චින්තකයෝ නම් ප්‍රශ්න කරන්නෝ ය | සිළුමිණ

චින්තකයෝ නම් ප්‍රශ්න කරන්නෝ ය

මේ රටට බෙහෙවින් අවශ්‍යව ඇත්තේත් රටට අඩුපාඩුවක්ව පවතින්නේත් චින්තකයන් ය. චින්තකයා යනු ගැඹුරින් සිතන්නට පෙලඹෙන්නා ය. ගැඹුරින් කල්පනා කරන්නෝ, ප්‍රශ්න නගන්නෝ ද වෙති. කිසිදිනෙකත් එහෙයියන් වන්නට සූදානම් නැති ඔවුහු, තමනට වඩා උසින් වැඩිණු අයෝමය යැයි කිවහැකි පුද්ගලයන් වෙතින් ද ප්‍රශ්න නඟති. රටක්, සමාජයක්, ආයතනයක් දියුණු කළ හැකිවන්නේ වයසට, සේවා කාලයට, උපාධියට වඩා හැකියාවට, කුසලතාවට අවකාශයක් විවර වූ විට ය. පරිණත වීම යනු නිර්මාණාත්මක චින්තනයේ හා බුද්ධි වර්ධනයේ වැඩිදියුණුව මිස ආයුෂ වර්ධනය නොවේ; සේවාකාලය ද නොවේ. මේ තත්ත්වය අමතක කිරීම හේතුවෙන් එක ම මුහුණු, එක ම කණ්ඩායම් උස්අසුන්, මහඅසුන්වල ඇලී සිටින ආකාරය අපි වසර ගණනාවක් මුළුල්ලේ ශෝකයෙන් නරඹමින් සිටිමු. සැබවින්ම බරපතළ හිගයක් පවතින්නේ ප්‍රශ්න නඟන ශිෂ්‍යයනට අනුබල දෙන ගුරුවරුන්ගේ ය. මේ අනුව සලකා බලන විට ද මහාචාර්ය කාලෝ ෆොන්සේකා අඟුටුමිට්ටන්ගෙන් සැදුම්ලත් කුඩා දිවයිනක හදිසියේ පහළ වූ උස් මිනිසෙකි. එහෙයියකු නොවූ ඔහු කවදත් කතා කළේ කාලෝචිත කතා ය. ලීවේ වැදගත් යැයි කිවහැකි වදන් ය. කාලෝගේ කාලෝචිත ලිපි කෘතියේ අඩංගුව ඇත්තේ ද එවැනි දේ ය.

මහාචාර්ය කලෝ ෆොන්සේකාගේ මුල්ම කෘතිය ප්‍රකාශයට පත් කරමින් කෘතියේ පසු පිටුවෙහි ප්‍රකාශක දේශබන්ධු ගොඩගේ මහතා කෙටි සඳහනක් තබා තිබේ. එහි මෙසේ ද සඳහන් වෙයි.

කාලය ගෙවී ගියේ ය. කාලෝ ෆොන්සේකා මහාචාර්යතුමා සරසවි සේවයෙන් ද විශ්‍රාම ගියේ ය. අවසානයේදී පළකිරීමට තරම් වැදගත් ඔහුගේ කෘතිය බිහිවීමට පෙර අප දෙදෙනාගේ එක් අයකු පරලෝකප්‍රාප්ත වීමට ඇති සම්භාවිතාව ශීඝ්‍රයෙන් ඉහළ යන බව එතුමා පිළිගත්තේ ය. එබැවින් වර්ෂ 1975 සිට 2000 දක්වා කාලය තුළ දී ඔහු විසින් රචිත ලිපි 10 ක් පළකිරීමට ඔහු එකඟ විය.)

‘කාලෝචිත ලිපි’ යනු ඒ කෘතියයි. කෘතිය පුරාම සෑම ලිපියක ම පාහේ දකින්නට ලැබෙන්නේ විවිධ කරුණු, විවිධ ක්‍ෂේත්‍ර අරබයා ඔහු තුළ පැන නැඟුණු ප්‍රශ්න මාලාවකට ඔහු විසින් ම සපයාගනු ලැබූ පිළිතුරු මාලාවකි. පරිසස්මින් පොළොව කැණ, සෙමෙන් සෙමෙන් පස ඉවත් කොට භූ ස්තර විදහෙළමින් නිධානයක් පාදාගන්නකු මෙන් ඔහු බොහෝ ප්‍රශ්නවලට ලබා දිය හැකි මධ්‍යස්ථ පිළිතුරු තියුණු ලෙස සොයා සපයා ගනියි. ‘බුදුසමය, කිතුසමය හා මානව හිතවාදය’ මැයෙන් (1883 වසරේදී) පළකෙරුණු ලිපිය ගැන මෙහිදී විශේෂයෙන් සඳහන් කළ යුතුව ඇතැයි සිතෙන්නේ එය ඔහු විසින් ගොඩදමනු ලැබූ අපූරු ධන නිධානයක් ලෙස අපට පෙනී යන හෙයිනි.

බුදුසමයෙන් පෝෂණය වූ රටක, කිතුනුවකු ලෙස මේ පොළොවේ උපත ලැබූ කාලෝ, කිතුසමයේත් බුදුසමයේත් ආභාසය ලබමින් අනුක්‍රමයෙන් මානව හිතවාදය කරා නිදහසේ ඇදී ආ ආකාරය මෙහිදී විස්තර වන්නේ නාට්‍යානුසාරීව ඉදිරිපත් කළ හැකි අත්දැකීමක් ද පාදකව ය.

තමාට උපතින් හිමි වූයේ කිතුසමය නොව රෝමානු කතෝලික සභාවේ සාමාජිකත්වය යැයි කීම වඩාත් යෝග්‍ය යැයි කාලෝ මේ ලිපිය ආරම්භයේදීම අනාවරණය කරයි. වයසින් වැඩි නුවණ මුහුකුරා යත් ම ඔහු විසින් ප්‍රතික්ෂේප කරනු ලැබුණේ එම (සභාවේ) සාමාජිකත්වය පමණක් ම බව ය, ඉන් අදහස් වන්නේ. (රුසියානු මහාලේඛක ලියෝ තොල්ස්තෝයි අත්දුටු තත්ත්වය ද මෙවැනිය) කාලෝ දාහත් හැවිරිදි ශිෂ්‍යයකුව සිටියදී පාසලේ, පන්තියේ ආගම උගන්වමින් සිටි ගුරු පියනම දිනක් ශිෂ්‍යයන් හමුවේ මෙවැනි ප්‍රශ්නයක් මුදා හැර තිබේ.

’අපේ පාසල දියුණු කිරීමට වෙනත් ආගම්වලට අයිති අයගෙන් ආධාර ලබාගැනීම සාධාරණ ද?’

‘සාධාරණයි’ යනුවෙන් ළමෝ පිළිතුරු දුන්හ.

ඉනික්බිතිව පියතුමා වෙතින් නැගුණු ප්‍රශ්න හා සිසුන්ගේ පිළිතුරු (නාට්‍යානුසාරීව) සඳහන් කර තැබීම වඩාත් යෝග්‍ය යැයි සිතේ.

ගුරුපියනම - ඒ ඇයි?

ශිෂ්‍යයෙක් - කවුරු හරි කැමැත්තෙන්ම දෙන ආධාරයක් ලබාගැනීමේ කිසිම වැරැද්දක් නෑ.

ගුරු පියනම - එසේනම් වෙනත් ආගමකට අයිති පාසලක් දියුණු කිරීමට කතෝලික අප ආධාරදීම කළ යුතු දෙයක් ද?

මුළු පන්තියම නිශ්ශබ්දතාවේ ගැලී ඇත්තේ මේ ප්‍රශ්නය හමුවේ ය. මුව විවර වූයේ කටකාර කාලෝගේ පමණි.

‘මම හිතන්නේ වෙනත් ආගම්වලට අයිති අයගෙන් අපේ ඉස්කෝලේ දියුණු කරන්න ආධාර ලබාගන්න එක හොඳ දෙයක් නම්, ඒ අයගේ ඉස්කෝල දියුණු කරන්න අපිත් ආධාර දෙන්න ඕන කියලයි. එහෙම නොකළොත් අපි කෙළෙහි ගුණ නොදන්නා අය වෙනවා’

අග්‍රගණ්‍ය ධර්මධරයකු වූ ගුරු පියනම කාලෝගේ අවධාරණයෙන් බිඳකුදු නොසැලුණු බව පෙනිණ. ඉනික්බිතිව ප්‍රශ්නෝත්තර වැඩසටහනක් කරළියට නැගී ඇත්තේ ගුරු පියනම හා ශිෂ්‍ය කාලෝ අතරේ ය. (මේ කාලය වන විට අන්කිසිම ආගමක් පිළිබඳව හැදෑරීමක් හෝ දැනීමක් තමනට නොවූ බව ද කාලෝ කියයි).

ගුරු පියනම - ඔන්න ඔතනයි මේ ළමයට වැරදිලා තියෙන්නේ. මේක කෙළෙහි ගුණ සැලකීම පිළිබඳ ප්‍රශ්නයක් නෙවෙයි. මේක සත්‍ය-අසත්‍ය පිළිබඳ ප්‍රශ්නයක්. මේ ළමයා පිළිගන්නව ද රෝමානු කතෝලික ආගම ලෝකයේ තියන එකම සත්‍ය ආගම බව?

කාලෝ - ඔව්.

ගුරු පියනම - ඉතින් සත්‍ය පතල කිරීමට ඕනෑම අයකුගේ ආධාර ලබා ගැනීම සාධාරණ ද?

කාලෝ - ඔව්.

ගුරු පියනම - රෝමානු කතෝලික ආගම එකම සත්‍ය ආගම නම් ලෝකයේ අන් සියලුම ආගම් මිථ්‍යා ආගම් විය යුතුයි නේද?

කාලෝ - ඔව්.

ගුර පියනම - එසේ නම් අන් ආගම්වලට අයත් මිථ්‍යා පාඨශාලා දියුණු කිරීමට දෙන ආධාරවලින් සිද්ධ වෙන්නේ මිථ්‍යා ආගම් දියුණුවීම නෙවෙයි ද?

කාලෝ - ඔව්.

ගුරු පියනම - එහෙනං ලෝකයේ එකම සත්‍ය ආගමට අයත් කතෝලික අපේ පරම යුතුකම විය යුත්තේ මිථ්‍යා ආගම් දියුණු කිරීමට උදවු නොකිරීම නේ ද?

කාලෝ - ඔව්.

(කාලෝචිත ලිපි - 40-41 පිටු)

පියතුමාගේ තර්කයට ප්‍රතිතර්කයක් ඉදිරිපත් කරනු නොහැකිව නිහඬ වුණ ද කාලෝ ශිෂ්‍යයාට ඉවෙන් වාගේ දැනුණේ ඒ තර්කයේ කුමන හෝ දෝෂයක් පවතින බව ය. අනතුරුව ඔහු යොමු වූයේ ඒ ගැන දිගින් දිගට සිතා බලන්නට ය. ගුරු පියනමගේ ඒ නිගමනය, තමාගේ අන්‍ය ආගමික මිතුරන් හා තමා අතර වූ සමගිය, සහෝදරත්වය පළුදු කරවනසුලු බව පමණක් ශිෂ්‍යයාට ගැඹුරින් හැඟී ගොස් තිබිණ. ගුරුපියනමගේ ඒ අර්ථදැක්වීම තමාගේ මුළු හෘදයෙන් මෙන් ම බුද්ධියෙන් ද ප්‍රතික්ෂේප කළ යුතු යැයි සිතුණේ ඒ අනුව ය. අද දවසේදී ඇතැම් තරුණ කතොලික පූජකවරුන්, කතෝලික දේවස්ථාන තුළට බෞද්ධ භික්ෂූන් කැඳවමින් දේශන පැවැත්වීමට අවකාශයක් විවර කරදෙමින් සිදුකරන මානව හිතවාදී ක්‍රියාදාමය මෙහිදී මහාචාර්ය කාලෝ ෆොන්සේකා ප්‍රශංසනීය ව සිහි කරයි. වයස 18 දී නිදහස් මතධාරියකු බවට පත්වූ තමා සියුල යදම් ඉවතලමින් ස්වාධීන ලෝකයක් නිර්මාණය කරගත් අයුරු ඉනික්බිතිව විස්තර වන්නේ මෙසේ ය.

ඉන් වසර දෙකකට පසු ව මම සරසවියට ඇතුළු වීමි. එකල කිසි දු ආගමක් පරම සත්‍යයක් සේ නොපිළිගත් මම වල්මත් වූ තරුණයෙක් වීමි. එහෙත් කතෝලික පාසල්වල ඉගෙනුම ලැබූ මා බුද්ධ ධර්මය ගැන අසා තිබුණේ ආරංචි මාත්‍රයෙන් පමණි. විශ්වවිද්‍යාලයේදී විවිධ ආගම්වලට අයත් බොහෝ සිසුන් හා කුළුපග වීමේ අවස්ථා මට ලැබිණි. එවකට නිදහස් මතධාරියෙක් වූ මම සුහද ලීලාවෙන් ඔවුන් සමඟ නොයෙක් ආගම් පිළිබඳ ව උණුසුම් වාද විවාදවල පැටළුණෙමි. මෙහිදී මට පෙනී ගියේ, සර්වබලධාරී දෙවියන් හා අමරණීය ආත්මයක් පිළිබඳ ව මා එවකට දැරූ මතය මේ ප්‍රශ්න පිළිබඳව බෞද්ධ ආකල්පයට අතිශයින් ම සමාන වූ බවයි. එබැවින් බුදු දහම පිළිබඳ තවදුරටත් විමසා බැලීමට මම පෙලඹුණෙමි. මේ ආකාරයට යි, ලෝ තතු අරබයා බුද්ධිමය විශ්ලේෂණයක් පදනම් කරගත් බුදුරජාණන් වහන්සේ විසින් වදාළ චතුරාර්ය සත්‍ය කෙරෙහි මගේ අවධානය පළමුවෙන් යොමු වුණේ. එයින් මම එවකට පෙර කිසි කලෙක නොලැබූ අන්දමේ අස්වැසිල්ලක් ලැබුවෙමි. අදත් ලබමි.

(කාලෝචිත ලිපි - 43 පිටුව)

මේ නිදහස් නිවහල් ලෝකය තුළ තමාගේ මානව හිතවාදය නිරතුරුව පෝෂණය වුණේ (බුද්ධාගමින් නොව) බෞද්ධ දර්ශනයෙනි යි ඔහු කියයි. ඒ දර්ශනයේ නිර්මාතෘවරයාණන් වූ බුදුන් වහන්සේ කෙරෙහි එහිදී තම සිත්හි ජනිත වූ භක්තිය පෙරටු කරගත් ගෞරවය හා ආදරය වචනවලට ගළපා ගැනීමට කළ උත්සාහයේදී තමාට කියාගත හැකි වූ අල්පය 1991 වසරේදී නිකුත් වූ ඩබ්.ඩී. අමරදේවයන්ගේ ‘කාලෝචිත ගී’ නමැති කැසට් පටයට එක්වී ඇත්තේ මේ වචන කිහිපය වන්නේ ය.

මුදුනත් තබාලා - බැතිමල් පුදාලා

මුනිඳේ ඔබේ පා - නමදිම් මම්

තණ්හාවේ දෝෂ - පහදා ලා දුන්නේ

ඔබමයි සමින්දේ

ඔබෙ දර්ශනේ මහිමේ!

දැන් බුදුදහම හා බුදුන්වහන්සේ ද සමඟ තව තවත් ඈතට ඈතට ඇදී යෑමේදී අනුක්‍රමයෙන් තමාට සාක්ෂාත් වූ තවත් කරුණක් පෙන්වා දීමට ද කාලෝ ෆොන්සේකා පැකිළෙන්නේ නැත. කාලෝගේ විශේෂත්වය වන්නේ (හර්මන් හෙස ලියූ ‘සිද්ධාර්ථ’ කෘතියේ සිද්ධාර්ථ මෙන් ම) කවර තැනක හෝ ඝනීභූතව, පාෂාණිභූතව නොනැවතී හාත්පස විමසමින් ඉදිරියෙන් ඉදිරියට ඇදීයාමට දක්වන වුවමනාවයි. කතෝලික සභාව නම් වූ සංස්ථාවේ සාමාජිකත්වය ප්‍රතික්ෂේප කළ ද ජෙසුස් වහන්සේ නම් වූ උදාර මනුෂ්‍යයා දෙස ඔහු අලුත් බැල්මක් හෙළන්නේ ජීවිතයෙන් වසර 50 ක් ගෙවා දැමූ පසුව ය.

එහෙත් අද දවසේ අඩසිය වසරක ජීවිත අත්දැකීමකින් පසු මට එක් දෙයක් පැහැදිලිව පෙනේ. එනම්, මානව භක්තිය, දයාව, කරුණාව ආදී ගුණාංග සම්බන්ධයෙන් නම් බුදු සමය හා කිතු සමය අතර වෙනසක් නැති බවයි. ‘ඔබේ සතුරන්ට ප්‍රේම කරන්න; ඔබට සාප කරන්නන්ට සෙත් පතන්න; ඔබට වෛර කරන්නන්ට යහපත කරන්න; ඔබට ගැරහුම් කරන්නන් උදෙසා යාච්ඤා කරන්න; ඔබේ එක කම්මුලකට අතුල් පහර දෙන අයට අනික ද පාන්න; ඔබේ උතුරු සලුව පැහැර ගන්නාගෙන් ඔබේ අඳනය වුව ද වළක්වා නොගන්න; ඔබෙන් ඉල්ලන හැමට ම දෙන්න; ඔබ සතු දෙය පැහැර ගන්නාගෙන් යළිත් එය නො ඉල්ලන්න; අනුන් ඔබට යමක් කරනවාට ඔබ කැමැත්තහු ද ඔබත් ඔවුන්ට ඒ දේ ම කරන්න.’ මේ වනාහී ජේසුන් වහන්සේ දේශනා කළ ධර්මයේ හරය ලෙස මම සලකමි. එය ඊට ශතවර්ෂ පහකට පමණ පෙර, නිර්වාණය අපේක්ෂා කරන අය විසින් අනුගමනය කළ යුත්තක් වශයෙන් බුදුන් වහන්සේ වදාළ දෙයට කොතරම් සමාන ද?

(කාලෝචිත ලිපි - 39 පිටුව)

ආගම් දෙකක ශාස්තෘවරුන් දෙදෙනකු පිළිබඳ මෙවැනි සැසඳීම් කළ හැකි වන්නේ ලේසි-පහසු මිනිසකුට නොවේ. බාහිරව (ශාරීරික වශයෙන්) බැලූ විට වඩා නූස් මනුෂ්‍යයකු වූ කාලෝ කොතරම් උසින් වැඩුණු මනුෂ්‍යයෙක් දැයි සාක්ෂාත් වන්නේ මෙවැනි අවධාරණ පිළිබඳව කෙරෙන පසුවිපරමකදීම ය. එය තනතුරු, සහතික, පට්ට්ම්වලින් ඔප්නැංවුණාක් වශයෙන් හඳුනාගත හැකි නොවන්නේ මේ රටේ තනතුරු, පට්ටම්, සහතික දිනූ එක ම පුද්ගලයා මහාචාර්ය කාලෝ ෆොන්සේකා නොවන නිසා ය. මිනිසකුගේ සැබෑ දුෂ්කර දුර්ග තරණය අභිනිෂ්ක්‍රමණය වන්නේ මේ ස්වයංභූ ඥානය අවදි කර ගැනීමයි. දිනෙන් දින වර්ධනය වෙමින් පවතින භේදභින්නවීම් අවම කරගැනීමට නම් මහාචාර්ය කාලෝ ෆොන්සේකා වැනි වූ තවත් තුන් හතර දෙනකු හෝ මේ රටේ උත්පාදනය වීම අත්‍යාවශ්‍ය යැයි අපට සිතෙන්නේ ද ඒ අනුවයි.

එහෙත් කාලෝ ෆොන්සේකාගේ දිවි සැරිය ගැන අසන, කියවන, පටු, නොගැඹුරු (චින්තනයකින් යුතු) පුද්ගලයකු තුළ කිසියම් විපිළිසරයක් හටගැනීමට ද ඉඩ නැත්තේ නොවේ. ඒ, අග්‍රගණ්‍ය ධර්මධරයකු, පූජනීය පියතුමකු විශේෂයෙන් වැඩිමහල්ලකු හා ගුරුවරයෙකු අබිබවා යෑමට ශිෂ්‍යයකු සිතීම පවා භයංකර යැයි පොදුවේ ඔවුන් විසින් පිළිගනු ලබන හෙයිනි. කාලෝ වැන්නන් ඔවුනට අකීකරු පුත්‍රයෝ ය.

එහෙත්...? කීකරු භාවය, අවනත භාවය, සෑම අවස්ථාවකදීම කෝකටත් තෛලය ලෙස භාවිතයට ගත හැකි ද? එසේ ගැනීම සුදුසු ද? බුදුන් වහන්සේ හා ජේසුන් වහන්සේ යනුවෙන් අප හඳුන්වන උත්තර මනුෂ්‍යයන් දෙදෙනා, වැඩිහිටියනට අවනතවීමේ, කිීකරුවීමේ ශික්ෂාව සැමවිටම ප්‍රගුණ කළාහු වෙත් ද? ඒ එසේ වූයේ නම් බුදුදුහම හෝ කිතු දහම ලෝකයාට දායාද වන්නේ ද?

මහාචාර්ය කාලෝ ෆොන්සේකාට ‘චින්තකයා’ යැයි කට සෝදා කියන්නට අපට හැකිවන්නේ බුදුන් වහන්සේගේ කාලාම සූත්‍රය ඔහුගේ ජීවිතයේ තෝන් ලණුව බවට පත්ව තිබූ නිසා ම ය.

 

Comments