රේස් පැදලා ආර්ථිකය ජය ගන්න බැහැ | සිළුමිණ

රේස් පැදලා ආර්ථිකය ජය ගන්න බැහැ

 

සිව්වන වරටත් සංවිධානය වු මෙරට දීර්ඝතම රට හරහා දිවෙන පාපැදි සවාරිය ලෙස නම් දරා ඇති. “ එස්.එල්.ටී. ස්පීඩ් - අප්“ පාපැදි සවාරියේ සමස්ත ජයග්‍රහකයා ලෙස දෙවන වටරත් ජයගැනීමට ශ්‍රී ලංකා නාවික හමුදාවේ චාමික සඳුන් කුමාර සමත් විය. අදියර පහකින් සමන්විත වු “ එස්.එල්.ටී. ස්පීඩ් - අප්“ පාපැදි සවාරිය පසුගියදා දෙහිවල ගුවන් පාලම අසලින් ආරම්භවී දින පහක් ගම් දනව් සිසාරා යමින් දඹුල්ල මිරිස්ගෝණියාව හන්දියෙන් නිමා විය. අදියර පහකින් සමන්විත වු ශ්‍රී ලංකා ටෙලිකොම් ස්පීඩ් - අප් සවාරියට මෙවර තරග කරුවන් 138 දෙනෙකු සහභාගී වු අතර සමස්ත දුර කිලෝමීටර් 813.8කී. පළමු අදියර දෙහිවල සිට ඇඹිලිපිටිය දක්වාත් (කිලෝ මීටර් 159.4) දෙවන අදියර අැඹිලිපිටියේ සිට බණ්ඩාරවෙල දක්වාත් (කිලෝ මීටර් 156.2) තුන්වන අදියර බණ්ඩාරවෙල සිට කුරුණැගල දක්වාත් (කිලෝ මීටර් 159.2) පැවැති අතර සිවුවන අදියර අනු අදියර දෙකකින් සමන්විත විය. කුරුණැගල සිට වවුනියාව දක්වා පළමු අනු අදියර ක්‍රියාත්මක වු අතර දෙවන අනු අදියර වවුනියාවේ සිට ත්‍රිකුණාමලය දක්වා විය. (අනු අදියර දෙකෙම සමස්ත දුර කිලෝ මීටර් 152.2) පස්වන හා අවසන් අදියර ත්‍රිකුණාමලයේ සිට දඹුල්ල දක්වා විය.(කිලෝ මීටර් 98) සමස්ත දුර ක්‍රිලෝ මිටර් 813 ක් වු සිවුවන ශ්‍රී ලංකා ටෙලිකොම් ස්පීඩ් - අප් සවාරිය නිමා කළේ තරග කරුවන් 79 දෙනෙකු පමණි. සමස්ත තරගයේදී එක් අදියරකින් පමණක් ජයගෙන මෙරට පාපැදි තරග ඉතිහාසයේ වැඩිම මුදල් ත්‍යාගය මුදල වන රුපියල් මිලියනයකට හිමිකම් කී නාවික හමුදාවේ චාමික සඳුන් කුමාර සමග ක්‍රීඩා කළ සංවාදයයි මේ.

 

අද වන විට මෙරට පාපැදියේ ශූරයා ඔබ කොහොමද අවසන් තරගය ?

ඉතා හොදින් නිමකිරිමට හැකි වුනා. ඒ ඇත්තෙන්ම මට ශ්‍රී ලංකා නාවික හමුදාව දැක්වු සහයෝගය නිසයි. කණ්ඩායම් ජයත් හිමිවුයේ අපට.

 

ඔබ නාවික හමුදාවේ නිත්‍ය සාමාජිකයෙක් ද?

නෑ මම තවමත් නිත්‍ය සමාජිකයෙක් ලෙස නාවික හමුදාවට එකතු වෙලා නෑ. මේ වන විට මට කණ්ඩායම් සාමාජිකත්වය හිමිවෙලා තිබේනවා. ඉදිරියේදී නාවික හමුදාවට ඒක් වීමට කටයුතු කෙරෙමින් තිබෙනවා.

 

ඔබ පළමු වරට 2017දි ස්පීඩ් - අප් සවාරිය ජයගන්නකොට නාවික හමුදාවේ සාමාජිකයෙකු ලෙස ද තරගාවලියට එක් වුණේ ?

නෑ. මම 2017දි ස්පීඩ් - අප් සවාරිය ජයගන්නකොට ශ්‍රී ලංකා ටෙලිකොම් කණ්ඩායම තමයි නියෝජනය කළේ. මම පාපැදි ක්‍රීඩාවට යොමු වන විට අපිත් එක්ක එකට පුහුණුවීම් කල ඉතාලියේ සේවය කරන වෙන්නප්පුවේ මගේ මිත්‍රයෙක් කණ්ඩායමක් හැදුවා. ඒ කණ්ඩායමේ සාමාජිකයෙකු ලෙස තමයි මම පාපැදි ක්‍රීඩාව පුහුණු විම් කළේ. ඒ කණ්ඩායමට අනුග්‍රහකයෙක් සිටියේ නෑ. ඒක නිසා අපට ඒ කණ්ඩායම ඉදිරියට රැගෙන යැමට නොහැකි වුණා.

 

ටෙලිකෝම් ආයතනයේද එවකට සේවය කළේ ?

නෑ මට ටෙලිකෝම් ආයතනයෙන් ආරාධනා කළා ටෙලිකෝම් ආයතනය නියෝජනය කරමින් 2017දි තරගාවලියට එක්වන්න කියා. මම ටෙලිකොම් ආයතනය නියෝජනය කරමින් 2017දී ස්පීඩ් - අප් සවාරියට තරගකළා. මට ටෙලිකොම් ආයතනයේ රැකියාවක් දෙනවා කියා කීවත් මට රැකියාවක් ලැබුණේ නෑ. 2017දී තරගාවලියට එක්වන විට මම කුරුණැගල සුපර්වීල්ස් ක්‍රිඩා සමාජ සාමාජිකකු ලෙස තමයි ප්‍රධාන පෙළේ තරගාවලි නියෝජනය කළේ.

 

මෙවර තරගාවලියේදී අභියෝගයක් වුණේ මොන අදියරවල්ද?

සමස්තයක් ලෙස ගත් කළ සමස්ත තරගාවලියම අභියෝගයක් කිලෝ මීටර් 813ක් කියන්නේ ලෙහෙසි පහසු දුරක් නෙමෙයි. නමුත් මට අත්තටම මෙවර තරගාවලියේ දී අභියෝගයක් වුණේ දෙහිවල සිට ඇඹිලිපිටිය දක්වා වු පළමු අදියරයි දෙවන අදියරයි තමයි හුඟක් අමාරු වුණේ. අනු අදියරවල් දෙකකින් සමන්විත වු සිවුවන අදියරත් ටිකක් අමාරු වුණා. එක දිනයක දෙපාරක් වෙනස් මාර්ග දෙකක තරග වදින්න වීම තරමක් අභියෝගයක් තමයි.

 

ඇයි සිවුවන අදියර අමාරු අදියරක් ලෙස පවසන්නේ?

සිවුවන අදියර වෙනකම් තිබුණු අදියරවල් ඉතාමත් අමාරු අදියරවල් නමුත් සිවුවන අදියර වෙනස්ම අදියරක් වු නිසා ටිකක් අභියෝගාත්මක වුණා. සිවුවන අදියර පැවැත් වුණේ අනු අදියර දෙකක් ලෙස. ඒ කියන්නේ කුරුණැගල සිට වවුනියාව දක්වා පළමු අනු අදියර හා දෙවන අනු අදියර වුණේ වවුනියාවේ සිට ත්‍රිකුණාමලය දක්වා. එකම දිනයේ උදේ සවස දෙපාරකට තරගය පැවැත්වු නිසා එය අභියෝගයක් වුණා.

 

2017 ටෙලිකොම් ආයතනය යටතේ තරග කරන ඔබ 2019 දී තරගාවලියට එක්වන්නේ නාවික හමුදාව යටතේ. ඇයි ඒ?

මට ටෙලිකොම් ආයතනය රැකියාවක් දෙනවා කිව්වට රැකියාවක් ලැබුණේ නෑ. එම නිසා මට සිදුවුණා වෙනත් අන්‍රග්‍රහකයෙකු සොයාගන්න. ඒ අතර මම කුරුණැගල සුපර්වීල්ස් කණ්ඩායම නියෝජනය කළා. මෙවර තරගාවලියට එක්වන විට තමයි මට අවස්ථාව හිමිවුණේ නාවික හමුදා කණ්ඩායමේ සාමාජිකයෙකු ලෙස තරගාවලියට එක් වන්න. මම නාවික හමුදාවෙන් ඉල්ලිමක් කළා. ඒ ඉල්ලීම සෙසු සාමාජිකයන් නාවික හමුදාවේ ඉහළ නිලධාරීන් සමග පැවැත්වු සාකච්ඡාචල ප්‍රතිඵලයක් ලෙස හා මගේ දක්ෂතා මත මට මෙම අවස්ථාව හිමිවුණා.

 

 ඒ කියන්නේ නාවික හමුදාව නියෝජනය කළ පළමු අවස්ථාව ද? 

ඔව්. මේ තමයි පළමු අවස්ථාව.

 

ඔබත් සමග සාමාජිකයන් කී දෙනෙක් නාවික හමුදා කණ්ඩායම නියෝජනය කළාද?

මම ඇතුළුව නව දෙනෙකු තරගාවලිය නියෝජනය කළා. ඇත්තෙන්ම ඉතාමත් දක්ෂ කණ්ඩායමක්. අපට හැකි වුණා කණ්ඩායම් ජයග්‍රහණය නාවික හමුදාව සතුකරගන්න. ඒ වගේම ප්‍රභාත් මධුසංඛ, ජනක හේමන්ත කුමාර හා පසිඳු ලක්ෂාන් අප කණ්ඩායම නියෝජනය කරමින් අදියර තුනක් ජයගත්තා.

2017දී ස්පීඩ් - අප් සවාරය ඔබට අභියෝගක් වුණේ නැද්ද?

මම කණ්ඩායමක් එකතු කරගෙන තමයි 2017දී ටෙලිකොම් ආයතනයට තරග කළේ. 2017දී මීට වඩා අභියෝගයක් තිබුණා. යුද්ධ, නාවික හා ගුවන් යන සන්නද්ධ සේවා කණ්ඩායම් තුන සමගම තරගයක් දීමට සිදුවුණා. නමුත් මෙවර ඒ තරම් අභියෝගයක් තිබුණේ නෑ. ඒ මම තරග කළේත් නාවික හමුදාවේ යටතේ නිසා.

 

2017 හා මේ වසරේදී ඔබ තරගාවලිය ජයගන්නවා. නමුත් 2018දී ඔබට මොකද වුණේ?

2018දි ස්පීඩ් - අප්“ පාපැදි සවාරියට එක්වීමට හැකි වුණේ නෑ. මට උණ රෝගය වැලදිම නිසා. නමුත් 2018දී ගුවන් හමුදාව සංවිධානය කළ ගුවන් පාපැදි සවාරියට එක් වුණා.

 

2018 ගුවන් පාපැදි සවාරියේදී ඔබට ජයග්‍රහී ස්ථානයක් හිමිවුණාද?

මම පළමු අදියරේදී දෙවැන්නා ලෙසයි තරගය නිමා කළේ නමුත් සමස්ත තරගයෙන් මට ස්ථානයක් හිමිවුයේ නෑ. මට හා මගේ කණ්ඩායමට තරග කරන්න සිදුවුයේ යුද්ධ, නාවික හා ගුවන් යන සන්නද්ධ සේවා කණ්ඩායම් තුන සමගම. ඒ නිසා තරගයක් දීමට හැකි වුණේ නෑ.

 

ගුවන් පාපැදි සවාරිය නියෝජනය කළේ කුමන කණ්ඩායමක් යටතේද?

ගුවන් පාපැදි සවාරියට එක් වුණේ කුරුණැගල සුපර්වීල්ස් කණ්ඩායම සමගයි. කණ්ඩායමක් හැටියට දක්ෂයන් කණ්ඩායම නියෝජනය කළත් අනෙකුත් අවශ්‍යතාව සපුරාගැනිමට සාමාජිකයන් හා ආර්ථික ස්ථාවරත්වයක් තිබුණේ නෑ ඒ නිසා අපි බලාපොරොත්තු වු ලෙස තරගාවලිය නිමා කිරිමට හැකි වුණේ නෑ.

 

2017දී පැවැති තරගයෙනුයි මේ වසරේදී පැවැති තරගයෙනුයි වැඩිම අභියෝගයත් තිබුණේ මොන ගමන් මාර්ගයේදීද?

2017දි දඹුල්ලේ සිට බදුල්ල දක්වා වු කොටස ඉතාමත් දුෂ්කර වුණා. මේ වසරේදී පළමු දෙවන හා සිව්වන අදියර ඉතාමත් දුෂ්කර වුණා. පළමු අදියර වු දෙහිවල සිට ඇඹිලිපිටිය දක්වා වු කොටස අධික වර්ෂාව හා අඳුරු ආලෝකය හැම විටම බාධාවක් වුණා. වර්ෂාව නිසා මාර්ගය ලිස්සායෑම හා සමහරක් පාරවල් වල රැදි තිබු වර්ෂා ජලය ඉතාමත් අභියෝගයක් වුණා.

 

මෙවර තරගවලියට සහභාගීවු තරග කරුවන්ගෙන් ඔබට අභියෝගයක් වුණේ කවුරුද?

වරාය අධිකාරියේ සජිත් සසංඛ දක්ෂ ක්‍රීඩකයෙක්. ඔහුගෙන් තමයි මට අභියෝගයක් තිබුනේ. නමුත් ඔහු තුන්වන අදියරේදි අනතුරකට භාජනය වුණා. ඒ නිසා මට මෙවර තරගාවලියෙදී වෙන කිසිදු ක්‍රිඩකයෙක් අභියෝගයක් වුණේ නෑ.

 

ඔබට මෙම තරගාවලිය ජයගත හැකිය කියා විශ්වාසය ගොඩනැගුණේ කුමන අදියරේදී ද?

පළමු අදියර ජයගත් පසු මට විශාල ස්ථාවරයක් ගොඩනැගුණා මට මෙවර තරගාවලිය ජයගැනිමට හැකියාව තිබෙන බවට. දෙවන අදියරේදී සජිත් සසංඛ තමයි ජයගත්තේ ඒ මට වඩා තත්පර තුනකින් නමුත් තුන්වන අදියරේදී සජිත් සසංඛ අනතුරට භාජනය වු නිසා මට මගේ විශ්වාසය තහවුරු වුණා. නමුත් මට තත්පර 3ක කළය පහසුවෙන් ස්ප්‍රින්ට් අදියරේන් ලබාගත හැකි බව මට විශ්වාසයක් තිබුණා.

 

සජිත් අනතුරට භාජනය වුණේ එයාගේ වරදින්ද?

සජිත් දක්ෂ ක්‍රීඩකයෙක්. නමුත් එයා කඳු නැගිමට වඩා බැසිමට ටිකක් දුර්වලයි. මම කලින් සජිත් සමග කණ්ඩායමක් ලෙස තරගාවලි නියෝජනය කරලා තිබෙනවා. නමුත් එයාගේ වරදින් තමයි ඒ අනතුර සිදුවුණේ.

 

සජිත් වැටෙනකොට දෙන්නාම එකම පොකුරෙද සිටියේ ?

නෑ මම තමයි එතකොට ඉදිරියෙන් සිටියේ සජිත් සිටියේ මට පිටුපසින් තුන්වන ස්ථානයේ. සජිත් අනතුරට ලක් වුණේ මගේ පිටුපසින් මා ලුහුබදින විට. සජිත් ඇත්තටම ඒ තැන දකින්න නැතුව ඇති. ඇත්තටම ඔහු මගේ සහෝදර ක්‍රීඩකයෙක්.

 

මම ඔබව හැදින්වුවෙත් ඔබ පාපැදි ක්‍රීඩාවේ අද සිටින හොඳම ස්ප්‍රීන්ට් ක්‍රිඩකයා කියා?

මම දක්ෂතා දක්වන්නේ ස්ප්‍රීන්ට් ක්‍රීඩකයෙකු ලෙස තමයි. නමුත් මට කඳුනැගිමට හා බැසිමටද හැකියාව තිබෙනවා. මම ප්‍රවීණ පුහුණු කරුවන්ගෙන් ඒ පිළිබද ගුරුහරුකම් ලබාගෙන තිබෙනවා. මම තරගාවලියකදී මගේ ලකුණු වැඩිකරගැනිමට උපයෝගී කරගන්නේ ස්ප්‍රීන්ට් අවස්ථාවෙන් තමයි.

 

මේ තරගාවලියට එක් විමට ප්‍රථම කොපමන කාලයක් පුහුණු වීම් වල නිරත වුණාද?

මාස 2 – 3 වැනි කාලයක් පුහුණුවිම් වල නිරත වුණා, මෙවර තරගාවලියට නාවික හමුදා කණ්ඩායම සමග සහාභාගී වු නිසා පුහුණුවිම් පහසු වුණා.

 

තරගයක් ජයග්‍රහණය කරන්න ඔබ සැලැසුම් සකස් කරන්නේ කොහොමද?

තරගයක් ආරම්භ විමට ප්‍රථම පුහුණුකරුගේ හා කණ්ඩායමේ සෙසු තරගකරුවන්ගේ යෝජනා හා අදහස් අනුව තරගයට එක්වෙන සැලැසුම සකස් කරනවා. නමුත් තරගයේ පළමු අදියර නිමා වු පසුව තමයි ඇත්තටම නියම සැලැසුමක් ක්‍රීයාත්මක වෙන්නේ. මෙවරත් පළමු අදියර අපි කණ්ඩායමක් හැටියට ජයගත් පසු තමයි. සමස්ත තරගාවලියට මුහුණ දිමේ දෙවන සැලැසුම ක්‍රියාත්මක කළේ. ඒ පළමු අදියර මම දින්නට පස්සේ ක්ෂණිකව ඊළඟ සැලැස්ම ක්‍රියාත්මක කරනවා.

 

ඔබගේ වත්මන් පුහුණුකරු කවුරුද?

නාවික හමුදාවට එක්වන්න පෙර මට මගේ ශාරීරික යෝග්‍යතා පුහුණුකරු ලෙස කටයුතු කළේ රෝහණ ජයසුන්දර මහතා. එතුමා තමයි මගේ මුල්ම ගුරුවරයා. ඔහුට පාපැදි තාක්ෂණික පුහුණුකරුවෙකු ලෙස දැනුමක් තිබුණේ නෑ නමුත් මගේ ශාරීරක යෝග්‍යතාව වෙනුවෙන් මට උපදෙස් ලබා දුන්නා. අද මම තැනක සිටිනවා නම් රෝහණ මහතාට ඒ ගෞරවය ලැබිය යුතුයි. එතුමාගේ උපදෙස් මට හුගක් ඉවහල් වුණා පුහුණුවීම්වලදී. ඒ වගේම ප්‍රවිණයන් මට උපදෙස් ලබාදුන්නා. නමුත් වත්මන් පුහුණු කරු ලෙස මට උපදෙස් ලබාදෙමින් පුහුණු විම්වල නිරත කරවන්නේ නාවික හමුදාවේ ටියුඩර් විජේසුරිය මහතායි. ඔහු අන්තර්ජාතික මට්ටමින් විනිසුරු පාඨමාලා හදාරපු කෙනෙක්.

 

ඔබ මුලින්ම පාපැදි ක්‍රීඩාවට යොමුවන්නේ පාසලෙන්ද?

ඔව්. මම පාපැදි ක්‍රීඩාවට මුලින්ම යොමුවන්නේ පාසලෙන්. නමුත් මගේ දෙමාපියන්නන් එවකට පාපැදි ක්‍රීඩාවට ඇලුම් කළේ නෑ අධ්‍යාපනයට තමයි මාව යොමු කළේ. නමුත් මගේ කැමැත්ත තිබුණේ පාපැදි ක්‍රීඩාවටයි. මම පාපැදි ක්‍රිඩකයෙකු ලෙස පුහුණු විම් අරඹන්නේ පාසලෙන් සමුගත් පසුවයි.

 

ඔබ අධ්‍යාපනය ලැබුවේ?.

රාගම මහාබාගේ මත්තුමගල කරුණාරත්න බෞද්ධ විද්‍යාලයෙන් තමයි මම සාමාන්‍ය පෙළ දක්වා අධ්‍යාපකය හැදැරුවේ. පාපැදි ක්‍රීඩාවට තිබුණු ඇල්ම නිසා දිග දුර අධ්‍යාපනයක් කරා යොමු විමට හැකි වුණේ නෑ.

 

ඔබ යම්කිසි ක්‍රීඩකයෙකු අනුගමනය කරමින්ද පාපැදි ක්‍රිඩාවට යොමු වුණේ ?

නෑ මට එහෙම විශේෂ ක්‍රීඩකයෙකු නෑ. නමුත් අන්තර්ජාතික තරග කරන ක්‍රීඩකයන්ගේ දක්ෂතා මට පාපැදි ක්‍රීඩාවේ නියැළෙන්න රුකුලක් වුණා. ඒ වගේම දේශීය තරග බිමේ තරග කළ අති දක්ෂ තරගකරුවන් දැකලා මට මගේ උනන්දුව විශාල වශයෙන් ගොඩනගා ගැනීමට හැකි වුණා. තරගාවලිවලට එක් විමට ප්‍රථම මම නිතර තරගාවලි නැරැඹිමට පුරුදුව සිටියා.එවායින් විශාල දැනුම් සම්භාරයක් එකතු කර ගැනීමට මට හැකි වුණා.

 

ඔබේ පවුලේ තොරතුරු කොහොමද ?

මම තමයි එකම ළමයා අපේ පවුලේ තාත්තා පෞද්ගලික ආයතනයක රැකියාවක නිරත වෙනවා. මව නි‍ෙවසේම ව්‍යාපාරයක් කරගෙන යනවා.

 

ඔබේ අනාගත බලාපොරොත්තු කවරේද?

ඉදිරියේදී තවත් තරග ජයගැනීම තමයි මගේ බලාපොරොත්තුව නමුත් දිගටම පාපැදි ක්‍රීඩාවේ නිරත වීමේ බලාපොරොත්තුවක් නෑ. වෙනත් වෘත්තියක නිරත වීමේ බලාපොරොත්තුව තිබෙනවා.

 

ඒ කියන්නේ ලංකාවේ පාපැදි ක්‍රීඩාව පිළිබඳ විශ්වාසයක් නෑ කියලද?

නෑ. එහෙම අදහසකින් නොවෙයි. අද ක්‍රීඩාව ඉතාමත් දියුණුයි. ඒ නිසා ක්‍රීඩාවේ දිගටම රැඳීසිටින්න බෑ. නිතරම ඒක් එක් අංශයන්ගෙන් ක්‍රීඩකයන් දියුණු වෙනවා.එම නිසා ක්‍රීඩාවේ දිගටම රැඳීසිටින්න අමාරුයි. එදා තිබුණු පාපාදි ක්‍රීඩාව නෙමෙයි අද අද එය ඉතාමත් දියුණුයි. ඒ නිසා වැඩිකල් එකම තැන රැදි සිටින්න බෑ. දක්ෂයන් බිහිවෙනවා. ඒ නිසා වෘත්තීය මට්ටමින් පාපැදි ක්‍රීඩාවේ නියැළෙන්නේ නැතිව වෙනත් වෘත්තියකට යොමුවිය යුතුයි ආර්ථිකය ජයගැනිමට නම්.

Comments