රාජ්‍ය සේවකයන් ඉල්ලන්නත් කලින් ආණ්ඩුව පඩි වැඩි කළා | Page 2 | සිළුමිණ

රාජ්‍ය සේවකයන් ඉල්ලන්නත් කලින් ආණ්ඩුව පඩි වැඩි කළා

වැටුප් වාර්තාව හැදූ රනුග්ගේ රාජ්‍ය සේවකයන්ට කියන කතාව

ජාතික වැටුප් හා සේවක සංඛ්‍යා කොමිසමේ සභාපති එස්. රනුග්ගේ

වසර 2015 ට සාපේක්ෂව වසර 2020 වන විට රාජ්‍ය සේවකයින්ගේ වැටුප සියයට 107 කින් වැඩිකිරීමට රජය කටයුතු කළත් ඒ පිළිබඳව රාජ්‍ය සේවකයන් රජය ඇගයීමකට ලක්කර නැතැයි ජාතික වැටුප් හා සේවක සංඛ්‍යා කොමිෂන් සභාවේ සභාපති එස්. රනුග්ගේ මහතා ප්‍රකාශ කරයි. රාජ්‍ය සේවකයන් වැඩි වැටුප් ඉල්ලා උද්ඝෝෂණ, වැඩවර්ජන කොතෙක් සිදුකළත් එසේ වැඩිකළ යුතු මුදල් රජය සොයාගන්නේ කෙසේදැයි හෙළිනොකිරීම කනගාටුවට කරුණක් බව ද රනුග්ගේ මහතා කීය. රජය කළ යුත්තේ රටවැසියන්ට රජයේ රැකියා ලබාදීමට වඩා රට තුළ ඉන් පිටත නව රැකියා අවස්ථා උදාකිරීමට පියවර ගැනීම බව ද ඒ මහතා කීය.

රාජ්‍ය සේවක වැටුප් වැඩිකිරීම් උදෙසා බලකැරෙන වැඩවර්ජන රැල්ල හමුවේ රජය කළ යුත්තේ කුමක්දැයි සහ රාජ්‍ය සේවකයින් සිදුකරන ක්‍රියාදාමය සාධාරණ දැයි විමසූ අප සමඟ විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් වැටුප් හා සේවක සංඛ්‍යා කොමිෂන් සභාපතිවරයා එම කරුණු අනාවරණය කළේය.

• ඔබ සභාපතීත්වය දරන කොමිෂන් සභාව පිළිබඳව යම් පැහැදිලි කිරීමක් කළ හැකිද?

ඔව්. ජාතික වැටුප් හා සේවක සංඛ්‍යා කොමිෂන් සභාව අතිගරු ජනාධිපතිතුමා විසින් පත්කළ එකක්. මෙහි කාලය වසර 3 ක් ලෙසයි අපට ලබා දී තිබෙන්නේ. මේ කාලය තුළදී රාජ්‍ය සේවකයින්ගේ එක් ‍කොටසක වැටුප් වැඩිකිරීම්, දීමනා වැඩිකිරීම් යනාදිය සිදුකළහොත් ඉන් අනෙක් කොටසට සිදුවන බලපෑම පිළිබඳව සහ එවැනි විසමතා ඇතිවුවහොත් ඒවාට පිළියම් නිර්දේශ කිරීමටයි අපට පැවරී තිබෙන ප්‍රධාන කාර්යය. මෙයට අමතරව විශේෂයෙන් ම දුම්රිය, තැපැල්, සෞඛ්‍ය ආදී විශේෂිත සේවාවන්හි වැටුප් විෂමතා පිළිබඳව සොයාබලා ඒවාට විසඳුම් ලෙස යම් යම් නිර්දේශ ඉදිරිපත් කිරීමට ද කොමිෂමක් පත්කර තිබුණා. එය මාස 2ක කාලයක් සඳහා පැවැති කොමිෂමක්. ඒ අනුව අපි එහි නිර්දේශ රජයට බාරදුන්නා.

• අපි දැන් මෙතැනින් පටන් ගමු. වසර 2015 බලයට පත් යහපාලන ආණ්ඩුව රාජ්‍ය සේවකයින්ගේ වැටුප් හා දීමනා වැඩිකිරීමට කටයුතු කළා. ඒ පිළිබඳව ඔබට යම් පැහැදිලි කිරීමක් කළ හැකිද?

පුළුවන්. වසර 2015 දී අපේ රටේ රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩිකිරීමක් සිදුකරන බවට බලයට පත් ආණ්ඩුව ප්‍රකාශයට පත්කළා. වැටුප් රුපියල් 10,000 කින් වැඩිකරන බවට ඉන් කියැවුණි. එය සිදුකළේ 2015 දී රුපියල් 2500/- ක දීමනාවක් ලබා දෙමින්. මේ මුදල වසර 2016, 2017, 2018, 2019 සහ 2020 වන විට රුපියල් දසදහසක් වන ලෙසයි වැඩිකළේ. මුලින් අතුරු දීමනාවක් ලෙසයි මේ මුදල ලබා දුන්නේ. නමුත් රාජ්‍ය සේවකයින්ගේ මූලික වැටුපට මේ දීමනාව එකතු කළා. එසේ එකතු කිරීම තුළ රාජ්‍ය සේවකයින්ට වැටුප් වැඩිවීමේ වාසියට අමතරව තවත් වාසි රැසක් අත්වුණා. ඒ තුළින් ආපදා ණය ලබාගැනීමේදී, උත්සව අත්තිකාරම් වැනි දීමනා වැඩි වශයෙන් ලබාගැනීමට හැකිවුණා. අපි එක් උදාහරණයක් ගනිමු. වසර 2015 දී කාර්යාල කාර්ය සහයකයකුගේ මූලික වැටුප රුපියල් 11,730/- කි. එම මුදල වසර 2020 වන විට රුපියල් 24,250/- දක්වා වැඩිවෙනවා. නමුත් අපි මෑතකදී ජනාධිපතිතුමා පත්කළ විශේෂ වැටුප් විෂමතා දුරුකිරීමේ කොමිෂන් සභාවේ නිර්දේශ මත නැවත වතාවක් මීටත් වඩා වැටුප් වැඩිවීමක් ලබන ජනවාරියේ සිට වැඩිවෙනවා. එහි අවම වැටුප් වැඩිවීම රුපියල් 5500/- සිට උපරිමය රුපියල් 34,000/- දක්වා සිදුවෙනවා. මෙය මුලින් ගණන් බලා තිබූ ආකාරයට රුපියල් 3000/- ත් රුපියල් 24,000/- ත් අතර වැටුප් වැඩිවීමක් ලෙස කලින් ප්‍රකාශ කළා. එහෙත් දැන් ඊටත් වඩා වැඩි මුදලකින් රාජ්‍ය සේවකයින් සඳහා වැටුප් ඉහළ යනවා. අපි කතා කළේ කාර්යාල කාර්ය සහයකයකුගේ වැටුප ගැනයි. නමුත් රාජ්‍ය සේවයේ සියලුම වැටුප්තලවල නීතිපති දෙපාර්තමේන්තු, අධිකරණ සේවයේ, විශ්වවිද්‍යාල අධ්‍යයන කාර්ය මණ්ඩලයේ, විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ, ශ්‍රී ලංකා වෛද්‍ය සේවයේ, ශ්‍රී ලංකා ඉංජිනේරු සේවයේ, ශ්‍රී ලංකා පොලිසියේ, ශ්‍රී ලංකා පරිපාලන සේවයේ, ලේකම් සේවයේ, ගුරුවරු, විදුහල්පතිවරු ඇතුළු අධ්‍යාපන පරිපාලන සේවයේ මෙන්ම එකීනොකී සියලු රාජ්‍ය සේවකයින් තරාතිරම නොබලා ඉදිරියේදී අනිවාර්යයෙන් ම වැටුප් වැඩිවෙනවා. මේ අන්දමට වැටුප් වැඩිකිරීමට අමතරව මූලික වැටුපෙන් සියයට 15 ක දීමනාවක් සහ තවත් සියයට 5 ක දීමනාවක් රාජ්‍ය සේවකයින්ට වසර 2015 න් පසු ලබා දුන්නා. ඒ අනුව ගණන් බැලූ විටයි රාජ්‍ය සේවකයින්ගේ වැටුප සියයට 107 කින් වසර 2020 ජනවාරි වන විට වැඩිවන්නේ.

• මෙතරම් වැටුප් වැඩිකිරීමක් සිදුකර තිබියදීත් රාජ්‍ය සේවකයන් වැඩි වැටුප් ඉල්ලා උද්ඝෝෂණය කරන්නේ ඇයි?

ඇත්තටම රාජ්‍ය සේවකයන්ට මේ ආණ්ඩුව මෙතරම් ප්‍රමාණයකින් වැටුප් වැඩිකළේ ඔවුන් ඉල්ලලාවත් නොවේ. මෙය රජය විසින් සිදුකළා. රජය විසින් සිදුකළ මේ ඉහළ වැටුප් වැඩිකිරීම පිළිබඳව කිසිම රාජ්‍ය සේවකයෙක්ගෙන් ඇගැයීමක් මේ සම්බන්ධව සිදු වී නැහැ. අන්න එතැනයි තිබෙන කනගාටුදායක කරුණ. වැටුප් ඉල්ලලාවත් නැතිව වැඩිකළ ආණ්ඩුවක් තමයි දැන් තිබෙන්නේ. ඉතිං කොපමණ වැටුප් වැඩිකළත් ඒ දෙයින් සෑහීමකට පත් නොවී වැඩි වැටුප් ඉල්ලා සිදුකරන මේ උද්ඝෝෂණ, වැඩවර්ජන සාධාරණ නැති බවයි බහුතර මතය.

• අධ්‍යාපන සේවයේ නිරත පිරිස් වැඩි වැටුප් ඉල්ලා මේ දිනවල උද්ඝෝෂණයක නිරත වෙනවා. ඒ ගැටලුවට විසඳුම් ලෙස යම් යම් නිර්දේශ ලබාදීමට ඔබ කොමිසම වෙත පැමිණියාද?

නෑ. ඇත්තටම මෙතැන සිදු වී තිබෙන්නේ ගුරුවරුන්ට, විදුහල්පතිවරුන්ට, අධ්‍යාපන පරිපාලන සේවයේ නිරත නිලධාරීන්ගේ මට්ටමට වැටුප් වැඩිකිරීමක් සිදුකරන ‍ලෙස ඉල්ලා සිටීමයි. එසේ ඉහළ වැටුප් වැඩිකිරීමක් සිදුකළහොත් ඉන් ඉදිරියට ඉහළ නිලධාරීන්ගේ වැටුප්තල තවත් වැඩිකළ යුතුයි. එය කිසිසේත්ම කළ හැක්කක්දැයි ගැටලුවක් මතුවෙනවා. ඒ මන්ද ඒ සඳහා විශාල මුදලක් රජයට අමතරව වැයකිරීමට සිදුවෙනවා. ඒ නිසා ඒ ගැටලුව විසඳීමට හැකියාවක් ති‍බේදැයි ප්‍රතිපත්ති සම්පාදකයින් සිතා බැලිය යුතුයි. නමුත් දැනටමත් රාජ්‍ය සේවකයින්ගේ වැටුප් ඉහළ දැමීමට රජය කටයුතු කර තිබෙනවා. අපි මුලින් කී පරිදිම මේ අන්දමට රාජ්‍ය සේවක වැටුප් වැඩිකළ ආණ්ඩුවක් ඉතිහාසයේම තිබී නැහැ. නමුත් මෙහිදී රාජ්‍ය සේවකයින් ඒ ගැන එතරම් තැකීමක් කරන්නේ නැහැ.

• රාජ්‍ය සේවකයන් ඇයි රජයට එතරම් තැකීමක් හෝ කෘතගුණ නොදක්වන්නේ?

එය ප්‍රශ්නකාරී තත්ත්වයක්. ඇත්තටම ඉහළ වැටුප් වැඩිකිරීම පමණක් ඇගයීමට හේතුවක් නොවන බව ඔවුන් සිතනවා වෙන්නට පුළුවන්. නමුත් අපේ රටේ වත්මන් වැටුප් විෂමතා මේ ආණ්ඩුව ඇතිකළ ප්‍රශ්න නොවේ. ඒවාට දිගු ඉතිහාසයක් තිබෙනවා. මේ ආණ්ඩුව එවන් ඉතිහාසයේ සිට පැවත එන රාජ්‍ය සේවක වැටුප් විෂමතා දුරුකිරීමටත්, විශේෂයෙන්ම විශ්‍රාමිකයින්ගේ විශ්‍රාම දීමනා විෂමතා දුරුකිරීමටත්, ඒවා වැඩිකර ලබාදීමටත් කටයුතු කොට තිබෙනවා. මේ ගැන පමණක් නොවෙයි, උද්ඝෝෂණ වැඩවර්ජන කරන අය දෙවරක් සිතා බැලිය යුතු කරුණු තිබෙනවා.

• මොනවද ඒ කරුණු?

රාජ්‍ය සේවක වැටුප් වැඩිකිරීම් කිරීමට බලකරන උද්ඝෝෂකයින් කල්පනා කර බැලිය යුත්තේ ඒ සඳහා රජයට අවශ්‍ය මුදල් සොයා ගන්නේ කෙසේද යන්න ගැනයි. රජයට සිය වියදම් පියවා ගැනීමට අවශ්‍ය ආදායම් ලබාගන්නේ පොදු මහජනතාවගෙන් ලබාගන්නා බදු මුදල් වලින්. මෙහිදී රජය ලබාගන්නා බදු මුදල් රාජ්‍ය සේවය පවත්වාගෙන යාමටම පමණක් වැය කරන්නේ නැහැ. ඊට අමතරව රටේ ආරක්ෂාව, රටේ සංවර්ධනය, ජනතා සුබසාධනය ප්‍රධාන වශයෙන්ම සලකා බලා මුදල් වියදම් කළ යුතුයි. ඒ අතර පෙර රජයන් ලබාගත් සංවර්ධන ණය සඳහා වාරික සහ පොලී මුදල් ගෙවීම්, අලුත් සංවර්ධන ව්‍යාපෘති සඳහා ලබාගත් ණය සඳහා මුදල් ගෙවීම් සිදුකළ යුතුයි. රටේ අධ්‍යාපනය, සෞඛ්‍යය ප්‍රධාන මානව සම්පත් සංවර්ධනයට අතිවිශාල මුදලක් වැයකළ යුතුයි. ඒ අතරම මහාමාර්ග, අධිවේගී මාර්ග, වරාය, ගුවන් සේවා, ජලසම්පාදන, විදුලිය, වාරිමාර්ග, නිවාස ඇතුළු ආර්ථික සහ මානව උපයෝගීතා යටිතල පහසුකම් දියුණු කිරීමට කටයුතු කළ යුතුයි.

මෙවන් රාජ්‍ය වියදමක් දැරීමට සිදුවී තිබෙන අවස්ථාවක තමන්ගේම වැටුප පමණක් වැඩිකරන ලෙස ඉල්ලා උද්ඝෝෂණය කරන්නන් සිතා බැලිය යුත්තේ රජය එම අභියෝග ජයගන්නට මුදල් සොයාගන්නේ කෙසේද පිළිබඳවයි. උද්ඝෝෂකයින් රජයට වැටුප් වැඩිකිරීමට ඉල්ලනවා නම් එම වැඩිකරන මුදල් සොයාගන්නා ක්‍රමවේදයකුත්, වැඩපිළිවෙළකුත් පෙන්වා දිය යුතුයි. අනෙක් කරුණ තමයි රාජ්‍ය සේවයේ පවතින කාර්යක්ෂමතාව, ඵලදායිතාව පිළිබඳ ගැටලු.

• හොඳ තැනකට පිවිසියේ. අපේ රටේ රාජ්‍ය සේවය ලෝකයේ අනෙකුත් රටවල රාජ්‍ය සේවය හා සැසඳීමේදී කුමන තත්ත්වයකද පවතින්නේ?

ඇත්තටම දකුණු ආසියාතික රටවල් අතරින් වැඩිම රාජ්‍ය සේවකයින් පිරිසක් නඩත්තු කරන රට ශ්‍රී ලංකාවයි. අපේ රටේ ජනගහනයෙන් සෑම පුද්ගලයින් 15 ‍දෙනෙක් අතරින් එක් අයෙක් රාජ්‍ය සේවකයෙක් වන තරමට අපේ රාජ්‍ය සේවය විශාලයි. එය ලක්ෂ පහළොවක්. මෙවන් විශාල රාජ්‍ය සේවයක් පවත්වාගෙන යාම කොතරම් දුරට ආර්ථික හා සාමාජයීය සංවර්ධනයට උරදෙනවා ද යන්න පිළිබඳව විවෘතව සංවාදයක් ගොඩනැඟිය යුතුයි. අද වන විට අපේ රටේ රාජ්‍ය සේවයේ ඵලදායිතාව සියයට 30 ක මට්ටමක පවතින බවයි වාර්තා වන්නේ. මෙවන් ප්‍රතිශතයක් සහිත ඵලදායිතාවක් ඇතිව රට ඉදිරියට ගෙන යන්නේ කෙසේදැයි රාජ්‍ය සේවකයින්ම පමණක් නොවෙයි ප්‍රතිපත්ති සම්පාදකයින්, පොදු මහජනතාව සිතා බැලිය යුතුයි.

• අපේ රටේ නිදහස් අධ්‍යාපනය, නිදහස් සෞඛ්‍ය සේවාව ගත් විට ලෝකයේ ඉහළම රටවල සංඛ්‍යා දත්ත හා සම මට්ටමක පවතිනවා. නමුත් අපේ ආර්ථික වර්ධනය, ආදායම් අයකිරීම්, සෘජු විදේශ ආයෝජන පහළ මට්ටමකයි තිබෙන්නේ. එසේ නම් මෙම තත්ත්වයෙන් මිදීමට අප වහා කළ යුත්තේ කුමක්ද?

හොඳ ප්‍රශ්නයක් ඇහුවේ. ඇත්තටම අපේ රට දියුණු කිරීමට නම් රටේ රාජ්‍ය අංශය පමණක් නොව පෞද්ගලික අංශයත් එක සේ දියුණු කළ යුතුයි. මේ අංශ දෙකේම ඵලදායිතාව, කාර්යක්ෂමතාව ඇතිකළ යුතුයි. අධික වියදමක් දරා රජය නිදහස් අධ්‍යාපනය, සෞඛ්‍ය සේවා ලබා දෙනවා. මේවායින් පිටවන උගතුන්, බුද්ධිමතුන් නැවත රාජ්‍ය අංශයේම රැකියා බලාපොරොත්තු වෙන්න උවමනා නැහැ කියන එකයි මගේ හැඟීම. අපි ආණ්ඩුවේම රැකියා බලාපොරොත්තු වෙන්න හොඳ නෑ. රජයක්, රටේ ජනතාව‍ගේ රැකියා ප්‍රශ්නයට විසඳුම් ලෙස රාජ්‍ය අංශයේම රැකියා ලබාදීමට යොමුවෙන්න හොඳ නෑ.

• එසේ නම් රජය කළ යුත්තේ කුමක්ද?

ඇත්තටම රජය කළ යුත්තේ රටේ නව රැකියා අවස්ථා බහුලවන ආකාරයට රටේ ආර්ථික යටිතල පහසුකම් දියුණු කිරීමයි. ඒවාගේම මානව සම්පත කුසලතාවයෙන්, හැකියාවෙන් පිරිපුන් පිරිසක් බවට පත්කිරීමයි. ඊට අමතරව නව ලොවට ගැළපෙන අධ්‍යාපන ක්‍රමවේද, තාක්ෂණය, භාෂා දැනුම අපේ දරු දැරියන්ට ලබාදීමයි. රජය රටේ වැඩි වැඩියෙන් රැකියා අවස්ථා බිහිකිරීමට උරදෙන නව ව්‍යාපෘති, කර්මාන්තශාලා, කෘෂිකාර්මික කටයුතු, සේවා පුළුල් කිරීමට ඉඩකඩ සැලසිය යුතුයි. ඒ අවස්ථා ප්‍රයෝජනයට ගෙන දෙස් විදෙස් ආයෝජකයෝ රට තුළට පැමිණ නව ව්‍යාපාර, නව ආයෝජන සිදුකරන තැනට රට තල්ලු කළ යුතුයි. එහිදී රජයේම රැකියා නොව පෞද්ගලික අංශයේ රැකියා අවස්ථා වැඩි වැඩියෙන් බිහිකිරීමට දිරිගැන්විය යුතුයි.

රජයේම රැකියා බලාපොරොත්තු වන අයගේ සිත්වල නව ආකල්පමය වෙනසක් සිදුකළ යුතුයි. තමා සිදුකරන රාජකාරිය, නැතිනම් තමා කරන රැකියාව පෞද්ගලික අංශයේද, රාජ්‍ය අංශයේද කියා වැඩි තැකීමක් නොකොට රටේත්, සමාජයේත් දියුණුවට උපරිමයෙන් සිදුකිරීමට ජනතාව පෙළගැස්විය යුතුයි.

• අපේ රටේ රාජ්‍ය අංශයේ වැටුප් වැඩිකිරීම සමඟින් පෞද්ගලික අංශ‍ෙය් සේවකයන් ද වැටුප් වැඩිකිරීමකට බලපෑම් කළ හැකියි නේද?

ඔව්. ඇත්තටම රාජ්‍ය සේවකයන් පමණක් නොව, පෞද්ගලික අංශයේ සේවය කරන විශාල පිරිසක් රටේ ජීවත්වෙනවා. මේ සියලුදෙනාටම එක සේ දිවිගෙවීමට වැටුප් අවශ්‍යයි. මෙහිදී රාජ්‍ය අංශයට පමණක් වැඩි වැටුප් ලබාදී පිරිසකට එසේ නොකිරීම සමාජයේ නව ප්‍රශ්නයක් මතුකිරීමට හේතු වෙනවා. ඒ නිසා ප්‍රතිපත්ති සම්පාදකයන් මේ දෙපිරිසේම ප්‍රශ්න පිළිබඳව තුලනාත්මකව සිතා බලා විසඳුම් ඉදිරිපත් කළ යුතුයි.

• ලෝකයේ දියුණු රටවල් එම තත්ත්වයන්ට පත්වීමට හේතු වූ කරුණක් වූයේ රාජ්‍ය සහ පෞද්ගලික හවුල්කාරීත්ව ක්‍රමවේදයකට ඒ රටවල රාජ්‍ය අංශයේ වාණිජ ව්‍යාපාර යොමුකර ගැනීමයි. එමෙන්ම පාඩු ලබන රාජ්‍ය ව්‍යවසායන් ලාබදායී ලෙස ගොඩනැඟීමට පෞද්ගලික අංශයේ තාක්ෂණික, මූල්‍යමය, කළමනාකරණමය දැනුම යොදාගැනීමයි. ශ්‍රී ලංකාවේ අපට ඒ දේ කළ හැකිද?

ඉතාම හොඳ යෝජනාවක්. මෙම යෝජනාව දැනටමත් අපේ රටේ කතිකාවකට බඳුන් වෙලා ඇතැම් තැන්වල සාර්ථකව ක්‍රියාවට නැංවීමට පවා පියවර ගෙන තිබෙනවා. කොළඹ වරායේ දක්ෂිණ පර්යන්තය මේ ආකාරයට රාජ්‍ය හා පෞද්ගලික හවුල්කාරීත්ව යෝජනාවක් ලෙස සාර්ථකව ක්‍රියාත්මක වෙනවා. ඒ ආකාරයටම රටේ අනෙකුත් ආර්ථික යටිතල පහසුකම් නංවන ව්‍යාපෘති, පොදු යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘති වුවත් ක්‍රියාත්මක කිරීමට අපට හැකියි. අප එසේ ක්‍රියාවට නැංවීමට ප්‍රමාද වන්නට, ප්‍රමාද වන්නට අපට මුහුණදීමට සිදුවන ආර්ථික අභියෝග ඉහළ යනවා. අපි වහාම රජයට බරක් වන නැතිනම් මහා භාණ්ඩාගාරයෙන් යැපෙන රාජ්‍ය ව්‍යවසායන් ලාභදායී කාර්යක්ෂම ජනතාවාදී සේවා බවට පත්කිරීමට අවශ්‍ය ප්‍රතිසංස්කරණ වහා ක්‍රියාවට නැංවිය යුතුයි.

• අධ්‍යාපන අංශයට දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස 6% ක මුදලක් වාර්ෂිකව වැය කළ යුතු යැයි ඇතැමෙකු යෝජනා කරනවා. ඒ පිළිබඳව ඔබේ අදහස කුමක්ද?

ඇත්තටම අධ්‍යාපනය සඳහා එවැනි ඉහළ ප්‍රතිශතයකින් මුදල් වෙන්කිරීමට ආණ්ඩුවකට බැහැ යන්න මගේ පෞද්ගලික මතයයි. අපේ රටේ වාර්ෂික ආදායම දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස සියයට 14 ක මට්ටමකට ළඟාවී තිබෙන්නේ. සියයට 14 කින් සියයට 6 ක් අධ්‍යාපනයට වෙන් කළොත් ඉතිරි සියයට 8 කින් රටේ ජාතික ආරක්ෂාව, යටිතල සංවර්ධනය, රාජ්‍ය සේවක පඩිනඩි ගෙවීම්, ජනතා සුබසාධනය වැනි කටයුතු සඳහා වැයකිරීමට හැකියාව ලැබෙයිද? මේ නිසා මෙවන් යෝජනාවන් කරන අය ප්‍රායෝගිකව රටේ ආදායම, වියදම් පිළිබඳව සිතා බලා ඒවා ඉදිරිපත් කළහොත් හොඳයි යන්න මගේ අදහසයි.

 

සේයාරුව - සමන්ත වීරසිරි

Comments