අපි නැළවුණේ පෙරහරේ විතරයි | සිළුමිණ

අපි නැළවුණේ පෙරහරේ විතරයි

කැලේ උරුමය සතුන්ටයි. සතුන්ට සතුටක් නිදහසක් දැනෙන්නේ ඒ පරිසරය තුළදීය. නමුදු සතුන්ට උරුම පරිසරය තුළ උන්ට උන්ගේ නිදහස නැති වීම ඛේදවාචකයකි. මේ දිනවල කවුරු කවුරුත් කතා වන්නේ අභිරහස් ලෙස මිය ගිය ගැබිනි ඇතින්නියන් සහ අලි ගැනය. නිදහසේ සරන්නට ඇති වනය මර උගුලක් වූ විට මේ අහිංසක සතුන්ට ඇත්තේ කාගේ නම් පිහිට ද?

අලි ඇතුන් සහ මිනිසුන් අතර ඇත්තේ නොබි­‍ෙඳන බැඳීමකි. විටෙක මිනිසුන් අලින්ට බැණ වදින්නේ එළවා දමන්නේ තම බව බෝග විනාශ කිරීමට ගම්වැදුණ විටය. එසේ අලි ඇතුන් ගැන බිය වන, බැණ වදින, ගැමියෝම වැවක එරුණ විට, වගා ළිඳක වැටුණ විට තුවාල වූ විට අලි ඇතුන්ගේ උදව්වට යන්නේ තම දරුවන්ට අනතුරක් වූ සේ දුක් වෙමිනි. කැලේ මහ සතාට හානියක් සිදු වුණ විට ගම්මු හැමදාමත් කම්පා වූහ. පිහිටට ගියහ. ඒ මිනිස් ස්වාභාවයයි.

අලි බැලිල්ලයි - බලි බැලිල්ලයි කවදාවත් මිනිසුන්ට එපා වන්නේ නැත. මිනිසුන් කවදත් අලින්ට කැමතිය. ඒ කැමැත්ත නිසාම අලි ඇත්තු ගැන ලියැවුණ කතා, කවි, ගී බොහෝය.

වනේ සරණ අලි ඇතුන් ගැන නොව පෙරහරේ යන්න අලි ඇතුන් ගැන ඇත්තේ වෙනමම කැමැත්තකි. විවිධ වර්ණයේ සළු පිළියෙන් සැරසී යන අලි ඇතුන් දෙස බලා සිටින්නට අකමැති කෙනෙකු මෙතෙක් හමු වී නැත වැඩුණු අලි ඇතුන් දෙස පමණක් නොව පැටවුන් දෙස ද බලා සිටින විට එහි ඇත්තේ හරි අපූරු බවකි. පෙරහරේ හේවිසි හොරණෑ හඬ අනුව නැළවෙන පැද්දෙන අලි සුරතලය බලා සිටින්නට අපුරූය.

“පොඩි අලි පෙරහරට පුරුදු කරන්න උන්ව ගෙනැල්ලා ඇඳුම් අන්දලා පෙරහරේ යන්න පුරුදු අලි එක්ක බැඳලා තියෙනවා. මෙහෙම එක දිගට කරලා අවසන් දවසට පෙරහරේ ගෙනියනවා.“

කලකට පෙර අලි බලන්නකු පැවැසු කතාවක් සිහි වෙයි.

විවිධ පළාත් වලින් එන අලි ඇත්තු එකට හමුවන්නේ පෙරහැර වලදි පමණි. ඇතැම් විට මේ අලි ඇත්තු අතර වසරකට වරක් හමුවන එවුන් ද සිටින්නට පුළුවන. මෙ සතුන් අතර උන්ටම ආවේණික සන්නිවේදන ක්‍රමයක් ඇත. ඒ ගැන දැන ගන්නට පුළුවන් මේ සතුන් දෙස හොඳින් බලා සිටින විටය. අලි ඇතුන්ගේ හැසිරීම් රටාවන් දෙස බලා සිටින නිර්මාණකරුවන්ට විවිධ සිතුවිලි ඇති වන්නට පුළුවන. ඒ සිතුවිලි ඔස්සේ බිහිවන නිර්මාණ විවිධාකාරය. මේ එවන් නිර්මාණයකි. අතුල ජයදේව ප්‍රවීණ ගීපද රචකයා විසින් ලියන ලද ගීතය සංගීතවත් කර ඇත්තේ විශාරද ජගත් වික්‍රමසිංහ විසිනි. ගීතය ගායනා කරන්නේ ද ජගත් වික්‍රමසිංහ විසිනි.

“ අපේ ගේ පිටි පස්සේ වත්තක් තියෙනවා. මේ වත්ත මට විශේෂ වන්නේ මේ නිසයි. බෙල්ලන්විල පන්සලේ වගේම තවත් පෙරහැර පැවැත්වෙන කාලයට ඊට පෙර දවසේ අලි ඇත්තු ගෙනැල්ලා වෑවිට වැවෙන් නාවල මේ වත්තේ ගැට ගහලා තියෙනවා. කොහොමත් අලි හතර පස්දෙනෙක් මේ වත්තේ ගැට ගහලා තියෙනවා. අපේ ගෙදර ජනේලයෙන් බැලුවාම මට මේ අයව පේනවා. මම බොහෝ වෙලාවට කරන්නේ අලි දිහා බලාගන ඉන්න එක. මේ අලින්ව පෙරහර දවසට ලොරියක් ගෙනැල්ලා ඒකේ පටවාගෙන යනවා. මේ සත්තු දිහා බලාගෙන ඉන්න විට මගේ හිතට වෙලාවකට මහා දුකක් දැනෙනවා. කාලයක් තිස්සේ දැකලා තියෙන නිසා මේ එක එක පළාත් වලින් ගෙනා අලි කියලා අඳුර ගන්නත් පුළුවන්. අලි දිහා බලාගෙන ඉන්න කොට මට දකිනවා උන් හොඬවැල් පටලවා ගෙන ඉන්නවා. අනෙක් කෙනාට හොඬවැලින් තට්ටු කරනවා. මට ඒ වගේ මෙවලාවට හිතෙනවා උන් උන් කතා කරනවා කියලා. ආයෙම හිතෙනවා මේ ගොල්ලෝ ප්‍රේමයෙන් බැදෙනවා ඇති කියලා.

ඔය වගේ සිතිවිලි ගොඩාක් ඇති වෙලා තමයි මට මේ පදවැල ලියවුණේ. ඒ එකක්. අනිත් එක තමයි අලි ඇත්තු පෙරහරකදි හමුවෙන එක මට මෙහෙත් හිතුණා. දැන් වගේ නෙමෙයි අපේ අතීතයේ පෙරහැරකදි සල්පිල් පොලකදි තමයි ගැහැනු ළමයෙක් පිරිමි ළමයෙක් එකට හමු වන්නේ හිතින් බැදෙන්නේ. ප්‍රේමය දිග දුර යන්නේ . දැන්නම් හැම තැනම ස්මාර්ට් ෆෝන් තියෙනවානේ. එහෙම කාලෙක යමක් කමක් ඇති පවුලක තරුණයෙක් දුප්පත් තරුණියක හමු වෙනවා. එහෙන් මෙහෙන් ඉඟිබිඟි පානවා. පෙරහර ඉවර වුණාම ඔවුන් වෙන්වෙලා යනවා. ආයෙමත් හමුවෙන්නේ ඇහැට ඇහැ දකින්නේ ඊළඟ අවුරුද්දේ පෙරහර කාලෙදි. මේ සිතුවිලි හැම දෙයක්ම එකට එකතු වෙලා තමයි ගීතයට පද ගැලපුණේ.“ ගීපද රචක අතුල පවසන්නේ එවැනි කතාවකි.

ඔහු කියන ඒ කතාව ඇත්තක් යැයි හැෙඟන්නේ මේ පද අතර සංකේත භාවිත දකින විටය. ඒ දළ -යන්නෙන් ඔහු යමක් කමක් ඇති බව හැඟවීමට යොදා ගත් වචනයක් යැයි සිතේ.

“ඇස බර වුණේ සිතේ බර හින්දයි

අප වෙන් කළේ නුඹේ දුක් කන්දයි

මට හිමි වුණේ ආදරේ හැන්දයි

නුඹ බිය වුණේ මගේ දළ හින්දයි.“

කලාතුරකින් හමුවන පෙම්වතා පෙම්වතිය අතර ඇත්තේ කෙටි හමු වීමකි. ඇස්වලින් කරන කතා බහකි. මේ කතා බහට නිමාවක් නැත. ඇරඹුමක් ද නැත.

ඒ කොහොම වුණත් සමස්තාර්ථය ගත් විට ඉතා සුන්දර ආකාරයෙන් ලියැවුණ අලි ඇත්තු ගැන ප්‍රේම කතාවක් ගීතයේ අඩංගු යැයි සිතේ. ඒ පද ඔස්සේ අපට මැවෙන්නේ අපූරු සිතුවිලිය. ඒ සිතුවිලිවල අවසානයේ හදට එක් කරන්නේ කනගාටුවකි. කැලේ නිදැල්ලේ ගත කරන්නට පුළුවන් දැවැන්තයා බැඳ දමා, මේ කරන්නේ කුමක්ද කියාය.

Comments