මිහින්තලා පුදබිම ජාතික උරුමක් ලෙස නම් කර පරපුරක උරුමය සනාථ කළ ‌ඓති­හා­සික තීන්දුව | Page 2 | සිළුමිණ

මිහින්තලා පුදබිම ජාතික උරුමක් ලෙස නම් කර පරපුරක උරුමය සනාථ කළ ‌ඓති­හා­සික තීන්දුව

බුද්ධ වර්ෂ 236 ක් වූ පොසොන් පුර පස­ළො­ස්වක පොහෝ දින දඹ­දිව ධර්මා­ශෝක අධි­රා­ජයා‍ගේ දෙටු­පුත් අනු­බුදු මිහිඳු මහ රහ­තන් වහන්සේ ඇතුළු ධර්ම දූත පිරිස ශ්‍රී ලංකා­ද්වී­ප­යට වැඩම කොට දඩ­කෙ­ළි­යෙහි යමින් සිටි දෙවන පෑතිස් මහ නිරි­ඳුන් ඇතුළු 40,000 ක් පිරිස පංච­ශී­ල­යෙහි පිහි­ටුවා චුල්ල­හ­ත්ථි­ප­දෝ­පම සූත්‍ර­යෙන් ධර්ම දේශනා කර­මින් පළ­මු­වෙන්ම සම්බුද්ධ ශාස­නය පිහිටු වූ ස්ථානය ඓති­හා­සික මිහි­න්තලා පුණ්‍ය භූමි­යයි.

එකල සිරි­ලක රජ­කම් කළ දේවා­න­ම්පි­ය­තිස්ස මහ නිරි­ඳුන් ඇතුළු පිරිස දුනු හී බිම දමා මරණ බියෙන් දිව යන ප්‍රාණියා හට අභය දානය ලබා දීම හරහා ලොව පළමු අභය භූමිය හැටි­යට ද පත් වන්නේ මෙම උතුම් පුණ්‍ය භූමි­යයි. අනු­බුදු මිහිඳු මාහි­මි­යන් හා දෙවන පෑතිස් නිරි­ඳුන් අතර ඇති වූ පැණ විම­සීම ලෝකයේ පළමු වාචික බුද්ධි­ප­රී­ක්ෂ­ණය හැටි­යට සඳ­හන් වන අතර සම්බුදු දහ­මෙහි උත්ත­රි­තර දායා­දය ලක් වැසි­ය­නට උරුම වූ ඓති­හා­සික මිහි­න්තලා පුණ්‍ය භූමිය සිරි­ලක බෞද්ධ දර්ශ­නයේ තිඹි­රි­ගෙය හැටි­යට සඳ­හන් කළ හැකිය.

අනු­බුදු මිහිඳු මහ­ර­හ­තන් වහන්සේ වයස අවු­රුදු 32දී පමණ ශ්‍රී ලංකා­ද්වී­ප­යට වැඩම කර­මින් සිරි ලක්වැ­සි­යන්ට අර්ථ­යෙන් ධර්ම­යෙන් යම­මඟ ගමන් කිරී­මට කියා­දෙ­මින් අවු­රුදු 48ක් පුරා මෙරට වැඩ­හි­ඳි­මින් වස් 60 සම්පූර්ණ කර­මින් වයස අවු­රුදු අසූ­වක් පිරුණු තැන බුද්ධ වර්ෂ 287 හි වප් මස පුර අට­වක පොහෝ දින පරි­නි­ර්වා­ණය කළ බව මහා­වං­ශය ඇතුළු ග්‍රන්ථ­යන්හි ‍තොරතුරු සඳ­හන් ය. අනු­බුදු මිහිඳු මහ­ර­හ­තන් වහන්සේ පරි­නි­ර්වා­ණය කරන විට එකල ලක්දිව රජ­කම් කළ උත්තිය මහ රජ­තු­මන් විසින් එම දිනය “ මිහිඳු පුර අට­වක දිනය” ලෙස ප්‍රකා­ශ­යට පත් කර ඇති අතර මහ රජුන් ඇතුළු ජනයා මිහිඳු මහ රහ­තන් වහන්සේ වෙනු­වෙන් කෘත­වේ­දී­ත්වය පළ කිරීම සඳහා විවිධ පුණ්‍යෝ­ත්ස­ව­යන් සිදු කළ ආකා­රය ද ඉති­හා­ස­ගත බොහෝ තොර­තුරු මඟින් අනා­ව­ර­ණය වේ. අතී­තයේ සිටම රාජ­රාජ මහා­මා­ත්‍යා­දීන් විසින් තම දිවි දෙවැනි කොට අනු­බුදු මිහිඳු මහ­ර­හ­තන් වහ­න්සේ­ගෙන් සිදු වූ ඒ උත්ත­රී­තර අමිල සේවා­වට කෘත­වේ­දී­ත්වය දැක්වී­මට කට­යුතු කර ඇත.

සිංහල රජ දව­සින් පසු මහි­න්දා­ග­ම­නය සිදු වී වසර 2327 ක් ගත­වීම හා අනු­බුදු මිහිඳු මහ­ර­හ­තන් වහ­න්සේගේ පරි­නි­ර්වා­ණය සිදු වී වසර 2279 ගෙවීම කෘත­වේ­දී­ත්ව­යෙන් යුතුව සිහි­පත් කිරීම වෙනු­වෙන් වර්ත­මාන ශ්‍රී ලංකා රජය විසින් විවිධ වැඩ­ස­ට­හන් රාශි­යක් රාජ්‍ය අනු­ග්‍ර­හය ඇතිව සිදු කිරී­මට කට­යුතු කිරීම සම්බ­න්ධ­යෙන් පළ­මුව පුණ්‍යා­නු­මෝ­දනා පූර්වක ස්තූතිය ප්‍රකාශ කර සිටිමි. සිංහල රජ දව­සින් පසුව ඓති­හා­සික මිහි­න්තලා පුණ්‍ය­භූ­මිය කේන්ද්‍ර­කර ගනි­මින් විශාල මුද­ලක් යොද­ව­මින් සංව­ර්ධන ව්‍යාපෘ­තීන් රාශි­යක් ආරම්භ කර ඇත. ඒ අතර සුවි­ශේෂී හා අගය කළ යුතු කාර්යය වනුයේ මහි­න්දා­ග­ම­නය සිදු වී වසර 2327 ගත වන තෙක්ම කිසිදු රජ­යක් මඟින් සිදු නොකර තිබූ, ශ්‍රී ලාංකීය සංස්කෘ­තික පුන­ර්ජී­ව­නයේ කේන්ද්‍ර­ස්ථා­න­යක් වූ මිහි­න්තලා පෞරා­ණික සිද්ධ­ස්ථා­නය හා පුරා­විද්‍යා වන­ජීවී වන සංර­ක්ෂණ කලා­පය ශ්‍රී ලංකාවේ ජාතික උරු­ම­යක් වශ­යෙන් නම් කිරී­මය. වාර්ෂි­කව පැවැ­ත්වෙන ලංකාවේ පළමු පෙර­හර හැටි­යට සැල­කෙන අනු­බුදු මිහිඳු මහා පෙර­හැර හා වාර්ෂික පොසොන් උත්ස­වය රාජ්‍ය උත්ස­ව­යක් වශ­යෙන් ප්‍රකා­ශ­යට පත් කර­මින් සෑම වර්ෂ­ය­ක­දීම ඒ සඳහා රාජ්‍ය අනු­ග්‍ර­හය ලබා­දීම, ආදී වූ කාර­ණා­වන් ශ්‍රී ලංකා ප්‍රජා­තා­න්ත්‍රික සමා­ජ­වාදී ජන­ර­ජයේ අති­ගරු ජනා­ධි­ප­ති­තු­මන්, ගරු අග­මැ­ති­තු­මන් හා අමාත්‍ය මණ්ඩ­ලයේ අනු­මැ­ති­යෙන් යුතුව ප්‍රකා­ශ­යට පත්කි­රී­මයි.

ලක්දිව සම්බුදු සසු­නෙහි තිඹි­රි­ගෙය වන ඓති­හා­සික මිහි­න්තලා පුණ්‍ය භූමිය කේන්ද්‍ර කර­ග­නි­මින් මිහි­න්ත­ලා­වෙහි පව­තින ඓති­හා­සික සංසි­ද්ධීන් හා වාස්තු විද්‍යා­ත්මක උරු­ම­යන් මතු පර­පුර වෙනු­වෙන් ආරක්ෂා කර­දී­මෙ­හිලා ඓති­හා­සික තීන්දු තීරණ ගනි­මින් කට­යුතු කර­න්නට යෙදුණු ශ්‍රී ලංකා ප්‍රජා­තා­න්ත්‍රික සමා­ජ­වාදී ජන­ර­ජයේ අති­ගරු ජනා­ධි­පති මෛත්‍රී­පාල සිරි­සේන මැති­තු­ම­න්ටත්, ගරු අග්‍රා­මාත්‍ය රනිල් වික්‍ර­ම­සිංහ මැති­තු­ම­න්ටත්, එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක නිවාස ඉදි­කි­රීම් හා සංස්කෘ­තික අමාත්‍ය ගරු සජිත් ප්‍රේම­දාස මැති­තු­ම­න්ටත්, විදු­ලි­බල හා පුන­ර්ජ­න­නීය බල­ශක්ති අමාත්‍ය ගරු රවී කරු­ණා­නා­යක මැති­තු­ම­න්ටත්, අභ්‍ය­න්තර හා ස්‍වදේශ කට­යුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ගරු වජිර අබේ­ව­ර්ධන මැති­තුමා ඇතුළු ඒ හා කැප වූ සිය­ලුම අමාත්‍ය මණ්ඩ­ල­ය­ටත්, අප­රි­මිත සේවා­වක් ඉටු කර­න්නට යෙදුණු සිය­ලුම ලේක­ම්ව­රු­න්ටත්, ත්‍රිවිධ හමු­දා­ව­ටත්, සිවිල් ආර­ක්ෂක දෙපා­ර්ත­මේ­න්තු­ව­ටත්, මේ වෙනු­වෙන් ඇප කැප වූ සිය­ලුම ජන­තා­ව­ටත් පුණ්‍යා­නු­මෝ­දනා පූර්වක ස්තූතිය පුද­ක­රන අතර සම්බුදු සසු­නෙහි අභි­වෘ­ද්ධිය පිණිස මෙම උතුම් කාර්යය ඉටු කිරීම වෙනු­වෙන් අති­ගරු ජනා­ධි­ප­ති­තු­මන් ගරු අග්‍රා­මා­ත්‍ය­තු­මන් ප්‍රධාන සමස්ත මැති ඇම­ති­ව­රුන් ප්‍රධාන වර්ත­මාන රජ­යට අපගේ ශුභා­ශිං­ස­නය ඉත සිතින් ප්‍රාර්ථනා කරම්හ.

ඒ වගත් මෙසේම,

 

ඓති­හා­සික මිහි­න්තලා රාජ­මහා විහා­රා­ධි­පති

හා භාර­කාර, ගෞරව ශාස්ත්‍ර­වේදී

පූජ්‍ය වල­වා­හැං­ගු­ණ­වැවේ ධම්ම­ර­තන නාහිමි,

රාජ­මහා විහා­රය, මිහි­න්තලේ.

Comments