කව් ලැකියෙන් ගද්‍යයට.. සුළු කලිඟුදාව | සිළුමිණ

කව් ලැකියෙන් ගද්‍යයට.. සුළු කලිඟුදාව

සිංහල සාහිත්‍යකරුවා පද්‍ය රචනය සඳහා යොදා ගත්තේ 'කව් ලැකිය' පමණකි. එහෙත් ගද්‍ය රචනය සඳහා ලෙව් ලැකිය මෙන් ම කව් ලැකිය ද යොදා ගත් බව පෙනේ. ගද්‍ය රචනය සඳහා කව් ලැකිය යොදා ගත් හොඳ ම නිදසුන ගුරුළුගෝමීන්ගේ 'ධර්මප්‍රදිපිකා' නම් අර්ථකථාවෙහි එන 'සුළු කලිඟු දා' වැනුම යි.

'ධර්මප්‍රදීපිකාව' යනු 'පරිකථා' වර්ගයට අයත් කෘතියකි. 'මහාබෝධිවංස' නම් පාලි පොතේ ආ පද හෝ පාඨ 205ක් තෝරා ගෙන ඒවා එකින් එක විස්තර කිරීම ධර්මප්‍රදීපිකාවෙන් සිදු වේ. 'දන්තපුරේ රාජා හුත්වා' යන පාඨය විස්තර කරන ගුරුළුගෝමීහු එහි ලා අමුත්තක් කරති. ඒ සඳහා ඔහු යොදා ගන්නේ ලෙව් ලැකිය නොව කව් ලැකිය යි.

'දන්තපුරේ රාජා හුත්වා' යන තන්හි ඔහු දන්ත පුරයෙහි රජ වු පරිදි කිසෙ යැ යත්, යනුවෙන් මේ කතා පුවත අරඹන කතුවරයා ඒ සඳහා මුළුමනින් ම පාහේ යොදා ගන්නේ කව් ලැකිය යි.

එක්බිති එරජ කුමර ඇය සිනිඳු පහන් පැහමැ සම වැ මමන සිසිල් ඇති, තුන් කැලැති මැ තරඟ වැළ ඇති, නැබ මඬුලු මැ සලා වැටුම් ඇති, සොම් වුවන් මැ නව පුබුදු පියුම් ඇති, ඉඳුනිල් මිණි කැල්මෙන් උදුලන දිගු පුළුල් නෙත් මැ නිල් මහනෙල් ඇති, මෙළෙක් අත් මැ පොකුරු දැලි ඇති, ලළන සුනිල් කියඹු වැල වරලු මැ බිඟු පෙළ ඇති, ඉහිල් වසන් රසන් වැල මැ හුන් මිදෙල් කුසුම් රිණී ඇති, නැහැ අලුත් අඟරා මැ පියුම් රජතවර ඇතිතනන තන මඬුලු මැ වජඹනා මත්හස් රජුන් ඇතිල විළිබර සිනා මැ පුප්නා කුමුදු ඇති මුව තඹරෙන් ගලන වජන් මැ මී බිඳු ඇති කල්තුනු විල්හි ගැලී වියො මහගිම් නිවා ඇයගේ අභිනව අවිදග්ධ සනාරෙසෙන් අඳවැ අකුරු පලු මල් මී බිඳු සියො නලපහස් ලද රන් ලියක් බඳු සහ වෙවුලුම් ලොමු දහ ගත් ඇග තඹලවන් කඳුළු උතුළ නුවන් සොසුළු සොමි වුවන් බලා සඳන පලු දෙනෙන් විදැමිනි...

මේ කතාවෙන් කියවෙන්නේ දන්තපුරය පිහිටි කාලිංග දේශය පිළිබඳව නිසා ගුරුළුගෝමීන් කාලිංගයෙන් පැමිණි පඬිවරයකු ලෙස සමහරු අනුමාන කරති එබැවින් මේ ඡේදවලින් මතු වන කව් ලැකිය 'කාලිංග එළුව' යැයි සමහරු හඳුන්වති.

කව් ලැකිය රැක ගැනීම

පැරණි සිංහල ලේඛකයා පද්‍යකරණය පිණිස යොදා ගත්තේ කව් ලැකිය පමණක් නිසා පද්‍යකරණයට පිවිසෙන ආධුනිකයන්ගේ ප්‍රයෝජනය සඳහා තුන් වර්ගයක අත්පොත් අවශ්‍ය විණ. පළමුවැන්න ව්‍යාකරණ ග්‍රන්ථ යි. දෙවැන්න ඡන්දස් ග්‍රන්ථ යි. තෙවැන්න කෝෂ ග්‍රන්ථ යි. මේ තුන් වර්ගයේ ම ග්‍රන්ථ සම්පාදනයට පැරණි සිංහල ලේඛකයෝ සමත් වූහ.

පොලොන්නරු සමය තුළ දී හින්දු ආගමත් සංස්කෘත භාෂාවත් රාජ්‍ය අනුග්‍රහය ලබන්නට වූයෙන් සිංහලය කෙරේ පැවති ගෞරවාදරය ක්‍රමයෙන් හීන වෙමින් පවතින බව සිංහල වියතුන්ට දැනෙන්ට විණ. එබැවින් සිංහල කව් ලැකිය භාවිත කරන කවීන්ගේ ප්‍රයෝජනය සදහා වියරණ අත්පොතක් අවශ්‍ය බව ඔවුන්ට වැටහිණ. 'සිදත් සඟරාව' නම් ව්‍යාකරණ ග්‍රන්ථය සම්පාදනය කරන ලද්දේ ඒ අවශ්‍යතාව සම්පූර්ණ කරනු පිණිස ය.

වියරණය දැන නිවැරදි වාක්‍ය නිර්මාණය කිරීමට උගත් කවියා අනතුරුව රසාත්මක වාක්‍ය ලිවීමට උගනී. ඒ සඳහා පුළුල් වචන කෝෂයක් ඔහුට අවශ්‍ය වෙයි. කව් ලැකියට වැඩි වශයෙන් ම අවශ්‍ය වන්නේ තද්භව පද යි. එබැවින් තද්භව පද සංග්‍රහ කොට සැපයුණු කෝෂ ග්‍රන්ථ විශේෂයක් 'නිඝණ්ඩු' යන නමින් සම්පාදනය කෙරිණ. කෝට්ටේ යුගයෙහි දී සැපයුණු 'නම් රුවන්මල' එවැනි නිඝණ්ඩුවකි.

පද්‍ය රචනා ගද්‍ය රචනාවලින් මූලික වශයෙන් වෙනස් වන්නේ ඡන්දස නිසා ය. ඡන්දස් හෙවත් සඳස් මැනවින් හදාළ කවියා ඒ ඒ අලංකාරොක්තිවලට ගැළපෙන පරිදි විරිතක් තෝරා ගෙන කවියක් ගොතයි. එබැවින් කවියන්ට විරිත් හඳුන්වා දෙන අත්පොත් කීපයක් ද එවක බිහි විණ. 'එළු සඳස් ලකුණ' එවැනි එක් අත් පොතකි. 'කව් ගී', 'උමතු ගී', 'මත්වළ ගී', 'බමර ගී', 'යහගී' යනාදි වශයෙන් නම් කොට ඇති විරිත් නිදසුන් මඟින් හඳුන්වා දීම එහි අරමුණ වෙයි.

පද්‍ය රචනය සඳහා තෝරා ගනු ලබන පදවල ඇතුළත් මාත්‍රාවල ස්වරූපය අනුව ඒවා 'ඉෂ්ට' හා 'අනිෂ්ට' යනුවෙන් බෙදා දැක්විමක් ද කෙරේ. සිදත් සඟරාවෙහි අවසන් අදියර වෙන් කොට ඇත්තේ එවැනි කරුණු පිළිබඳ දැනුමක් දෙනු පිණිස ය.

Comments