මහා­වං­සයේ රූපිත සෑ ගිරිය | සිළුමිණ

මහා­වං­සයේ රූපිත සෑ ගිරිය

 

සිංහල බෞද්ධ මහා සංස්කෘ­තියේ මුල් බිජු­වට වැපි­රුණු උත්තම භූමිය සෑගි­රිය ය. එය සිංහ­ලයේ උත්තම ජාතික උරු­මය බවට ඉති­හාස සම්ප්‍ර­දාය තුළම අභි­ෂේක ලැබ තිබිණි. වංශ­ක­ථා­නු­ගත සාධක අනුව හෙළ බොදු­නු­වන් අනු බුදුන් සේ සල­කන මහා මහින්ද හිමි හා දෙවන පෑතිස් රජුන් අතර හමුව සිදු වන්නේ සෑ ගිරියේ දීය.

 

මහින්ද හිමියෝ පොසොන් පුනු පොහෝ දවස්හි ඉත්තිය, උත්තිය, සම්බල, බද්ද­සාල තෙරුන් සිවු දෙනාද, සුමන නම් සාම­නේ­ර­යන්ද, භණ්ඩුක නම් කුම­රාද සමග සිත්කලු මිශ්‍රක පර්ව­ත­යෙහි පියල් කුල උතුම් රුචිර අඹ­ත­ලයේ වැඩ සිටි සේකැයි ද ( මහා­වං­සය, 13 පරි­ච්ඡේ­දය, 20 ගාථාව), මුව දඩ කෙළිය පිණිස මිශ්‍රක පවු­වට ගිය දෙවන පෑතිස් රජුව පර්ව­ත­වාසී දෙවි­යන් ගෝණ වෙසක් ගෙන මිහිඳු හිමි­යන් වැඩ­සිටි අඹ­තලා පව්ව වෙත රජු රැගෙන ගොස් උන්ව­හන්සේ වෙත දැක්වූයේ යැයි ද ( මහා­වං­සය, 14 පරි­ච්ඡේ­දය, 2-6 ගාථා) මහා­වං­සය සඳ­හන් කරයි.

සාහි­ත්‍ය­යික උත්ක­ර්ෂ­යන් අත්හළ කළ මහා­වං­සයේ පරිදි එම ඓති­හා­සික හමුව සිදු වූ බවත්, ඒ හමු­වෙන් පසු ආසන්න අව­ධියේ ලක්දිව බුද්ධ­ශා­ස­නයේ චිර­ස්ති­ථිය සඳහා මේ පින් බිම කේන්ද්‍ර වූ බවත් සාධ­නය වන පුරා­විද්‍යා සාධක කොතෙ­කුත් මිහි­න්ත­ලා­වෙන් හමුවේ.

ඒ ඓති­හා­සික සම්මුඛ වීම සිදු වූ මොහොතේ සිට මේ දක්වාම ඉති­හා­සයේ අති මහත් වූ කාල­ව­ක­වා­නු­වක් තුළ සෑගි­රිය විශේෂ රාජ්‍ය අනු­ග්‍ර­හ­යක සහි­තව වන්ද­නා­වට ලක් වූ පුද­බි­මක් විය.

මිහිඳු හිමි­යන් ලංකාව තුළ මුල්ම ධර්ම­දේ­ශ­නාව ලෙස චුල්ල හත්ථි පදෝ­පම සූත්‍රය දේශනා කරන්නේ මිශ්‍රක පවු­වේ­දීය. ලංකාවේ මුල්ම බෞද්ධ­යන් පිරිස ලෙස දෙව­න­පෑ­තිස් රජ ඇතුළු පිරි­වර බුදු සමය වැල­ඳ­ගන්නේ මේ භූමි­යේදී ය. ( මහා­වං­සය, 13 පරි­ච්චේ­දය, 22-23 ගාථා). එමෙන්ම මිහිඳු හිමි­යන් ලක්දිව විසූ මුල්ම රැය පහන් කරන්නේ මිශ්‍රක පව්වේ පසු කලෙක මිහිඳු ගුහාව ලෙස හැඳි­න්වෙන ගුහා­වේය. ( මහා­වං­සය, 20 වැනි පරි­ච්ඡේ­දය, 16-17 ගාථා).

ලංකා භූමිය තුළ ගිහි පුද්ග­ල­යෙකු පළමු වරට පැවිදි භූමි­යට ප්‍රවේශ වන්නේ මිශ්‍රක පව්වේය. මිහිඳු හිමි­යන් සමඟ පැමිණි භණ්ඩුක කුම­රුය. හෙතෙම පැවි­දිව උප­ස­ම්පදා ලබා රහත් බවට පත්වූ­වාහු මේ ග්‍රාම සීමා­වේ­දීය

(මහා­වං­සය, 14 පරි­ච්ඡේ­දය, 26 ගාථාව හා 31-33 ගාථා). මිහිඳු හිමි­යන් ඇතුළු සංඝයා මුල්ම වස් කාලය ගත කරන්නේ මිශ්‍රක පවු­වෙ­හිය. (මහා­වං­සය, 16 පරි­ච්ඡේ­දය, 8-9 ගාථා). සිංහල භික්ෂු පර­ම්ප­රාව ආරම්භ කර­මින් මහා අරිට්ඨ අමා­ත්‍ය­ව­රයා ඇතුළු ඔහු කනිටු සොයු­රන් 52 ක් සසු­න්ගත වන්නේ මිශ්‍රක පවු­වෙ­හිය. (මහා­වං­සය, 16 වැනි පරි­ච්ඡේ­දය, 10-11 ගාථා).

දෙවන පෑතිස් රජ­තුමා සංඝයා විෂ­යෙහි ලෙන් 68ක් කරවා මුල්ම ලෙන් පූජාව කරනු ලබන්නේ මිශ්‍රක පවු­වෙ­හිය. එනම් මුල්ම ඓති­හා­සික බෞද්ධ සංඝා­රා­මය බිහි වන්නේ මිහි­න්ත­ල­යෙනි ( මහා­වං­සය, 16 පරි­ච්ඡේ­දය, 12 ගාථාව). දෙතිස් සීමා­මා­ල­ක­යන්ට සීමා බඳවා තුම්බු­රු­මා­ලක නම් ඛණ්ඩ සීමාවේ දී අරිට්ඨ හිමි­යන් ඇතුළු පිරිස උප­ස­ම්පදා කරන්නේ මිශ්‍රක පවු­වෙ­හිය. සිංහ­ලයේ මහා සංස්කෘ­තිය මේ භූමිය මුල් කර­ගෙන රෝප­ණය වී එය වන්ද­නීය පුද­බි­මක් වන්නේ ඒ අයු­රිනි.

මිස්සක පව්ව දෙවන පෑ තිස් රජ සම­යේ­දීම සෑ ගිරිය නම් වන්නේය.

ථූපා­රා­මයේ නිධන් කිරීම සඳහා ලංකා­වට මුල්ම වරට වඩ­ම­වනු ලබන සර්වඥ ධාතූ­න්ව­හන්සේ මුලින්ම තැන්පත් කරන්නේ මිශ්‍රක පර්ව­ත­යේය. එතැන් පටන් මිශ්‍රක පර්ව­තය චෛත්‍ය පර්ව­තය හෙවත් සෑගි­රිය වූ බව මහා­වං­සය කියයි. ( මහා­වං­සය, 17 පරි­ච්ඡේ­දය, 23 ගාථාව). අශ්ඨ­ඵ­ල­රුහ බෝධී­න්ගෙන් එකක් පිහි­ටු­වන ශුද්ධ භූමිය සෑගිරි අර­මය. ( මහා­වං­සය, 19 පරි­ච්ඡේ­දය, 62 ගාථාව). මිහිඳු හිමි­යන් අව­සන් වස් කාලය ගත කර පිරි­නි­වන් පානු ලබන්නේ සෑගි­රි­යෙ­හිය. ( මහා­වං­සය, 22 පරි­ච්ඡේ­දය, 32-34 ගාථා). උන්ව­හ­න්සේගේ ධාතු නිධන් කර උත්තිය රජු දාගැ­බක් කර­වන්නේ සෑගිරි වෙහෙ­රෙ­හිය. ( මහා­වං­සය 20 පිරි­ච්ඡේ­දය, 46-47 ගාථා).

සෑගි­රිය බෞද්ධ ජන­යාගේ මහත් වූ වන්ද­නා­වට පාත්‍ර වන්නේ මේ ඓති­හා­සික යථා­ර්ථය හේතු­වෙනි. ආක්‍ර­ම­ණි­ක­යෙකු වූ අන්‍යා­ග­මික එළාර රජු පවා චාරිත්‍ර රක්ෂා කර­මින් සෑගි­රි­යට ගොස් භික්ෂු සංඝයා හමු­වූ­යේය. ( මහා­වං­සය, 21 වැනි පරි­ච්ඡේ­දය, 21-22 ගාථා). එළාර රජ දවස සෑ ගිරිය අසල වූ දොර­ම­ඬ­ලාව වැනි ගම්මාන විදෙස් වෙළෙ­ඳා­මෙහි නියුතු වෙළෙඳ ප්‍රජාව විසූ සශ්‍රීක පුර­යක් වීමෙන් සෑ ගිරි වෙහෙර ඊට උචිත වන්ද­නා­වට ලක් වූ බව පැහැ­දි­ලිය. ( මහා­වං­ශය 23 වැනි පරි­ච්ඡේ­දය, 24 ගාථාව).

ථුල්ල­ත්ථන කුමරු රාජ්‍ය­ත්ව­යට පත් කිරී­මට සංඝයා වහන්සේ මුල් වීම නිසා සංඝයා කෙරෙහි භින්නව සිටි ලජ්ජි­තිස්ස රජු උන්ව­හන්සේ කමා කර­ග­නු­වස් කළ ප්‍රධා­නම කර්මා­න්තය වූයේ රන් මසු තුන් ලක්ෂ­යක් විය­දම් කර සෑ ගිරියේ සෙල්මුවා මල­සුන් තුනක් නිර්මා­ණය කිරී­මය ( මහා­වං­සය 33 පරි­ච්ඡේ­දය, 21 – 22 ගාථා). මක­ල­න්තිස් රජ­තෙමේ සෑගි­රි­යෙහි මහා පොහො­ය­ගෙ­යක් කරවා ඒ ඉදි­රි­යෙන් සේල චෛත්‍යය බැඳ­වී­යැයි මහා­වං­සය කියයි. ( මහා­වං­සය, 34 පරි­ච්ඡේ­දය, 31 ගාථාව).

භාති­කා­භය රජ දවස චේති­ය­ගි­රියේ දහ­සක් පමණ භික්ෂූහු වූහ. උන්ව­හ­න්සේට නිති දාන සලා­ක­යක් රජු විසින් පිරි­නමා තිබිණි. ( මහා­වං­සය, 34 පරි­ච්ඡේ­දය, 63-64 ගාථා). මහා­දා­ඨික මහා­නාග රජහු අඹ­තලා මහා­සෑය කර­වීය. අඹ­තලා සෑ කර්මා­න්තය පිළි­බඳ වංශ­කථා කරුවා මෙසේ සඳ­හන් කර තිබේ.

සෑය ඉදි කරන විට අත්ති­වා­රම සහිත කොටස බිඳ වැටිණි. බුදු­ගුණ මෙනෙහි කර­මින් රජ­තෙමේ එහි හොත්තේය. ස්වකීය ප්‍රාණය පරි­ත්‍යා­ග­යෙන් එහි සෑ භූමියේ බිඳ වැටීම නතර කළේය. අන­තු­රුව සෑය පිහි­ටු­වීය. සිවු­දොර රනින් හා රුව­නින් කළ වාහ­ල්කඩ හත­රක් පිහි­ටු­වීය. මැණික් කංචු­ක­යක් සෑයට පලන්දා එහි රන් බුබුළු හා එල්ලෙන මුතු දැල් තැබ්බ­වීය. (මහා­වං­සය, 35 පරි­ච්ඡේ­දය, 70-74 ගාථා).

මහා­දා­ඨික මහා­නාග රජු අම්බ­ස්ථල සෑයට කළ මහා පූජා­වක් පිළි­බඳ මහා­වං­සයේ පැනේ. “සෑගි­රිය අවට යොදු­නක් මානය හාත්පස මනා වීථි සහිත සතර දොර­ටු­වක් තැනීය. වීථි දෑල­යෙහි සල්පිල් අතුට කොඩි ඇගෑ තොර­ණින් තන්හි තන්හි සර­ස­වීය. හාත්ප­සින් පහන් මාලා ආලෝක කරවා නැට්ටු­වන් ලවා නැටුම් හා ගීත වාදි­ත­යන් ද කරවී ය. කොළොම් හොය පටන් සෑගි­රිය තෙක් මාර්ග­යෙහි දෙප­යින් යනු පිණිස ඇති­රිලි ඇති කර­වීය. නැටුම් වැයුම් සහිත නෘත්‍ය ද එහි කර­වීය. නුවර සතර දොර මහ­ද­නුත් දෙවීය. අතුරු නැති පහන් මාලා මුළු ලක්දිව්හි ද හාත්පස යොද­නක් මාන­යෙහි මුහුදු දියෙහි ද පැවැ­ත්වීය. ඒ රජහු විසින් සෑ පෙළ­හ­රෙහි කර­වන ලද්දාවූ මනාවූ උදාර වූ පූජා තොමෝ ගිහඬු මහා පූජා යයි කියනු ලැබේ.” ( මහා­වං­සය, 34 පරි­ච්ඡේ­දය, 75-81 ගාථා)

කනි­ට්ඨ­තිස්ස රජු අම්බ­ස්ථ­ලයේ චේති­ය­ඝ­ර­යක් ඉදි කළ බව මහා­වං­සයේ පැනේ. ( මහා­වං­සය, 36 පරි­ච්ඡේ­දය, 9 ගාථාව). අම්බ­ස්ථ­ලයේ ථූප­ඝ­රය ගෝඨා­භය රජ­තුමා විසින් ප්‍රති­සං­ස්ක­ර­ණය කළ ආකා­ර­යත් මහා­වං­සය කියයි. ( මහා­වං­සය, 36 පරි­ච්ඡේ­දය, 107 ගාථාව). අම්බ­ස්ත­ලයේ පිහිටි සිලා චේති­යට තන­වන ලද චේති­ය­ඝ­රයේ නඩ­ත්තුව සඳහා කරන ලද ඉඩම් පූජා­වක් හබ­රණ දිග්ගල් සන්නසේ දැක්වේ.

ඒ සාධක තාර්කි­කව පෙළ­ග­ස්වන සෙන­රත් පර­ණ­වි­තා­න­යන් මිහි­න්තලේ වට­දා­ගෙ­යින් ආරක්ෂා වී ඇත්තේ මක­ල­න්තිස් රජ විසින් සෑගි­රියේ කළ ශෛල­මය ස්තූපය බව පෙන්වා දෙයි. ඒ ස්තූපය පරීක්ෂා කරන පර­ණ­වි­තා­නයෝ නූතන ප්‍රති­සං­ස්ක­ර­ණ­ව­ලින් සැඟව ගියද එහි පුරාණ ශෛල­මය නිර්මාණ ස්වරූ­පය හඳු­නා­ග­නිති. (පුරා­විදු පර්යේ­ෂණ, පර­ණ­වි­තාන සෙන­රත්, විසි­දුණු ප්‍රකා­ශන, 89 පිටුව)

අභ­ය­ගිරි විහා­ර­යෙන් ලි 40ක් හෙවත් සැත­පුම් 7ක් දුරින් පිහිටි චේති­ය­ගිරි විහා­රයේ භික්ෂූන් දෙද­හ­සක් වැඩ වාසය කරන බව ෆාහි­යන් කීවේය. රාජ්‍යයේ සියලු දෙනාම ගරු කරනු ලබන ධර්ම­ගුප්ත නම් විශාර ශීල සම්පන්න හිමි නමක් හත­ලිස් වර්ෂ­ය­කට ආසන්න කාල­යක් සෑ ගිරියෙ ලෙනක වැඩ වාසය කරන අයු­රුත් උන්ව­හ­න්සේගේ අධි­ශීල සම්පන්න ගුණය ගැනත් ෆාහි­යන් කියයි. ( ෆාහි­යන්ගේ බෞද්ධ රාජ­ධානි සහ වන්දනා ගමන් විස්ත­රය, චාර්ලිස්ද සිල්වා සංස්ක­ර­ණය, 2010 මුද්‍ර­ණය, 106 පිටුව).

පළමු වන සේන රජ සෑ ගිරි­යට බොහෝ අය උප­ද­වනා කණා­වැව පූජා කළේය ( මහා­වං­සය 50 පරි­ච්ඡේ­දය, 71 ගාථාව). දෙවන සේන රජු විසින් චේති­ය­ගි­රියේ වෙද­හ­ලක් කර­වීය. ( මහා­වං­සය, 51 පරි­ච්ඡේ­දය, 73 ගාථාව). මිහි­න්ත­ලාවේ දැන් දක්නට ඇත්තේ ඒ වෙද­හලේ නට­බුන් යැයි අචාර්ය සෙන­රත් දිසා­නා­යක කියයි.( දිසා­නා­යක සෙන­රත්, අසි­රි­මත් මිහි­න්තලේ, 26 පිටුව). මිහි­න්තලා පුර­වරු ලිපියේ එම වෙද­හලේ සේවය කළ විශේ­ෂඥ වෛද්‍ය­ව­ර­යෙකු පිළි­බඳ කියැවේ. කුහු­ඩළු වෙදෙකු ගැන ද සඳ­හන් වේ. මැද මිදු­ලක් වටා වූ වාට්ටු කාමර 31ක දළ වශ­යෙන් රෝගීන් 62 සඳහා නේවා­සික ප්‍රති­කාර ලබා­ගත හැකි සේ එම රෝහල නිර්මා­ණය කර තිබේ. ඒ බිමේ සිදු කළ කැණී­ම්ව­ලදී ඉරාන ප්‍රභ­ව­යක් සහිත නිල් වර්ණිත භාජ­න­යක් හමු වී තිබිණි.

හතර වන කාශ්‍යප රජුගේ සෙනවි කෙනෙකු සෑගිරි ගලේ හෘද­යෝ­ෂණ පිරි­වෙණ කරවා ධම්ම­රුචි නික­ය­ක­යන්ට පූජා කළ­හයි මහා­වං­සය කියයි. (මහා­වං­සය 52 පරි­ච්ඡේ­දය, 238 පිටුව).

මේ උත්තම බිම් පෙත සැදැ­හැති බෞද්ධ­යන්ගේ අඛණ්ඩ වන්ද­නා­වට ලක් විය. චිරාත් කාල­යක් රාජ්‍යා­නු­ග්‍ර­හය ලැබු­වේය.

අනු­රා­ධ­පුර රාජ­ධා­නිය අත්හැ­රුණු පසු පොලො­න්නරු යුගයේ සිට නුවර යුගය දක්වා මේ පුද­බිම හැකි පම­ණින් රාජ­කීය අව­ධා­න­යට ලක් විය. සියල්ල අත්හැ­රුණු අවි­චා­ර­වත් වක­වා­නු­ව­ලදී මේ රටේ ගැමියෝ දුර්ග මග ගෙවා­ගෙන මේ පුද­බිම වන්ද­නා­වට පැමි­ණි­යහ. අදත් රටේ පොදු ජන­තා­වගේ ප්‍රධාන වන්දනා ගමන පොසොන් පොහො­යට අනු­රා­ධ­පුර යෑමය. මිහි­න්ත­ලාව වන්දනා කිරී­මය. මිලි­යන ගණන් සැදැ­හැ­තියෝ මේ දින­යෙහි අනු­රා­ධ­පු­ර­යට රොක් වන්නාහ. ඉන් සජීවී සංස්කෘ­ති­යක ජාතික උරු­මයේ හද ගැස්ම ප්‍රකට වන්නේය.

Comments