මිනි­ස­ත්කම යට කළ තිරි­ස­න්කම මතු කළ දුම්රිය වර්ජ­නය | සිළුමිණ

මිනි­ස­ත්කම යට කළ තිරි­ස­න්කම මතු කළ දුම්රිය වර්ජ­නය

මෑත යුගයේ දීර්ඝ­තම කාලය ඇදී-ගිය දුම්රිය වර්ජ­නය පසු­ගිය මස 26 වැනිදා ආරම්භ විය. එය පසු­ගිය සිකු­රාදා (4) සවස් වන විටත් විසඳී නොති­බිණි. වැටුප් විෂ­මතා ප්‍රශ්න­යක් මුල් කර­ගෙන මේ වර්ජ­නය ආරම්භ කරන ලද්දේ දුම්රිය රියැ­දුරු, නියා­මක, ස්ථානා­ධි­පති, පාලක හා කළ­ම­නා­ක­රණ ශ්‍රේණියේ නිල­ධා­රීන් විසිනි.

ඔවුන් පව­සන්නේ රාජ්‍ය සේව­ක­යන්ට මෙවර වැටුප් වැඩි කිරී­මේදී ඔවුන්ට අසා­ධා­ර­ණ­යක් වූවාක් මෙන්ම ඔවුන්ට වැටුප් වැඩි කර නොව, වැටුප් අඩු කර ඇති බවයි.

දුම්රි­යෙන් දෛනි­කව ගමන් ගන්නා මගීන් සංඛ්‍යාව 4,98,000ක් පම­ණක් වේ. ඒ දෛනික දුම්රිය ගමන් වාර 376කිනි. එහෙත් ඒ දුම්රිය 376 වෙනු­වට පසු­ගිය දින කිහි­පය තිස්සේම මගීන්ට ගමන් කර­න්නට සිදු වුණේ දුම්රිය 10ක් පමණ වූ අල්ප සංඛ්‍යා­ව­කය. එය ක්‍රම­යෙන් වැඩි කිරී­මට දුම්රිය සාමා­න්‍යා­ධි­කා­රි­ව­රයා ගම­නා­ග­මන අධි­කා­රි­ව­රයා මෙන්ම නියෝජ්‍ය ගම­නා­ග­මන අධි­කා­රි­ව­රයා විසින් පිය­වර ගෙන තිබිණි. ඒ සඳහා විශ්‍රා­මික දුම්රිය රියැ­දු­රන්, නියා­ම­ක­ව­රුන් මෙන්ම ස්ථානා­ධි­ප­ති­ව­රුද සේව­යට යොදා ගන්නා ලදහ. එමෙන්ම දිස්ත්‍රික් ඉංජි­නේරු පරී­ක්ෂ­ක­ව­රුන් හරහා මේ සේවාව සප­යන ලද අතර, ක්‍රම­යෙන් මේ විශේෂ කාර්යාල දුම්රිය උදෑ­ස­නත් පස්ව­රු­වේත් ගමන් වාර සංඛ්‍යාව 18ක් 20ක් පමණ දක්වා වැඩි කරන ලදි.

මගීන් මේ වර්ජ­නය නිසා පත් වූ අප­හ­සු­තාව සුළු-පටු නොවේ. විශේ­ෂ­යෙන්ම පාසල් සිසුන්ට ගමන් කිරී­මට කිසිදු දුම්රි­යක් නොති­බී­මෙන් ඔවුහු මහත් අප­හ­සු­තා­වට පත් වූහ. දරු­වන් නැති අය සේ කට­යුතු කළ මේ දුම්රිය වර්ජ­ක­යන් තම බඩ­වි­යත ගැන පම­ණක් සිත­මින් මෙසේ ක්‍රියා කිරීම කිසි­සේත් අනු­මත කළ නොහැ­කිය. ඒ වර්ජ­නය අනු­මත කරන ලද්දේ ඔවුන් විසින්ම පමණි. වෙනෙ­කක් තබා, දුම්රි­යට සම්බන්ධ බොහෝ වෘත්තීය සමිති පවා එය දැඩි පිළි­කු­ළෙන් යුතුව විවේ­ච­නය කර සිටි­යහ.

දුම්රිය රියැ­දු­රන්, නියා­ම­ක­ව­රුන් මෙන්ම ස්ථානා­ධි­ප­ති­ව­රු­න්ගේද මාසික වැටුප අති­කාල සමග රුපි­යල් ලක්ෂ 2ත් ලක්ෂ 3ත් අතර වේ. එසේම රියැ­දු­රන්ගේ හා නියා­ම­ක­ව­රුන්ගේ දුම්රිය ගමන් වාර සක­සා­ගනු ලබ­න්නේද ඔවුන් විසිනි. ඒ සියල්ල සකස් කර­ගනු ලබ­න්නේද තමන්ට උප­රිම වාසි සැල­සෙන අයු­රිනි. තම ගමන් වාරය නිමවා පැය 9ක් ගත වීමට පෙර යළි ගමන් වාර­යක් ආරම්භ කිරී­මට සිදු වුව හොත් අධි-අති­කාල හිමි­ක­මක් ලැබෙන හෙයින් මේ සියලු දෙනා එසේ තම ගමන් වාර සකස් කර­ගනී. ගමන් වාරය නිමවා පැය 9කට අධික කාල­යක් තිබෙන ගමන් වාර යන්නට රියැ­දු­රන් මෙන්ම නියා­ම­ක­ව­රුද බොහෝ මැළි වෙති. කොළඹ සිට බදුල්ල බලා යන උඩ­රට මැණිකේ දුම්රි­යට මීට වසර 7කට පමණ පෙර නියා­ම­ක­ව­ර­යකු සොයා­ග­න්නට බොහෝ අප­හසු විය. ඒ එම දුම්රියේ ගමන් ගන්නා නියා­ම­ක­ව­රයා කොළඹ සිට නාව­ල­පි­ටිය දක්වා ගොස් පැමි­ණිය යුත්තේ පසු දින වන නිසා ඔහුට එදින සේවය නාව­ල­පි­ටි­යෙන් නිම කර­න්නට සිදු වේ. එම නිසා අධි අති­කාල ලබා ගත නොහැ­කිය.

එසේම අද­ටත් මහ­නු­ව­රින් පෙර­වරු 6.15ට පැමි­ණෙන නග­රා­න්තර ශීඝ්‍ර­ගාමී දුම්රියේ රියැ­දුරා ආපසු මහ­නු­වර බලා ගමන් යන්නේ පසු දින පස්වරු 3.35ට ඇති නග­රා­න්තර දුම්රි­යේය. ඒ තමන්ට කොළ­ඹට පැමිණ අවශ්‍ය වැඩක් කර­ග­න්නට ඇත්නම්, එසේත් නැත්නම් විවාහ උත්ස­ව­යන්ට සහ­භාගි වීමට හෝ වෙනත් සාද­ව­ලට සහ­භාගි වීමට අවශ්‍ය පසු­බි­මද සකස් කර­ගෙ­නය.

එහෙත් කොළ­ඹින් පෙර­වරු 7.00ට මහ­නු­වර බලා යන නියා­ම­ක­ව­රයා එදි­නම පස්වරු 3.30ට කොළඹ බලා පැමි­ණෙන දුම්රියේ ආපසු පැමි­ණෙයි.

ඒ අනුව බලන කල මේ වර්ජ­කයෝ තමන්ට හිමි අති­කාල පම­ණක් නොව රාජ­කා­රි­යේ­දීද උප­රිම වශ­යෙන් ලාභ-සත්කාර භුක්ති විඳිති. නියා­ම­ක­ව­ර­යාගේ ගම­න්මල්ල වෙනත් අයකු ගෙන යා යුතුය. ඒ සුද්දාගේ නීති­යයි. වරක් ගම­න්මල්ල ගෙන යෑමට සිටින සේව­කයා මහව සන්ධි­යේදී දුම්රි­යට භාණ්ඩ පැට­වී­මට ගොස් අත තුවාල වී රෝහ­ලට ගොස් පැමි­ණෙන තුරු මඩ­ක­ල­පුව දුම්රියේ නියා­ම­ක­ව­ර­යාගේ ගමන් මල්ල ගෙන යෑමට අයකු නැතිව විනාඩි 45ක්-50ක් පමණ ප්‍රමාද විය. ඔහුට ගමන් මල්ල නිවෙසේ සිට ගෙන ආ හැකිය. ඒ මීටර් ගණන ගෙන යා නොහැ­කිය!

එතැන මානු­ෂි­ක­ත්වය ඇත්තේ කොතැ­න­ක­දැයි අප විමසා සිටින්නේ කාගෙන්ද?

කම්ක­රු­වාගේ පටන් එදි­නෙදා කඩල වෙළෙන්දා දක්වා වන දහස් ගණ­නක් වන වෘත්තීන්ට මේ දින­වල කණ­කොකා හඬා ඇත. මේ වර්ජ­ක­යන් තම දූ-දරු­වන්ට බත් කවන්නේ ඒ ස්වයං­රැ­කි­යා­ක­රු­වන්ගේ දූ-දරු­වන් කුස­ගින්නේ සිටි­ය­දීය. එසේ ක්‍රියා කර­න්නට මේ වර්ජ­ක­යන්ට හැකිව ඇත් නම් ඔවුන්ගේ මානු­ෂි­ක­ත්වය ඇත්තේ කොතැ­න­ක­දැයි විම­ස­න්නට සිදුව ඇත්තේ කාගෙන්ද?

මකු­ණකෙු ඇඳේ සිටි බව පව­ස­මින් දුම්රිය ධාව­නය නොකළ රියැ­දුරෝ ඇත. එමෙන්ම පසු­ගිය 24 වැනිදා කොළඹ සිට බදුල්ල බලා ගමන් ගත් එස්-14 නවීන චීන දුම්රියේ ගමන් ගත් දුම්රිය නියා­ම­ක­ව­ර­යකු විසින් චීන ජාතික නිල­ධා­රීන්ට පරුෂ වච­න­යෙන් බැණ වැදී ඇත්තේ හොඳ හැටි මත් පැනින් පදම්ව සිටි­ය­දීය. ඒ සම්බ­න්ධ­යෙන් මේ වන විට පැමි­ණි­ල්ලක්ද සිදු කර ඇතත් ඒවාට විනය පිය­වර ගන්නට දුම්රිය බල­ධා­රීහු මැළි­ක­මක් දක්වති.

තම අයි­ති­වා­සි­කම් දිනා­ගත යුත්තේ තවත් අය­කුගේ ජීවි­කාව විනාශ කර-දම­මින් නම් ඔවුන්ගේ මානු­ෂි­ක­ත්ව­යක් බලා­පො­රොත්තු විය නොහැ­කිය. සති­ය­කට අධික කාල­යක් පුරා ඇද­ගෙන යන මේ වැඩ වර්ජ­න­යෙන් පීඩා­වට පත් වූ ජන­තාව මිලි­යන ගණ­නකි. විදේ­ශි­කයෝ දහස් ගණ­නක්ද දුම්රිය වර්ජ­නය නිසා දැඩි අප­හ­සු­තා­වට පත් වූහ. මේ සියල්ල ජාතික ධන­යයි. වර්ජ­ක­යන්ට නොපෙ­නන අඳුර එයයි. ඇතැම් විට ඔවුන් කාගේ හෝ බළල් අතක් වී මේ වර්ජ­නය දිග­ටම ගෙන­ය­නවා විය හැකිය.

දුම්රි­යෙන්ම පම­ණක්ම යා යුතු වන ගම්-බිම් බොහෝ ඇත. ප්‍රධාන මාර්ගයේ හොරපේ, දාර­ළුව වැනි දුම්රිය ස්ථාන­ව­ලට බස් සේවා නැත. එමෙන්ම පුත්ත­ලම මාර්ගයේ කුඩ­හ­ක­පො­ළද එසේ­මය. එමෙන්ම බස් රථ 3ක් හෝ 4ක් මඟින් කොළ­ඹට යා යුතු දුම්රිය ස්ථානද ඇත. වල්පොළ, බටු­වත්ත, බුළු­ග­හ­ගොඩ බඳු තවත් දුම්රිය ස්ථාන ආශ්‍රි­තව පිහිටි නගර රැසක සිට ඍජුව බස් මඟින් කොළ­ඹට ගමන් කළ නොහැ­කිය. කොළඹ කොටුව දක්වා යෑමට රාගම මෙන්ම ගම්පහ සිටද බස් රථ දෙක­කින් යා යුතුය. දුම්රියේ ගමන් කාලය මෙන් තුන් ගුණ­යක ගමන් කාල­යක් ඒ සඳහා වැය කළ යුතුය. එක් දුම්රි­යක ගමන් ගන්නා මඟීන් සංඛ්‍යාව ප්‍රවා­හ­නය කිරී­මට නම් බස් රථ 25ක් වත් ඒ සඳහා යොමු කළ යුතුය. පසු­ගිය සතිය පුරාම කොළඹ හා තදා­සන්න කාර්යා­ල­වල කට­යුතු නිසි­යා­කා­රව සිදු කෙරුණේ නැත. පෙ.ව. 10 පසු වන තෙක් සේවක සේවි­කාවෝ කාර්යා­ව­ලට එති. පස්වරු 3.00 සිට ආපසු යෑමට ඔවුහු සූදා­න­මින් සිටිති. මෙය රටේ සංව­ර්ධ­න­යට කොත­රම් බාධා­වක්ද යන්න මේ තක­තී­රු­වන්ට නොතේ­රීම එක් අත­කින් රටේම අවා­ස­නා­වක් මෙන්ම වෘත්තීය අයිති මෙන්ම රටේ සංව­ර්ධ­නය ගැන කතා කරන දේශ­පා­ලුවෝ මේ අව­ස්ථාවේ නිහ­ඬය.

අවම වශ­යෙන් මේ වර්ජ­ක­යන්ට අකු­රට වැඩ කිරීමේ ව්‍යාපා­ර­යක් දිග­ටම දියත් කරන්න තිබිණි. එසේ නොවේ නම් රාත්‍රී තැපැල් දුම්රිය මෙන්ම දුර සේවා නග­රා­න්තර දුම්රිය සේවා හෝ වර්ජ­නය කර­න්නට තිබිණි. භාණ්ඩ ප්‍රවා­හන දුම්රිය මෙන්ම ඉන්ධන ප්‍රවා­හන දුම්රිය වර්ජ­නය කර­න්නට තිබිණි. මේ කුමන ක්‍රියා මාර්ග­යක් ගත්තද මඟියා අසී­රු­තා­වට පත් වනවා ඇත. එහෙත් එයින් යම් ලෙස­කින් හෝ රටේ ගමන් මඟ අස්ථා­වර වීම වළ­කින අතර, මඟී ජන­තාව පත් වන අප­හ­සු­තාව යම් ප්‍රමා­ණ­ය­කට හෝ අවම වනු ඇත. තම උප­රිම ලාභය වාසිය ගන්නා අත­රම ජන­තා­වද උප­රිම පීඩා­වට පත් කිරී­මට ඔවුහු කටු­යුතු කරති. වෛද්‍ය වර්ජ­නය පැවැති කාලයේ ඉන්ධ­න­හ­ල්ව­ලින් වෛද්‍ය­ව­රුන්ගේ රථ­ව­ලට ඉන්ධන නිකුත් කිරීම අත්හි­ටු­වන ලදී. වෛද්‍ය­ව­රුන් වෙනත් මාර්ග හරහා ඉන්ධන ලබා ගන්න ඇත. එහෙත් එයින් ඔවුන් යම් අප­හ­සු­තා­ව­කට පත් විය. ඉන්ධන පොම්ප­ක­රු­ව­න්ගෙන් හෝ එවන් දැනු­මක් හෝ ලබා­ග­න්නට තරම් මේ වර්ජ­ක­යන්ට දැනු­මක් නොති­බ්බේ­දැයි යන්න අපට විම­සිය යුතුව ඇත.

තමන්ගේ ඉල්ලීම් දිනා­ග­න්නට අම්මා තාත්තා හෝ විකු­ණ­න්නට මේ වර්ජ­ක­යන් විසින් කට­යුතු කර ඇති ආකා­රය මෙයින් පැහැ­දි­ලිය.

මේ වර්ජ­ක­යන්ගේ ඉල්ලීම් මොන­වාද යන්නද මෙහිලා අප සොයා බැලිය යුත්තේ ඔවුන්ගේ ඉල්ලීම් යම් හෝ සාධා­ර­ණ­ත්ව­යක් ඇත්දැයි දැන­ගැ­නීම පිණි­සය. යළි වෙනත් රාජ්‍ය සේවා­වක එවන් වර්ජ­න­යක් ඇති වීම වැළැ­ක්වීම පිණි­සය.

වර්ජ­නයේ නිරත වෘත්තීය සමිති පව­සන්නේ රාජ්‍ය සේවක වැටුප් 2020 වසරේ සිට 12% අව­ම­යක් හා 24%ක උප­රි­ම­යක් යටතේ වැඩි කර ඇති නමුත් දුම්රියේ වර්ජ­නයේ නිරත සේව­ක­යන්ට එසේ වැටුප් වැඩි කර නැති බවයි. ඔවුන් පෙන්වා දෙන්නේ මේ වැටුප් වැඩි කිරිම හමුවේ ඔවුන්ට වැටුප් අඩු වී ඇති බවකි.

දුම්රිය රියැ­දු­රන් ඇතුළු මේ කණ්ඩා­යම මේ වන විට TL කාණ්ඩ­යට ඇතු­ළත් කර ඇති බවත්, එහිදී වාරි­මාර්ග තාක්ෂ­ණික, තාක්ෂ­ණික සේවය, මෙන්ම දුම්රිය කළ­ම­නා­ක­රණ නිල­ධා­රීන්ද ඊට ඇතු­ළත් කර ඇති බවත්ය. ඒ අනුව මීට පෙර ඔවුන් යොමු කර සිටි MLT කාණ්ඩ­යට හා සමාන ලෙස ඔවුන් අනු­ගත කර ඇති බවද ඔවුහු පෙන්වා දෙති. මේ නව වැටුප් වැඩි කිරීම අනුව සෙසු රාජ්‍ය සේව­ක­යන්ට වැටුප් අව­මය 12%ක් වැඩි වුවද වර්ජ­නයේ නිරත දුම්රිය සේව­ක­යින්ට 16%ක වැටුප් වැඩි­වී­මක් සිදු විය යුතු වුවත් වැඩි කර ඇත්තේ 5.75%ක් පම­ණක් බවයි. ඒ අනුව දැනට පව­තින අවම වැටුප වන රු. 34,130ක් වන වැටුප අනුව වැඩි විය යුතු වැටුප (16%ක්) රු. 39,670ක් බවයි. එසේ වුවත් දැනට පවත්නා වැටුප කල්පි­ත­යක් සේ සලකා බලා රු. 36,095ක මූලික වැටු­පක් දී ඇති බවද ඔවුහු පව­සති. ඒ අනුව වැඩි කර ඇත්තේ රු. 1,965ක් පම­ණක් බවද ඔවුහු පෙන්වා දෙති.

කම්ක­රු­වන්ගේ වැටුප රු. 24,250සිට (12%) රු. 27,250ක් දක්වා වැඩි කර ඇති අතර ඒ අනුව අවම වැටුප් වැඩි වීම වන රු. 3,000ක් ඔවුන්ට හිමි වේ.

එසේ වුවත් රාජ්‍ය චක්‍ර­ලේඛ අනුව වැඩි වන වැටුප් ක්‍රම­යෙන් මේ වන විට රජය මඟින් අව­සන් වරට ලබා දී ඇති රු. 2,500 එයින් අඩු කරනු ලැබේ. එසේ වන විට කම්ක­රු­වන්ට සැබෑ ලෙසින්ම රු. 500ක් හෝ වැටුප් වැඩි වීමක් ලැබෙන බවද පෙන්වා දෙන මේ සංගම් පව­සන්නේ දුම්රියේ වැටුප් වැඩි­කි­රීම රු. 1,965ක් නිසා දැනට ලබා දෙන රු. 2,500 දීම­නාව ඉවත් කර, වැඩි කළ නව වැටුප (රු. 1,965) එකතු කිරී­මේදී තමන්ට රු. 545ක වැටුප් අඩු වීමක් සිදු වන බවයි.

ඒ ගැන විමසූ විට රනුක්ගේ කමි­ටුව පවසා ඇත්තෙ පසුව ඒ ගැන සලකා බැලිය හැකි බව­යැයි ඔවුහු පෙන්වා දෙති. අවම වශ­යෙන් රු. 3,000ක හෝ වැඩි වීමක් ලබා දීමට රනුක්ගේ කමි­ටු­වට හැකි­යාව තිබුණු නමුත් පහ­ළම ශ්‍රේණි­ය­ටත් අඩු ලෙස මේ සංශෝ­ධ­නය කර ඇති බව ඔවුහු පෙන්වා දෙති.

එහෙත් ප්‍රවා­හන අමා­ත්‍යාං­ශයේ එක් බල­ධා­රි­යකු පැව­සුවේ වර්ජ­ක­යන්ට අවස්ථා කිහි­ප­ය­කදී වැටුප් වැඩි කර ඇති නිසා එයද මේ සංශෝ­ධ­න­යේදී සැල­කි­ල්ලට ගෙන ඇති බවයි. එහෙත් වර්ජ­ක­යන් පෙන්වා දෙන්නේ මේ පිරි­සට අව­සන් වරට වැටුප් සංශෝ­ධ­න­යක් සිදු කරන ලද්දේ වසර 5-6කට පමණ පෙර බවයි.

එමෙන්ම කිසිදු සාක­ච්ඡා­ව­කට වැටුප් කොමි­සම සහ­භාගි නොවන බවද ඔවුහු පව­සති. ප්‍රවා­හන අමා­ත්‍යාං­ශය, මුදල් අමා­ත්‍යාං­ශය දුම්රිය දෙපා­ර්ත­මේ­න්තුව මෙන්ම අනෙක් නිල­ධා­රීන්ද මේ සාක­ච්ඡා­වන්ට සහ­භාගි වුවත් සියලු තීරණ ලබා දෙන වැටුප් කොමි­සම සහ­භාගි නොවී­මෙන් ගැටලු උග්‍ර වන බවයි. මේ සඳහා කැබි­නට් පත්‍රිකා සියල්ල මේ වන විට ක්‍රියා­ත්මක කර ඇතත් අවශ්‍ය විස­ඳුම ලබා දෙන්නට අස­මත්ව ඇති බව ඔවුහු පෙන්වා දෙති. මේ නිසා වැටුපු කොමි­සම ඇතුළු සියලු පාර්ශ්ව සමඟ සාක­ච්ඡා­වක් දෙන ලෙස වර්ජ­ක­යන් ඉල්ලා සිටි­යද එයට ප්‍රවා­හන රාජ්‍ය ඇමැ­ති­ව­රයා හරස් කපන බවද ඔහු මේ අව­ස්ථාවේ ලකුණු දාගැ­නීමේ ක්‍රම­වේ­ද­යක නිර­තව සිටින නිසා මේ තත්ත්වය තවත් ඔඩු­දු­වන බවද ඔවුහු පව­සති.

එක් එක් තැනැ­ත්තන් තම බලා­ධි­කා­රිය ක්‍රියා­ත්මක කිරී­මත්, අනෙක් අය මස් රාත්ත­ලම ඉල්ලා සිටී­මත් නිසා මේ තත්ත්වය තවත් ඔඩු­දු­ව­මින් පවතී. මඟියා නන්න­ත්තා­රය. ප්‍රවා­හන අමා­ත්‍යාං­ශයේ ලේක­ම්ව­රයා ඇතුළු සියලු දෙනා මර නින්දේය. අවම වශ­යෙන් මීට පෙර සිදු කළාක් මෙන් දුම්රිය වාර ප්‍රවේශ පත්‍ර­යෙන් බස් රථ­වල ගමන් කිරී­මට හෝ අව­ස්ථාව සැල­සී­මට තරම් මේ ලේකම්ලා උනන්දු නොවූහ. පාසල් සිසුන්ට හෝ ඒ සහ­නය ලබා දෙන්න තරම් ප්‍රවා­හන අමා­ත්‍යාං­ශයේ ලේක­ම්ව­ර­යාට නොහැකි වූයේ ඔහුත් කාගේ හෝ බළල් අතක් වී සිටි නිසා­දැයි යන්න අපට ගැට­ලු­වකි. එසේ නැත්නම් ඔහුත් අනි­යම්ව හෝ වර්ජ­ක­යන්ට ආව­ඩ­න්නේ­දැයි සැක සහි­තය.

නව දුම්රි­යක් ධාව­නය වන විට මුහුණ පෙන්වී­මට පම­ණක් ලේක­ම්ව­ර­යකු සිටින්නේ නම් එයට සැබෑ අයකු නොව පඹ­යකු වුවද ප්‍රමා­ණ­වත් වනු ඇත.

ජන­තාව වර්ජ­ක­යන්ට පව­සන්නේ වර්ෂාව පව­තින දින­වල එළි­යට නොබැස සිටින ලෙසය. මෙවැනි වර්ජන ඉදි­රි­යට සිදු නොකි­රී­මට රජ­යෙන් පැහැ­දිලි ක්‍රම­වේ­ද­යක් සකස් කර නොති­බී­මද විශාල අඩු-පාඩු­වකි. මීට පෙර ප්‍රවා­හන ඇමැ­ති­ව­ර­යකු වු ෆීලික්ස් පෙරේරා මහතා යුද හමු­දාවේ 200ක පිරි­ස­කට ඉන්දි­යා­වේදී දුම්රිය රියැ­දුරු පුහු­ණුව දීමට සූදා­නම් කළද එයද සාර්ථක නොවීය. දැන් හෝ එවන් කට­යු­ත්තක් සඳහා ඇස් ඇර බැලිය යුතුය.

සේයාරූ - රුක්මාල් ගමගේ

සුලෝචන ගමගේ

Comments