ලේලි කළ අප­හා­ස­යට පළි­ ගන්න නැන්දම්මා ප්‍රේති­යක වී ඉපදී දුන් දුක් ක­ර­දර | සිළුමිණ

ලේලි කළ අප­හා­ස­යට පළි­ ගන්න නැන්දම්මා ප්‍රේති­යක වී ඉපදී දුන් දුක් ක­ර­දර

 

 

දැනු­මෙන්, උග­ත්ක­මෙන්, ශක්ති­යෙන් බල­යෙන්, නවී­ක­ර­ණ­යෙන් තමන් මවු­පි­යන්ට, වැඩි­හි­ටි­යන්ට වඩා පරි­පූර්ණ යැයි සම­හර තරුණ තරු­ණියෝ සිතා සිටිති. තමන් ලෙයින් පෝෂ­ණය කළ මවු­පි­යන් විය­පත් වූ විට අව­ලංගු තඹ දොයිතු කාසි තත්ත්ව­යට ඇද දමති. නොතකා හරිති. පිළි­කුල් කරති.

බළ­න්ගොඩ ප්‍රදේ­ශයේ වැද­ගත් පර­පු­රක තරු­ණි­යක් තමන් පාවිච්චි කරන තුවා­යෙන් මහලු පියා මුහුණ පිස දමනු දැක කෝපා­වි­ෂ්ටව තුවාය පියාගේ මුහු­ණට දමා ගැසු­වාය. පියා ඉතා අස­ර­ණව කඳුළු හෙළීය. ඒ තරු­ණිය වය­ස්ග­තව මර­ණා­සන්න මොහොතේ එම සිද්ධිය චුති සිතට සිහි­පත්වී මර­ණ­යට පත්ව නිවස ඉදි­රි­පිට මහ කොස්ග­හ­යට නිරු­වත් ප්‍රේති­යක වී ඉපද දුක් වින්දාය. අප­වත්වී වදාළ බළ­න්ගොඩ ආනන්ද මෛත්‍රය මහා නාහි­මි­පා­ණන් වහන්සේ හේතු­ඵල දහම පිළි­බඳ කළ ගවේ­ෂ­ණ­ය­කදී ඒ සිද්ධිය අනා­ව­ර­ණය කළහ.

හලා­වත සුරං­ගනී හැට හැවි­රිදි ගෘහි­ණි­යකි. ස්වාමි පුරු­ෂයා මිය ගොස්ය. එක ම පුතා ශාන්ත ඉංජි­නේ­රු­වෙකි. සුරං­ගනි මුත්‍රා­ශයේ අස­නී­ප­ය­කින් පෙළෙයි.

වෛද්‍ය පරී­ක්ෂ­ණ­ව­ලට අනුව ඇයට එවැනි රෝග­යක් නැතැයි වෛද්‍ය­වරු කියති. එහෙත් ඇයට නොදැ­නු­වත්ව මුත්‍ර පිට­වීම සිදු­වෙයි. ඇය වෙතින් මුත්‍ර ගඳ වහ­නය වෙයි. සම­හර වේලා­වට දරුණු මුත්‍ර අඩ­ස්සි­යක් සෑදී යටි බඩ දරුණු වේද­නා­ව­කට පත් කර­මින් පිට වෙයි. ඇයට ගම­නක් යන්නට නොහැ­කිය. වාහන තුළ මුත්‍ර පිට­වෙයි. පන්ස­ලට යන්නට නොහැ­කිය. සිල් සමා­දන් වීමට යා නොහැ­කිය. මළ ගෙද­ර­කට, මඟුල් තුලා­ව­කට, සමිති සමා­ග­මට යා නොහැ­කිය. හදි­සිම ගම­නක් යන්නේ මුත්‍රා­ව­රණ යට ඇඳු­මක් ඇඳ­ගෙ­නය. එය ද මුත්‍ර­ව­ලින් තෙත­බරි වීම නිසා මහත් අප­හ­සු­තා­ව­කට පත් වෙයි.

දේශීය වෛද්‍ය ප්‍රති­කා­ර­ව­ලින් ද ඉංගි­රිසි වෛද්‍ය ප්‍රති­කා­ර­ව­ලින් ද සුව­යක් නොවූ විට මනෝ වෛද්‍ය­ව­රුන් වෙත ගෙන ගිය ද සුව­යක් නොවීය. රාත්‍රි නින්දක් ද නැත. අත පය වේද­නා­ව­ලින් ද දුක් වින්දාය.

අව­සා­නයේ “සිළු­මිණ” පාඨක ඥාති­යෙ­කුගේ උප­දෙ­සක් මත ඇතු­ල්කෝට්ටේ ගුප්ත ගවේ­ෂණ මධ­ය­ස්ථා­නය කරා ශාන්ත ඇය කැඳ­වා­ගෙන ආවේය. ආධ්‍යා­ත්මීය උප­දේ­ශ­ක­ව­රයා ඉදි­රි­යට ගිය සැටියේ ම ඇය බඩ අල්ලා­ගෙන වේද­නා­වෙන් කෑ ගසා සිහි­සුන්ව ඇද වැටු­ණාය.

ඇයට අම­නුෂ්‍ය බල­පෑ­මක් ඇතැයි නිග­ම­නය කළ ගවේ­ෂ­ක­ව­රයා දින විසි එකක් ගමේ පන්සලේ දි බෝධි පූජා පවත්වා නැවත එන්නැයි උප­දෙස් දුන්නේය.

උප­දෙස් පරිදි බෝධි පූජා පවත්වා ඔවුහු නැවත පැමි­ණි­යහ. එදින ප්‍රති­කාර සඳහා පරී­ක්ෂණ කරන විට සුරං­ග­නීට භූතා­ත්ම­යක් ආවිෂ්ට වූවාය. ගවේ­ෂ­ක­ව­රයා භූතා­ත්ම­යෙන් ප්‍රශ්න කිරීම් ආරම්භ කළේය.

“කවුද මේ ශරී­ර­යට ඇතු­ළු­වෙලා ඉන්නේ?” යි ඇසීය.

“මම ලිසි­නෝනා” ප්‍රේතිය කීවාය.

“කවුද ලිසි නෝනා කියන්නේ?”

“මේකිගේ නැන්දම්මා. මේකි මගේ පුතාගේ ගෑනි.”

“කොයි කාලෙද මැරුණෙ?”

“මීට අවු­රුදු තිස් පහ­කට විතර කලින්.”

“මොනවා වෙලාද මැරුණේ?”

“මුත්‍ර අස­නී­ප­ය­කින්.”

“ඇයි මේ ලේලිට කර­දර කරන්නේ?”

“පළි­ගන්න. පළි­ගන්න.”

“ඇයි මෙයා මොන වර­දක් කළා­ටද?”

“මහ­ත්තයා මට වයස් ගත වුණාම මුත්‍ර අස­නී­ප­යක් හැදුණා. නිදි­යන ඇ‍ඳේ ම මට මුත්‍ර පිට­වුණා. මට හරි­හ­මන් ප්‍රති­කා­ර­යක් කළෙත් නෑ. මේකි මට නිතර ම “හුජ්ජ ගෑනි” කියලා තමයි කිව්වේ. මගේ ම ඉඩමෙ මගේ ම ගෙදර ඉඳ­ගෙන මට අප­හාස කළා. මම මට අප­හාස කරන නිසා ජීවත්ව ඉන්දැ­ද්දිත් පළි­ගත්තා.”

“ඒ කො‍ෙහා­මද?”

“මගේ පුතා සැරයි. මේකි පුතාට බයයි. ඒ නිසා මමත් ඕනෑ­ක­මින් ම ඇ‍ඳේ මුත්‍ර කළා. මුත්‍ර ගඳ එන නිසා මේකි ලවා රෙදි හෝද­වන්න. ගේ හෝද­වන්න මම ගෙයි ම මුත්‍ර කළා. යන්තම් මුත්‍ර ගඳක් දැනු­ණොත් පුතා ලවා බන්න­වන්න මම ඒ වැඩේ කළා.”

“ඉතින්?”

“ඉතින් ඊට පස්සෙ මම මැරුණා. මැරිලා මේකිගේ මුත්‍රා­ශය අල්ලා‍ගෙන උපන්නා. මම දැන් මේකිට ගම­නක් බිම­නක් යන්න දෙන්නෙ නැහැ. සබා­ව­කට යන්න දෙන්නෙ නෑ. මුත්‍ර කර­ව­නවා.”

“ඔබේ කර්ම විපා­ක­ය­කට ඔබට මුත්‍ර රෝග­යක් හැදුණා. මුත්‍ර පිට­වුණා. මෙයා අප­හාස කළා නම් ඒක වැර­දියි. තමන්ගේ අම්මාත් එකයි. ස්වාමි පුරු­ෂ­යාගේ අම්මත් එකයි. අප­හාස කිරීම වර­දක් බව මමත් පිළි­ග­න්නවා. ඒත් ඔබ ජීවත්ව ඉන්දැද්දි මෙයා­ගෙන් පළි­ග­ත්තානෙ. ඒ මදැයි. මෙයා ස්වාමි පුරු­ෂ­යාට බයේ හරි නිතර සුද්ධ පවිත්‍ර කළානෙ. ඒ දඬු­වම ම මදිද? වෛර­යෙන් පළි­ගත්තා. ඒ වෛරී චේත­නාව නිසා ප්‍රේති­යක් වෙලා උපන්නා. තවත් කෙනෙ­කුගේ මුත්‍රා­ශ­යක ඉප­දීම කොයි තරම් දඬු­ව­මක් ද? විපා­ක­යක් ද? පළි­ගැ­නීමේ දරුණු චේත­නාව, බල­වත් නිසා ඔබට වැට­හෙන්නේ නෑ. ඒක ඔබ­ටත් දඬු­ව­මක්. ඔබට ලැජ්ජා නැද්ද? ඔබේ ‍මෝහය නිසා, ඒක වැට­හෙන්නේ නෑ. ඔබත් මහා දඬු­ව­මක් විඳින්නේ. ප්‍රේති­යක් වෙලා ඉප­දුණ එකත් විපා­ක­යක්. දඬු­ව­මක්.

මෝහ­යෙන් අන්ධ වෙලා නිසා දකින්නේ නෑ. මේ අය ලවා දානක් දී පින් අනු­මෝ­දන් කර­ව­න්නම්. මේ අය අත­හැර දමා හොඳ තැන­කට යන්න. තරහ වෛර අත­හැර පින් දහම් කරන තැන­කට ගිහින් පිනට දහ­මට හිත යොමු කරන්නැ”යැයි ප්‍රේති­යට අව­වාද කළේය.

තමන් කළ පාප­යට දිට්ඨ ධම්ම වේද­නීය විපා­ක­යක් ලැබී ඇති බව සුරං­ග­නීට ද වටහා දී නිවසේ දී සාංඝික දාන­යක් පිරි­නමා සංසා­ර­ගත සියලු ඥාතීන්ට පින් අනු­මෝ­දන් කොට දෙව­නුව ලිසි­නෝ­නාගේ නම කියා පැන් වඩා පින් අනු­මෝ­දන් කොට නැවත එන ලෙසත්, ඒ එන­විට පල­තුරු වට්ටි­යක් රැගෙන එන ලෙසත් නියම කළේය.

දානය පිරි­නමා පින් අනු­මෝ­දන් කොට ඔවුහු නැවත පැමි­ණි­යහ.

ප්‍රේතිය පල­තුරු වට්ටි­යට සම්බන්ධ කොට ඔවුන් අතම කැල­ණි­යට යැවීය.

හේතු ඵල දහ­මට එළ­ඹෙන දුක් කර­දර ගළපා ණය වින­යෙන් නිද­හස් වීමෙන් දුර්වි­පාක මඟ හරවා ගත හැකිය.

Comments