ආදරණීය ප්‍රේක්ෂකයනි! මේ අත්දැකීම විඳගන්න... | සිළුමිණ

ආදරණීය ප්‍රේක්ෂකයනි! මේ අත්දැකීම විඳගන්න...

මෑත භාගයේ බොහෝ නිර්මාණකරුවන් විවිධ අත්හදා බැලීම් කරමින් ප්‍රේක්ෂකයා වෙත වෙනස් හා උසස් රසවින්දනයක් ලබා දීමේ අරමුණ අැතිව ටෙලි නාට්‍ය නිර්මාණකරණයේ නියැළීම ප්‍රශස්ත කාරණයකි. පසුගිය දවසක ශ්‍රී ලාංකේය ටෙලි නාට්‍ය සාම්ප්‍රද්‍රායට නවමු වූ අත්දැකීම් එක්කාසු කරමින් සුපුන් රත්නායක විසින් අධ්‍යක්ෂණය කළ ‘අඩෝ’ ටෙලි නාට්‍යය ජනගත කෙරිණි. මෙතෙක් ලාංකික ප්‍රේක්ෂකයා අත්නොවිඳි ආකාරයේ වෙනස් අත්දැකීමක් මෙන්ම ආකෘතියක් රඳවා ගත් මෙම ටෙලි සිත්තම මෙතෙක් අපට හුරුපුරුදු රූප රාමුවෙන් බැහැරව කළ නිර්මාණයකි.

මෙම ටෙලි සිත්තමේ කතාව සරලව මෙසේය

සමාජ ජීවිතය තුළ පැන නගින්නා වූ විවිධ වූ ප්‍රශ්න හේතුවෙන් මිනිසුන් පිරිසක් සිය ප්‍රශ්නවලට පිළිතුරක් වශයෙන් අනවසර සංක්‍රමණයට මුලපුරයි. මේ ගමන අතරතුරදී එක ප්‍රශ්නයකින් ගැලවීමට වෙනත් මඟක් සොයා යන මොවුන්ට තවත් අටෝරාශියක් ප්‍රශ්නවලට මුහුණ පෑමට සිදුවේ. අවසානයේ මුහුද මැද වූ හුදකලා දූපතකට මේ පිරිස සේන්දු වේ. එතැන් පටන් ඔවුන්ට මුහුණපාන්නට වෙන්නේ වෙනත් ගැටලු රාශියකටය. එම අවස්ථාව අපට මානව පරිණාමයේ මුල් අවධිය සිහිගන්වයි. ඔවුන් නොදැනුවත්වම එම දූපතේ නිවස්නා තවත් එක් ජීවින් පිරිසක් බවට පත්වේ. එහෙත් ක්‍රමයෙන් බෝට්ටුවෙන් ඔස්ට්‍රේලියාව බලා සංක්‍රමණය වීමට හේතුව වූ කාරණාවත් මේ මොහොතේ ගතකරමින් සිටින දූපත්වාසී ජීවිත ප්‍රශ්න කෙරෙන තැනකට ඔවුන් ගමන් කරයි.

දේශපාලන, ආර්ථික හා සමාජ සංස්කෘතික ජීවිත කැටපත් කර දක්වන මෙම ටෙලි නාට්‍යය මිනිස් සබඳතා තුළ පවත්නා මානව දයාව, ආදරය, කරුණාව, ප්‍රචණ්ඩත්වය හා ලිංගිකත්වය අදී ස්වභාවයන් පිළිබඳව අප තුළ මුල් බැසගෙන තිබෙන ආකල්ප ප්‍රශ්න කරමින් කිසියම් විදියක සංවාද තලයකට ගෙන ඒමට උත්සාහ ගනියි.

මොන ක්‍රමයකින් හෝ තම අවශ්‍යතාව ඉටු කර ගැනීම මූලික කර ගත් පාරිභෝජන ජනසමාජයක වෙසෙන මිනිසුන් පිරිසක් ඉන් ජනිත කෙරෙන විවිධ ප්‍රශ්න හමුවේ ඊට මුහුණ දීම සඳහා ගනු ලබන අවදානම්කාරී ක්‍රියාමාර්ග හා ඉන් ජනිත කෙරෙන නව ස්වරූපයන් මීට විෂයය වී තිබේ. බෝට්ටුවකින් ඔස්ට්‍රේලියාව බලා යන අතරතුර ඔවුන් එකිනෙකාගේ ජීවිතයට එබී බලමින් ඒවා විවරණය කර දැක්වීමට අධ්‍යක්ෂකවරයා මෙහිදී උත්සාහ ගෙන තිබෙන ආකාරය අලුත් ආකෘතිකමය අත්හදා බැලීමකි.

සම්මානනීය සිනමා නළුවකු වන දසුන් පතිරණ ‘අඩෝ’ ටෙලිනිර්මාණය පිළිබඳව සිය අදහස් දක්වමින් කියා සිටියේ “ ‘අඩෝ’ කියන්නේ මං හරිම ආසාවෙන් වැඩ කරපු ටෙලිනාට්‍යක්. මේ ටෙලි නාට්‍යය ඇතුළේ සමාජයේ බොහෝ පැතිකඩවල් ප්‍රමාණයක් ස්පර්ශ කරලා තියෙනවා. මගේ චරිතය අරන් බැලුවොත් තාරුණ්‍යය, තාරුණ්‍යත් එක්ක ති‍ෙයන ප්‍රශ්න, අපේක්ෂා භංගත්වය ඊට විසඳුම් නැති මේ සිස්ටම් එකේ තියෙන අවුල, ඒ අවුල නිසා මිනිස්සු ගන්න තීරණ, ඒ ගන්න තීරණ නිසා අනෙක් මිනිස්සුන්ට වෙන බලපෑම ඉතාම අපූරුවට ‘අඩෝ’ තුළින් අරගෙන එනවා.”

“මීට අමතරව ආදරය, විරහව, මනුස්සකම්, අමනුස්සකම් ඒ විතරක් නෙවෙයි මිනිස්සුන්ගෙ හිතක ඇති වෙන්න පුළුවන් බොහෝ හැඟීම් එක්ක එකතු වුණු ටෙලි නාට්‍යක් තමයි ‘අඩෝ’ කියලා කියන්නේ ”.

“ආදරණීය ප්‍රේක්ෂකයන්ට කියන්න තියෙන්නේ එන්න, මේ අලුත් අත්දැකීම විඳගන්න කියලයි.”

‘අඩෝ’ ටෙලිනාට්‍ය සුපුන් රත්නායකගේ නිර්මාණයක් වන අතර ඒ සඳහා රංගනයෙන් ජයනි සේනානායක, ඩබ්ලිව් ජයසිරි, ජනක් ප්‍රේමලාල්, ශ්‍යාම් ප්‍රනාන්දු, සරත් චන්ද්‍රසිරි, දසුන් පතිරණ, සමනලී ෆොන්සේකා, කලණ ගුණසේකර, ශලිනි තාරකා, මදුර ප්‍රභාෂ්වර, චාමර ප්‍රියදර්ශන, තාර්යා කෙනඩි, ආනන්ද අතුකෝරල, අලෝකා ධනංජනී, චතූ රාජපක්ෂ සහ දිස්නා රාජපක්ෂ, ... දායක වේ. මීට අමතරව නවක නළුනිළියන් කිහිප පළක්ද හඳුන්වා දී තිබේ. මෙහි රූගත කිරීම් කොළඹ තදාසන්න ප්‍රදේශවල මෙන්ම දකුණු පළාතේ දූපතක් අශ්‍රය කරගෙන සිදු කර තිබේ. එනිසා වෙනස්ම විදියේ අත්දැකීමක් විඳ ගැනීමට රංගන ශිල්පීන්ට සහ කාර්‍ය මණ්ඩලයට හැකි වූ බව ඔවුන් මා හා පැවසීය. ඉතාම ප්‍රශස්ත ලෙස කැමරාව හැසිරවීමට ප්‍රවීණ කැමරා ශිල්පී චින්තක සෝමකීර්ති උත්සාහගෙන තිබේ. සංගීත අධ්‍යක්ෂණයෙන් අනුෂ්ක වීරක්කොඩි නවමු අත්හදා බැලීම් සිදු කරමින් නාට්‍යයට උපරිම සාධාරණය ඉෂ්ට කිරීමට සමත් ව ඇත. මෙහි සංස්කරණ ශිල්පියා ලෙස කටයුතු කර ඇත්තේ ‘අඩෝ’ ටෙලිනාට්‍යයේ සම අධ්‍යක්ෂවරයා වන දිමුතු විජේසිංහය.

ඒකාකාරී ටෙලිනාට්‍ය ආකෘතියෙන් බැහැර වූ මෙම ටෙලි නිර්මාණය සතියේ දින පහේම රාත්‍රී 8.30ට සිරස නාලිකාව ඔස්සේ ප්‍රේක්ෂක ඔබට නැරඹිය හැකිය.

Comments