රජරට වැව් කාන්තාර කරන ගොවි සංවිධානවල මාළු බිස්නස් | Page 2 | සිළුමිණ

රජරට වැව් කාන්තාර කරන ගොවි සංවිධානවල මාළු බිස්නස්

හලාවත-මීගමුව මාළු මුදලාලිලාට වැව් බද්දට දීලා

වැවෙන් ජීවත් වූ ගැමියන්ට මලක් කඩාගන්න මාළුවකු බිළි බාගන්න තහනම්

රෑට රෑට සොරොව් ඇර වතුර හිස් කරලා

දවල් බතට හොද්දට මාළුවකු අල්ලා ගන්න බැරිව ගැමියන් වැව දිහා බලාගෙන හූල්ලනවා

වැව් බැඳි රජරට ජනතාව වැව් ජලය මූලික කරගනිමින් තම ජීවනෝපාය සරි කරගත් අතර, අහස් දිය උපයෝගී කරගනිමින් හේන් ගොවිතැනෙන් බඩ වියත රැකගත්හ. එහෙත් පසුගිය කාලයේ රජරට පුරාම ඇති වූයේ ඉවසුම් නොදෙන දැඩි නියඟයකි. මේ වන විට වැසි දෙවියන්ට පින්සිදු වන්නට දැන් රජරට පොළෝ තලය ටිකෙන් ටික තෙමෙන්නට පටන්ගෙන ඇත‍ත් ඒ වැස්ස මහා ජලාශ පිරෙන්න තබා බොන ළිං පිරෙන්නවත් ප්‍රමාණවත් නැත.

අනුරාධපුර මිහින්තලය සුළු වාරිමාර්ගය යටතේ පවතින වැව් සියල්ල සිඳී ගොස්ය. නමුත් මිහින්තලය ප්‍රාදේශීය කොට්ඨාසයේ මහා වාරිමාර්ගයට අයත් වැව් කිහිපයක ජලය තවත් ඉතිරි වී පවතී. එහෙත් එම වැව්ද ඉදිරියේදි සිඳී යෑමේ අවදානමක් ඇති බව ගොවි ජනතාව පවසන්නේ නියං තත්ත්වය නිසා නොව ගොවි සංවිධාන ඒ වැව් බදු දීම හේතුවෙනි. මේ දිග හැරෙන්නේ ඒ ඛේදවාචකයේ කතාවයි.

වැවේ පිපෙන ඕලු මලක් නෙලුම් මලක් කඩා නැති නම් මාළු කූරියන් දෙතුන් දෙනෙකු අල්ලා විකුණා හාල් සේරුවක් තුනපහේ ටිකක් මිලදී ගන්නා පිරිස් අද ද රජරටින් සොයාගැනීම අපහසු නැත. එදා වැවෙන් මලක් කඩා, මාළු කූරීන් ටිකක් අල්ලාගත්තේ හාල් සේරුවක්, තුනපහ ටිකක් මිලදී ගැනීමටය. අද රජරට ගොවි සංවිධාන වැවේ මල් ටික, මාළු ටික මහා පරිමාණයේ වෙළෙදුන්ට අලෙවි කිරීම හේතුවෙන් එසේ ජීවත් වූ අය කබලෙන් ළිපට වැටී ඇත.

ගොවි ජනතාව පවසන්නේ වැව් ජලය පිරී ඇති සමයේ දී මලක් කඩා ගැනීමට හෝ තම ආහාරය සඳහා මාළුවෙකු අල්ලාගැනීමට ගොවි සංවිධානවල නිලධාරීන් අවස්ථාව නොදෙන බවයි.

පැරණි මුතුන් මිත්තන් වැව් සාදා ආරක්ෂා කර ගත්තේ අනාගත පරපුරේ අභිවෘද්ධිය උදෙසා වුවත් අද ඒ ගමේ උපන් අයට වැවේ කිසිදු අයිතියක් නැති තත්ත්වයක් උදා වී තිබේ. මලක් කඩාගෙන, මාළුවෙකු දෙන්නකු බිළි බාගෙන ජීවත් වූ ගැමියන්ට අද වැවට බැසීමත් තහනම් වී තිබේ.

මීගමුව, හලාවත මහ පරිමාණයේ මාළු වෙළෙන්දන් ගම්වල තැරැව්කරුවන් උදව් ගනිමින් වැව්වල ජලය ඉවත් කර වැව් සියල්ල හිස් කිරීම ගැන ගොවි ජනතාව කනස්සල්ලෙන් පසු වෙති.

ලබුවැව හෙවත් තිඹිරිවැව, වෙරුප්පන්කුලම වේළුසුමන වැව, මැකිච්චාව බණ්ඩාර රත්මලේ වැව මාළු ඇල්ලීම සඳහා බදු දී ඇති වැව් කිහිපයකි. තිඹිරිවැව යටතේ අක්කර 200කට ආසන්න ප්‍රමාණයක් අස්වද්දා කිරි වදිමින් සිටින අවස්ථාවේ ගොවි සංවිධාන අත්තනෝමතිකව වැවේ ජලය අපතේ යැවීමට පියවර ගැනීම ගොවි ජනතාවට සිදු වූ මහත් ‍ඛේදවාචකයකි. සොරොව් ඇර ජලය අපතේ යවා මාළුන් අල්ලා ගැනීමට, වැව් බදු ගත් මුදලාලිලාට ඉඩකඩ සැලසීමෙන් ගොවි ජනතාව මෙන්ම සතා සිවුපාවෝද අසරණ වෙති.

ගොවි ජනතාව පවසන්නේ මාස් කන්නයේ වර්ෂාව ලැබෙන තෙක් මිනිස් පරිභෝජනයට, සතුන්ට බීම සඳහා එම වැව්වල ජලය ප්‍රමාණවත් බවයි. එහෙත් ජනතාවගේ විරෝධය නොතකා ගොවි සංවිධානවල නිලධාරීහු හිතුමනාපයට මීගමුව, හලාවත ප්‍රදේශයේ මාළු වෙළෙන්දන්ට තැරැව්කරුවන් මඟින් වැව් බදු දෙති. එලෙසින් ලැබෙන මුදලෙන් සුළු කොටසක් සංවිධානයට ලබා දී වැඩි මුදලක් නිලධාරීන් ගසාකන බව වාර්තා වෙයි. ගොවි සංවිධාන නිලධාරින් පවසන්නේ ගොවි සංවිධානවල ඉදිරි දියුණුව සඳහා වැවේ මල් සහ මාළු විකිණීම සිදු කරන බවයි. එහෙත් ජනතාව පවසන්නේ මල් සහ මාළුන් විකුණා ලබාගන්නා මුදල් වලින් කිසිදු සංවර්ධන කටයුත්තක් සිදු නොකරන බවයි. මැකිච්චාව වැව ඉරිතළා ගොස් එකම දිය මස්සෙකු හෝ ඉතිරි නොවී ඇත්තේ වැව් බදු දීමේ අනිසි ප්‍රතිඵලයක් ලෙසින්ය.

“මම දන්නා කාලයක සිටම කළේ මේ වැවේ බිලී බාන එක. අවට තියෙන කුඩා වැව් නියඟය නිසා සිඳී ගියා. මේ වැවත් ඉරිතළලා දිය බිඳුවක් නැහැ. හැබැයි ඒ නියඟය නිසා නොවෙයි. ගොවි සංවිධානවල නිලධාරීන් රෑට රෑට සොරොව්වෙන් ජලය ඉවත් කළා. පසුව වතුර මෝටර් දාලා වැ‍වේ ජලය ඉවත් කළා. වැව බදු දෙන නිසා මාස කීපයක සිට බිලී බාන්න දුන්නේ නැහැ. මලක් කඩාගන්න දෙන්නේ නෑ. ගොවි සංවිධාන වැව්වල සම්පූර්ණ අයිතිය අරගෙන. අපට හිතාගන්න බැහැ ගොවි සංවිධානවල නිලධාරින්ට මේ තරම් බලයක් කවුද දුන්නේ කියලා.

වැවක් බදු දුන්නාම පාරිසරික හානි ගොඩක් සිදු වෙනවා. වසර තුන හතරක් යන තුරු වැවේ මාළු බෝවෙන්නේ නැහැ. වැව් ජලය ආරක්ෂා කරන සියලුම පැළෑටි වර්ග විනාශ වෙනවා. ඒ හේතුවෙන් තමයි රජරට වැව් ගොඩ වීමේ තර්ජනයට ලක් වූණේ. “මැකිච්චාව වැවෙන් මාළුවකු අල්ලා දෛනික ජිවිතය ගොඩනඟාගත් සිරිසේන මහතා සිළුමිණට ප්‍රකාශ කළේ ය.

නෙකටුණුවැව බදු දීමේ ක්‍රියාවලිය ද මාධ්‍ය මඟින් අනාවරණය කිරීම නිසා බදු දීම වැළැකීමෙන් වැවේ ජලය ආරක්ෂා කරගැනීමට හැකි විය.

ගම්වාසීන් පවසන්නේ ප්‍ර ‍ෙද්ශයේ විහාර විහාරාධිපති හිමියන්ගේ මැදිහත් වීමෙන් ගොවි සංවිධානවල නිලධාරීන් වැව බදු දීමට පියවර ගත්තේ එහිදී ලැබෙන මුදලින් ස්වාමීන් වහන්සේගේ නිදන කුටිය වායුසමනය කර ටයිල් ඇල්ලීම සඳහා බවයි.

ගැමියන්ගේ දුක්ගැනවිලිවලට සහ පාරිසරික ගැටලුවලට පිළියමක් නැති දැයි කහටගස්දිගිලිය ප්‍රාදේශීය ලේකම් දිසානායක මහතාගෙන් විමසීමක් කළ විට ඔහු ලබා දුන්නේ පුදුම සහගත උත්තරයකි. “මේවා හොය හොයා ලියන්නෙ වෙන වැඩක් නැති ද? මේවා කිසිම දෙයක් මම දන්නේ නැහැ. මේවා මට අදාළ නැහැ. මේක අයිති වාරිමාර්ගයට“ යනුවෙනි.

අනුරාධපුර ගොවි ජන සේවා සංවර්ධන නියෝජ්‍ය කොමසාරිස් පී.ජී. සෝමරත්න මහතාට කියා සිටියේ එවැනි සිද්ධී ගොවි සංවිධාන නිලධාරීන් හරහා සිදු වන බවක් තමන් දැන නොසිටි බවය. එලෙස වැව් ජලය ඉවත් කර වැවේ මාළුන් බදු දීමට ගොවි සංවිධාන නිලධාරීන්ට බලයක් තිබේ දැයි ඇසූ විට කොමසාරිස්වරයා කීවේ මාළු ඇල්ලීමට හෝ වැව් බදු දීමට හෝ වැවේ ජලය සම්පූර්ණයෙන් ඉවත් කිරීමට ගොවි සංවිධානවලට කිසිම අවසරයක් දී නැති බවය. එහෙත් ඒ ජාවාරම බරපතළ අන්දමින් සිදු වන බවට සාක්ෂි සහිත කරුණු ඉදිරිපත් කිරීමේ දී නිරුත්තර වූ කොමසාරිස්වරයා සඳහන් කළේ තමන්ට පැය 24ක කාලයක් ලබාදෙන ලෙසයි.

කොමසාරිස්වරයා කී පරිදිම ගෙවී ගිය සති කීපයේ මහත් ආන්දෝලනයට ලක් වූ වැව් බදු දීම තහනම් කරුණක් වූයේ ජනතාවට මහත් අස්වැසිල්ලක් ගෙන දෙමිනි.

මාස් කන්නයේ වර්ෂාව ආරම්භ වී ඇත. රජරට ප්‍රදේශයේ තැනින් තැන ප්‍රදේශවලට වර්ෂාව පතිත වෙමින් පවතී. රජරට වැව් පිරී ගිය පසු මාළුන් ඇල්ලීම සඳහා යළි බදු දීමට ගොවි සංවිධාන පියවර ගනු ඇත. මෙවර පමණක් නොව වැව් බදු දීම සදහටම නවතා දැමීමට බලධාරීන් පියවර ගන්නා තෙක් ගැමියෝ බලා හිඳිති.

ප්‍රියදර්ශනී කරුණාරත්න

මිහින්තලේ සමූහ 

Comments