන්න ඔබටත් හැකිනම් ලොකු පිනක්.

ඔහුගේ ලිපිනය - 145/3, හීරලුගම,

පොල්පිතිගම.

සේයාරූ - ටෙනිසන් එදිරිසිංහ

 

Comments