සුවඳින් පිළිකා සෛල වනසන මඟහැරුණු දිව ඔසුව සේර | Page 2 | සිළුමිණ

සුවඳින් පිළිකා සෛල වනසන මඟහැරුණු දිව ඔසුව සේර

ඊශ්‍රායලයේ ෂැරොන් කලාපයේ කෆාර් යෙඩිඩියා හි (Kfar Yedidya in the Sharon region) සාර්ථක කුළුබඩු භෝග වගාකරුවෙකු වූ බෙනී සැබිඩොව්ට රටේ නන් දෙසින් පිළිකා රෝගීන් තම ගොවිපොළට පැමිණ නැවුම් සේර ඉල්ලන්නේ ඇයිදැයි තේරුම් ගැනීමට මුල දී අපහසු විය. තමන් ප්‍රතිකාර කරන පිළිකා රෝගීන්ට සේර තේ පානය කරන ලෙස උපදෙස් ලබා දී, ඔවුන් එසේ කෆාර් යෙඩිඩියාවලට යවා ඇත්තේ ඔවුන්ගේ වෛද්‍යවරුන් විසින් බව බෙනී සැබිඩොවු පසුව දැනගෙන තිබේ. පිළිකා රෝග සායනවලවිකිරණ හා රසායනික චිකිත්සක ප්‍රතිකාර සඳහා ගිය දිනවල දී එම රෝගීන්ට නැවුම් සේර යුෂය සහිත උණු වතුර වීදුරු අටක් පානය කරන ලෙස ඔවුන්ට උපදෙස් ලබා දීම ඊශ්‍රායලයේ සාමාන්‍ය සිදුවීමක් බවට පත් වී ඇත.

මේ සියල්ල අනාවරණය වූයේ, නෙගෙව්හි බෙන් ගුරියන් විශ්ව විද්‍යාලයෙනි. (Ben Gurion University of the Negev) ඒ පර්යේෂකයන් විසින් සේර වැනි පැඟිරි කුලයේ පැළෑටිවල ඇති ආවේණික සුවඳට හේතුවන ශාක රසායනික ද්‍රව්‍යයන්, නීරෝගී සෛල නිරුපද්‍රැතව තබා ගෙන පිළිකා සෛල පමණක් විනාශ කරන බව සොයා ගැනීමෙන් පසුව ය.

සේර (Cymbopogon citratus) යනු පැඟිරි පවුලට අයත්, ලංකාවට සහ දකුණු ඉන්දියාවට ආවේණික ශාකයකි. මදුරුවන් විකර්ෂණය කිරීම සඳහා ද භාවිතයට ගැනෙන පැඟිරි තෙල් නිෂ්පාදනය කිරීම සඳහා මහ පැඟිරි (Cymbopogon winterianus) සහ හීන් පැඟිරි (Cymbopogon nadus) යනුවෙන් හැඳින්වෙන ශාක දෙවර්ගය ආර්ථික වගාවන් ලෙස මෙරට වගා කළ ද, සේර ශාකය ආර්ථික භෝගයක් ලෙස ලංකාවේ සුලභව වගා නොකෙරේ. නමුත්, සේර වනාහි ඇමරිකාවේ සහ ආසියාවේ නිවර්තන කලාපවල බහුලව වගා කෙරෙන ආර්ථික භෝගයකි. මෙම ශාකය සුගන්ධකාරකයක් හා ආහාර රසකාරකයක් ලෙස ප්‍රචලිතව තිබේ. බොහෝ රටවල්වල පාරම්පරික වෛද්‍ය විද්‍යාවේදී විෂබීජ නාශකයක්, පාචනය, උදරාබාධ, ආර්ථව චක්‍රයේ අක්‍රමිකතා, ස්නායු හා ආමාශ ආශ්‍රිත ආබාධ සහ උණ සඳහා ප්‍රතිකාර ලෙසද භාවිතා කරයි.

මෙම ශාකය ප්‍රතිබැක්ටීරීයා, ප්‍රති-වයිරස සහ ප්‍රති- ඔක්සිකාරකයක් ලෙස මෙන්ම පිළිකා මර්දන හැකියාව සහිත ශාකයක් බවට වන ඇතැම් විද්‍යාත්මක සොයා ගැනීම් නිසාවෙන් නූතන විද්‍යාඥයින්ගේ අවධානය බොහෝ සෙයින් දිනා ගන්නට ද සමත්ව ඇත. සේරවල විවිධ ජෛව විද්‍යාත්මක ක්‍රියාකාරකම් සඳහා වගකිව යුතු ෆ්ලේවනොයිඩ්ස් වර්ග, ෆීනොලික් සංයෝග, ටර්පෙනොයිඩ්ස් සහ සුගන්ධ තෙල් වැනි විවිධ ශාක රසායනික ද්‍රව්‍ය අඩංගු වේ. මෙම සංයෝගවල සුසංයෝගී ක්‍රියාකාරීත්වයේ යන්ත්‍රණයන් පැහැදිලි කිරීම සහ ඒවායේ සායනික අත්හදා බැලීම් සඳහා බොහෝ නව පර්යේෂණ අවශ්‍ය වෙයි.

මෙම ශාකය සතු ඖෂධීය ගුණ පිළිබඳ සිදුකර තිබෙන පර්යේෂණ රාශියකි. සේර ශාකයෙන් නිස්සාරණය කරන තෙල්වල අන්තර්ගතවන ඇරෝමැටික ටර්පීනයක් වන ලිනලූල් (linalool) වැනි සංඝටක පිළිබද සොයා බැලූ පර්යේෂණාගාර පෙට්රි දීසි පර්යේෂණවලට අනුව එය, අතුරු ආබාධවලින් තොරව පිළිකා සෛල ඉලක්ක කොට පහර දී විනාශ කරන බව සොයා ගෙන තිබේ. මේ පිළිබඳ පර්යේෂණ විසි එක්වන ශත වර්ෂය මුල පටන්ම සිදු කෙරෙමින් තිබෙන අතර, සේර මෙන්ම ඩැන්ඩලියන් (Dandelion) ශාකයේ මුල් වලට ද මෙම හැකියාව තිබෙන බව ඉතා මෑතක දී සිදු කෙරුණු පර්යේෂණයක වාර්තාවක ද සඳහන් වේ. https://www.hindawi.com/journals/ecam/2019/2951428/

සේරවල තිබෙන තවත් සංඝටකයක් වන සිට්රල් (citral) නැමති ශාක රසායනිකය මඟින් පිළිකාමය සෛලවලට පමණක් සියදිවි නසා ගැනීමට සලස්වන බව ඊශ්‍රායෙල් පර්යේෂණයකින් තහවුරු වී ඇත. සාමාන්‍යයෙන් සේර ශාකයේ කඳේ ග්රෑම් එකක තිබෙන සිට්රල් ප්‍රමාණය පවා මේ කාර්යය සඳහා ප්‍රමාණවත් වන බව සොයා ගෙන ඇත. සේර පැළෑටියේ යුෂයේ තිබෙන මෙම හැකියාව පිළිබඳ 2013 වර්ෂයේ දී ඉන්දියාවේ භාරත්තියාර් සරසවියේ (Bharathiar University) වෛද්‍ය කවීෂා ගෝෂ් (Dr, Kavisa Ghosh) විසින් සිදු කරන ලද පර්යේෂණයකින් ද තහවුරු වී තිබේ. https://www.researchgate.net/publication/265842609_Anticancer_effect_of_...

පිළිකාවක් ශල්‍යකර්මයකින් ඉවත් කිරීමෙන් පසු වුව ද තව දුරටත් ඉතිරිව තිබිය හැකි පිළිකා සෛල නිසා, නැවත පිළිකාව හට ගැනීමේ අවදානමක් ඇත. පිළිකාව නැවත හට ගැනීම සහ පැතිරීම පාලනය කිරීමේ උපක්‍රමයක් ලෙස සේර ශාකයේ අන්තර්ගත citral සාර්ථකව භාවිත කළ හැකි බව ඔක්ස්ෆර්ඩ් සරසවියට අනුබද්ධ ජෝන් රැඩ්ක්ලිෆ් රෝහලේ (John Radcliffe Hospital) සිදු කර තිබෙන තවත් පර්යේෂණයකින් යෝජනා කර තිබේ. https://www.ncbi.nlm.nih.gov/pmc/articles/PMC5724714/

සීනි සහ නරක කොලස්ටරෝල් පාලනය කිරීම සදහා සේර භාවිතයේ සාක්කි.

රසායනාගාර මීයන් යොදාගෙන සිදු කර තිබෙන පර්යේෂණයකට අනුව, නැවුම් සේර කොළ ජලීය සාරය නිශ්චිත මාත්‍රාවකින් ලබා දීමෙන් ප්ලාස්මා ග්ලූකෝස් මට්ටම සහ සම්පූර්ණ කොලෙස්ටරෝල් මට්ටම සැලකිය යුතු ලෙස පාලනය කරන්නට පිළිවන් බව පෙනී ගොස් ඇත. මෙහිදී අහිතකර කොලෙස්ටරෝල් අඩු වීමක් සහ හිතකර කොලෙස්ටරෝල් මට්ටමේ වැඩි වීමක් පෙන්නුම් කර තිබේ. මේ අනුව දෙවන වර්ගයේ දියවැඩියා රෝගීන්ගේ සීනි මට්ටම පාලනය කර ගැනීමට සහ හදවත් රෝගීන්ගේ අහිතකර කොලෙස්ටරෝල් පාලනය කර ගැනීම සඳහා සේර භාවිත කිරීම පිළිබඳ වැඩිදුරටත් පර්යේෂණ සිදු කිරීම අවශ්‍යයෙන්ම කළ යුතුව තිබෙන බව මෙම පර්යේෂණය මඟින් ද තහවුරු කරයි.

සේර ශාකයේ යුෂය සතුව පාචනය, උදරාබාධ, සෙම්ප්‍රතිශ්‍යාව, ශිතල සමනය කිරීමේ ගුණයන් ද පවතින බව සොයා ගෙන තිබේ. මෙයට අමතරව සේර ශාකය සතු ප්‍රබල විෂබීජ නාශක ගුණය පිළිබඳව මෙන්ම, මැලේරියා පරපෝෂිතයින් වැනි දරුණු පරපෝෂිතයින් විනාශ කිරීමේ හැකියාව පිළිබදව ද සිදු කෙරුණු පර්යේණාත්මක සාක්ෂි ඇත. එමෙන්ම සේර තේ පානය කිරීම, සුව නින්දක් ලැබීමටත්, ආතතිය සහ මානසික අවපීඩනය වැනි ආබාධ සමනය කර ගැනීමටත්, ස්නායු පද්ධතියේ යහපත් ක්‍රියාකාරිත්වය දියුණු කර ගැනීමටත් ඉවහල් විය හැකි බව ද පර්යේෂණවලින් සොයා ගෙන ඇත.

https://www.ncbi.nlm.nih.gov/pmc/articles/PMC3217679/#ref36

සේර ආහාරයට ගත හැකි ආකාරයන්්

සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාවේ ආහාර පිළියෙල කිරීමේ දී විශේෂයෙන් මස් පිසීමේ දී සේර ආහාර රස කාරකයක් ලෙස භාවිත කරයි. මීට අමතරව වෙනත් වෑංජන වර්ග පිළියෙල කිරීමේ දී ද සේර රස කාරකයක් ලෙස භාවිත කළ හැකිය. සේරවලින් රසවත් සුප් වර්ග සාදා ගන්නට ද පිළිවන. එය ආහාර ගැනීමට පෙර ගැනීමෙන් ආහාර රුචිය වැඩි කර ගත හැකිය. අමු සේර අගලක පමණ කොටසක් තලා තේ වලට හෝ උණුවතුරට දමා පානය කිරීම ද කළ හැකිය. සේර කොල හා කඳ කොටස් වියලා පවුඩර් ලෙස සකස් කර තේ විදියට පානය සදහා සකස් කර ගත හැකිය. සේර කොල, කුරුඳු පොතු කුඩු කර, තේ කොල සමග මිශ්‍ර කර රසවත් තේ සාදා ගැනීමට ද පිළිවන. සේර වියලා කුඩු කර ගෙන කුලු බඩු මිශ්‍රණයට මිශ්‍ර කර ගැනීමට ද පිළිවන. බත් පිසීමේ දී සේර කොළ බත් මුට්ටියට දමා බත රස කර ගත හැකිය. අමු සේර යුෂය ගෙන බෝතල් කර ශීතකරණයේ තබා ගෙන පිරිසිදු ජලය සහ දෙහි සමඟ පානයට සකස් කර ගත හැකිය. මේ ආදී වශයෙන් සේර භාවිතයට ගත හැකි සුපවේදීමය ක්‍රම ශිල්ප රාශියකි. නිර්මාණශීලී ගෘහ­ිණියන්ට සහ නව ආහාර නිෂ්පාදකයින්ට අලුත් අලුත් සුපවේදීමය ක්‍රම නිර්මාණය කර ගන්නට ද පිළිවන.

සේර නුසුදුසු උදවිය

සේර ආර්ථව චක්‍රයේ සංකූලතා තිබෙන ස්ත්‍රීන්ගේ නිසි ලෙස ආර්තවය සිදු කිරීම සඳහා ද භාවිත කළ හැකි ඖෂධයක් වන බැවින් ගර්භනී සමයේ දී සේර භාවිත කිරීමෙන් වැළකී සිටීම සුදුසු බව සේර පිළිබඳව ලියැවුණු ඇතැම් වාර්තාවල අවධාරණ කර ඇත.

කෙසේ වෙතත් සේර, පිළිකා රෝගය සඳහා නිශ්චිත ප්‍රතිකාරයක් බව තහවුරු කිරීමට තවදුරටත් පර්යේෂණ සිදු කළ යුතුව තිබෙන බවත්, පිළිකා රෝගීන් තමන් ලබමින් සිටින ඖෂධ ප්‍රතිකාර පසෙකලා සේර පිළිබඳ පමණක් විශ්වාසය තැබීම නොකළ යුතු බවත් අවධාරණය කළ යුතුය. එහෙත් රෝගවලින් නිදහස්ව සිටින්නට මනාප උදවිය සහ රෝගවලින් පෙළෙන උදවිය, තම ගෙවත්තේ සේර පඳුරක් වගා කර ගැනීමට උනන්දු වීමත්, සේර වැඩි වැඩියෙන් වෑංජනවලට එක් කර ගැනීමත් සේර තේ, සේර යුෂය පානය කරන්නට පුරුදු වීමත් නිශ්ඵල කටයුත්තක් නොවන බව නම් අවධාරණය කළ යුතුය. බෝ නොවන රෝගයකින් පෙළෙන රෝගයකු බැලීම සඳහා ඔහුගේ හෝ ඇයගේ නිවසට යන විට සේර පැළයක් රැගෙන යන්නට පුළුවන් නම් එය අගනේය. එවැනි රෝගියෙකු සමඟ සේර තේ කෝප්පයක් තොල ගාමින් ඔහුට හෝ ඇයට සේර පිළිබඳ මෙම විද්‍යාත්මක පසුබිම ගැන කථා කරන්නට ඔබට හැකි නම් එය ඔබගේ මෙන්ම රෝගියාගේ සතුටට මෙන්ම යහපතට ද හේතු වෙනවා නිසැකය.

 

Comments