ලොවම කැලඹූ හබරණ අලි මරණවල විසඳෙන අභිරහස | Page 2 | සිළුමිණ

ලොවම කැලඹූ හබරණ අලි මරණවල විසඳෙන අභිරහස

සර 70ක් පිරෙන වන ජීවී සංර­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව මුහුණ දුන් බල­වත්ම ඛේද­වා­ච­ක­යට පසු­ගිය සතියේ වන ජීවී බල­ධා­රින්ට මුහුණ දීමට සිදු විය.

සීගි­රිය වන ජීවී කලා­ප­යට අයත් හබ­රණ හිරි­ව­ඩුන්න තුන්බි­කු­ලම රක්ෂි­තයේ ඇති­න්නි­යන් හත් දෙනකු මිය යෑම ඒ සෝච­නීය සිදු­වී­මයි. එම ස්ථානයේ පසු­ගිය 28 දා සොයා­ගත් එක් ඇති­න්නක අසල සිටි වසර 4ක් වය­සැති අලි පැට­වකු තම මිය­ගිය අම්මා­ගෙන් කිරි උර­න්නට උත්සාහ දැරීම. ඒ අව­ස්ථාව දුටු කාගේත් ඇස් කඳු­ළෙන් බර­වී­මට හේතු­වක් විය. පසුව ඒ පැටවා මිය­ගිය ඇති­න්නගේ මුඛය අසල තම සිරුර හා තම හොඬය අතු­ල්ල­මින් මිය­ගිය අලි අම්මා නැගි­ට්ට­වන්න උත්සාහ ගන්නා අයු­රුත් ඒ අව­ස්ථාවේ එහි සිටි අයට හද කම්පා කර­වන දසු­නක් විය.

මේ පිළි­බ­ඳ තොර­තුරු අනුව මේ හබ­රණ තුන්බි­කු­ලම රක්ෂි­තයේ සිටින අලි ඇතුන් රංචුව ප්‍රචණ්ඩ නැති සාම­කාමි අලි රංචු­වකි. වැඩි­පුර කැලේම සිටි මේ අලි ඇතුන් කැල­යෙන් එළි­යට ආවේ දඹුල්ල දිග­ම්ප­තන ප්‍රදේ­ශයේ වළ­වල කුණු කෑමට පමණි. මේ අලි ඇතු­න්ගෙන් අවට ගම්වැ­සි­යන්ට ලොකු හානි­යක් නැත. මේ නිසාම ගම්වා­සීන් තම හේන් වගා කර අව­සන් වූ පසු ලැබෙන අව­සන් අස්වැන්න මේ අලි­න්ටම කෑමට අත්හැ­රී­මද පාර­ම්ප­රි­කව සිදු­වෙන ක්‍රියා­දා­ම­යකි.

එවන් අයු­රින් ජීවත් වුණු මේ අලි ඇතුන් හට මෙවන් විප­තක් සිදු­වීම ඉතාම අවා­ස­නා­වකි.

මේ ඇති­න්නි­යන් පිළි­බ­ඳව පශ්චාත් මරණ පරී­ක්ෂ­ණ­වලට එක්වූ වන ජීවී සංර­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ ජ්‍යෙෂ්ඨ පශු වෛද්‍ය චන්දන ජය­සිංහ මහතා පැව­සුවේ මේ සතුන් මැරෙන අව­ස්ථාවේ දැඟ­ලී­මක් සිදුවී ඇති බවට කිසිම ලක්ෂ­ණ­යක් නැති බවයි.

“ඒ අයට බාහිර තුවාල තිබුණේ නැහැ. එක සතෙ­කුගේ බඩේ පම­ණක් කැකිරි ගෙඩි­යක කැබලි තිබුණා. අනිත් ඇති­න්නිය‍න්ගේ බඩේ තිබුණේ තණ­කොළ විත­රයි. ඉන් ඇති­න්නි­යන් දෙදෙ­නෙක් ගැබ්බ­රව සිටියා. අනෙක් ඇති­න්නි­යන්ට කුඩා පැට­වුන් සිටියා. ඔවුන්ට කිරි එරී තිබුණා.” වෛද්‍ය චන්දන ජය­සිංහ කීය.

මේ අතර ඇති­න්නි­යන් මැරී සිටි ස්ථාන­යට ආස­න්නයේ සිටි නිවා­ස­වල ජන­තාව පව­සන්නේ එදින රාත්‍රි අලි දරුණු ලෙස කෑගැසූ බවයි. පසුව ඒ ප්‍රදේ­ශය පරීක්ෂා කළ පසුව ඒ ජන­තා­වට දැක­ගත හැකිවී ඇත්තේ ජලය බහු­ලව ඇති ස්ථාන­වල අලි ඇතුන් බහු­ලව ගැවසී ඇති බවයි. මේ අනුව මේ සතුන් එදින වැඩි­යෙන් ජලය පානය කර ඇති බවට නිද­සුන් බහු­ලව තිබේ.

අලි ඇතුන් පිළි­බ­ඳව වසර ගණ­නා­වක් පර්යේ­ෂණ කළ තුවාල වූ හා දරුණු අලින් පිළි­බ­ඳව වසර 30ක් පමණ කට­යුතු කළ වන ජීවී සංර­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ හිටපු නියෝජ්‍ය වන ජීවී අධ්‍යක්ෂ දොස්තර නන්දන අත­පත්තු මහතා පව­සන්නේ මේ ලක්ෂණ අනුව මේ අලින්ට ඉතා උග්‍ර විසක් ශරී­ර­ග­ත වී මේ මරණ සිදුවී ඇති බවයි.

“මේක රෝග­යක්, විෂ බීජ­යක් යූරියා වැනි දෙයක් ශරී­ර­ග­ත වී සිදුවූ දෙයක් නෙමෙයි. රෝග­යක් ඇති­වුණා නම් අලි කෙට්ටු වෙලා වැටි වැටි ඇවි­දලා මැරෙ­නවා. යූරියා වගේ පොහොර වැනි දෙයක් කැවුණා නම් අලින්ට බඩ­ගි­හිල්ලා වැටි­ලයි මැරෙන්නේ. එවැනි අව­ස්ථා­ව­ලදි මැරෙන්න පෙර විවිධ ස්ථාවල වැටී දඟ­ල­නවා. සතෙක් දෂ්ට කළා නම් ඒ සතා මේ ඇති­න්නි­යන් 7 දෙනා­ටම දෂ්ට කරන්න ඉඩක් නැහැ.

අපේ වන ජීවී සංර­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ ඉති­හා­ස­ය­ටම මෙහෙම දෙයක් වාර්තා වෙලා නැහැ. මෙහෙම අලි සමූ­හ­යක් මැරිලා නැහැ. මෙත­නසි මේ අලි එක්ව­ර­ටම මැරිලා වැටිලා තිබෙන බවයි පේන්නේ. මේ අනුව නම් ආස­නික් හෝ සයනයිඩ් වැනි උග්‍ර විසක් ක්ෂණි­කව එක්ව­රම ශරී­ර­ග­තවී තිබෙ­නවා. බොන වතු­රට මේ උග්‍ර විෂ දම­න්නත් පුළු­වන්. ඒත් ඒ ජල මූලා­ශ්‍ර­වල ඉන්නා මාළු හා කැලේ පුංචි සතුන් අනි­වා­ර්යෙන්ම මැරෙන්න ඕන. නමුත් එහෙම දෙයක් සිදු­වෙලා නැහැ. අලින්ට බෙහෙත් විදින තුව­ක්කු­වක සිරි­න්ජ­ර­යක් මඟින් අලින්ට උග්‍ර විසක් එක්ව­රම විදින්න පුළු­වන්. හැබැයි එක අලි­ය­කුට ඒ සිරි­න්ජ­රය වැදුන විට ඒ අලියා දුව­නවා. එවිට අනිත් අයත් දුව­නවා. එන­මුත් එක්ව­රම අලුත් සිරි­න්ජර 7කින් මේ අලින්ට විද්දොත් සේරම එක­ව­රම මැරෙ­නවා.

මේ ඇතුන් ගමන් කරන ප්‍රදේ­ශ­ය­කට අලි ආහා­ර­යට ගන්න කොමඩු වට්ටක්කා වගේ බෝග­ය­කට පල­තු­ර­කට උග්‍ර විසක් කල­ව­ම්කර තබා ඒවා අලින්ට කන්න දීලත් මේ මර­ණය කරන්න පුළු­වන්. ඒත් එක අලි­ය­කුගේ බඩේ පම­ණයි කැකිරි කෑලි තිබිලා තියෙන්නේ.” වෛද්‍ය නන්දන අත­පත්තු පව­සයි.

හැබැයි ඉතින් පශ්චාත් මරණ පරී­ක්ෂ­ණය කරන විට අර වස විස අඩංගු පල­තුරු හා එළ­වළු බෝග කොටස් ජීර්ණය වී තිබු­ණාද දන්නේ නැහැ. අත­පත්තු මහතා පව­සයි. කෙසේ වුවත් වෛද්‍ය නන්දන අත­පත්තු මහතා අව­ධා­ර­ණය කරන්නේ මෙහිදී අනි­වා­ර්යෙන්ම මානව ක්‍රියා­කා­ර­ක­මින් මේ සතුන්ට උග්‍ර විෂ රසා­ය­න­යක් ශරී­ර­ගත කර ඇති බවයි.

මේ පිළි­බ­ඳ තව­දු­ර­ටත් අද­හස් දක්වන නන්දන අත­පත්තු මහතා පව­සන්නේ අලින්ගේ පශ්චාත් මරණ පරී­ක්ෂ­ණ­ව­ලදි මෙයට හේතුව සොයා ගැනී­මට අප­හසු නම් ඒ ශරීර කොටස් ගන්නො­රුව පශු වෛද්‍ය පර්යේ­ෂණ ආය­ත­න­යට යැවීම සුදුසු බවයි.

මේ පිළි­බ­ඳව කරුණු දක්වන වන ජීවී අධ්‍යක්ෂ ජන­රාල් චන්දන සූරිය බණ්ඩාර මහතා පව­සන්නේ මේ ඇතුන්ගේ මරණ කාබො­නියු­රාන් වැනි විෂ රසා­ය­න­යක් ශරී­ර­ගත වීම නිසා සිදුවී ඇති බවට සැක සිති­ය­හැකි බවයි.

මේ ප්‍රදේ­ශයේ උඩ­රට එළ­වළු වගා කරන ස්ථාන බහු­ලව තිබෙ­නවා. ඒවාට උග්‍ර විෂ රසා­ය­නික ගහ­නවා. ඒවා මේ අලින් ආහා­ර­යට ගැනීම නිසා ශරී­ර­ගත වීමෙන් මේ මරණ ඇති­වී­මට ඉඩ තිබෙ­නවා. කෙසේ වෙතත් රස පරී­ක්ෂක දෙපා­ර්ත­මේ­න්තුවේ හා පශු පර්යේ­ෂණ ආය­ත­නයේ පර්යේ­ෂණ වාර්තා ප්‍රති­ඵල අනුව අවශ්‍ය තීර­ණය ගන්න පුළු­වන් වේවි.

රස පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ හා පශු පර්යේ­ෂණ ආය­ත­නයේ මූලික වාර්තා අනුව තීර­ණය වී ඇත්තේ ‍ෙම් සතුන්ට උග්‍ර විෂක් ශරී­ර­ග­තවී තිබෙන බවයි. නමුත් ඒ විෂ කුමක්ද එය මිනි­සුන් විසින් කළාද මිනි­සුන්ගේ සම්බ­න්ධ­යක් නැතුව ශරී­ර­ග­තවූ දෙයක් ද කියා ඉහත ආය­ත­න­වල පරී­යේ­ෂණ නිල­ධා­රින් දීර්ඝව සොයා බල­නවා. පසු­ගිය දින­වල ස්ථානීය පරී­ක්ෂ­ණ­යක් කිරී­මට මේ ප්‍රදේ­ශ­ව­ලට පර්යේ­ෂණ නිල­ධා­රින් ගොස් තිබෙ­නවා. ඉක්ම­නින්ම එම පර්යේ­ෂණ ප්‍රති­ඵල නිකුත් කරන්න හැකි­වේවි.

මේ පිළි­බ­ඳව අද­හස් දක්වන හිටපු වන ජීවී අධ්‍ය­ක්ෂ­ව­ර­යකු හා වන ජීවී සංර­ක්ෂණ අමා­ත්‍යාං­ශයේ හිටපු උප­දේ­ශ­ක­ව­ර­යකු වන කොළඹ විශ්වවිද්‍යාලයේ පරිසර විද්‍යා සම්මානිත මහා­චාර්ය සරත් කොට­ගම මහතා පැව­සුවේ “දඹුල්ල වෙළෙඳ මධ්‍ය­ස්ථා­නයේ කුණු වළ­වල දමන දිග­ම්ප­තන ප්‍රදෙ­ශ­යේදි මේ ඇති­න්නි­යන්ට උග්‍ර විෂක් ශරී­ර­ග­තවීමට ඉඩ ඇති බවයි. මේ ස්ථාන­යට කවුරු හෝ දමන ලද කෘමි­නා­ශක හෝ වල්නා­ශක වැඩි­පුර දැමූ එළ­වළු නිසා හෝ කෘමි­නා­ශක හෝ වල්නා­ශක බෝත­ල­යක් බිඳී එළ­ව­ළු­ව­ලට මිශ්‍ර­වීම නිසා මේ මරණ සිදු­වී­මට පුළු­වන්. මේක අපේ රටේ වන ජීවී ඉති­හා­සයේ සිදු­වෙච්චි අවා­ස­නා­වන්ත සිදු­වී­මක්. මෙවැ­න්නක් මීට කලින් සිදු­වෙලා නැහැ.

ඒ නිසා මේ පිළි­බ­ඳව අපි දැඩි අව­ධා­නය යොමු කළ යුතුයි. කෙසේ වුවත් රස පරී­ක්ෂක දෙපා­ර්ත­මේ­න්තුව හා පශු පර්යේ­ෂණ ආය­ත­නය මඟින් අව­සන් පර්යේ­ෂණ වාර්තා නිකුත් ‍කරන තෙක් මේ පිළි­බ­ඳව අපට කිසි­වක් ස්ථිරව කියන්න බැහැ. කෙසේ වුවත් මේ පිළි­බ­ඳව ඉහත සියලු ආය­තන පුළුල් පර්යේ­ෂණ කළ යුතුයි.” මහා­චාර්ය සරත් කොට­ගම පව­සයි.

මේ අතර හබ­රණ ප්‍රදේ­ශයේ පව­ත්වා­ගෙන යන අලි සෆාරි ව්‍යාපා­ර­වල හා නීති විරෝධි වනාන්තර විනාශ කරන ජාවාරම්කරුවන් අතර අභ්‍ය­න්තර ගැටු­ම්වල ප්‍රති­ඵල ලෙස මේ ඇති­න්නි­යන් මරා දැමී­මට හේතුවී ඇතැ­යිද රාව­යක් පවතී. කෙසේ වුවත් එහි සත්‍ය බවට ස්ථිර වී නැති නමුත් අද හබ­රණ ප්‍රදේ­ශයේ වාහන 1000කට අධික පිරි­සක් මේ අලි සෆා­රි­වල යෙදෙති. ඒ එකි­නෙකා අතර බල­වත් තර­ග­යක් පව­තින බවට ඔවුන්ට දේශ­පා­ලන හා බල­පු­ළු­න්කාර පාතාල සම්බ­න්ධතා තිබෙන බවට ද හබ­රණ ප්‍රදේ­ශ­වා­සිහු ද පව­සති. අපේ වාර්තා­ක­රු­වන් පව­සන පරිදි හා ප්‍රදේ­ශ­වා­සින්ගේ අද­හස් අනුව අපේ රටේ සුන්දර පරි­ස­රය කාබා­සි­නියා කර­මින් හා අලි පර­පු­රට හානි කර­මින් සල්ලි පසු­පස හඹා යන මේ ව්‍යාපාර පිළි­බ­ඳව කිසි­යම් නියා­ම­න­යක් කිරී­මට වන ජීවී බල­ධා­රින් අව­ධා­නය යොමු කර නැත.

හබ­රණ ප්‍රදේ­ශයේ පරි­සර ලෝලීන් හා ගොවි සංවි­ධාන නාය­ක­යන් පව­සන කරුණු අනුව ප්‍රදේ­ශයේ දේශ­පා­ල­න­ඥ­ය­කුගේ ජාවා­ර­ම්කාර හිත­ව­තුන් පිරි­සක් මේ ඇති­න්නි­යන්ගේ මරණ පිටු­පස සිටින බවට වාර්තා­වෙයි. ඒ පිරිස හබ­රණ, හිරි­ව­ඩුන්න ප්‍රදේ­ශයේ වනා­න්තර විනා­ශය හා නීති විරෝධී මත්පැන් පෙරීම ඇතුළු නීති වි‍රෝධී ක්‍රියා රැසක් සිදු කරන බවත් අලි ඇතු­න්ගෙන් හා සෆාරි වාහනවලින් ඒවාට සිදු­වන බාධා වැළැ­ක්වී­මට මෙම අලි මරා දමා ඇති බවත් ඔවුහු පෙන්වා දෙති. සාමාන්‍ය සම්ප්‍ර­දාය අනුව මේ ආකා­ර­යෙන් අලි ඇතුන් මැරුණු විට ඒ ප්‍රදේ­ශ­යට වෙනත් අලි ඇතුන් සංක්‍ර­ම­ණය වීම අඩු­වන බව ද පෙන්වා දෙන ගොවි සංවි­ධාන මේ තත්ත්වය වැළැ­ක්වී­මට වන­ජීවී සංර­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව පම­ණක් නොව විශේෂ කාර්ය බළ­කාය පවා ඒ වනා­න්ත­රය පරීක්ෂා කිරී­මට යෙද­විය යුතු බව කියයි.

මේ ජාවා­ර­ම්කාර පිරිස මීට මස­කට පමණ පෙර කලා­වැව ජාතික වනෝ­ද්‍යා­නය බලෙන් වසා දමා ඇති බවත් ඊට පසු කලා­වැව අසල සිටි වන අලින් අලි වෙඩි දමා පළවා හැර ඇති බවත් ප්‍රදේ­ශ­වා­සීහු කියති. මේ කරුණු නිසා වන­ජීවී නිල­ධා­රීන් සමඟ මේ ජාවා­ර­ම්ක­රු­වන් වරින් වර ගැටලු ඇති කර­ගෙන ඇති බවත් පසුව ජාවා­ර­ම්ක­රු­වන් පොලිස් නිල­ධා­රීන්ට තර්ජ­නය පවා කර ඇති බවත් පරි­ස­ර­වේ­දීහු පෙන්වා දෙති.

හබ­රණ මිය ගිය ඇති­න්නි­යන්ගේ ශරීර කොටස් පරීක්ෂා කිරී­මට යවා ඇති ගන්නො­රුව පශු වෛද්‍ය පර්යේ­ෂණ ආය­ත­නයේ ඉහළ නිල­ධා­රීන් පැවැ­සුවේ අදාළ ඇති­න්නි­යන් මිය­ගිය ආකා­රය පිළි­බඳ පර්යේ­ෂණ ප්‍රති­ඵල ලබා­දී­මට තව දින තුන හත­රක් යනු‍ ­ඇති බවයි.

ඊට අම­ත­රව පසු­ගිය දින­වල ඌරු කොටු­වල ගැබිනි ඊරි­යන් මිය යෑමේ වසං­ග­ත­යක් ද ඒ ප්‍රදේ­ශ­වල තිබිණි. ඒ වසං­ගත රෝගය අලි­න්ටත් ආවා­දැයි සැක­යක් දැන් මතුවී ඇත.

වන ජීවී අධ්‍යක්ෂ ජන­රාල් චන්දන සූරියබණ්ඩාර මහතා පව­සන්නේ පසු­ගිය මස 21 ඇතු­ළත අලි මිනිස් ගැටුම් නිසා අලි 559ක් හා මිනි­සුන් 163ක් මිය­ගොස් ඇති බවයි.

ඒ අනුව මේ වසරේ මුල් මාස 9 තුළ පම­ණක් අලි 240ක් මිය ගොස් ඇති බවද වාර්තා වෙයි.

මේ අතර පොළො­න්න­රුව වන ජීවී කලාප බාර සහ­කාර අධ්‍යක්ෂ ඩබ්.ඩී.එම්.එස්. වික්‍ර­ම­සිංහ මහතා පැව­සුවේ ද බාහිර තුවාල නැති හා අභ්‍ය­න්තර ලෙස වස විසක් පිළි­බ­ඳව නොපෙ­නෙන මෙවැනි සතුන් මිය­යාම පිළි­බ­ඳව ඉතා සියුම් ලෙස ජීව විද්‍යා­ත්මක පරී­ක්ෂණ කළ යුතු බවයි.

කෙසේ වුවත් පොලො­න්න­රුව වන ජීවි කලා­ප­වල 2019 වස­රේදි අලි 71ක් මර­ණ­යට පත්වී ඇති බවත් 2018 දී අලි 76ක් මර­ණ­යට පත්වී ඇති බවත් වික්‍ර­ම­සිංහ මහතා පව­සයි.‍

‍‍අලුත් තොර­තුරු අනුව පරි­ස­ර­වේ­දීන් හා ප්‍රදේ­ශ­වා­සීන් පව­සන්නේ හබ­රණ ගිරි­ව­ඩුන්න ප්‍රදේ­ශයේ කැලෑ­බ­දව පව­තින ‍ෙහාර සුරා මත්පැන් ව්‍යාපා­ර­වල විෂ මත්පැන් බීම නිසා මේ අලි හිටි­අ­ඩියේ මිය යන්නට ඇති බවයි.

මේ පිළි­බ­ඳව අපට කරුණු දැක්වූ පරි­සර යුක්ති කේන්ද්‍රය ජෛව විවි­ධත්ව සංර­ක්ෂණ මධ්‍ය­ස්ථා­නය, වන සත්ත්ව හා ස්වභාව ආර­ක්ෂක සංග­මය, වන ජීවි සංර­ක්ෂණ සංස­දය, සත්ත්ව සුබ­සා­ධන බාරය, වන ජීවී සංර­ක්ෂණ සංග­මය යන වැනි රාජ්‍ය නොවන පරි­සර සංවි­ධා­න­වල නිල­ධා­රින් පැව­සුවේ මේ අලි මරණ පිළි­බ­ඳව ජීව විද්‍යා­ත්මක හා සර්ව සම්පූර්ණ අප­ක්ෂ­පාත පරී­ක්ෂ­ණ­යක් කර සත්‍යය හෙළි­ක­ර­ගත යුතු බවයි.

හබ­රණ හිරි­ව­ඩුන්න, තුම්බි­කු­ලම රක්ෂි­තය තුළ සිදුවූ ඇති­න්නි­යන්ගේ මර­ණ­වල සුල­මුල සෙවුම අප­රාධ පරී­ක්ෂ­ණ­යක් සේ සලකා පරී­ක්ෂණ කට­යුතු සිදු කරන ලෙස පරි­සර යුක්ති කේන්ද්‍රය (CEJ) අදාළ වග­කි­ව­යු­ත්ත­න්ගෙන් ඉල්ලා සිටී. ඒ අනුව එම කට­යුතු අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව (CID) යට­තට පව­රන මෙන් පරි­සර යුක්ති කේන්ද්‍රය ඉල්ලා සිටී. මෙම ඉල්ලීම සිදු­ක­රන්නේ තම පටු අර­මුණු ඉටු කර ගැනීමේ අභි­ලා­ෂ­යෙන් ක්‍රියා කරන සම­හර පිරිස් මෙම මිහි­ත­ලය නොරු­ස්සන මේ අප­රා­ධය පිටු­පස සිටින බවට අදාළ අංශ මේ වන­වි­ටත් තොර­තුරු හෙළි කර­ගෙන ඇති බැවිනි.

මෙය ස්වාභා­වි­කව සිදු­වූ­වක් නොව උග්‍ර විෂ වර්ග­යක් ශරීරගත ­වී­මට ඉඩ හැරී­මෙන් සිදු කර ඇති මර­ණ­යන් ය. මෙය සිදු කළේ කවුද? ඒ කාගේ උව­ම­නා­වක් වෙනු­වෙන් ද? යන්න පිළි­බ­ඳව සැක හැර දැන­ගත යුතුව ඇති බවද පරිසර යුක්ත කේන්ද්‍රය අවධාරණය කරයි.

මේ පිළි­බ­ඳව කරුණු දැක්වූ වන ජීවී සංර­ක්ෂණ භාරයේ පරි­ස­ර­වේදි සජීව චාමි­කර මහතා පැව­සුවේ මේ අලි මරණ පිළි­බ­ඳව වන ජීවී සංර­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව, රස­ප­රී­ක්ෂක දෙපා­ර්ත­මේ­න්තුව හා පශු වෛද්‍ය පර්යේ­ෂණ ආය­ත­නය, පශු වෛද්‍ය පීඨය ආදි ආය­ත­න මෙන්ම පොලි­සිය හා අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව එක්වී ඒකා­බද්ධ අප­ක්ෂ­පාත පරී­ක්ෂ­ණ­යක් කළ යුතු බවයි.

අපේ රටේ වන ජීවී ක්ෂේත්‍රයේ සිදුවූ ලොකුම අලි ඛේද­වා­ච­කය පිළි­බ­ඳව රජ­යද දැඩි පිය­වර ගැනීමට සූදා­න­මින් සිටී. ඒ අනුව ඉදි­රි­යේදී මේ පිළි­බඳ සැබෑ විද්‍යා­ත්මක තොර­තුරු අපට හෙළි වනු ඇතැයි අපි අපේක්ෂා කරමු. ඒ සඳහා වන ජීවී සංර­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව හා අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව ද පූර්ණ සහාය දෙනු ඇතැයි අපේක්ෂා කරමු.

සේයා රූ

මැදි­රි­ගි­රිය සමූහ - ඩබ්.ඒ. පිය­ති­ලක

Comments