කප්පම් නොදුන් ‘‘කේ.කේ’’ මුදලාලි කෑලිවලට කපා මරා දැමූ යාපනයේ මුරුගයෝ | Page 2 | සිළුමිණ

කප්පම් නොදුන් ‘‘කේ.කේ’’ මුදලාලි කෑලිවලට කපා මරා දැමූ යාපනයේ මුරුගයෝ

යාපනයේ කොතැනක හෝ සැගවී සිටින අවිගත් කල්ලිවලින් සිදුවන දාමරික ක්‍රියා තවමත් අවසන් වී නොමැත.

කඩුවක් රැගත් අයෙකු කොතැනකදී හෝ යමෙකුට කපා කොටා තුවාල සිදු කළ බවට සතියකට වරක් හෝ දෙවරක් ආරංචි පැතිර යයි. මෙතෙක් ඇසුණු කතාව එය වූවත්, මේ සතියේදී යාපනයේ අවිගත් කණ්ඩායම් වල කතා පරිච්ඡේදය වෙනස් මුහුණුවරක් ගත්තේය.

ප්‍රථම වතාවට යාපනයේදී අයෙකු මිය යන්නේ කඩු ප්‍රහාරයකට ලක්ව සති තුනකට පමණ පසුවය. එතෙක් ඔහු යාපනය ශීක්ෂණ රෝහලේ ජීවිතයත් මරණයත් අතර සටනක නිරත වූයේය. අවිගත් කල්ලි විසින් යාපනයේදී මෙතෙක් සිදු කළ කඩු ප්‍රහාරවලදී හෝ නිවෙස්වලට පෙට්‍රල් බෝම්බ ප්‍රහාර පවා එල්ල වූ අවස්ථාවලදීත් කිසිවකුත් මියගියේ නැත. නමුත් ගෙවුණු සතියේදී මියගිය යාපනයේ ව්‍යාපාරිකයාගේ පසුබිම් කතාවත් සමඟම පැවැති තත්ත්වය බොහෝ සෙයින් වෙනස් විය.

කන්දයියා කේතීස්වරන් වයස අවුරුදු හතළිස් හතක ව්‍යාපාරිකයෙකි. ඔහුගේ ව්‍යාපාරය වූයේ හාඩ්වෙයාර් එකකි. ඒ යාපනයේ කෝපායී උප්පුමඩ හන්දියේය. මෙය මුළු පළාතටම සේවය සපයන ලද විශාල පරිමාණයේ හාඩ්වෙයාර් එකකි. කන්දයියා කේතීස්වරගේ නම දිග වැඩි නිසාදෝ සියලුම දෙනා මොහු ඇමැතුවේ 'කේ.කේ' මුදලාලි යනුවෙනි. මුළු පළාතේම කොන්ත්‍රාත්කරුවෝ 'කේ. කේ' ට ඉතා තදින්ම ආදරය කළේය. ඊට හේතුව තම කොන්ත්‍රාත් මුදල් රජයෙන් ලැබෙන තුරු වැඩට අවශ්‍ය ඕනෑම දෙයක් 'කේ.කේ' ගේ හාඩ්වෙයාර් එකෙන් ණයට දෙන නිසාය.

කොතරම් සල්ලි තිබුණත් 'කේ.කේ' ඉතාම සරල ජීවිතයක් ගත කළේය. ඔහුගේ සල්ලි ප්‍රමාණය වැඩි වී කෙමෙන් කෙමෙන් ජනප්‍රිය වෙද්දී යාපනයේ කඩු කල්ලියක සාමාජිකයෝ පිරිසක් 'කේ.කේ' පසුපස හඹා එන්න වූහ. මුලින්ම ඔවුන් පැමිණෙන්නේ සිමෙන්ති කොට්ටයක් මිලට ගැනීමටය. යතුරු පැදියකින් පැමිණි ඔවුන් ඒ සඳහා 'කේ.කේ' ගේ හාඩ්වෙයාර් එක තුළ පැයකට වඩා කාලයක් ගත කළේය. මේ තරුණයින් දෙදෙනාගේ හැසිර්‍රීම පිළිබදව විශාල වෙනසක් සැකයක් 'කේ.කේ' ට ඉස්මතු විය. සිමෙන්ති කොට්ටයට අදාළ බිල්පත නිකුත් කළ 'කේ.කේ' මුදලාලී තරුණයින් දෙදෙනාගේ යතුරු පැදිය දක්වාම සිමෙන්ති කොට්ටය යැවීමට කාරුණික විය.

කුමක් හෝ යමක් කවදා හෝ සිදුවේයැයි 'කේ.කේ' ගේ මනස තුළ හොල්මන් කරන්නට විය. අවසානයේදී ඔහු හාඩ්වෙයාර් එකේ ආරක්ෂාව වෙනුවෙන් සී.සී.ටී.වී කැමරා පද්ධතියක් සවි කරන්නේය. එක් දිනක් කළුවර වැටීගෙන එද්දී 'කේ.කේ' සිය හාඩ්වෙයාර් එක වැසීමට කටයුතු කරමින් සිටියේය. තරුණයින් දෙදෙනෙකු පැමිණ 'කේ.කේ'ට කතා කළේය. සී.සී.ටී.වී කැමරා පද්ධතියේ ඔවුන්ගේ සියලු සටහන් මකා දමන ලෙසත්, පසුදා වනතුරුත් ඒ පද්ධතිය යළි ක්‍රියාත්මක නොකරණ ලෙසත් කළ අණ කළේය.

'අපි අහවල් කණ්ඩායමේ අය. අපේ බොස් කිව්වා ඔයාගෙන් රුපියල් ලක්ෂ විස්සක් ඕනේ කියලා. ලබන සතියේ හරියටම මේ වෙලාවට ඒක ලැබෙන්න සලස්වන්න. නැත්නම් ගොඩක් කරදර වෙයි. දන්නවනේ අපේ බොස්ගෙයි අපේ අයගෙයි හැටි. හැබැයි මේ ගැන පොලීසියටවත් වෙන කාටවත් කියන්නත් බෑ. අපි හොඳ සෙවිල්ලෙන් ඉන්නේ.' මේ කුමන්ත්‍රණය අවසන් කළ තරුණයින් දෙදෙනා ආපසු පිටත්ව ගියේ කිසිවක් සිදු නොවූ ආකාරයටය. ඒහෙත් 'කේ.කේ' ගේ මනසට මේ කතාව ඉතා විශාල බරක් විය.

රුපියල් ලක්ෂ විස්සක්.... අප්පච්චියේ කොච්චර සල්ලියක්ද? 'කේ.කේ'ගේ ලාච්චුවට වැටෙන සල්ලි කොළ වලට අනුව රුපියල් ලක්ෂ විස්ස ගණන් හැදුවේය.

'මම අමාරුවෙන් හම්බ කර ගත්ත සල්ලි එක එකාට දෙන්න ඕනේ නැහැ.. උන් මොනව කරන්නද? ඕනේ නම් ඇවිත් කඩුවකින් කපලා යයි. ඔහේ වුණු දෙයක් වුණාවේ' මෙසේ සිතුවිල්ලක් ඇති කරගත් 'කේ.කේ' නිකම්ම සිටියේද නැත. ඔහු කළේ තමන්ට වූ මේ ඇබැද්දියත් මුදල් වල ඇති වටිනාකමත් ඔහුගේ හොඳම මිතුරාට දැනුම් දීමය.

'උඹවත් මේක දැනගෙන හිටපන්. ගෙදර අයට මේවා කියන්න බැහැනේ. උන් මරන්නේ නෑ. මම කොහොම හරි ෂේප් වෙනවා. ඒත් උඹ මේක දැනගෙන හිටපන්කෝ. බලමු මොකද වෙන්නේ කියලා' 'කේ.කේ' එසේ කියාගෙනම ඔහුගේ නිවසට ගියේය. 'කේ.කේ' ගේ මිතුරාද දැන් කාලය මනින්නේය.

'කේ.කේ' ගේ ජීවිතයත් මරණයත් අතර දිනය එළඹියේය. කිසිම හැල හොල්මනක් නොමැත. වෙනදා මෙන් දවස ගෙවි ගියේය. සල්ලි ඉල්ලාගෙන පැමිණි අයෙක් නොමැත. රෑ බෝ වෙත්ම 'කේ.කේ' ගේ හදවත ගැහෙන්නට වූවත් කුමක්වත් සිදු නොවී පසුවදාට පහන් විය. 'කේ.කේ'ගේ වීරත්වය පිරුණු ඒ දිනයේදී ඔහු සිතුවේ ‘උන් බොරු කාරයෝ. ආවේ මාව බය කරන්න‘ යනුවෙනි.

තවත් දින හතරකට පසුව 'කේ.කේ' ව සොයා ගෙන තවත් අයෙක් පැමිණියේ ඔහු යාපනය නගරයට ගොස් සිටි අවස්ථාවකය. කිසි දිනක ඔහුව දැක නැතත් නම කියමින්ම කතා කොට යමක් කීමට ඇති බව පවසා 'කේ.කේ' ව මිනිසුන් නොමැති තැනක් කරා රැගෙන ගියේය. ඒ පුද්ගලයා 'කේ.කේ'ට ඉතිහාස කතාව මතක් කොට දුන්නේය. මුදල් නොගෙවීම නිසා කිසියම් මොහොතක හෝ ඔහුට අනතුරක් විය හැකි බව පෙන්වා දුන්නේය. තමන් මුදල් නොගෙවන්නේ මුදල් නොමැතිකම නිසා යැයි කී විට ඒ පුද්ගලයා 'කේ.කේ'ට කියා සිටියේ රුපියල් ලක්ෂ දහයක් හෝ දීමට ක්‍රමයක් සකසා ගන්නා ලෙසයි.

දෙවනි වරට හමු වූ මේ පුද්ගලයාද 'කේ.කේ'ට තවත් සතියක කාලයක් ලබා දුන්නේය. මේ කතාවද 'කේ.කේ' සිය මිතුරාට දැන්වීය. මිතුරා 'කේ.කේ'ට කියා සිටියේ

'උන් කීයක් හරි උඹෙන් ගන්නයි බලන්නේ..ඔන්න ඔහේ ලක්ෂ තුන හතරක්වත් දීලා උඹ ඔය පැටලැවිල්ලෙන් ගැලවියන් ' යනුවෙනි. ‘’බලමු’’ යනුවෙන් 'කේ.කේ' පිළිතුරු දුන්නා මිස ඊට වඩා යමක් නොකීය. දෙවන පුද්ගලයා විසින් 'කේ.කේ' ට ලබා දුන් සතියක කාලය අවසන් වූයේ පසුගිය සැප්තැම්බර් මස තුන් වැනිදාය. එදිනද කිසිවක් සිදු නොවීය. 'කේ.කේ' සිතා සිටියේ තවත් දිනක පැමිණ ලක්ෂයක් දෙකක් කප්පම් ඉල්ලුවොත් කීයක් හෝ ලබා දෙන බවය.

නමුත් සැප්තැම්බර් මස හය වෙනිදා කප්පම්කරුවෝ 'කේ.කේ' සොයාගෙන පැමිණියේ වෙනස්ම ආකාරයකටය.

සිය වෙළෙඳ සලට යතුරු පැදියකින් පැමිණි තරුණයින් දෙදෙනෙක් කිසිවක් කතා නොකර සඟවා තිබු කඩුවකින් 'කේ.කේ'ට කොටාගෙන ගියහ. ඔහු කෑගසමින් හාඩ්වෙයාර් එක තුළ එහා මෙහා දුවමින් උදව් ඉල්ලා සිටියේය. නමුත් ඔහුගේ උදව්වට පිරිස පැමිණියේ ඔවුන් පලාගොස් බොහෝ වේලාවකට පසුවය.'කේ.කේ' ව වහාම රෝහල් ගත කරනු ලැබිණි. ඒ සැප්තැම්බර් මස හය වැනිදා රාත්‍රියේය. එතැන් පටන් 'කේ.කේ'ට සිහියක් නැත. ජීවිතයත් මරණයත් අතර රුදුරු සටනකට අවතීර්ණ වි සිටි 'කේ.කේ' සැප්තැම්බර් මාසය නිමා වී ඔක්තෝබර් මාසය පැමිණෙමින් තිබියදී යාපනය ශීක්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේදී අවසන් සුසුම් හෙළීය.

'කේ.කේ'ගේ මරණ පරීක්ෂණයේදී සාක්කි දීමට පැමිණ සිටි කේතීස්වරන් සුලක්ෂණා කියා සිටියේ තම සැමියාව කිසියම් පිරිසක් විසින් කඩුවලින් කැපීමෙන් පසුව ඔහුව තමන් දුටුවේ යාපනය රෝහලේදී බවයි. ඔහු මිය යන තුරුම හොඳ සිහියක් නොතිබු නිසා සිදුවූ දේ ඇය නොදන්නා බවයි.

'කේ.කේ' මිය ගියත් ඔහුගේ මරණයෙන් යළිත් යාපනයේ සිටින අවිකරුවන්ගේ තෝම්බු එළියට එමින් පවතී. යාපනයේ කඩුවකින් කපන ඕනෑම අයකු මේ කිසියම් කඩු කල්ලියකට සහසම්බන්ධ වී සිටිති. ඔවුන්ගේ මූලික බලාපොරොත්තුව අතේ මිටේ කියක් හෝ ඇති අයෙකුට තර්ජන කර මුදල් කඩා ගැනීමය. මෙතෙක් යාපනය ඉතිහාසයේ කඩු කරුවන්ගේ ප්‍රහාරයෙන් කිසිවෙකුත් මිය නොගිය අතර 'කේ.කේ' ඔවුන්ගේ පළමුවැනි බිල්ල වූවේය. 'කේ.කේ'ට කඩුවලින් කෙටීමට තරුණයින් දෙදෙනෙකු යතුරු පැදියකින් පැමිණෙන ආකාරයත් ඔවුන් එම ස්ථානයෙන් පිටව යන අන්දමත් සී.සී.ටී.වී කැමරා වල සටහන්ව තිබේ. 'කේ.කේ'ට කඩුවෙන් කොටපු දිනයේම කෝපායී පොලීසිය පැමිණ ඒ සී.සී.ටි.වී දර්ශන රැගෙන ගියත්, මේ දක්වාම ඒ සැකකටයුතු තරුණයින් දෙදෙනා අත් අඩංගුවට ගෙන නැත. යාපනයේ ආරක්ෂක අංශ කියා සිටින්නේ යාපනය දෙවනත් කළ 'ආවා කල්ලිය' මේ වන විට මර්දනය කොට ඇති බවයි. නමුත් ඒ කල්ලියෙන් කැඩී ක්‍රියාත්මක වන අතුරු කල්ලි ගණනාවක් යාපනය තුළ තවමත් සැගවී කප්පම් ලබා ගැනීමේ කාර්යයේ නිරතව සිටිති.

Comments