ලිලිපුට්ටන්ගේ ලාහෝර් ප්‍රහාරය | සිළුමිණ

ලිලිපුට්ටන්ගේ ලාහෝර් ප්‍රහාරය

පාකිස්තාන් සංචාරය පුරා පන්දුවෙන් සහ පිත්තෙන් දස්කම් දැක්වූ වනිඳු හසරංග දෙපිල අතර පැවැති විස්සයි 20 තරගාවලියේ අවසන් තරගයේ සහ තරගාවලියේ වීරයා වන්නේ ශ්‍රී ලංකාව ලද විශිෂ්ට ජයග්‍රහණයේ ප්‍රධාන කොටස්කරුවා වෙමින්ය. මේ අනුව දෙපිළ අතර පැවැති තරග තුනකින් සමන්විත විස්සයි 20 තරගාවලිය නිමා වන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට නැවුම් බලාපොරොත්තු රැසක් ඇති කරමින්ය. එනම් ලාංකේය තරුණ ජවයට නිසි වටිනාකමක් ලබා දෙන්නේ නම් ශක්තිමත්ව නැගී සිටිමින් ලොව ඕනෑ කණ්ඩායමක් පරාජය කළ හැකිය යන පණිවිඩය කාගෙ කාගෙත් ඇස්පනාපිට ම ඔප්පු කරමින්ය.

පාකිස්තානය සිය විස්සයි 20 තරග ඉතිහාසයේ සත්කාරකත්වය දරමින් පරාජය වූ පළමු තරගාවලි පරාජය මෙය වීම ද විශේෂත්වයකි. ඒ තරගාවලි පහකට පසුවය. එමෙන් ම පාකිස්තානය විස්සයි 20 තරගාවලියක් 3 - 0 කින් පරාජය වූ දෙවැනි වතාවද මෙය වෙයි. එංගලන්තය හමුවේ එක්සත් අරාබි එමිර් රාජ්‍යයේදි 2015 දි පාකිස්තානය 3 - 0 කින් එකී තරගාවලිය පරාජය විය. එමෙන් ම ශ්‍රී ලංකා කණ්ඩායම 3 - 0 කින් විස්සයි 20 තරගාවලියක් ජය ගත් ප්‍රථම වතාව මෙය වීම ද විශේෂත්වයකි.

මෙම තරගයේදී 84 වැනි විස්සයි 20 ක්‍රීඩකයා ලෙස වරම් දිනා ගත් ඕෂද ප්‍රනාන්දු සිය මංගල තරගයේදි ම නොදැවී ලකුණු 78ක් රැස් කිරීමට සමත් විය. ඕෂද ශ්‍රී ලංකා විස්සයි 20 තරග ඉතිහාසයේ මංගල තරගයේදී ම අර්ධ ශතකයක් රැස් කළ ප්‍රථම ක්‍රීඩකයා බවට පත්වීම ද විශේෂත්වයකි.

ශ්‍රී ලංකා - පාකිස්තාන විස්සයි 20 තරග ඉතිහාසයේ දෙරට මුල්වරට හමුවන්නේ 2009 එංගලන්තයේ පැවැති පළමු විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියේදී ය. දෙරට අතර පැවැති පළමු විස්සයි 20 තරගයෙන් ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරන නමුත් දෙවැනි තරගය ලෙස දෙපිල හමුවන එකී තරගාවලියේ අවසාන මහා තරගයේදී ශ්‍රී ලංකාව කඩුලු 8කින් පාකිස්තානය හමුවේ පරාජය පත්විය. එකී තරගාවලියෙන් පසු 2009 දී ශ්‍රී ලංකාවේදී, 2012 එක්සත් අරාබි එමිර් රාජ්‍යයේදී 2015 ශ්‍රී ලංකාවේ දී 2018 දී එක්සත් අරාබි එමිර් රාජ්‍යයේදී දෙපිල හමු වූ සෑම තරගාවලියක්ම ශ්‍රී ලංකාව පාකිස්තානය හමුවේදී පරාජය විය. ඒ කුමාර සංගක්කාරගේ නායකත්වයේ සිට දිනේෂ් චන්දිමාල් , ලසිත් මාලිංග, තිසර පෙරේරාගේ නායකත්වය දක්වාය. මෙකී පරාජයන් වැලට තිත තබන්නට කිසිවෙකුත් සමත් නොවන පසුබිමක මෙවර ශ්‍රී ලංකා කණ්ඩායම පාකිස්තානයේ තරග සංචාරයකට එක් වූයේ 2009 ලාහෝර් ප්‍රහාරයෙන් වසර දහයකට පසුව වීමද විශේෂත්වයකි. ශ්‍රී ලංකා කණ්ඩායමේ මුල් පෙළේ ක්‍රීඩකයන් සියලුම දෙනම මෙකී පාකිස්තාන තරග සංචාරයෙන් ඉවත්වන විට ශ්‍රී ලංකාවට සිදු වූයේ නවකයන් පිරිවරාගෙන එක්දින සහ විස්සයි 20 තරගාවලියට එක් වීමටය.

ළහිරු තිරිමාන්නට එක්දින තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ වගකීම පැවැරෙන විට විස්සයි 20 තරගාවලියේ වගකීම පැවරුණේ දසුන් ශානකටය. ශ්‍රී ලංකාව එක්දින තරගාවලිය 2-0 ක් ලෙස පරාජය වූ පසුබිමක විස්සයි 20 තරගාවලිය පිළිබඳවද බොහෝ දෙනා තුළ වූයේ පරාජිත හැගිමකි. මන්ද යත් ඒ වන විට පාකිස්තානය විස්සයි 20 අන්තර්ජාතික ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම්වල අංක එකේ පසුවන විට ශ්‍රී ලංකාව පසු වූයේ අටවැනි ස්ථානයේය. ශ්‍රීලංකාවට පහළින් බ.ඉ. කොදෙව්වන් සහ බංග්ලාදේශය පසුවිය. ඇෆ්ගනිස්තානය ශ්‍රේණිගත කිරීම්වල දෙවැනි ස්ථානයේ පසුවිය. මෙවන් පසු බිමක ශ්‍රී ලංකා කණ්ඩායම ලබන වසරේ ඔස්ට්‍රේලියාවේ පැවැත්වෙන විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියට පවා සුදුසුකම් ලබා ගැනීමේ වටයට පවා මුහුණ දීමට සිදුව තිබේ.

ශ්‍රී ලංකා කණ්ඩායම මේ තරගාවලියට එක් වූයේ අවසන් වරට පැවැති විස්සයි 20 තරගාවලි හතරම පරාජය වූ පසුබිමකය. නවසීලන්තය හමුවේ තරගාවලි දෙකක්, දකුණු අප්‍රිකාව සහ එංගලන්තය හමුවේ තරගාවලිය බැගින් පරාජය වී තිබුණි. එකී තරගාවලි හතරේදී තරග අටකට ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම ජයගෙන තිබුණේ නවසීලන්තයට එරෙහිව එක් තරගයක් පමණි. විස්සයි 20 තරගාවලියට නායකත්වය දුන් දසුන් ශානක තරගාවලියට පෙර ප්‍රකාශ කළේ තමන්ට මේ තරගාවලියේ ඉදිරි ස්ථානයක් ලැබෙන්නේ නම් පිතිකරුවකු ලෙස සාර්ථක විය හැකි බවය. “මම විස්සයි 20 තරගවල ශතක රැස් කරලා තියෙනවා. ඒ ශතක රැස් කරලා තියෙන්නේ පිතිකරුවකු ලෙස උඩින් ඇවිත් පන්දුවට පහර දීලයි. ශ්‍රී ලංකා කණ්ඩායමේ පසු පෙළ පිතිකරුවකු විදියට මෙතෙක් පන්දුවට පහරදීලා තියෙන නිසා සාර්ථක වෙන්න ලැබුණේ නෑ.“ මේ තරගාවලිය ඇරැඹීමට පෙර දසුන් ශානක අතීතය සිහිපත් කළේ ඒ ආකාරයෙන්ය. මහේල ජයවර්ධන ගෙන් ආරම්භ වන ශ්‍රී ලංකා විස්සයි 20 නායකත්වයේ දහ වැන්නා දසුන් ශානකයි. මහේල නායකයා ලෙස එංගලන්තයට එරෙහිව පළමු තරගයේදී ලකුණු නොලබා, තිලකරත්න ඩිල්ෂාන් නායකයා ලෙස පාකිස්තානයට එරෙහිව ලකුණු නොලබා, කුමාර සංගක්කාර ඔස්ට්‍රේලියාවට එරෙහිව නොදැවී ලකුණු 55ක්, තිළිණ කණ්ඩම්බි එංගලන්තයට එරෙහිව ලකුණු නොලබා, ඇන්ජලෝ මැතිව්ස් පාකිස්තානයට එරෙහිව ලකුණු 11ක්, දිනේෂ් චන්දිමාල් බංග්ලාදේශයට එරෙහිව ලකුණු 9ක්, ලසිත් මාලිංග නවසීලන්තයට එරෙහිව ලකුණු නොලබා, උපුල් තරංග ඔස්ට්‍රේලියාවට එරෙහිව ලකුණු නොලබා, තිසර පෙරේරා පාකිස්තානයට එරෙහිව ලකුණු 6ක් වශයෙන් රැස් කරද්දී, තමා නායකත්වය දැරූ ප්‍රථම තරගයේදී දෙවැනි වැඩිම ලකුණු ලාභියා වීමට දසුන් ශානක සමත් වූයේ පාකිස්තානයට එරෙහිව පන්දු 10 කදී ලකුණු 17ක් රැස් කරමින්ය. එමෙන්ම දෙවැනි තරගයෙහිදී පන්දු 15කදී නොදැවී ලකුණු 27 ක් රැස් කිරීමට ද සමත් විය.

ශ්‍රී ලංකා පාකිස්තාන් පළමු විස්සයි 20 තරගයේදී මිනෝද් භානුක සහ භානුක රාජපක්ෂ විස්සයි 20 ඉතිහාසයේ 82 වැනි සහ 83 වැනි ක්‍රීඩකයන් ලෙස විස්සයි 20 වරම් දිනා ගැනීමට සමත් වූහ. මිනෝද් භානුකට සිය පළමු තරග දෙකේදීම කණ්ඩායම වෙනුවෙන් වැඩි යමක් කිරීමට නොහැකි වූ නමුත් භානුක රාජපක්ෂ තමාට ලැබුණු අවස්ථා දෙකේදීම පිත්තෙන් උපරිම දස්කම් දැක්වීමට සමත්විය. විසිහත්වන වියේ පසුවන භානුක රාජපක්ෂ පළමු තරගයේදී පන්දු 22කදී ලකුණු 32ක් රැස් කළ අතර, දෙවැනි තරගයේදී ක්‍රිකට් විචාරකයන්ගේ නොමද ප්‍රසංශාවට ලක් වූ භානුක රාජපක්ෂ ගේ ඉනිම හයේ පහර හයකින් සහ හතරේ පහර හතරකින් සමන්විත විය. පන්දු 48 කට මුහුණ දුන් භානුක රාජපක්ෂ ලකුණු 77 ක් රැස් කිරීමට සමත්විය. අවසන් තරගාවලි හතරේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරුවකු රැස් කළ හොඳම තෙවැනි ඉනිම වන්නේද බානුක රැස් කළ ලකුණු 77යි. ඉසුරු උදාන දකුණු අප්‍රිකාවට එරෙහිව නොදැවී ලකුණු 84 ක් සහ කුසල් මෙන්ඩිස් නවසීලන්තයට එරෙහිව 79 ක් වශයෙන් ක්‍රීඩා කර තිබේ. ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් විස්සයි 20 දහයේදී ඉනිමක රැස් කළ වැඩිම ලකුණු සංඛ්‍යාව වූයේද පාකිස්තානය සමඟ දෙවැනි තරගයේදී කඩුලු හයක් දැවී රැස් කළ ලකුණු 182යි.

මේ අනුව පාකිස්තානය අවසන් වරට තරග කළ විස්සයි 20 තරගාවලි ත්‍රිත්වයම නවසීලන්තය හමුවේ එක්සත් අරාබි එමිර් රාජ්‍යයේදී දකුණු අප්‍රිකාව සමඟ දකුණු අප්‍රිකාවේදී හා ශ්‍රී ලංකාව හමුවේ පරාජය වී ති‍බේ. එමෙන්ම පාකිස්තානය පාකිස්තානයේදී විස්සයි 20 තරගාවලියක් පරාජය වූ ප්‍රථම වතාවද මෙය වෙයි.

අවුරුදු 10ක් ඉවසීමෙන් බලාෙගන හිටියා

 භානුක රාජපක්ෂ

අන්තර්ජාතික පිටියේ වරම් දිනා ගන්න මට අවුරුදු 10ක් බලා ගෙන ඉන්න වුණා. මම හුඟක් මගේ ආගම ගැන විශ්වාසය තියලා වැඩ කරන කෙනෙක්. දෙවියන්ගේ ආශිර්වාදයත් එක්ක තමයි මට පමා වෙලා හරි මේ අවස්ථාව හම්බ වුණේ.

 

පාසල් අවදියේ ඉඳලා හුගක් අය මට උදව් කළා මේ තැනට එන්න. අද විස්සයි 20 පිටියේ අංක එකේ කණ්ඩායම පරාජය කරපු එක ලොකු අත්දැකීමක්. අපි ටීම් එකක් විදියට ගත්තු හුඟක් සතුටු වෙනවා මේ විදියට තරගාවලියට අවතීරණය වෙලා හොඳට ඉවර කර ගන්න පුළුවන් වෙච්ච එක ගැන. මුළු කණ්ඩායම ම එකා වගේ ක්‍රීඩා කළ නිසා තමයි අපට පහසුවෙන් ප්‍රබල පාකිස්තානය ඔවුන්ගේ රටේදීම පරාජය කරන්න පුළුවන් වුණේ. අලුතින් කණ්ඩායමට ආවත් මම බලාපොරොත්තු තියාගෙන තමයි හිටියේ.

 

මම මේ තරගාවලියට ක්‍රීඩා කරන කොටත් සුබවාදී බලාපොරොත්තු ඇතුව තමයි ක්‍රීඩා කළේ. අන්තර්ජාතික විචාරකයන් පවා කිව්වේ අපෙන් මේ ඇවිත් තියෙන්නේ දෙවන පෙළ කණ්ඩායමක් කියලා. අපට ඕනෑ වුණේ රටට වගේම කණ්ඩායමටත් ගෞරවයක් වන ආකාරයට ක්‍රීඩා කරන්න. ඒ වගේම මේ තරගාවලියට හොඳට අවතීර්ණ වෙලා ඉතාමත් හොඳින් එය නිමා කරන්න අපට ලොකු වුවමනාවක් තිබුනා. තුන්වැනි තරගයට යන්නේ නැතුවම තරගාවලිය දිනා ගන්න අපට ලොකු වුවමනාවක් තිබුණා.

 

අංක තුන ස්ථානයේ ක්‍රීඩා කරන්න මම හුඟක් කැමැතියි. පාසල් අවදියෙත් මම අංක තුන ස්ථානයේ තමයි ක්‍රීඩා කළේ අසන්ත ද මෙල් සහ රොමේෂ් සර්ලා කිව්වේ නිදහසේ හොඳට කරන්න කියලා. මට ඕනෑ දේ මොකක්ද කියලා ඇහුවම මම කිව්වේ විකට් එකේ වැඩි වෙලාවක් පන්දුවට පහර දෙන්න කියලා. නවකයෙක් විදියට ඇවිත් එක පාරටම ක්‍රීඩා කරන එක ලෙහෙසි පහසු දෙයක් නොවෙයි. පළමු තරගයේ පළමු පන්දු 2-3 ක්‍රීඩා කරන කොට පීඩනයක් තිබ්බා. හැබැයි ලකුණු ගහන්න ගත්තම ඒක ලෙහෙසි වුණා.

 

කාලයක් තිබ්බ ටීම් එකේ ස්ථානයක් හදා ගන්න ඇතුළට එන්න නොයෙක් අය හුඟක් දේවල් කිව්වා. හැබැයි මම ඒ කිසි දෙයක් ගණන් ගත්තේ නෑ. මට අවස්ථාව ලැබෙන්නේ අවුරුදු 10ක් ගියා. මම බොහෝ ඉවසීමෙන් මේ කාලය බලාගෙන හිටියා. ලැබුණු අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගත්තා කියලා හිතනවා. මම බැට් කරන කොට වුණත් මහා වෙනස්කම් කරන්න ගියේ නෑ. සාමාන්‍ය විදියට ක්‍රීඩා කළා.

කණ්ඩායමට උපරිමය දෙනවා

 

 ධනුෂ්ක ගුණතිලක

පළමු වැනි තරගය ජය ගැනීම නවක කණ්ඩායමක් විදියට අපට ලොකු දෙයක් වුණා. අප මේ තරගාවලියට එන කොට නවකයන්ගෙන් වුණත් හොඳ ටීම් එකක් ලැබුණා. තරුණ ක්‍රීඩකයන් වැඩියෙන් ඉන්න කණ්ඩායමක්. ඒ වගේ තත්ත්වයක ඉඳලා අපට මේ තරගාවලිය ජය ගන්න පුළුවන් උපරිම කරන්න බලනවා.

 

මම මාස කිහිපයක් ආබාධ තත්ත්වයෙන් හිටියා. පහුගිය ලෝක කුසලාන තරගාවලිය වන කොට හොඳ තත්ත්වයක හිටියත් පලාත් තරගාවලියට ක්‍රීඩා කළත් දස්කම් අතරට එන්න බැරි වෙච්ච නිසා වෙන්න ඒ තරගාවලියෙන් එළියට විසි වුණේ. මට ලැබෙන අවස්ථාව ‍මොකක්ද කියලා මම බලන්නේ නෑ. ඒක ලෝක කුසලාන තරගාවලියක්ද, සාමාන්‍ය තරගාවලියක්ද කියලා බලන්නේ නෑ. ලැබෙන හැම තරගයකදී කණ්ඩායම වෙනුවෙන් මගේ දායකත්වය සියයට ‍සීයක්ම දෙන්න තමයි බලන්නේ. ප්‍රතිවාදියා කවුද කියන එකත් මම අදාළ කර ගන්නේ නෑ. කොහෙද ක්‍රීඩා කරන්නේ කියලවත් හිතන්නේ නෑ. මොන තරගයට ක්‍රීඩා කළත් මගේ සහාය සියයට සියයක් ම දීලා තරගය ජය ගන්න තමයි බලන්නේ.

දක්ෂයාට හරි අවස්ථාවේ හරි තැන ලැබෙන්න ඕනෑ

 දසුන් ශානක

ඇත්තටම අපි හොඳ සූදානමකින් තමයි මේ විස්සයි 20 තරගාවලියට ආවේ. එක්දින තරග දෙක පරාජය වුණත් අපි ඒ තරග දෙක හොඳටම අවසන් කළා. විස්සයි 20 තරගාවලියට එන කොට අපට හොඳ විශ්වාසයක් තිබුණා. දෙවැනි එක්දින තරගයේ ජයග්‍රහණය ආසන්නයට ම ඇවිත් තමයි පරාජය වුණේ.

 

අපට එක දඟ පන්දු යවන්නකුගෙන් එන විකට් ටික අඩු නිසා තමයි තරග ජයගන්න බැරුව ගියේ මේ විස්සයි 20 තරගාවලියේ අපේ පන්දු යවන්නෝ හොඳටම පන්දු යැව්වා. පාකිස්තානය අද ලෝකයේ විස්සයි 20 අංක එකේ කණ්ඩායම, ඔවුන්ව අඩු ලකුණු ගණනකින් නවත්වා ගන්න පුළුවන් වුණේ තරුණ ක්‍රීඩකයෝ හැම වෙලාවෙම තම තමන්ගේ භූමිකාව මොකක්ද කියලා දැන හිටපු නිසයි. එක අපට තරගාවලිය ජය ගන්න පහසු වුණා. මේ තරගාවලියට එන්න කලින්ම ටීම් එක ගැන මට ලොකු විශ්වාසයක් තිබ්බා. ඒ විශ්වාසය එක්ක තමයි මේ තරගාවලියට යන්න ඕනෑ විදිය සැලසුම් කළේ. මම සැලසුම් කරපු විදියට ම ඒ දේවල් එක්ක ඉදිරියට යන්න පුළුවන් වීම ගැන සතුටු වෙනවා.

 

අපට දක්ෂයෝ ඕනෑ තරම් ඉන්නවා. ඔවුන්ට හරි අවස්ථාවේදි හරි තැන හම්බ වුණා නම් මීට වඩා හොඳ තැනක අපේ ක්‍රිකට් තියෙන්න තිබ්බා. ඉදිරියේදී මේ නවකයන් එක්ක යන ගමනින් හොඳ තැනකට එයි කියලා හිතනවා.

 

 

Comments